ඕනෑම දරුණු රෝගියකු  සුවපත් කරන
මෙත් සිසිල බෙදන වාහල්කඩ ඉසිවර අරණ

තරංග රත්නවීර
ප්‍රසන්න සිල්වා

ප්‍රතිකාර කරන්නේ සත් පත්තිනි මෑණියන්ගේ වරමකින්...
පින්බිමෙහි තුන්වේලටම කෑම බීම වරදින්නේ නැත
සුවපත් වන අය ජීවිත කාලයටම මස්‌ මාංශ කෑම අතහරිති
නිතරම රෝගීහු හාරසියයක්‌, පන්සියයක්‌ රැඳී සිටිති
බටහිර වෛද්‍යවරුත් ප්‍රතිකාර ලබා ගන්න පැමිණ සිටිති
ජාති බේද ආගම් බේද නැත සියලු ජාතීහු ප්‍රතිකාර ලබති

අපි තුෂ්ණිම්භූතව බලා හිඳිමු. ඇස ගැටෙන සෑම තැනම කූඩාරම්ය. ඉටි රෙදි, ටෙන්ට්‌ රෙදිවලින් ආවරණය වූ කූඩාරම්ය. ඒ ආසන්නයේ සේම පූජා භූමිය පුරා දහස්‌ සංඛ්‍යාත මිනිස්‌සු ඔබ මොබ ඇවිදින්නාහ. ඔවුන් අතර කෙනෙකුගේ වාරුවෙන්, අත්වාරු, රෝද පුටුවලින්, සැරයටියෙන් ඇවිද යන අය ද බොහෝය. එම පූජා භූමියේ කූඩාරම්වල සිටින සියලුම දෙනා මොනයම් හෝ රෝගයකින් පීඩා විඳින රෝගීන්ය. ඒ සෑම දෙනාම මේ පින්බිමේ කූඩාරමක නතර වී සිටින්නේ තම රෝගය සුවපත් කරගැනීම පිණිසය.

හරි හැටි පාරක්‌ තොටක්‌ නැති දූවිලි වලාවෙන් වැසුණු මඟ ගෙවාගෙන හොරොව්පොතන, වාහල්කඩ මංගලාරාම විහාරයට මෙරට සතර දෙසින් මිනිසුන් ඇදී එන්නේ ලෙඩ, දුක්‌ පීඩාවලට සුවසෙත බලාපොරොත්තුවෙන් මංගලාරාම විහාරාධිපති හිමිපාණන්ගෙන් ප්‍රතිකාර ලබාගැනීමටය. ලෙඩ දුක්‌ සුවපත්වීමේ ප්‍රාර්ථනාවෙන් මේ පින්බිමේ නවාතැන් ගෙන ප්‍රතිකාර ලබාගත් කිසිදු කෙනෙකු නැවත ලෙඩෙක්‌ ලෙස පිටමං වී නැත. සියලුම දෙනා නිරෝගීමත්ව සිත සතොසින් නික්‌ම ගිය බව විහාරාධිපතින් වහන්සේ අප සමඟ පැවසූහ. එහෙත් නම, ඡායාරූප පළ කරනවාට විහාරාධිපතින් වහන්සේ අකැමැති වූහ. එහෙයින් උන්වහන්සේ කියන කතාව පමණක්‌ සටහන් කර තැබීමට අපි වගබලා ගත්තෙමු.

''මෙතැන වෙදකම් කරන්නේ සත්පත්තිනි මෑණියන්ගේ දේව වරමකින්. මුලින්ම බුලත් කොළ නවයක්‌ තියලා ශරීරයේ තියෙන රෝග, ගේ දොර ප්‍රශ්න ගැන මෑණියන්ගෙන් අහන්න ඕනා. ඊට පස්‌සේ ශරීරයේ තියෙන රෝගය සුවපත් කරන්න පුළුවන්ද? නැද්ද? කියලා තීරණය කරන්නේ පත්තිනි මෑණියන්. රෝගීන්ට දෙන බෙහෙත් නියම කරන්නෙත් පත්තිනි මෑණියන්. හොඳ කරන්න පුළුවන් කියන හැම රෝගියෙක්‌ම සුවපත් කරලා තියෙනවා. ආගම් බේද, ජාති බේද මෙතැන නෑ. අසරණ වෙලා මෙතැනට එන ඕනෑම කෙනෙකුට පිහිට වෙනවා. ජීවිත කාලයටම බුද්ධ රූපයකට වැන්දේ නැති අන්‍ය ආගමිකයන් මේ පූජා භූමියේදී වැඳුම් පිදුම් කරනවා. බෝධි පූජාවලට සම්මාදම් වෙනවා. වෛද්‍යවරු, දේශපාලනඥයෝ, නීතිඥයෝ හැම තරාතිරමකම අය මෙතැනට ඇවිත් වෙදකම් කරගෙන ගිහින් තියෙනවා. දැනටත් ප්‍රසිද්ධ දේශපාලනඥයෙක්‌ පිළිකාවකට ප්‍රතිකාර ගන්න ඇවිත් මේ ස්‌ථානයේ නතර වෙලා ඉන්නවා. කැලණිය හෙලේනා විජයවර්ධන විද්‍යාලයේ විදුහල්පතිනිය ප්‍රතිකාර ගන්න නතර වෙලා ඉන්නවා. ප්‍රාදේශීය ලේකම්තුමියක්‌ නතර වෙලා ප්‍රතිකාර ගන්නවා. වෛද්‍යවරු තුන්දෙනෙක්‌ ප්‍රතිකාර ගන්නවා. මෙතැනට ආවට පස්‌සේ උස්‌, මිටි තරාතිරම් නෑ. හැමෝම මෙතැන පිළිවෙත්වලට ගරු කරගෙන නතර වෙලා බෙහෙත් කර ගන්න ඕනා. එහෙම බැරි අයට මෙතැනින් වෙදකම් ගන්න බෑ. රෝගය නිට්‌ටාවටම සුවපත් වෙනකම් පන්සලේ නතර වෙලා ඉන්න ඕනා. හැමදාම හවසට බෝධි පූජාවට සම්මාදම් වෙන්න ඕනා. මෙතැන නතර වෙන්න ආපු දවසේ ඉඳලා පිලී ජාති කන්න බෑ. තමන්ගේ අභිමතය පරිදි උයා පිහාගෙන කන්න පුළුවන්. එහෙම කරන්න අපහසු අයට පන්සලේ දානය ගන්න පුළුවන්. මෙතැනට දානය වරදින්නෙ නෑ. තුන්වේලටම දානපතියෙක්‌, සමිති සමාගමක්‌ ඉදිරිපත් වෙලා දානය දෙනවා. දෙදාහක්‌, තුන්දාහක්‌ හිටියත් තුන් වේලටම දානය දෙනවා. අර පහළ තියෙන්නේ දානය උයන, පිහින තැන...''

මගේ දෙනෙත් ආවාස ගෙයි ජනෙල් කවුළු තුළින් පහළට දිව ගියේය. තරමක්‌ විශාල ටකරන් මඩුවකි. තැනක ඇවිළෙන ලිප් මත විශාල වෑංජන ඇතිලි රත් වේ. තව තැනක එළවළු, පළා වර්ග සුද්ධ පවිත්‍ර කරන තරුණයන් කිහිප දෙනෙකි. විවිධ වැඩ කොටස්‌හි නිරත දහ පහළොස්‌ දෙනෙක්‌ ලහි, ලහියේ දානය සූදානම් කරමින් සිටිති. මගේ දෙනෙත් මුළුතැන්ගෙයි අහු මුළු නෑර දිව ගියේය.

''මෙතැනට දානය දෙනවා කියන එකත් ලේසී පහසු නෑ. හැමදාම නතර වෙලා ඉන්න රෝගීන් විතරක්‌ හාර පන්සියයකට වැඩියි. ඔවුන් බලා කියාගන්න අයයි, මෙතැන වැඩට ඉන්න අයයි සේරම හත්අටසීයක්‌ විතර ඇති. වෙදකම් ගන්න රෝගීන්ට උවටැන් කරන්න විශ්වවිද්‍යාල දරු, දැරියන් ඇවිත් ඉන්නවා. ඒ සියලු දෙනාටම දානය දෙනවා...'' නැවත මම විහාරාධිපති හිමියන්ගේ කතාවට සවන් යොමු කළෙමි.

''දැන් මම බෙහෙත් කරන්න පටන්ගෙන අවුරුදු හතරක්‌ විතර වෙනවා. පිළිකා රෝගය, වකුගඩු රෝගය, දියවැඩියාව, ඇදුම, පීනස, මොළේ ගෙඩි, හදවතේ නහර හීන් වෙච්ච රෝගීන් නිට්‌ටාවටම හොඳ කරලා තියෙනවා. කතා කරන්න බැරිව හිටිය අයට කතා කරන්න පුළුවන් වෙලා තියෙනවා. මැරෙන්න ආසන්නව හිටපු රෝගීන් මෙතැනට ගෙනත් නිට්‌ටාවටම සුවපත් කරගෙන ගිහිල්ලා තියෙනවා. වෙදකම් කරගෙන ලෙඩ හොඳ වෙලා ගිය කෝටිපති ව්‍යාපාරිකයෝ මට කෝටි ගණන් වටිනා වාහන දෙන්න හැදුවා. තෑගි බෝග දෙන්න හැදුවා. ඒ කිසිම දෙයක්‌ මම ගත්තේ නෑ. මට ඕන නෑ. අඩුම තරමින් මේ පන්සලේ කිසිම තැනක පින් පෙට්‌ටියක්‌වත් තියලා නෑ. වෙදකම් කරන්නේ සල්ලි, තෑගි බෝග බලාපොරොත්තුවෙන් නෙමෙයි. මේක දේව කාර්යයක්‌. මේ රෝගීන්ට ඉන්න ගොඩනැඟිල්ලක්‌ දාන වේලක්‌, පිරිසිදු වතුර ටිකක්‌ දෙන්න කවුරුහරි ඉදිරිපත් වුණොත් ඒකට මගේ විරුද්ධත්වයක්‌ නෑ. ඒ හැරෙන්න මට කිසිම දෙයක්‌ ඕන නෑ. දාන වේල ලැබෙනවා ඒ හොඳටම ප්‍රමාණවත්...''

''අවුරුදු තිස්‌ හයක්‌ වැනි තරුණ භික්‍ෂූන් වහන්සේනමකගේ මුවින් එවැනි වචන ඇසීම ද සතුට දනවන්නකි. රටේ ඇතැම් විහාරස්‌ථානවල විහාරාධිපතිහිමිවරු, සෙසු හිමිවරු මුදල් හම්බ කිරීමට කරන සටකපටකම් දකින විට වාහල්කඩ මංගලාරාම විහාරාධිපති ජාතියේ පිනට පහළ වූ ස්‌වාමීන්වහන්සේ නමකි. එමෙන්ම වාහල්කඩ මංගලාරාම විහාරය ද විසල් මන්දිරවලින් පිරුණු මුදල් ගලන පන්සලක්‌ නොවේ. නොදියුණු වාහල්කඩ ගමේ දුප්පත් පන්සලකි. විහාරාධිපති හිමියන්ට වැඩ වාසය කිරීමට හරි හැටි ආවාස ගෙයක්‌ ද නැත. තියෙන පුංචි ආවාස ගෙය ද දැන් වෛද්‍ය මධ්‍යස්‌ථානයක්‌ බවට පත් වී ඇත. බෝධිය සමීපයේ ද කූඩාරම්වල රෝගීහු නවාතැන් ගෙන සිටිති. විහාරස්‌ථාන භූමියේ ඉහළ කඳු ගැටයක්‌ මත ඉදිවී තිබෙන චෛත්‍ය රාජයාණන් වහන්සේ වාහල්කඩ ජනපදයට ආශිර්වාදයකි...''

''ඔය චෛත්‍යය හදලා දුන්නේ කොළඹ මහත්මයෙක්‌. සම්පූර්ණ වියදම ඒ මහත්තයාගේ. බොහෝම හාස්‌කම් තියෙන චෛත්‍යයක්‌. කෙම්මුර දවස්‌වලට රතු පාට විශාල එළි චෛත්‍යයට පාත් වෙනවා ගමේ මිනිස්‌සු ඕන තරම් දැකලා මට ඇවිත් කියනවා. මම ඒ දේවල් දන්නවා. දැකලා තියෙනවා. දේව වරම ලැබුණට පස්‌සෙ මගේ ඇඟට මෑණියන් එනකොට මුලින්ම රතු පාට එළිය එන්නේ කන්ද උඩ චෛත්‍යයට. ඊට පස්‌සේ අර පේන පුංචි බෝගහට. එතැනින් තමයි මගේ ඇඟට ඇතුළු වෙන්නෙ...''

විහාරාධිපතින් වහන්සේ පුංචි බෝ පැළයක්‌ දෙසට අත දිගු කළහ. ඒ සමඟ මගේ දෙනෙත් පුංචි බෝ පැළය අසල නතර විය. මහ බෝ රුක්‌ෂයට අමතරව ආවාස ගෙයට සමීප ස්‌ථානයක වැඩෙමින් තිබෙන පුංචි බෝ පැළයකි.

''ඊයේ උදේ චෛත්‍යය ළඟ පුදුම හිතෙන වැඩක්‌ වෙලා තිබුණා. සිල් සමාදන් වෙච්ච උපාසක අම්මලා දෙන්නෙක්‌ උදේ පාන්දර ගිහින් චෛත්‍යයට මල් පූජා කරලා. එක අම්මා කෙනෙක්‌ සුදු මල් වට්‌ටියක්‌ පූජා කරලා. අනිත් අම්මා නිල් මල් වට්‌ටියක්‌ පූජා කරලා. සුදු මල් වට්‌ටිය පූජා කරලා අනිත් පැත්ත බලලා නැවත මල් ආසනය දිහා බලනකොට මල් වට්‌ටිය පේන්න තිබිලා නෑ. නිල් මල් වට්‌ටියේ මල් නිකම්ම උඩ යනවා දැකලා. ඒ අම්මලා දොහොත් මුදුන් තබාගෙන සාදු නාද දෙන හඬ ඇහිලා පහළ හිටිය කිහිපදෙනෙකුත් චෛත්‍යය ළඟට ගිහින් තිබුණා. නිල් මල් වට්‌ටියේ මල් උඩ යනවා, ඒ අයත් දැකලා තිබුණා. තව දවසක්‌ ප්‍රතිකාර ගන්න ඇවිත් මා ළඟ හිටපු කෙනෙක්‌ එක පාරටම බය වෙලා වගේ අන්න... අන්න... කිව්වා. බෝ පැළේට රතු පාට විශාල එළියක්‌ පාත් වෙලා. එදා ඒ එළිය මේ භූමියේ හිටිය කිහිපදෙනෙක්‌ම දැකලා තිබුණා...''

''පත්තිනි මෑණියො බොහෝම බලසම්පන්න දෙවඟනක්‌. දේව මණ්‌ඩලයක්‌ එක්‌ක තමයි මෑණියන් ගමන් කරන්නේ. ඒ වගේම මෑණියන් කියන පිළිවෙත් අකුරටම පිළිපදින්න ඕනා. එහෙම හිටියේ නැති නම් ලෙඩ හොඳ වෙන්නෙ නෑ. මෙතැනට එන්න ඉස්‌සරවෙලා ඉඳලා මස්‌ මාංශවලින් වැළකිලා හිටියා නම් මෙතැනදී බොහෝම ඉක්‌මනට ලෙඩ දුක්‌ හොඳ වෙනවා. ඒ වගේම මෙතැනින් සුවපත් වෙලා යන අයගෙන් ගොඩක්‌ දෙනෙක්‌ නැවත පිලීS ජාති කන්නේ නෑ. ඒක මම අත්දැකීමෙන් කියනවා. දැනටත් මෙතැන පන්සියකට වැඩි පිරිසක්‌ ප්‍රතිකාර ගන්නවා. මහත්තේලා ඒ මිනිස්‌සුත් එක්‌ක කතා කරන්න. මෙතැන මොකක්‌ද වෙන්නෙ කියලා ඒ මිනිස්‌සුන්ගෙන් අහන්න. හැම තරාතිරමකම, විවිධ ජාතීන් මෙතැන ප්‍රතිකාර ගන්නවා. ඒ මිනිස්‌සු එක්‌ක කතා කළාම මේ පූජා භූමියේ ඇති ශක්‌තිය මහත්තේලාට තේරුම් ගන්න පුළුවන් වෙයි...'' විහාරාධිපතින් වහන්සේ කතා කරන වචන දැඩි විශ්වාසයෙන් යුක්‌තය.

තේරෙන වයසේ සිට මස්‌ මාංශ අනුභවයෙන් වැළකී සිටින උන්වහන්සේ පැවිදි භික්‍ෂුවකගේ සීලය අකුරටම පිළිපදින බව කුඩා සාමණේaර වයසේ සිට උන්වහන්සේ දැනහඳුනන ප්‍රදේශවාසීහු අප සමඟ පැවසූහ. මේ ඝෝර කටුක සංසාරේ බිය දැක මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීමේ අදිටනින් සාමණේaර වයසේ සිටම උන්වහන්සේ සීලය උතුම් කොට සැලකූ බව ප්‍රදේශවාසීන්ගේ අදහසය. උන්වහන්සේගේ වචනවලින් ද ඒ ගැන කියෑවේ. මේ සිල්වත් බව නිසාම සත්පත්තිනි මෑණියන් උන්වහන්සේට මිනිසුන්ගේ ලෙඩ සුවපත් කිරීමට දේව වරමක්‌ ලබා දී ඇතැයි ප්‍රදේශවාසීන්ගේ විශ්වාසයයි.

පත්තිනි දෙවියන් හෙවත් පත්තිනි මෑණියන් ඉන්දියානු සම්භවයක්‌ සහිත දේවාත්මයකි. වසංගත රෝග නිමා කිරීමට ද අමනුෂ්‍ය උවදුරු දුරු කිරීමට ද, වැසි ලබාදී රටට සශ්‍රීකත්වය ළඟා කරදීමට ද පත්තිනි මෑණියන් තුළ තිබූ මහානුභාව සම්පන්න ගුණය හේතුවෙන් දෙවඟනක්‌ ලෙස ඇදහීමට පාත්‍රව ඇති බව පැරැණි පුරාවෘතවල කියෑවේ. විශේෂයෙන්ම අම්මාවරුන්ගේ අසනීප හෙවත් සරම්ප, පැපොල, කම්මුල්ගාය, වසූරිය වැනි බෝවන රෝග වැළඳුණු විට පත්තිනි මෑණියන්ට බාර හාර වීම අතීතයේ සිට පැවත එන දේව විශ්වාසයකි. රෝගය සුවපත් වූ පසු පත්තිනි මෑණියන් සංකේතවත් කර කිරිඅම්මාවරු සත්දෙනකු කැඳවා කිරි දානය පූජා කර ඇපයෙන් නිදහස්‌ වී නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම අප සමාජයේ පැවත එන පිළිවෙතකි. රටේ මිනිසුන් මොනයම් හෝ රෝගයකින් පීඩා විඳින මෙවැනි කාලයක සත් පත්තිනි මෑණියන්ගේ ප්‍රාතිහාර්ය බලමහිමයෙන් හෝ මිනිසුන්ට සහනයක්‌ ලැබේ නම් එය රටට ද සුව සහනයකි.

එවැනි පහන් සිතිවිලිවලින් සිත පුරවාගෙන අපි ඒ පින්බිමේ ඇති කූඩාරමක්‌ ගානේ ඇවිද ගොස්‌ රෝගීන් සමඟ කතා බහ කළෙමු. ඒ රෝගීන් අපට කියූ කතා ගැන මෙන්ම මේ පින්බිමේ හාස්‌කම් ගැන මෙතැන් සිට ඉදිරි දිනවල ඔබ වෙත ගෙන එන්නෙමු.

මතු සම්බන්ධයි...
විශේෂ ස්‌තූතිය කැබිතිගොල්ලෑව මහිපාල සේනානායක මහතාට.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.