මොරගහකන්දේ වන සතුන්
මුදාගන්නා මෙහෙයුමට ගියෙමු


මොරගහකන්ද, මහවැලි සංවර්ධන ව්‍යාපාරයට එක්‌වූ නවතම ජලාශයයි. පංච මහ ජලාශයන්වන වික්‌ටෝරියා, රන්දෙණිගල, කොත්මලේ, මාදුරුඔය සහ මොරගහකන්ද යන ජලාශ ව්‍යාපෘති මීට දශක හතරකට වැඩි කාලයක සිට සැලසුම්කර තිබුණද, මොරගහකන්ද ජලාශ සිහිනය සාක්‍ෂාත් කර වන්නේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසිනි සමයේදීය. එතුමන්ගේ සිහිනයක්‌ පරිදි මොරගහකන්ද (සහ කළුගඟ) ජලාශ යෝජනා ක්‍රම ක්‍රියාවට නංවා, මාතලේ පොළොන්නරුව, අනුරාධපුරය, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කවල ජල හිඟයෙන් පීඩා විඳින ජනතාවටත්, විශේෂයෙන්ම වකුගඩු රෝගය පැතිර යන රජරට ප්‍රදේශයට පානීය ජල අවශ්‍යතා සුපරාලීම සහ හෙක්‌ටයාර් 82,000 ක වගාබිම් අස්‌වැද්දීම අරමුණුකරගනිමින් ජල රක්‍ෂිතයක්‌ ඇතිකිරීම මොරගහකන්ද (සහ කළු ගඟ) ජලාශය තැනීමේ එතුමන්ගේ අභිලාෂයයි.

ඒ අනුව අක්‌කර අඩි හාර ලක්‍ෂ හතලිස්‌ දහසක ධාරිතාවයකින් යුත් මොරගහකන්ද, අක්‌කර අඩි දෙලක්‍ෂ විසිදහසකින් යුත් කළුගඟ ජලාශයත් දැන් ලහි ලහියේ නිමවෙමින් පවතී. ගොඩනැගෙන මොරකහකන්ද ජලාශයේ දියවර රැඳවීමේ මංගල්ලය ඉකුත්දා සිදු කෙරුණු අතර දැන් ජලාශයට ජලය පිරවීමේ කටයුතු සිදුකරගෙන යනු ලබයි. ඒ අනුව මේ වන විට අක්‌කර අඩි 60,000 ක්‌ පමණ දක්‌වා මොරගහකන්ද ජලාශයේ ජල ධාරිතාව ඉහළ ගොස්‌ තිබේ.

මොරගහකන්ද තැනෙන්නේ අඹන්ගඟ හරස්‌ කිරීමෙනි. එමෙන්ම කළුගඟ ජලාශය තැනේනනේ ඊට කිලෝමීටර් 30-40 ක්‌ ඈතින් පිහිටි, දුම්බර කඳුවැටියේ කළුපහනින් ආරම්භවන කළුගඟ ලග්ගල පල්ලේගම නගරාසන්නයේදී හරස්‌ කිරීමෙනි. මොරගහකන්ද ජලාශය පැරැණි නාඋල - ඇලහැර මාර්ගයේ 12 වැනි සැතපුමේදී නොහොත් 12 වැනි කණුවේදී මෙසේ හරස්‌ කර මොරගහකන්ද ජලාශය තැනුවද, එම ජලාශයට දියවර ගෙන එන අඹන් ගංගාවද සෘජුව පෝෂණය ලබන්නේ දුම්බර දියවරෙනි.

එනම්, අඹන් ගංගාව ලෙස මෙසේ නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේදී හරස්‌ කෙරෙන්නේද ඉදිවූ ජලාශයේ ඉහත්තාවෙන් ඈතින් දර්ශනය වන දුම්බර කඳුයායෙන් පටන්ගන්නා ජලාධාරාවලින් පෝෂණය ලබන තවත් එක්‌ ජල දහරාවක්‌ ලෙසිනි. අඹන් ගංගාව මොරගහකන්දට ප්‍රථම බෝවතැන්න ප්‍රදේශයේදී හරස්‌කර බෝවතැන්න ජලාශය නිර්මාණය කරයි. බෝවතැන්නෙන් එපිටට මේ අඹන් ගංගාව හඳුන්වන්නේ සුදු ගඟ නමිනි. සුදුගඟ දිගේ උකුවෙල දක්‌වා ඉහළට ගමන් කරන විට උකුවෙල ජල විදුලි බලාගාරය හමුවේ. ඒ පොල්ගොල්ලේ (කටුගස්‌තොටට නුදුරු) සිට නිකුත්කරන ජලය භාවිතයට ගෙන සුදු ගඟේ ඉදිකරන බලාගාරයෙනි. එනම්, මහවැලි ගංගාවේ සිට පොල්ගොල්ල දක්‌වා දියවර ගෙනවිත් එතනින් මුදාහැරෙන දියවර උකුවෙල, බෝවතැන්න ඔස්‌සේ මෙසේ මොරගහකන්දට පැමිණ එහි ජලාශයේ රඳවා ඉන්පසු එම දියවර උතුරුමැද හා ත්‍රිකුණාමලය, වයඹ යන කලාප පෝෂණයට යොදා ගැනීම සිදුවේ.

මීට පෙර අඹන් ගංගාවේ ජලය බෝවතැන්නට පසු භාවිතයට ගනු ලැබුවේ මොරගහකන්දට නුදුරු ඇලහැර අමුණේදී ගිරිතලේ මින්නේරි යෝධ ඇළටත්, ඉන්පසු අඟමැඩිල්ලේ අමුණේදී ජයගඟ තනවා පරාක්‍රම සමුද්‍රයටත් ලෙසය.

එසේ දියවර රැගෙන යන අඹන් ගංගාව වස්‌ගමුව ජාතික උද්‍යාන මායිමේදී (බකමූණ කිරිඔය) අතර ඊට පෙර කළුගඟ- හා එක්‌විය. ඉන්පසු කිරිඔය සහ කළුගඟ යන ජලධාරවද එකතු කරමින් මෙසේ ගලාගිය අඹන්ගංගාව අංඟමැඩිල්ල හසුකර මනම්පිටිය ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ තුන්මෝදරදී මහවැලි ගංගාව හා එක්‌වූයේ මහවැලි ගංගාවේ ප්‍රධාන අතුගංගාවක්‌ ලෙසිනි.

අප මේ කතා කළේ අඹන් ගංගාවේ දියවර මහවැලිය දක්‌වා ගිය ගමනය එනමුත්, සුදු ගංගාව ලෙස එය පෝෂණය ලබන්නේද, මාතලේ පාවුළු කඳුවලින් ගලාඑන ජලධාරා මගිනි. දැලිඔය ඔය ඇතුළු ඔය රාශියක්‌ සුදු ගංගාව පෝෂණය කරනු ලබයි. එනම් කටුගස්‌තොට සිට තුන්මෝදර දක්‌වාම අඹන් ගඟ පෝෂණය වන්නේ දුම්බර කඳුවැටියෙන් ඊට එකතුවන ජලධාරා මගිනි. කළුගඟ සෘජුවම දුම්බර කළුපහනෙන් (තුස්‌හිස්‌ගල) පටන් ගන්නා දිය දහරකි. එනිසා දුම්බර කඳුකරය නැතිනම් මොරගහකන්දක්‌ හෝ කළු ගඟක්‌ නැති බව අප තේරුම්ගත යුතු කාරණයකි. එබැවින් ලෝක උරුමයක්‌ හා සංරක්‍ෂිත වනාන්තරයක්‌ වන ජෛව විවිධත්වයෙන් අනූන දුම්බර නොහොත් (නකල්ස්‌) කඳු රක්‍ෂිතය මොරගහකන්දේ තිඹිරිගෙය බව අප මතක තබා ගත යුතුය. නොහොත් මොරගහකන්ද සුරැකීමට නම් අනිවාර්යයෙන් දුම්බර කඳුකරය සංරක්‍ෂණය වීම සිදුවිය යුතුමය.

මෙසේ දුම්බර නිම්නය, නොහොත් දුම්බර මිටියාවතේදී ජලාශයක්‌ බවට පත්වන මොරගහකන්ද පිරී යැමේදී දුම්බර නිම්නයේ, ලග්ගල උඩසිය පත්තුවේ (සහ ගඟල) ඉම දක්‌වා ජලයෙන් පිරේ. එය ඉන් පසු දුම්බර නිම්නයේ ජෛව විවිධත්වයට සෘජුවම ආකාර දෙකකින් බලපායි. එකක්‌ නම් අලුතෙන් නිර්මාණය වන මෙම ජලාශය නිසා අති සුවිසල් වනාන්තර බිම් ප්‍රදේශයක ඝණ කැලෑව ඊට යටවීමය. එහෙයින් දැනටමත් එහි දැව ශාක රජයෙන් ඉවත් කර ඇත. අනෙක වන සත්ත්ව ගහනයයි. මෙම ප්‍රදේශය අලි - ඇතුන්ගේ නිජබිමකි. එසේම අලිමංකඩ රැසක්‌ පිහිටි ප්‍රදේශයකි. ගිරිතලේ - මින්නේරිය ස්‌වභාව රක්‌ෂිතයේ කොටසක්‌ සෘජුවම ජලාශයට යටවන බැවින් අලිමංකඩ රැසක්‌ වැසී ගිය අතර, වන සතුන්ගේ භූමිය ද මෙසේ මෙතැන් ජලාශයක්‌ බවට පත්වේ. එබැවින් වන සතුන් අවතැන්වීම ද සිදු වේ. එයින් අලි - ඇතුන්, ගෝනුන් - මුවන් වැනි විශාල ක්‍ෂීරපායින් ජලය පිරෙන ප්‍රමාණය අනුව තම නිජබිම අඩුවන ආකාරය දැක වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වූවත් කුඩා ක්‍ෂීරපායින් හා උරගයන්, අවතැන්වන කාණ්‌ඩයට ගැනේ. වඳුරන්, රිළවුන්, දඬු ලේනන් වැනි රුක්‌වාසී සතුන් ඒ අතර ප්‍රධානය.

මේ අනුව මෙසේ අවතැන්වන වන සතුන් බේරාගෙන වෙනත් වනාන්තරවලට මුදාහැරීමට (ගිරිතලේ - මින්නේරි ස්‌වභාව රක්‌ෂිතයේම ප්‍රදේශවලට) වනජීවී අංශ සහ මොරගහකන්ද ව්‍යාපෘතියේ පරිසර අංශය එක්‌ව ක්‍රියාමාර්ග ගෙන ඇත. මේ සඳහා ව්‍යාපෘතිය මඟින් ප්‍රතිපාදන වෙන්කර ඇත. එසේ නොවුණත් වන සතුන් බේරාගෙන තර්ජනයක්‌ නොවන වනාන්තරවලට මුදාහැරීම තම කාර්යයක්‌ සේ සලකා වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව මහඟු කාර්යයක මේ දිනවල නිරතව සිටී. ඒ අනුව ජලාශයේ මංගල දියවර රැඳවුම් මංගල්‍යය සුබ මොහොතින් ඇරඹී, ජලාශයේ ජලය එක්‌රැස්‌ වෙන්නට ඉඩහැර සතියක්‌ යන්නටත් මත්තෙන් ප්‍රදේශයේ (දුම්බර කඳුයායේ) ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නොසිතූ පරිදි ඉහළ ගිය ජල කඳ හේතුවෙන් නොසිතූ පරිදිම වන සතුන් අවතැන් වූ අතර, වනජීවී අංශ වහ වහා වන සතුන් මුදාගැනීමේ මෙහෙයුම ආරම්භ කළේය. වනජීවී අධ්‍යක්‌ෂ ජනරාල්, ඩබ්ලිව්. එස්‌. කේ. පතිරත්න, වනජීවී නියෝජ්‍ය අධ්‍යක්‌ෂ වෛද්‍ය තාරක ප්‍රසාද් මහත්වරුන්ගේ උපදේශකත්වයෙන් වනජීවීන් මුදාගැනීමේ මෙහෙයුම ආරම්භ වූ අතර ඒ සඳහා ඇලහැර වනජීවී අඩවි ආරක්‌ෂක රන්ජිත් විපුල මහතාගේ නායකත්වය ලබාදුන්නේය. බෝට්‌ටු පහසුකම් මොරගහකන්ද ව්‍යාපෘතියෙන් ලබාදී තිබිණි. ඒ අනුව දැඩි වෙහෙස මහන්සියකින් මෙසේ වන සතුන් මුදාගැනීම එදා සිට මේ දක්‌වා තවදුරටත් එහි සිදුකරමින් පවතී. ඒ සඳහා නාවික හමුදා සහාය ද ලබාදේ. දැනටමත් විශාල ප්‍රමාණයක්‌ වන සතුන් අල්ලා වනජීවී රක්‌ෂිත තුළට මුදාහැර ඇත. ඒ අතර උරගයන්, කුඩා ක්‍ෂීරපායින් බොහොමයක්‌ වේ.

අලි - ඇතුන් ද අවතැන් වන අතර ඔවුන් සංක්‍රමණ වේ. ප්‍රදේශයේ වගා ළිං, වැසිකිළි වළවල් තුළට වැටුණු වන සතුන් ගැන ද නිරන්තරයෙන් වාර්තා ලැබේ. එසේ බේරාගත් සතුන් ද බොහොමයකි.

ඉකුත් දා එහි ගය අපට වන අලියකු අතහැර ගිය වැසිකිළි වළකට වැටී අසරණව සිටින කතාවක්‌ කීවේ ඇලහැර වනජීවී අඩවි ආරක්‌ෂක රංජිත් විපුල මහතාය. බෝට්‌ටු මඟින් වන සතුන් මුදාගැනීමේ කාර්යයේ නිරතව සිටි වනජීවී කණ්‌ඩායමට මෙම අලියාගේ තොරතුරු ලබාදුන්නේ තලාගොඩ ප්‍රදේශයේ ගම්වැසියකු විසිනි. ඒ අනුව එහි ළඟා වූ වනජීවී කණ්‌ඩායම හා සහායක නාවික හමුදා කණ්‌ඩායමක්‌ අලියා මුදාගැනීමේ මෙහෙයුමක නිරතව සිටින ආකාරය එහි ගිය අපට දැකගන්නට ලැබිණි. මොරගහකන්ද ජලාශය පිරෙමින් පවතින ජල මට්‌ටමට කිලෝමීටර්යක්‌ පමණ ඉහළින් මෙම අලියා අතහැර දැමූ වැසිකිළි වළකට ඇද වැටී තිබුණේ පැරැණි නාඋල - ඇලහැර මාර්යේ, තලාගොඩ (කඩවත) හන්දියට නුදුරෙනි. මහත් වෙහෙසකින් පසු අලියා මුදවාගන්නට මේ අනුව වනජීවී සහ නාවික හමුදා කණ්‌ඩායම් සමත් වූහ.

කෙසේ හෝ දියවර රැඳවුම් මංගල්‍යයෙන් පසු වන සතුන් දෙදහසක්‌ පමණ මුදාගන්නට හැකිවූ බව වනජීවී අඩවි ආරක්‌ෂක රන්ජිත් විපුල මහතා සහ මොරගහකන්ද ව්‍යාපෘතියේ පරිසර අංශයේ උපාලි මහතා සඳහන් කරයි. තවදුරටත් මෙම මෙහෙයුම ක්‍රියාත්මක බව ද ඉක්‌මනින් හා කාර්යක්‌ෂමව වන සතුන් මුදාගැනීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස්‌ පරිදි නාවික හමුදා කණ්‌aඩායමක්‌ හා බෝට්‌ටු 10 ක බල ඇණියක්‌ වහා එහි යවා වනජීවී අංශ හා ඒකාබද්ධව කටයුතු කරන බව ද වනජීවී නියෝජ්‍ය අධ්‍යක්‌ෂ තාරක ප්‍රසාද්, මොරගහකන්ද පරිසර අංශයේ උපාලි හා එහි මහජන සම්බන්ධතා නිලධාරි පී. ජී. දයානන්ද මහත්වරු පැවසූහ.

මේ අනුව අපට අලුත් අත්දැකීමක්‌ වූ අවතැන්වන වන සතුන් බෝට්‌ටු මඟින් හා ගොඩබිමෙන් මුදාගෙන ආරක්‌ෂිත වනාන්තරවලට මුදාහැරීම තවදුරටත් ක්‍රියාත්මක වේ.

පෙර කී පරිදි ආකාර දෙකකින් දුම්බර මිටියාවතේ සහ ගිරිතලේ - මින්නේරි රක්‌ෂිතයේ ජෛව විවිධත්වයට මොරගහකන්ද ව්‍යාපෘතියෙන් බලපෑම් සිදුවේ. එනම් වනසතුන් විතැන්වීම හා ගොඩනැඟෙන (පිරී ස්‌ථාවර වන) ජලාශය ආශ්‍රිතව නව ජෛව විවිධත්ව කලාපයක්‌ නිර්මාණය වීමය. එසේ නිර්මාණය වන වනජීවි කලාපය හා පරිසර පද්ධතියට ටික කලක්‌ ගතවන අතර, විශේෂයෙන්ම අලි - ඇතුන් වැනි විශාල සතුන්ගේ පටන් වෙනම ස්‌ථාවරත්වයක්‌ ක්‍රමයෙන් මොරගහකන්ද වටා නිර්මාණය වනු ඇත. එහිදී එම කලාපයේ වනසතුන් හා පරිසරය සුරැකීමට ද විශේෂ අවධානයක්‌ හා ප්‍රතිපාදන මොරගහකන්ද ව්‍යාපෘතියෙන් වෙන්කර තැබීම අවශ්‍ය වේ.

මේ අතර මොරගහකන්ද ජලාශය නැරඹීම සඳහා පැමිණි නරඹන්නන්ගේ ඉහළම සංඛ්‍යාව ගෙවී ගිය සති අන්තයේදී වාර්තා වූ බව මොරගහකන්ද මහජන සම්බන්ධතා නිලධාරි පී. ජී. දයානන්ද මහතා පවසයි. එම ප්‍රමාණය පනස්‌ දහස ඉක්‌ම වූ බවද, පොහෝ නිවාඩුව සති අන්තයට යෙදී තිබීම හා ජලාශය පිළිබඳ ප්‍රචාරය ඊට හේතු වූ බවද දයානන්ද මහතා පැවසීය. 2016 මැයි මස 27 වැනිදා ජලාශය මහජන ප්‍රදර්ශනයට පත්කළදා පටන් මේ දක්‌වා එක්‌ලක්‌ෂ පහළොස්‌ දහසක්‌ දෙනා (115,000) මහජන සම්බන්ධතා අංශයේදී නාමලේඛන ඉදිරිපත් කර දැනුවත්වීමේ වැඩසටහනට සහභාගි වූ බවද, මෙම අංශය එක්‌ දිනක්‌ හෝ වසා නොදමා ජනයා දැනුවත් කිරීමට මේ දක්‌වා විවෘතකර තබා ඇති බවද දයානන්ද මහතා වැඩිදුරටත් පැවසීය.

සටහන/ඡායාරූප
ජගත් කණහැරආරච්චි
ඉන්දික කුමාර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.