දියත උයනේ සිට වැල්ලවත්ත දක්‌වා
මගී ප්‍රවාහන බෝට්‌ටු සේවයක්‌


බත්තරමුල්ල "දියත උයන" පරිශ්‍රයේ සිට වැල්ලවත්ත දක්‌වා මගී ප්‍රවාහන බෝට්‌ටු සේවයක්‌ ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්‌ථාවේ සභාපති අසේල ඉද්දවෙල මහතා පැවසීය.

බස්‌නාහිර සංවර්ධන හා මෙගා පොලිස්‌ අමාත්‍යාංශය යටතේ නව ව්‍යාපෘතියක්‌ ලෙස එය ක්‍රියාවට නංවන බව කී අසේල ඉද්දවෙල මහතා ඉදිරියේ දී රාජ්‍ය හා පෞද්ගලික ව්‍යාපාරයක්‌ ලෙස මෙම සේවාව දියුණු කිරීමට බලාපොරොත්තු වන බවද කීය.

බත්තරමුල්ල දියත උයනේ සිට නාවල වැලි පාර තෙක්‌ කිලෝමීටර් තුනක ප්‍රමාණයක්‌ සිකුරාදා, සෙනසුරාදා හා ඉරිදා දිනයන්හි දැනටත් බෝට්‌ටු සේවාවක්‌ ක්‍රියාත්මක වන බවත්, එය වැල්ලවත්ත දක්‌වා දීර්ඝ කිරීම මේ වසර අවසානය වන විට සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් ඉද්දවෙල මහතා කීය.

ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්‌ථාවත්, නාවුක හමුදාවත් ඒකාබද්ධව සිදු කරන මෙම වැඩසටහන සඳහා විශාල ජනතා ආකර්ෂණයක්‌ පවතින බවත්, මහාමාර්ගවල පවතින රථවාහන තදබදයටත් මෙය හොඳ පිළියමක්‌ වනු ඇතැයිද ඉද්දවෙල මහතා පැවසීය.

බත්තරමුල්ල දියත උයනේ සිට නාවල වැලි පාර තෙක්‌ නිරීක්‍ෂණ බෝට්‌ටු චාරිකාවට එක්‌වෙමින් මාධ්‍යය හමුවේ එසේ අදහස්‌ දැක්‌වූ අසේල ඉද්දවෙල මහතා එහිදී තවදුරටත් මෙසේද කීය.

සතියේ සෑම සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනකම උදෑසන 8.00 සිට සවස 6.00 දක්‌වා මෙම සංචාරක ආශ්වාදය විඳගන්නට පුළුවන. වෙනත් සතියේ දිනයන්හිදී සේවා ඉල්ලුම මත මෙම සේවාව ක්‍රියාත්මක කරනු ලබයි. සංචාරකයන්ගේ ආරක්‌ෂාව කෙරෙහි අපි සැලකිලිමත් වෙනවා. ආරක්‌ෂක කබා පැලඳීම වැනි ආරක්‌ෂක උපක්‍රමයන් අනුගමනය කෙරෙනවා.

ලොව තෙත්බිම් ආශ්‍රිත නගරයක්‌ ලෙස කොළඹ නගරයට සුවිශේෂී වැදගත්කමක්‌ හිමි වෙනවා. කොළඹ නගරය තුළ වැදගත් ජෛව විවිධත්ව ලක්‍ෂණයන් දැකගන්නට පුළුවන්. කොළඹ නාගරික බෝට්‌ටු සවාරියෙන් තෙත් බිම් රැක ගැනීමට මහජනයා පෙලඹවීම හා තෙත්බිම් වෙත ආදරය කරන නාගරික පරිසරයක්‌ නිර්මාණය කිරීමද සංචාරක ප්‍රවර්ධනය තුළින් නව සෘජු හා වක්‍ර රැකියාවන් නිර්මාණය කිරීමටද අපේක්‍ෂා කරන බව ඉද්දවෙල මහතා කීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.