විග්නේෂ්වරන්ගේ මඩකලපු නාඩගම මැද
මෙන්න තවත් ජිනීවා යෝජනාවක්‌


දෙවැනි ලෝක යුද්ධය ජය ගැනීමෙන් පසු ඇමරිකානු රජය, ජර්මනිය, ජපානය සහ පිලිපීනයේ හමුදා කඳවුරු ඉවත් කළේ නැත. එහෙත් කොටි ත්‍රස්‌තවාදීන්ට එරෙහි වන්නි මෙහෙයුම ජය ගැනීමෙන් පසු කුරුඳුවත්තේ සිට යාපනයට ගිය සී. වී. විග්නේෂ්වරන් හෙවත් උතුරු මහ ඇමැති උතුරේ සිටින ශ්‍රී ලංකා හමුදාව ඉවත් කරගන්නා ලෙස රජයට කියා සිටියේය.

ඔහු ඉන් නොනැවතී මුලතිව්හි පිහිටි හමුදා මූලස්‌ථානය මුලතිව්හි නිරිතදිග ප්‍රදේශයට මාරුකළ යුතු බවද ප්‍රකාශ කර ඇත.

විග්නේෂ්වරන්ට මෙරට ජාතික ආරක්‍ෂාව සම්බන්ධව කටයුතු කිරීමට නීතිමය ඉඩක්‌ නැත. එහෙත් පසුගියදා මොහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ සහ නීති විශාරදයන්ගෙන් සමන්විත කමිටුවක්‌ පත්කරමින් මුලතිව් හමුදා මූලස්‌ථානය පිළිබඳව ඔවුන්ගේ නිර්දේශ ඉදිරිපත් කරන ලෙස කියා සිටියේය. ඒ අනුව එම කමිටුව නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ යන කියමන සනාථ කරමින් මුලතිව් හමුදා මූලස්‌ථානය වහාම නිරිතදිග මුලතිව් ප්‍රදේශයට ගෙනයා යුතු බවට නිර්දේශ කළේය.

මෙම මුලතිව් හමුදා මූලස්‌ථානය ස්‌ථාපිත කර තිබුණේ උපාය මාර්ගික කේන්ද්‍රස්‌ථානයකය.

එහෙත් අද හමුදා මූලස්‌ථානය ඇති ඉඩමට හා ගුවන් හමුදා මූලස්‌ථානය පිහිටි ස්‌ථානයට මෙන්ම කොටි ගුවන් ධාවන පථය ස්‌ථානගතව තිබූ ස්‌ථානයටද හිමිකම් කීමට ද්‍රවිඩ සිවිල් වැසියන් ඉදිරිපත් වී ඇත. දින 12 කට පසු මුස්‌ලිම් කාන්තාවන් කිහිප දෙනෙක්‌ද එතෙනට පැමිණ ඇත. ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මාර්ග පවසන්නේ 2003 වසරේදී කෙටුම්පත් කළ ඔප්පු තිරප්පු පෙන්නුම් කරමින් එම ද්‍රවිඩ සිවිල් වැසියන් මුලතිව් ඉඩම්වලට හිමිකම් පා ඇති බවයි.

එසේ වුවත් සැබෑ යථාර්ථය නම් 2003 වසරේ ක්‍රියාත්මක වූ ඊනියා සටන් විරාම ගිවිසුම සමයේ කොටි හිතවාදීන් මුලතිව් රජය සතු ඉඩම්ද සිය භුක්‌තියට හිමිකරගත් බවයි. මුලතිව් ගුවන් හමුදා කඳවුර පිහිටි ප්‍රදේශය වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් වුවත් ඊට හිමිකම් පෑමට ද්‍රවිඩ වැසියන් පිරිසක්‌ ඉදිරිපත් වී ඇත. මේ ව්‍යාජ ඉල්ලීම් සඳහා උතුරු පළාත් සභා මන්ත්‍රී රවිහරන් කුරේරාසාද සම්බන්ධ බව හෙළිවී ඇත.

වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු විග්නේෂ්වරන් නටන නාඩගම දිගින් දිගටම ක්‍රියාත්මක වේ. පසුගිය සතියේ ඔහු පැවසුවේ පලාලි ගුවන් ධාවන පථය දීර්ඝ කිරීමට ඉඩ නොදෙන බවයි. එසේම උතුරේ ඉඩම් අත්පත් කර ගැනීමට තමා කිසිසේත් ඉඩ නොදෙන බවටද විග්නේෂ්වරන් වහසිබස්‌ දොඩා ඇත.

මෙවන් පසුබිමක්‌ මැද පසුගිය සිකුරාදා මඩකලපුවේ විවේකානන්ද පිටියේදී විග්නේෂ්වරන්ගේ ද්‍රවිඩ ජනතා සංසදය "දෙමළුනි නැගිටිව්" යන තේමාව යටතේ උද්ඝෝෂණයක්‌ පවත්වනු ලැබීය.

මෙය ප්‍රභාකරන්ගේ "පොංගු තමිල්" මෙහෙයුමේ දෙවැනි ආගමනයයි. දෙමළුනි නැගිටිව් උද්ඝෝෂණය මෙහෙයවීමට විග්නේෂ්වරන්ට සහ ද්‍රවිඩ ජනතා සංසදයට අරමුදල් ලැබුනේ කෙසේද? මෙම උද්ඝෝෂණය පැවැත්වීමට පැය 48 කට පෙර අපට නෝර්වේ රාජ්‍යයේ ඔස්‌ලෝ අගනුවරින් විශ්වාස කටයුතු තොරතුරක්‌ ලැබුණි.

එම තොරතුරුවලින් පැවසුවේ මඩකලපුවේ රැලිsය සඳහා ඔස්‌ලෝ ඊළාම් සංගමයකින් රුපියල් දස ලක්‍ෂයකට ආසන්න මුදලක්‌ ද්‍රවිඩ සංධානයට සම්බන්ධ නැති දේශපාලනඥයකුට ලැබුණු බවයි.

එම දේශපාලනඥයා කව්දැයි තොරතුරු සැපයූ කොටි විරෝධියා හෙළි කළේය.

මඩකලපුවේදී මෙම උද්ඝෝෂණ රැලිය මෙහෙයවනු ලැබූවේ විග්නේෂ්වරන්ට අමතරව ද්‍රවිඩ ජනතා ජාතික පෙරමුණේ නායක ගඡේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සහ හිටපු ද්‍රවිඩ සංධාන මන්ත්‍රී සුරේශ් ප්‍රේමචන්ද්‍රන්ය.

මෙම උද්ඝෝෂණ රැලිsය ආරම්භ වීමට පෙර උතුරු පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි සෂිකරන් පැවසුවේ මඩකලපු උද්ඝෝෂණය ද්‍රවිඩ ජනතාවගේ නැගිටීමක්‌ බවයි.

ඇය යුද්ධයෙන් අනාථ වූ වැන්දඹුවක්‌ යෑයි හඳුන්වන කාන්තාවන් 55 ක්‌ රැගෙන මඩකලපු උද්ඝෝෂණ රැලියට පැමිණියත් ඇයට වේදිකාවට නැග ජනතාව ඇමතීමට ඉඩ ලැබුණේ නැත.

මේ නිසා දැඩි කෝපයට පත් සෂිකරන් තමා සමග ගිය කාන්තාවන් කැටුව ආපසු යාපනයට පැමිණ මඩකලපු රැලිය මෙහෙයවූයේ විහිළුකාරයන් පිරිසක්‌ බව කීවාය.

කොටි සංවිධානයේ නම භාවිත කරමින් මොවුන් දේශපාලනය තුළ ජීවමාන වීමට උත්සාහ කරන බවට ඇය චෝදනා කළාය.

මේ වැන්දඹුවන්ව මගේ වියදමින් මඩකලපුවට ගෙන ගියා. එහෙත් මට වැන්දඹුවන් වෙනුවෙන් කතා කිරීමට ඔවුන් ඉඩ දුන්නේ නැහැ. ද්‍රවිඩ ජාතික ජනතා පක්‍ෂයේ නායක ගඡේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඇතුළු සංවිධායකයන් ද්‍රවිඩ ජනතා සංසදය මෙහෙය වන්නේ කොටි ධජය යටතේ බව මට සනාථ වුණා. මොවුන් යාපනයේ සිට මාධ්‍ය පාර්ශ්ව මඩකලපුවට ගෙන ගියේ ඔවුන්ට ප්‍රචාරයක්‌ ලබා ගැනීමට යෑයි ආනන්දි සෂිකරන් යාපනයේදී කියා සිටියේය.

එහෙත් පෙබරවාරි 8 දා ආනන්දි යාපනයේදී පැවසුවේ දෙමළුනි නැගිටිව් රැලිය දෙමළ ජනතාවට යුත්තිය ලබා ගැනීමේ මෙහෙයුමක්‌ බවයි. මේ අතර මඩකලපුවේ පැවැති මෙම බෙදුම්වාදීන්ගේ රැලියේදී ප්‍රකාශයට පත්වූ කරුණු බහුතර ජනතාවට වාර්තා වූයේ අල්ප ලෙසයි. මෙහි දැක්‌වෙන්නේ එහිදී ප්‍රකාශයට පත්වූ කරුණුය.

හමුදාවේ සහායෙන් උතුරේ බෞද්ධ විහාර සහ ප්‍රතිමා ආක්‍රමණශීලී ලෙස ස්‌ථානගත කර ඇත. උතුරේ සිදුවන සිංහලකරණය සහ බෞද්ධකරණය වහාම නතර කළ යුතුයි.

ශ්‍රී ලංකා හමුදාවට එරෙහි යුද අපරාධ පරීක්‍ෂණය දේශීය ලෙස නොව ජාත්‍යන්තර ලෙස පැවැත්විය යුතුයි. රජය දැන් ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා කල් ඉල්ලීමට සැරසෙයි. එහෙත් රජයට කල් නොදිය යුතුයි.

උතුරු නැගෙනහිරට ස්‌වයං පාලනය සහිත පෙඩරල් පාලන ක්‍රමයක්‌ ලබාදීමට ක්‍රියාකළ යුතුව ඇත.

එසේම උතුරු නැගෙනහිරින් හමුදාව ඉවත් කළ යුතුව තිබේ.

වත්මන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ඇති 6 වැනි වගන්තිය ඉවත් කළ යුතුව ඇත.

මේ අතර මඩකලපු රැලියෙන් පසු ද්‍රවිඩ ජනතා සංසදය ප්‍රතිපත්ති ප්‍රකාශයට පත්කරනු ලැබීය.

ඉන් ප්‍රකාශ වූයේ රැඳවුම් භාරයේ සිටින සියලුම හිටපු කොටි ක්‍රියාකාරීන් මුදාහැරිය යුතු බවත්, ජාත්‍යන්තර හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කළ යුතු බවයි.

මේ හැර දකුණේ ධීවරයන්ට උතුරු මුහුදු කලාපයට ඇතුළුවීමට ඉඩ නොදිය යුතු බව දැක්‌වෙන යෝජනාවක්‌ද මෙහිදී ඉදිරිපත් වී ඇත.

ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට කල්දීමෙන් වළකින ලෙස ද්‍රවිඩ ජනතා සංසදය මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ගෙන් ඉල්ලීමක්‌ කිරීමෙන් පසු ද්‍රවිඩ නීතිවේදීන් යෑයි හඳුන්වාගත් සංවිධානයක කැඳවුම්කරුවන් වූ ආර්. එස්‌. රත්නවේල් සහ වී. පුවිතරම්ද මානව හිමිකම් සමුළුවෙන් ඉල්ලීමක්‌ කරමින් ජිනීවා යෝජනාව සඳහා කල්දීමට කටයුතු නොකරන ලෙස ඉල්ලා ඇත.

මේ පසුබිම මැද පෙබරවාරි 27 දා විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර ජිනීවා බලා යනු ඇත. ඔහු පෙබරවාරි 28 දා මානව හිමිකම් සමුළුව අමතමින් ජිනීවා යෝජනාව ඉටුකිරීමට ලබන සැප්තැම්බර් මස දක්‌වා කල්දෙන ලෙස ඉල්ලා සිටීමට නියමිතය.

ඔහු මේ ඉල්ලීම කරන බව ලන්ඩන් නුවරදී හා නෝර්වේදී පවසා තිබුණි. මේ තත්ත්වය මත විදේශ කටයුතු ඇමැතිවරයාගේ ක්‍රියාකලාපය ගැන බරපතළ සැකයක්‌ මතුවී ඇත.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය යටතේ ජිනීවා නුවර සිටින නව ඇමරිකානු තානාපතිනිය නිකී හේලීය. එහෙත් විදේශ කටයුතු ඇමැතිවරයා කල්තියා ජිනීවා ගොස්‌ ඇය සමග සාකච්ඡා කිරීමට පියවර ගෙන නැත.

මේ නිසා විදෙස්‌ගත ශ්‍රී ලාංකිකයන් නියෝජනය කරන ගෝලීය ශ්‍රී ලංකා සංසදය ශ්‍රී ලංකාවේ හමුදාව වෙනුවෙන් ඉදිරිපත් වී ඇති ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ප්‍රබලයකු වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පිරිසක්‌ ජිනීවා ගොස්‌ ඇමරිකානු තානාපතිනී නිකිහේලී හමුවී කොටි සිදුකළ යුද අපරාධ ගැන සවිස්‌තර තොරතුරු ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.

මේ මෙහෙයුම විදේශ ඇමැතිවරයා වෙත එල්ල වූ අතුල් පහරක්‌ වනු ඇත.

කොටි සංවිධානය යුද අපරාධ 340 කට වඩා සිදුකර තිබෙනවා. ඒ කිසිදු යුද අපරාධයක්‌ මානව හිමිකම් කවුන්සිලයට යොමුවී නැහැ යෑයි වීරසේකර මහතා කියා සිටියේය.

මේ අතර ස්‌විස්‌ ඊළාම් ඩයස්‌පෝරාව මාර්තු 6 දා ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ උද්ඝෝෂණයක්‌ පැවැත්වීමට සැලසුම් කර ඇති අතර පොලිසිය ඊට අවසර දී ඇත.

මෙම උද්ඝෝෂණයෙන් කියා සිටින්නේ ජිනීවා යෝජනාව ඉටුකිරීමට ශ්‍රී ලංකාවට කල් නොදෙන ලෙසත් ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යන ලෙසයි.

ස්‌විස්‌ ඊළාම් ඩයස්‌පෝරාවේ මෙම උද්ඝෝෂණ රැලියේ පෝස්‌ටර් ස්‌විස්‌ටර්ලන්තයේ ප්‍රාන්ත රැසක පිහිටි ඊළාම් කඩවල ප්‍රදර්ශනය කර ඇත.

එදින සවස 2 සිට 6 දක්‌වා පැවැත්වෙන මෙම ඊළාම් උද්ඝෝෂණය නම්කර ඇත්තේ ද්‍රවිඩ ජාති සංහාරය සඳහා යුක්‌තිය යනුවෙනි.

මේ ඊළාම් උද්ඝෝෂණය පසුබිමේ මානව හිමිකම් සමුළුව තුළ තවත් ඊළාම් මෙහෙයුමක්‌ දියත් වේ.

එම මෙහෙයුම දියත් කර ඇත්තේ ජිනීවා මානව හිමිකම් සමුළු ශාලාව තුළ ගැවසෙන හිඟන කිරුබා හෙවත් කිරාබාහරන් නමැති ඊළාම්වාදියායි.

තමා මෙවර විදේශ තානාපතිවරුන් හමුවී ජිනීවා යෝජනාව කල් දැමීම සඳහා ශ්‍රී ලංකා රජයට ඉඩ නොදෙන ලෙස ඉල්ලීමක්‌ කරන බව ප්‍රකාශ කර ඇත.

එම වාතාවරණය මැද බ්‍රිතාන්‍ය රජය ජිනීවා යෝජනාවට අදාළ තවත් යෝජනාවක්‌ ඉදිරිපත් කරන බව මානව හිමිකම් කවුන්සිලයට දන්වා ඇත.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ආරංචිමාර්ග පැවසුවේ බ්‍රිතාන්‍ය රජය මෙම නව යෝජනාව පසුගිය සඳුදා ඉදිරිපත් කළ බවයි. මේ නව යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කරන බව බ්‍රිතාන්‍ය රජය හෙළිකර ඇත. එම යෝජනාවේ අරමුණ ජිනීවා යෝජනාව ඉටුකිරීම සඳහා ශ්‍රී ලංකා රජයට කල්දීම බව හෙළිවී ඇත.

එහෙත් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු බලධාරීන් බ්‍රිතාන්‍යයේ අගමැතිනි තෙරේසා මේ රජය සමග මෙතෙක්‌ කිසිදු සාකච්ඡාවක්‌ පවත්වා නැත.

එය ඉතා කනගාටුදායක තත්ත්වයකි. සිය රජය විදේශ රටවල හමුදාවලට මැදිහත් නොවන බව තෙරේසා මේ පවසා තිබුණි.

මෙලෙස ශ්‍රී ලංකා රජය ජිනීවා යෝජනාව ගැන මන්දගාමී ස්‌වභාවයක්‌ දරද්දී සංහිඳියා කාර්ය සාධක බළකායේ භයානක නිර්දේශ ඇතුළත් වාර්තාවද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර තිබේ.

මේ සංහිඳියා කාර්ය බළකායේ භයානක නිර්දේශ කිහිපයක්‌ මෙසේය.

1. කොටින්ගේ නිල ඇඳුමින් යුත් ඡායාරූප සිය නිවාසවල තබා ගැනීමට අවසර දිය යුතුයි.

2. විශේෂ අධි චෝදකයන් සහභාගි කරගත යුතුයි.

3. මහාවීර දිනය පැවැත්වීමට ඉඩදිය යුතුයි.

මෙම පසුබිම මැද රජය එන්.ජී.ඕ. කාරයන්ගෙන් කිහිප දෙනකුගෙන් සමන්විත සංහිඳියා කාර්ය සාධක බළකායක්‌ පත්කිරීමෙන් සිදුවී ඇත්තේ ඊළාම් ඩයස්‌පෝරාවට අමුද්‍රව්‍ය සැපයීමකි. මෙහිදී රජයේ සංහිඳියා කාර්ය බළකායේ වාර්තාව මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් වීමෙන් පසු එම වාර්තාව එම සමුළුව පිළිගතහොත් ඇතිවන තත්ත්වය කුමක්‌ද මේ අතර වසර 7 කට පසු මුලතිව් ගුවන් හමුදා කඳවුර පිහිටි ප්‍රදේශය ඉල්ලා ද්‍රවිඩ සිවිල් වැසියන් පිරිසක්‌ හිටි හැටියේ මතුවීම පසුබිමේ ඇත්තේ ඊළාම් රාජ්‍යය සංකල්පයයි.

ගුවන් හමුදාව මුලතිව් කොටි ගුවන් පථය ප්‍රතිසංස්‌කරණය කර ගුවන් යානා බැස්‌සවීම සඳහා කටයුතු කරද්දී කිසිවෙක්‌ ඊට එරෙහි වූයේ නැත.

එහෙත් දවස්‌ ගණනාවක්‌ තිස්‌සේ මුලතිව් ගුවන් හමුදා කඳවුර අසල කූඩාරම් අටවාගත් පිරිසක්‌ එම කඳවුර හකුලා ගන්නැයි රජයට කියා සිටී.

2013 වසරේදී උතුරු පළාත් සභාව පිහිටුවීමෙන් පසු නිහඬව සිටි විග්නේෂ්වරන්ද ජනාධිපතිවරයා වෙත ලිපියක්‌ යවමින් මුලතිව් ගුවන් කඳවුර පිහිටි ප්‍රදේශය අවතැන් වූවන්ට ලබාදෙන ලෙස ඉල්ලා ඇත.

කොටි සංවිධානය මුලතිව් ගුවන් ධාවන පථයේ සිට ස්‌ලින් ගුවන් යානා මගින් කොළොන්නාවට හා කටුනායකට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට ක්‍රියාකරනු ලැබීය.

ඉන් සනාථ වූයේ මුලතිව් කොටි ගුවන් ධාවන පථය කොටි උපාය මාර්ගික ගුවන් කේන්ද්‍රස්‌ථානය වීමයි. එවන් තත්ත්වයක්‌ මැද ද්‍රවිඩ සිවිල් වැසියන් යෑයි පවසන පිරිස දින 14 ක්‌ තිස්‌සේ මුලතිව් ගුවන් කඳවුර අසල විරෝධතා පැවැත්වීමේ අරමුණ තේරුම් ගත හැකිය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.