කුරහන් සාටකයට ආදරයෙන්
නිදහස්‌ දා ලංකාවට එන ජර්මන් රාජපක්‍ෂ
(බ්ල්ක්‌ හාට්‌මුට්‌)

අවුරුදු 12ක්‌ හැම නිදහස්‌ දිනයකම ලංකාවට ඇවිත්
මහින්ද රාජපක්‍ෂට ඉතාම ලෙන්ගතුයි
කුරහන් සාටකය මහන්නේ හබරාදුවෙන්


කොග්ගල වෙරළ තීරය වූ කලී විදේශීය සංචාරකයන්ගේ නෙත් සිත් පැහැර ගන්නා සුන්දර වෙරළ තීරයකි. කොග්ගල කලපුව, මඩොල්දූව, මෙන්ම එහි තවමත් දක්‌නට ඇති ගැමි පරිසරයට විදේශිකයන් වශීවී ඇත්තාහ. මේ නිසාවෙන් මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් කොග්ගල සුන්දරත්වය මෙන්ම එහි පහස විඳදරා ගැනීමට පුරුදුව සිටිති.

බ්ල්ක්‌ හාට්‌මුට්‌ ජර්මන් ජාතිකයෙකි. හේ දැනට වසර දහය දොළහක පමණ කාලයක සිට මෙරටට පැමිණෙන්නේය. බ්ල්ක්‌ කටුනායක ගුවන්තොටුපළින් ගොඩබැස විගස පැමිණෙන්නේ කොග්ගලටය. කොග්ගල ලෝන්ඡ් බීච් හෝටලය ඔහුගේ නවාතැන් පළයි. බ්ල්ක්‌ ඇතැම් වර්ෂවල මෙරටට දෙවතාවක්‌ පැමිණෙයි. මේ වනවිට බ්ල්ක්‌ දහඅට වතාවක්‌ මෙරටට පැමිණ ඇත්තේය.

කොටින්ම කිවහොත් බ්ල්ක්‌ගේ දෙවැනි මහ ගෙදර මේ සුන්දර දිවයිනයි. බ්ල්ක්‌ කොග්ගල සුන්දරත්වයට හා එහි වෙරළ තීරයට දැඩි ලෙස ඇලුම් කරන්නේය. ඒ සුන්දරත්වය පමණක්‌ නොව මොහු මෙරටට පැමිණීමට තවත් එක්‌ විශේෂ හේතුවක්‌ ඇත්තේය.

බ්ල්ක්‌ අපේ රටට දැඩි ලෙස ආදරය කරන්නේය. අපේ රට සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස්‌ වීම ගැන බ්ල්ක්‌ තුළ පවතින්නේ දැඩි සතුටකි. මොන ප්‍රශ්න ගැටලු තිබුණ ද පෙබරවාරි මාසයේ බ්ල්ක්‌ අනිවාර්යයෙන්ම මේ දිවයිනට පැමිණෙන්නේය. ඒ වෙන කිසිවක්‌ නිසා නොව අපේ රටේ නිදහස්‌ දිනය සැමරීම සඳහාය. හේ දැනට වසර දොළහක සිට අපේ රටේ නිදහස්‌ දිනය සැමරීම සඳහා මේ රටට පැමිණෙන්නේය. නිදහස්‌ දිනය සැමරීම සඳහා බ්ල්ක්‌ මෙරටට පැමිණෙන්නේ තනියම නොවේ. ජර්මනියේ තම ඥාති පිරිවරත් සමඟය.

බ්ල්ක්‌ මෙවර 69 වැනි නිදහස්‌ දින උත්සවය සැමරීමට ජර්මනියේ සිට මෙරටට පැමිණියේ තම ඥාති පරම්පරාවේ දාහතර දෙනකු සමඟය. හේ සිංහල ජාතික ඇඳුමෙන් සැරසී කුරහන් සාඨකයක්‌ පැළඳ මහත් අභිමානයෙන් යුතුව නිදහස්‌ දිනය සමරන්නේය. ඒ කෝග්ගල බීච් හෝටලයේදීය.. බ්ල්ක්‌ හාට්‌මුට්‌ නිදහස්‌ දින උත්සවය සැමරීම සඳහා සෑම වර්ෂයකම මෙරටට පැමිණීමට පුරුදුව ඇත්තේය.

බ්ල්ක්‌ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා විසින් පළඳනු ලබන කුරහන් සාටකයට දැඩි ලෙස ඇලුම් කරන්නේය. ඔහු හිටපු ජනාධිපතිවරයා අනුකරණය කිරීමට දැඩි කැමැත්තක්‌ දක්‌වන්නෙකි. හිටපු ජනාධිපතිවරයා මෙන් කුරහන් සාටකය පැළඳ මොහු බීච් හෝටලයේ පැවැත්වෙන ජාතික නිදහස්‌ දින උත්සවය සමරන්නේ මහත් ගාම්භීරත්වයෙනි.

බ්ල්ක්‌ වෘත්තියෙන් විශ්‍රාමික ගුරුවරයෙකි. මීට අමතරව වසර 12 ක්‌ ජර්මන් හමුදාවේ සොල්දාදුවකු ලෙස ද ඔහු සේවය කොට ඇත්තේය. ඒ විතරක්‌ නොව බ්ල්ක්‌ දක්‌ෂ සූපවේදියෙකි. මීට අමතරව ජර්මනියේ විශ්වවිද්‍යාලයක හා හෝටල් පාසලක බ්ල්ක්‌ උගන්වා තිබේ. තිදරු පියකු වන බ්ල්ක්‌ගේ දැන් වයස අවුරුදු හැත්තැවකි. බ්ල්ක්‌ගේ බිරිඳ විශ්‍රාමික හෙදි නිලධාරිනියක වන අතර ඇය ද බ්ල්ක්‌ සමඟ නිදහස්‌ දින උත්සවය සැමරීමට මෙරටට පැමිණෙන්නීය. බ්ල්ක්‌ මුලින්ම මේ සුන්දර දිවයිනට පැමිණෙන්නේ 2004 වර්ෂයේ දීය. සුනාමි ෙ€දවාචකය වන විට බ්ල්ක්‌ මෙරටින් පිටව ගොස්‌ තිබිණි. එහෙත් ඔහු සුනාමියෙන් විපතට පත් මෙරට වැසියන්ට උදව් කිරීමට ද අමතක කළේ නැත.

ඉක්‌බිති බ්ල්ක්‌ යළි 2005 වර්ෂයේ දී මෙරටට පැමිණෙන්නේය. හේ පළමු වරට මෙරට නිදහස්‌ දින සැමරුම් උත්සවයකට සහභාගි වන්නේ එම වර්ෂයේ දීය. එම නිදහස්‌ දින සැමරුම් උත්සවය සංවිධානය කරනු ලබන්නේ කොග්ගල බීච් හෝටලය මගිනි. විදේශිකයන් 20 දෙනකු පමණ එදා එම නිදහස්‌ දින සැමරුම් උත්සවයට සහභාගි වූහ. එදා එම විදේශීය කණ්‌ඩායමේ නායකත්වය ගනු ලැබුවේ බ්ල්ක්‌ විසිනි. මොහු එදා අප රටේ නිදහස ගැන ජර්මන් බසින් කතාවක්‌ ද කළේය. බ්ල්ක්‌ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික නිදහස්‌ දින උත්සවය පැවැත්වෙන අයුරු රුපවාහිනියෙන් නැරඹුවේය.

හිටපු ජනාධිපතිවරයා පැළඳ සිටි කුරහන් සාටකයට බ්ල්ක්‌ගේ සිත තදින් ඇදී ගියේය. ඉන්පසු බ්ල්ක්‌ හෝටලයේ පවැති නිදහස්‌ දින සැමරුම් උත්සවයට සහභාගි වූයේ ජාතික ඇඳුමෙන් සැරසී කුරහන් සාටකය පැළඳගෙනය. ඒ විතරක්‌ නොව හිටපු ජනාධිපතිවරයා මෙන් මහත් අභිමානයෙන් හා ගාම්භීරත්වයෙන් යුතුව හේ නිදහස්‌ දින සැමරුම් උත්සවය අමතන්නේය. මේ අයුරින් බ්ල්ක්‌ නොකඩවා වසර 12 ක්‌ තිස්‌සේ මෙරට නිදහස්‌ දින උත්සවය සමරන්නේය. දෙවැනි ජනාධිපති යනුවෙන් හැඳින්වීමට බ්ල්ක්‌ දැඩි කැමැත්තක්‌ දක්‌වන්නේය.

බ්ල්ක්‌ කුරහන් සාටකය මසා ගත්තේ හබරාදුවේ ඇඳුම් මසන්නකුට කියාය. සෑම වර්ෂයකම බ්ල්ක්‌ වෙනුවෙන් ඇඳුම් මසන්නා විසින් කුරහක්‌ සාටකයක්‌ මසා දෙනු ලබන්නේය නිදහස්‌ සැමරුමට පළමුව. බ්ල්ක්‌ ජාතික ඇඳුමෙන් සැරසී කුරහන් සාටකය පැළඳ හෝටලය තුළ ඒ මේ අත ඇවිදින්නේ මහත් උජාරුවෙන් හා ආඩම්බරයෙනි. කොටින්ම කිවහොත් දැන් බ්ල්ක්‌ ගැන කොග්ගල නොදන්නා කෙනෙක්‌ නොමැති තරම්ය. ඒ තරමට බ්ල්ක්‌ කොග්ගල වැසියන් අතර ජනප්‍රිය චරිතයක්‌ වී ඇත්තේය. බ්ල්ක්‌ දුටුවිට කොග්ගල ඇත්තන් පවසන්නේ "ආ අර සාටකය පළඳින සුදු මහත්තයා ඇවිත් නේ මේ පාරත් නිදහස්‌ උත්සවය සමරන්න" මේ බ්ල්ක්‌ ගැන කොග්ගල වැසියන් කියන කතාවන්ය.

බ්ල්ක්‌ වෙනුවෙන් මේ කාලයේ දී කොග්ගල බීච් හෝටලයේ 603 වැනි කාමරය වෙන්කොට ඇත්තේය. බ්ල්ක්‌ මෙකී හෝටලයේ පිහිටි තමන්ට වෙන්වූ කාමරය වෙත පැමිණි විගස පළමුව කරනු ලබන්නේ අපේ රටේ ජාතික කොඩියක්‌ ඔහුගේ කාමරය ඉදිරියේ ඔසවා තැබීමයි. කුරහන් සාටකයට මෙන්ම අපේ රටේ ජාතික කොඩියට ද හේ දැඩි ලෙස ආදරය කරන්නේය. ඒ විතරක්‌ නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට ඔහු දැඩිව ඇලුම් කරන්නේය. නිදහස්‌ දින සැමරුම් උත්සවයේ දී හිටපු ජනාධිපතිවරයා මෙන් සැමරුම් උත්සවයේ දී කතා කිරීමට බ්ල්ක්‌ දැඩි කැමැත්තක්‌ දක්‌වන්නේය.

කොග්ගල බීච් හෝටලයේ දී බ්ල්ක්‌ අපට හමුවිය. හේ අපත් සමඟ කතාබහට වැටුණේය.

පෙබරවාරි 04 වැනිදා ලංකාවට වැදගත් දිනයක්‌. ඒ දිනයට ලංකාවට දෙවියන් වඩිනවා. එළිසෙබෙට්‌

රැජනගෙන් ලංකාව නිදහස්‌ වීම ගැන ගොඩක්‌ සතුටුයි. එළිසෙබෙට්‌ රැජනගෙන් දැන් ලංකාව බේරිලා තියෙනවා. ඒ ගැන මට ගොඩක්‌ සතුටුයි. ලංකාවේ මිනිස්‌සු හරි සුහදශීලී අය. මගේ දෙවැනි නිවහන තමයි ලංකාව.

මා හදවතින්ම ලංකාවේ නිදහස්‌ දිනය සමරනවා. ලංකාවේ ඉන්නේ කන්න නැති වුණත් හිනාවෙලා ඉන්න මිනිස්‌සු. ඒ අය බෝහෝම හොඳයි. මම ලෝකයේ වෙනත් රටවලත් සංචාරය කරලා තියෙනවා. නමුත් ලංකාවේ ඉන්නේ හිනාවෙලා ඉන්න මිනිස්‌සු. හිටපු ජනාධිපතිතුමාට මා කැමැතියි. නමුත් හේතුවක්‌ දන්නේ නැහැ. මා හිටපු ජනාධිපතිවරයාගේ ජාතික ඇඳුමට හා සාටකයට ගොඩක්‌ කැමති බව බ්ල්ක්‌ කියන්නේය.

හිටපු ජනාධිපතිවරයාට මෙතරම් කැමැතිවීමට හේතුව තමන්වත් නොදන්නා බව බ්ල්ක්‌ පවසන්නේය. බ්ල්ක්‌ පිරිසිදුකමට දැඩි කැමැත්තක්‌ දක්‌වන අයෙකි.

ඇත්තටම දැන් අධිවේගී මාර්ගයේ දෙපස නිසි අයුරින් නඩත්තුවන බවක්‌ පෙන්නේ නැහැ. ජරාවට ගිහින් වගේ දකිනවා. නමුත් මම ලංකාවට කැමතියි. මැරෙනකම් නිදහස්‌ දිනය සමරන්න ලංකාවට එනවා. මගේ වැඩිමහල් සහෝදරයා විවාහ වුණෙත් ලංකාවේදී. මා ජර්මනියේ අයට කියන්නේ විනෝදයක්‌ ගත කරන්න එනවානම් ලංකාවට එන්න කියලා. හිටපු ජනාධිපතිතුමා මම දැකලා තියෙනවා. නමුත් ඔහුත් සමඟ කතා කරන්න තවම බැරිවුණා. මේ හෝටලයේ ඉන්න විට හිටපු ජනාධිපතිවරයා එක්‌ වතාවක්‌ දැක්‌කා.

ගාලු වරායට කොටි ත්‍රස්‌තවාදීන් බෝම්බ ගහපු අවස්‌ථාවේත් මා නවාතැන්ගෙන හිටියේ මේ හෝටලයේ. ගුවන් යානයක්‌ උඩින් ගියා සියල්ල බලාගෙන ඒ නිසා භය වෙන්න හේතුවක්‌ තිබුණේ නැහැ. ලෝකයේ හැම තැනම යුද්ධ තිබුණා. යුද්ධය ඉවර වූ තැන තමයි හොඳම තැන. සියලු ජාතීන් එකට ජීවත් විය යුතුයි. මොකටද යුද්ධ කරන්නේ. කෝග්ගල ගමේ මිනිස්‌සු මා ගැන හොඳින් දන්නවා. හැමෝම හිනාවෙලා මාත් එක්‌ක කතා කරනවා. මා ආව ගමන් ගමේ අය හලෝ බ්ල්ක්‌ කියලා වට කරගන්නවා. මට කොග්ගල ආවා කියලා කියන්නේ ගෙදර ආවා වගේ තමයි. නමුත් ලංකාවෙන් යන දිනයට මට එය දරා ගන්න බැහැ. එය හරිම වේදනාත්මක සමුගැනීමක්‌ තමයි බ්ල්ක්‌ කීවේය.

තිසර හෝටල් සමූහ ව්‍යාපාරයේ සාමාන්‍යාධිකාරි ෂෙල්ටන් ප්‍රේමලාල් මහතා මෙසේ කීවේය.

"විදේශිකයන් දහපහළොස්‌ දෙනකුගෙන් තමයි නිදහස්‌ උත්සවය සැමරුවේ. නමුත් මේ වතාවේ ලෝකයේ විවිධ රටවල විදේශිකයන් 100 කට ආසන්න පිරිසක්‌ සහභාගි වුණා. නිදහස්‌ දිනය සැමරීමට. බ්ල්ක්‌ තමයි, එහි නායකත්වය ගන්නේ. මේ රටේ යුද්ධය, භීෂණය, සුනාමිය වැනි අවස්‌ථාවලදී බ්ල්ක්‌ ගොඩක්‌ කම්පා වුණා. යුද්ධයෙන් පසු. රට නිදහස්‌ වීම ගැන බ්ල්ක්‌ කැමැතියි. යුද්ධයෙන් පසු සංචාරක කර්මාන්තයේ විශාල වර්ධනයක්‌ තියෙනවා. බ්ල්ක්‌ගේ ප්‍රකාශවලින් එය පැහැදිලි වෙනවා. ඇත්තටම බ්ල්ක්‌ වගේ විදේශිකයකු අපේ රටේ නිදහස්‌ දිනය සැමරීම ගැන අප සතුටු විය යුතුයි. බ්ල්ක්‌ හරි කැමැතියි හිටපු ජනාධිපතිතුමා අනුකරණය කරන්න. එතුමාගේ පෞරුෂත්වයට කැමැතියි. ජර්මනියේ සංචාරකයන් ගොඩක්‌ මේ වතාවේ ආවා" යෑයි ෂෙල්ටන් මහතා කීවේය.

ගාල්ල ලලිත් චාමින්ද

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.