දිනපතා යූ ඇන් පී පත්‍රය
මංනෝමන්

"භක්‌තිය" පත්‍රය විකුණා උපයාගත් රුපියල් විසිපහක මුදල රැගෙන මම එදින සවස රඹුක්‌කන දුම්රියෙන් මගේ දිප්පිටිගොඩ ගෙදරට ගියෙමි.

සිරිමා සභාග රජය සමයේ පැවැතුණු හාල් ප්‍රශ්නය නිසා එදා රාත්‍රී කෑමට සිදු වූයේ තැම්බූ කොස්‌ සහ කිරි හොදිය. අප පමණක්‌ නොව එම අවධියේදී බොහෝ පවුල් හාල් තහනම නිසා අල බතල, මුං ඇට, මයියොක්‌කා වැනි දැ කෑමට පුරුදු වූහ.

රඹුක්‌කන සිට කලින් දවසක ගෙනා හාල් සේරු තුන පොලිසියට හසුවීමෙන් පසු හාල් ගෙන ඒම මම නතර කර දැමුවෙමි. (මෙම අතීතය පැරණි බොහෝ දෙනෙකුට අමතක වී නැත.)

හාල්, මිරිස්‌, වැනි කෑම සඳහා පමණක්‌ නොව "ඩිමයි" කඩදාසි හිඟය ඉතා තදින්ම බලපා තිබීම නිසා දවස පත්තරය මගින් එදා රජය තදින්ම විවේචනය කළේය.

ලේක්‌හවුසියේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ධර්මසිරි ජයකොඩි මහතා මෙම ප්‍රශ්නය මැද්දේ එදා රජය වෙනුවෙන් රජයේ වගා ව්‍යාපාරය පැසසුමට ලක්‌ කරමින් ලේක්‌හවුස්‌ පත්‍ර මගින් දැවැන්ත ප්‍රචාරක වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කළේය.

මේ පිළිබඳව ප්‍රාදේශීය වාර්තාකරුවෝ ලේක්‌හවුසියට කැඳවා උපදෙස්‌ දුන්නේය.

රජයට එරෙහිව උද්ඝෝෂණ

එදා රජයට එරෙහිව උද්ඝෝෂණ නිසා තමන්ගේ පළාත්වල සිදුවෙන දෑ පිළිබඳව සෙවිල්ලෙන් සිටින ලෙස ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ව දැනුවත් කිරීමට ධර්මසිරි ජයකොඩි මහතා උපදෙස්‌ දුන්නේය.

මේ අතරතුරේදී සීවලී මුද්‍රණාලය තුළ සේවක ප්‍රශ්නයක්‌ මත තවදුරටත් භක්‌තිය පත්‍රය එහි පළ කළ නොහැකි තත්ත්වයක්‌ මට පැණනැගුණි.

ඉන්පසු මගේ "භක්‌තිය" පත්‍රය මුද්‍රණය කළේ ලංකා සම සමාජ පක්‍ෂයේ ජනදින පත්‍රය මුද්‍රණය කළ ස්‌ටාර් මුද්‍රණාලයේය. එම මුද්‍රණාලය පිහිටියේ මරදානේ ජයන්ත වීරසේකර මාවතේය. එවකට මුදල් ඇමැති ඇන්. ඇම්. පෙරේරා මහතා නිසා කඩදාසි ප්‍රශ්න ස්‌ටාර් මුද්‍රණාලයට බලපෑවේ නැත.

ජනදින පත්‍රයේ එවකට සේවය කළ මගේ පත්‍ර මිත්‍රයෙක්‌ ජනදින පත්‍රයේ සේයා තහඩු ලබාදෙමින් මට විශාල ලෙස උදව් කළේය.

ස්‌ටාර් මුද්‍රණාලයේ 'භක්‌තිය' පත්‍රය මුද්‍රණය කළේ දෙපාරකි. එහි වැඩ අධික වීම නිසා ඔවුන්ට පත්‍රය මට ලබාදීමට අසීරු වී තිබුණි.

මෙම තත්ත්වය මැද භක්‌තිය මුද්‍රණය කිරීමට මට සිදුවූයේ එදා එජාපයේ ප්‍රබලයෙකු වූ ජිනදාස නියතපාල මහතාගේ ග්‍රෑන්ඩ්පාස්‌ මුද්‍රණාලයේය.

එහි කළමනාකරු වූයේ පියදාස මහතාය. ඔහු ඉතා කාරුණික පුද්ගලයකු විය.

මෙම මුද්‍රණාලයේ එක්‌සත් ජාතික පක්‍ෂය මගින් එදා 'දිනපතා' නමින් පත්තරයක්‌ බිහි කළේය. මෙහි කර්තෘ මණ්‌ඩලයේ සිටියේ චින්තාමනී මොහොට්‌ටි, ආරියසේන හඳුවල, ආරියරත්න විතානාච්චිය. (හඳුවල කෝපිකඩේ ටෙලි නාට්‍ය ග්‍රාමසේවකයාය.) "දිනපතා" පත්‍රයට කඩදාසි ප්‍රශ්නය ඉතා තදින්ම බලපෑවේය. එදා රජය මෙම පත්‍රයත් සමඟ තිබුණේ වෛරයකි.

මගේ භක්‌තිය පත්‍රය සඳහා කඩදාසි රිම් 20 ක්‌ ලැබීම පිළිබඳව මුද්‍රණාලයේ පියදාස මහතා ඉතාමත් සතුටු වූයේ එම කඩදාසි රිම් 20 න් දිනපතා පත්‍රයත් මුද්‍රණය කිරීමට හැකිවන නිසාය.

'දිනපතා' පත්‍රයේ ප්‍රධාන කර්තෘවරයා එදා මට මුලින්ම දැනගැනීමට ලැබුණි. පත්තර කලාව කරන ආකාරය එම කර්තෘවරයා 'දිනපතා' පත්‍රයේ කර්තෘ මණ්‌ඩලයට උපදෙස්‌ දෙන ආකාරයට මමද සවන් දුන්නෙමි. තරමක්‌ උස නිතරම ප්‍රියමනාපෙන් පසුවන මෙම ප්‍රධාන කර්තෘවරයා කවුරුදැයි මම චින්තාමනී මොහොට්‌ටි මහතාගෙන් විමසුවෙමි.

එඩ්මන් රණසිංහ මහත්මයා

මේ මහත්මයා තමයි එඩ්මන් රණසිංහ කියන්නේ. ඉන්න මම ඔයාට රණසිංහ මහත්තයාව හඳුන්වලා දෙන්න යෑයි කියමින් මොහොට්‌ටි මහතා මාව රණසිංහ මහතාට හඳුන්වා දුන්නේය.

රණසිංහ මහත්මයා මෙයා භක්‌තිය පත්‍රය තනියම කරලා විකුණන්නේ මෙයාමයි. දැන්වීම් හොයන්නෙත් මෙයාමයි. කියමින් මගේ නම සඳහන් කර මොහොට්‌ටි මහතා රණසිංහ මහතාට එසේ මාව හඳුන්වා දුන්නේය.

රණසිංහ මහතා උපැස්‌ යුවළ ගලවා සිනාසුණේය. මෙයා මාර බඩුවක්‌ කියමින් මගේ පිටට තට්‌ටු කළේය. ආරියසේන හඳුවලත් ඒ අසල සිටියේය.

එඩ්මන් රණසිංහ මහත්මයා වැනි සුවිශේෂ කර්තෘවරයකු මට දැන හැඳින ගැනීමට ලැබීම ගැන මම විශාල වශයෙන් සතුටු වුණෙමි.

හඳුවල.... ඕනෑවට වඩා හෑලි ලියන්න එපා. හැම දෙයක්‌ම කෙටියෙන් ලියන්න. මිනිස්‌සු එතකොටයි පත්තරය කියවන්නේ. රණසිංහ මහත්තයා හඳුවලට එසේ උපදෙස්‌ දෙන මොහොතේ මම ද එය හොඳින් සිහියට ගත්තෙමි. පත්‍රය පිටුවක්‌ පිරෙන්න ලියනවා නම් ලිපියේ කොටස්‌ කිහිපයකට තැනින් තැන සබ් හෙඩින් (උප සිරස්‌තල) දැමිය යුතු බව ද 'දිනපතා' පත්‍රයෙන් මම මුලින්ම ඉගෙන ගත්තෙමි. 'ප්‍රවෘත්තියක්‌ෆ්ලෝ කරන්න ඕනෑ' යෑයි තවත් දිනක්‌ මම එසේ 'දිනපතා' පත්‍රයෙන් දැනගත්නේ මගේ භක්‌තිය" පත්‍රය මුද්‍රණය කරගෙන යද්දීය.

(ඉතිරි කොටස ලබන සතියේ)

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.