තාජුඩීන් ඝාතනය;
පො.ප. සුමිත්ට මාස 10 කට පසු දැඩි කොන්දේසි ඇප
එහෙත් ඇප නියෝග එනතුරු යළිත් රිමාන්ඩ්

ඒ. ඡේ. ඒ. අබේනායක

රගර් ක්‍රීඩක වසිම් තාජුඩීන් ඝාතන නඩුවේ පළමුවන සැකකරු වන මාස 10 කට ආසන්න කාලයක්‌ රිමාන්ඩ් භාරයේ රඳවා සිටි පොලිස්‌ පරීක්‍ෂක සුමිත් ධම්මික පෙරේරා මහතා දැඩි ඇප කොන්දේසි පනවා ඇපමත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා ඊයේ (16 දා) නියෝග කළේය.

විදේශ ගමන් වැළැක්‌වීමේ නියෝගයක්‌ පනවා රුපියල් ලක්‍ෂයක මුදල් ඇපමත හා රුපියල් ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප කරුවන් තිදෙනෙකුගේ ඇප මත සැකකරු මුදාහැරීමට නියෝග කළ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා ඇප ලබාගැනීමෙන් පසුව සෑම මසකම අවසන් ඉරිදා පෙරවරුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටද කොන්දේසියක්‌ පැනවීය.

විදේශ ගමන් බලපත්‍ර අධිකරණය හමුවේ තැන්පත් කරන ලෙසත් එහිදී නියෝග කළ විනිසුරුවරයා ඇපකරුවන් අතරින් එක්‌ අයකු පවුලේ සමීප ඥතියකු විය යුතු බවද දැන්විය. ඇප ලබාගැනීමෙන් පසුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්‍ෂණ කටයුතුවලට කුමන ආකාරයකින් හෝ බාධා නොකරන ලෙසත් එලෙස බාධා කළ බවට පැමිණිල්ලක්‌ ලදහොත් ඇප අවලංගු කර නඩු විභාගය අවසන් වනතුරු රක්‍ෂිත බන්ධනාගාරයේ තබන ලෙසත් කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් වරයා නියෝග කළේය.

වසිම් තාජුඩීන් ඝාතනයේ තොරතුරු වසන් කිරීමේ චෝදනාව යටතේ පසුගිය වසරේ අප්‍රේල් 20 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි. සැකකරු වෙනුවෙන් කළ ඇප ඉල්ලීම් කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කොට තිබිණි.

සිය පුත්‍රයාව ඕනෑම ඇප කොන්දේසියක්‌ යටතේ මුදාහරින ලෙස ඉල්ලා සැකකරුගේ පියා විසින් ඉදිරිපත් කොට තිබූ ඇප අයෑදුම්පත සලකා බැලු විනිසුරුවරයා එම නියෝගය කළේය.

නීතිඥ අජිත් පතිරණ මහතා සැකකරු වෙනුවෙන් පෙනී සිටි අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා නීතිපතිවරයා නියෝජනය කළේය.


එහෙත් ඇප නියෝග එනතුරු යළිත් රිමාන්ඩ්

තාජුඩීන් ඝාතන නඩුව කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවන විට මහාධිකරණය විසින් නිකුත් කළ එම ඇප නියෝගය ඉදිරිපත් වී නොතිබීම නිසා සැකකරුව ලබන 2 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් දමින්ද වැලිගොඩපිටිය මහතා නියෝග කළේය. ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකාර සුමිත් පෙරේරා මහතාව ඊයේ පස්‌වරුවේ යළි බන්ධනාගාරය වෙත රැගෙන යන ලදී.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.