"බිග් මැච්" සමයේ සිසු ගැටුම් ගැන නීතිය තදින්

හේමන්ත රන්දුණු

පාසල් මහා ක්‍රිකට්‌ තරග පැවැත්වෙන කාලසීමාවේදී ගැටුම් ඇති කරගෙන අවිනීත ලෙස හැසිරෙන පාසල් ශිෂ්‍යයන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමර්ග ගැනීමට කටයුතු කරන බව පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා "දිවයින" ට ඊයේ (16 වැනිදා) පැවසීය.

පාසල් මහා ක්‍රිකට්‌ තරග පැවැත්වෙන ඉදිරි කාලසීමාවේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශයට විශේෂ පොලිස්‌ ආරක්‌ෂාවක්‌ යොදවා ඇති අතර, විනය විරෝධී ලෙස හැසිරෙමින් රටේ නීතිරිති උල්ලංඝනය කරන සියලුම ශිෂ්‍යයන් අත්අඩංගුවට ගැනීමට සියලු පොලිස්‌ ස්‌ථානවලට උපදෙස්‌ ලබා දී ඇති බවද ඒ මහතා කියා සිටියේය.

ආනන්ද, නාලන්ද විද්‍යාලවල ශිෂ්‍යයන් දෙපිරිසක්‌ අතර පෙරේදා (15 දා) ඇති වූ ගැටුම සම්බන්ධයෙන් කරුණු විමසීමේදී පොලිස්‌පතිවරයා මේ බව පැවැසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා මෙසේද කීය.

ඉදිරි කාලසීමාවේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ප්‍රධාන පාසල් අතර මහා ක්‍රිකට්‌ තරග පැවැත්වෙනවා. මේ ක්‍රිකට්‌ තරග මුල් කරගෙන පාසල්වල ශිෂ්‍යයන් අතර, ගැටුම් ඇති වීමට ඉඩ ඇති බවට තොරතුරු පොලිසිය ලැබී තිබෙනවා.

මෙවැනි ගැටුම් ඇති විය හැකි බවට සැක කරන පාසල් අවට විශේෂ පොලිස්‌ ආරක්‌ෂාවක්‌ යෙදවීමට පොලිසිය කටයුතු කරනවා.

පාසල් ශිෂ්‍යයන් ක්‍රිකට්‌ තරග ප්‍රචාරණ කටයුතුවලට යෑයි කියමින් මුදල් එකතු කරනවා. ඒ වගේම ඔවුන් බීමත්ව හැසිරෙනවා. මේ වගේ අශිලාචාර විදිහට හැසිරෙන ශිෂ්‍යයන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස්‌ සියලු පොලිස්‌ ස්‌ථානවලට ලබා දී තිබෙනවා.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.