2016 වසරේදී මාරක රිය අනතුරු තිස්‌නවදහසක්‌
වෛද්‍ය සිසිර කෝදාගොඩ

මරණ 2961යි

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

පසුගිය වසරේ (2016) මාර්ග රිය අනතුරු විශ්ලේෂණය කිරීමේදී මාරක රිය අනතුරු තිස්‌අටදහස්‌ නවසියපනස්‌දෙකක්‌ (38,952) සිදු වී ඇති බවත්, එම වසරේ සිදු වූ මාරක රිය අනතුරිවලින් පුද්ගලයන් 2961 දෙනකු මරුමුවට පත් වී ඇති බවත්, මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පැවැසීය.

යතුරුපැදි හේතුවෙන් සිදු වූ මාරක රිය අනතුරු ප්‍රමාණය 1172 ක්‌ වී ඇති බවත්, එයින් 1219 දෙනකු මියගොස්‌ ඇති බවත් සභාපතිවරයා කීය. මීට අමතරව පසුගිය වසරේ සිදු වූ රිය අනතුරුවලින් මියගිය අය අතරේ පදිකයන් 865 දෙනකුද, පසුපැදිකරුවන් 207 දෙනකු ද, රියෑදුරන් 240 දෙනකු ද, මගීන් 457 දෙනකු ද, පාපැදිකරුවන් 245 දෙනෙකු ද මියගොස්‌ ඇතැයි ද හෙතෙම කීය.

මීට අමතරව පසුගිය වසරේ සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයන් 8518 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇතැයි ද සභාපතිවරයා සඳහන් කර සිටියේය. දිනෙන් දින රිය අනතුරුවලින් මියයන හා ආබාධිත වන සංඛ්‍යාව ඉහළ මටටමක පවතින බව ද හෙතෙම කීය.

මේ වන විට යාපනය දිස්‌ත්‍රික්‌කය තුළ ද ඉහළ අනතුරු සංඛ්‍යාවක්‌ වාර්තා වී ඇති නිසා මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතාගේ උපදෙස්‌ මත යාපනය දිස්‌ත්‍රික්‌කය පුරා විවිධ මට්‌ටමේ කණ්‌ඩායම් දැනුවත් කිරීමේ වැඩසටහනක්‌ රැසක්‌ පසුගියදා ආරම්භ කරනු ලැබීය.

එහිදී යාපනය ප්‍රදේශයේ පාසල් සිසුන් දැනුවත් කිරීම, රියෑදුරන් දැනුවත් කිරීම, පදික වේදිකාව ප්‍රයෝජනයට ගන්නා පදිකයන් දැනුවත් කිරීම, පාපැදිකරුවන් දැනුවත් කිරීම, පාපැදිවල පරාවර්තක ආරක්‍ෂිත ස්‌ටිකර් ඇලවීම යනාදී කටයුතු මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව මගින් සිදු කරනු ලැබීය. රථවාහන ආලෝක සංඥා පුවරු ස්‌ථාපනය කිරීම පිළිබඳ මාර්ග සංවර්ධන අධිකාරිය දැනුවත් කිරීමේ අවශ්‍යතාව පැන නැඟී ඇති අතර, එම කාර්යය ඉක්‌මනින් ඉටු කිරීමට තම සභාව කටයුතු කරන බව ද සභාපතිවරයා තවදුරටත් කියා සිටියේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.