හින්දුස්‌ථානයේ ජාතික පියාගේ රුව මත ඇවිද යන සුද්දො

මිනිසුන්ට අවමන් කරන ආකාරයන් ගණනාවක්‌ තිබේ. පාපිස්‌නා, පාවහන් ආදී පයට පෑගෙන ද්‍රව්‍යවලට ඔවුන්ගේ රුව යොදාගැනීම ඉන් එකකි. විවිධ ආගමික ශාස්‌තෘවරුන්, රාජ්‍ය නායකයන් පිළිබඳ වාර්තාවන්වලින් එම ඉතිහාසය පිරී තිබේ. ඊට ගොදුරු වන පුද්ගලයන්ට ඇති පිළිගැනීම අනුව ඇතැම් විට මෙවැනි අපහාසයන් රට රටවල් අතර යුද්ධ දක්‌වා වුවද දිග්ගැස්‌සී යා හැකිය.

ජාතික අභිමානය අතින් ගත් කල ඉන්දියාව ඉහළම තත්ත්වයේ පසුවන රටකි. එරට නිපදවන චිත්‍රපටයක පවා තම දේශීයත්වයට, අභිමානයට ප්‍රමුඛතාව හිමි වේ. එවන් රටක ජාතික නායකයකුට අපහාස වන පරිදි වෙළෙඳ භාණ්‌ඩයක්‌ නිපදවේ නම් සිදුවන තත්ත්වය ගැන අමුතුවෙන් කිවයුතු නැත. ඉනුත් හැම හින්දුස්‌ථානියකුගේම ඉමහත් ගෞරවයට පාත්‍ර වූ මහත්මා ගාන්ධි නොහොත් අවිහිංසාවාදයේ පියාගේ රුව පාවහන් සඳහා යොදාගැනීම.

මෙහිදී ඉන්දියාවේ දැඩි දොaෂ දර්ශනයට ලක්‌වී ඇත්තේ ඇමසෝන්  නමැති සමාගමයි. එය ඉන්දියාව තුළ ද විද්යුත් වෙළෙඳපොළ වර්ධනය කරගත් ඇමරිකානු සමාගමකි.

ඔවුන් විසින් මහත්මා ගාන්ධිගේ රුව සහිත පටි සෙරෙප්පු වර්ගයක්‌ වෙළෙඳපළට නිකුත් කර ඇත. ඒ ඔවුන් විසින් ඊට දින කීපයකට පෙර ඉන්දියාවේ ජාතික ධජය පාපිසි වර්ගයක්‌ සඳහා යොදාගැනීමෙන් පසුවය. එහිදී සිදු වූ අපහාසය වෙනුවෙන් ඇමසෝන් සමාගම ඉන්දියාවෙන් සමාව ගත යුතු බව විදේශ ඇමැති වී සුෂ්මා ස්‌වරා- ප්‍රකාශ කළාය.

".... අප ඒ සම්බන්ධයෙන් ඉතා දැඩි පියවරක්‌ ගන්නවා...." ඇය වැඩිදුරටත් පවසා තිබේ.

ඉන්පසුව අදාළ සමාගමේ වෙබ් අඩවියෙන් එම වෙළෙඳ දැන්වීම ඉවත් කර ඇත. නමුත් වැඩි දිනක්‌ ගතවන්නට පෙර ට්‌විටර් පරිශීලකයන්ට හසුවූයේ සිය ජාතියේ පියාගේ රුව යෙදූ රෝස පැහැති පටි සෙරෙප්පු සහිත වෙළෙඳ දැන්වීමකි. එහි උපුටන සමාජජාල හරහා ප්‍රචාරය වන්නට පටන් ගත්තේය.

"....ඇමසෝන් සමාගම ඉන්දියාව තුළ තහනම් කළ යුතුයි. ඔවුන් තම සීමාවන් ඉක්‌මවා යනවා. මේ දැන්වීම් ඉතාම අපහාසාත්මකයි...."

මයාන්ක්‌ පාමර් නම් විවේචකයකු සිය පණිවුඩයේ සඳහන් කරයි.

"....ඇමසෝන් ආයතනය තම පාවහන්වලින් මහත්මා ගාන්ධිතුමාගේ රුව ඉවත් කරගත යුතුයි. අපගේ ජාතික නායකයන් කිසිවකුගේවත් අපහාසයට ලක්‌විය යුතු පිරිසක්‌ නොවේ. මෙවැනි මතභේදාත්මක දේ කිරීමෙන් ඔවුන් වැළකී සිටිනවා නම් හොඳයි...."

අශෝක්‌ තන්වර් පවසයි.

මෙම පාවහන් ජෝඩුවක මිල නියම කර ඇත්තේ ඩොලර් 16.99 (රුපියල් 2550) ක්‌ වශයෙනි. වෘත්තීය වශයෙන් ඒවා මුද්‍රණය කර ඇති බව වෙබ් අඩවියේ සඳහන් වේ. ඒ හැරුණු විට පාරිභෝගිකයාට උසස්‌ පෙනුමක්‌ හා ආකර්ෂණයක්‌ ලබාදීම ද ඒවායේ අරමුණ බව එහි සඳහන්ය.

ඇමසෝන් සමාගම ඉන්දියානු විද්යුත් වාණිජ වෙළෙඳපළ ශීඝ්‍රයෙන් ආක්‍රමණය කළ සමාගමකි. 2013 දී එය ඉන්දියාවේ ප්‍රබල අධිකාරයක්‌ ගොඩනඟා ගත්තේය. එහි අපේක්‍ෂිත ආයෝජනය ඩොලර් බිලියන පහකි.

"....ඉන්දියාවේ හැඟීම් හා මතයන්ට ගරු කරමින් තෙවැනි පාර්ශ්වයේ ගනුදෙනුකරුවන් සමඟ කටයුතු කරන ලෙස ඉන්දියාවේ වොෂින්ටන් තානාපතිවරයා ඇමසෝන් සමාගමට අවවාද කළ යුතුයි...."

ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක විකස්‌ ස්‌වරා- පවසයි.

කවුරුන් කළ ද මෙවැනි අපහාසාත්මක වාණිජ කටයුතු පෙරට වඩා වේගයෙන් වර්ධනය වන බව නම් පෙනෙන්නට තිබේ.

වසන්ත වික්‍රමරත්න
(App)

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.