සෝමාරාම බුද්ධාගම අත්හරියි
අගමැති බණ්‌ඩාරනායක ඝාතනයට
පිස්‌තෝලය දුන් රහස හෙළිවෙයි
- අවසන් කොටස


1962 ජූලි 06 වැනි දින උදෑසන වැලිකඩ බන්ධනාගාරය වටා හමුදා මුරකාවල් යොදවනු ලැබිය. ජූලි 06 වැනි දින උදෑසන 6.00 සිට ගිනි අවි රැගත් හමුදා භටයන් රැකවලේ සිටි අතර කිසිම කෙනකුට බන්ධනාගාරය අසල නැවතීමට හෝ රැස්‌වීමට ඉඩ දුන්නේ නැත. එදින උදෑසන බන්ධනාගාරයට ඇතුළු වීමට අවසර ලැබුණේ බන්ධනාගාර නිලධාරීන්ට පමණි. සිරකරුවන් බැලීමටවත් ඥාතීන්ට එහි ඇතුළු වීමට ඉඩ දුන්නේ නැත. ජූලි 06 වැනි සිකුරාදා උදෑසන මූණකට සෝදා පිරිසිදු වූ පසුව උදෑසන ආහාර වශයෙන් ඉඳිආප්ප සහ සීනි සම්බල ඔහුට ලබා දී තිබෙන්නේ ඔහුගේ සිතැඟි අනුවය.

එහෙත් සෝමාරාම උදෑසන ආහාරය ගෙන නැත. ඊට පෙර දින අන් දිනවලට වඩා සිගරට්‌ අධික ප්‍රමාණයක්‌ පානය කර ඇත.

එදින උදෑසන 7.40 ට මැතිව් පීරිස්‌ දේවගැතිවරයා සෝමාරාම හමුවීමට වැලිකඩ බන්ධනාගාරයට පැමිණියේ අවසාන ආගමික වතාවත් සිදු කිරීමටය.

එදා ඉංගී්‍රසියෙන් දේව මෙහෙයක්‌ පැවැත්වූ මැතිව් පීරිස්‌ දේවගැතිවරයාට ඊට වසර 20 කට පසුව බී - 3 සිරමැදිරිය තුළට සිරකරුවකු ලෙස පැමිණෙන්නට සිදුවෙතැයි නිකමටවත් නොසිතුණු බව නියතය. එහෙත් මැතිව් පීරිස්‌ දේවගැතිවරයාටද මරණීය දණ්‌ඩනය හිමි වී මෙම සිරමැදිරියටම පැමිණෙන්නට සිදුවීම දෛවෝපගත සිදුවීමකි.

අවසාන ආගමික මෙහෙයෙන් පසුව පෝරකයට ගෙන යැම සඳහා නියමිත සුවිශේෂී ඇඳුම අන්දවා ඇත. මෙම අවස්‌ථාවේදී ඔහුට සංග්‍රහ කළ බන්ධනාගාර නිලධාරීන්ට ස්‌තූති කිරීමට ඔහු පසුබට වූයේ නැත. හිටර් ලෙස නම වෙනස්‌ කරගෙන ඔහු ක්‍රිස්‌තියානි දහම වැළඳ ගත්තේ බෞද්ධ රටක කොපමණ භික්‌ෂුන් සිටිය ද තමා වැනි අහිංසකයකු වෙනුවෙන් උද්ඝෝෂණයක්‌ කිරීමටවත් එකම භික්‌ෂුවක්‌වත් ඉදිරිපත් නොවූ නිසා බව ඔහු ප්‍රකාශ කර ඇත. අවට සිටි අය සමග කතා කළ සෝමාරාම නොහොත් පීටර් අගමැති ඝාතනයට තමා කොටස්‌කරුවකු වුවත් ඊට සම්බන්ධ අය හිරෙන් පිටත සිනාසෙමින් සිටින බව පවසා තිබේ. පෝරකය වෙත ගෙන යන විට "නරක ආශ්‍රයෙන් නරකක්‌ම වෙනවා" යනුවෙන් ද අවට සිටි අයට පැවසුවේ ඔහුව උදෑසන 7.55 ට සිරමැදිරියෙන් එළියට ගැනීමෙන් අනතුරුවය.

ඔහු කිසිදු කලබලයකින් තොරව ගමන් කර ඇති අතර බන්ධනාගාර නිලධාරීන් කිසිවකුත් ඔහුව අල්ලාගෙන කැටුව නොයැම විශේෂයෙන් සඳහන් කළ යුතුය. කිසිම චකිතයක්‌ නැතිව පෝරකයට නැඟුණු සෝමාරාමව එදින උදේ 8.05 ට එල්ලා මරණයට පත්කරනු ලැබිය. බන්ධනාගාර වෛද්‍ය නිලධාරී ඩී. ඇස්‌. ඇස්‌. ගුණවර්ධන මරණය සිදුවී ඇති බවට පරීක්‌ෂා කිරීමෙන් අනතුරුව තීන්දු කළ අතර හදිසි මරණ පරීක්‌ෂක ඡේ. එන්. සී. තිරුචෙල්වම් මරණ පරීක්‌ෂණය පවත්වා එය නීතිය යටතේ එල්ලා මැරීමක්‌ බව නිගමනය කළේය.

ඉන්පසුව මළ සිරුර රැගත් වෑන් රිය විශේෂ ආරක්‌ෂා සහිතව බන්ධනාගාරයේ පසුපස රහස්‌ දොරටුවෙන් පිටතට ගෙන බොරැල්ල කනත්තේ ආදාහනාගාරය වෙත ගෙන යනු ලැබිය. උදේ 9.10 ට බොරැල්ල කනත්තේ ආදාහනාගාරය තුළටම රැගෙන ගිය රථය ඇතුළතදී විවෘත කළේ කිසිවකුත් නොදකින ආකාරයෙනි. සාමාන්‍ය ලීයෙන් සායම් හෝ සැරසිලි කිසිවක්‌ නොමැති පෙට්‌ටියක බහා තිබූ සෝමාරාමගේ මළ සිරුර ආදාහනාගාරයට දැමූ විගසම බන්ධනාගාර නිලධාරීන් ඉදිරිපිටදීම ගිනි දල්වා තිබේ. එය දල්වා ටික වේලාවකින් පසුව බන්ධානාගාර කොමසාරිස්‌ µSලික්‌ස්‌ රත්නායක, නියෝජ්‍ය කොමසාරිස්‌ පී. වී. පෙරේරා, වැලිකඩ බන්ධනාගාරාධිපති පී. සිල්වා යන අය පිටත් වී ගියහ. එහෙත් වැලිකඩ බන්ධනාගාරයේ නියෝජ්‍යාධිපති සිරිල් ජෑන්ස්‌ සහ බන්ධනාගාර මූලස්‌ථානයේ අධිකාරි පී. කුමාරස්‌වාමි යන දෙදෙනා සෝමාරාමගේ සිරුර දැවී අළු වී යන තෙක්‌ එහි රැඳී සිටියේය. මෘතදේහයට ගිනි දල්වා විනාඩි 20 ක්‌ ගත වූ පසුව මැතිව් පීරිස්‌ දේවගැතිවරයා එහි පැමිණ තිබේ. විශේෂ අවසරයක්‌ ලබාගත් මැතිව් පීරිස්‌ දේවගැතිවරයා ආදාහනාගාරයට ඇතුළු වී කෙටි ආගමික මෙහෙයක්‌ පවත්වා දැවෙන සිරුරට ශුද්ධ වූ ජලය ඉස ඇත. උදෑසන 10.40 ට විදුලි සොහොන භාරව ක්‍රියා කළ දිසානායක මුදියන්සේලාගේ බණ්‌ඩා විදුලි ගෙයි දොර හැර යකඩ කූරකින් නොදැවුණු කොටස්‌ එකතුකොට යළි ඒවා දැවෙන්නට සලස්‌වා ඇත. පෙරවරු 11.05 ට පමණ සිරිල් ජෑන්ස්‌ හා කුමාරස්‌වාමි යන නිලධාරීහු පිටත් වී ගියහ. සවස 3.00 ට වැලිකඩ බන්ධනාගාරයේ නියෝජ්‍යාධිපති සිරිල් ජෑන්ස්‌ සමඟ මැතිව් පීරිස්‌ දේවගැතිවරයා බොරැල්ල කනත්තට පැමිණි බව වාර්තා වේ.

1962 ජූලි 06 වැනි දින මරණීය දණ්‌ඩනයට ලක්‌වූ තල්දූවේ සෝමාරාම 1915 මාර්තු 31 වැනි දින අවිස්‌සාවේල්ල තල්දූවේ උපන් අයෙකි. ගිහි නම වූයේ රතු ගමරාළලාගේ වේරිස්‌ සිඤ්ඤොaය. 1929 වසරේදී තල්දූවේ සෝමාරාම නමින් පැවිදි වූ හෙතෙම වෘත්තියෙන් ආයුර්වේද වෛද්‍යවරයෙකි. පැවිදි ආචාර්යවරයා වූයේ තල්දූවේ ඉසිපතනාරාමාධිපති ගෝනගමුවේ සෝමානන්ද හිමිය. 1936 වර්ෂයේ දී මල්වතු විහාරයේ දී උපසම්පදාව ලැබූ තල්දූවේ සෝමාරාම හිමි 1957 වසරේදී බොරැල්ල ආයුර්වේද රෝහලේ ඇස්‌ වෙදකම පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයකු ලෙස පත්කර ඇත. ඔහුගේ කියමනට අනුව නරක ආශ්‍රයෙන් නරක්‌ වූ තල්දූවේ සෝමාරාමට වර්ෂ 2 මාස 10 දින 10 ක්‌ වැලිකඩ බන්ධනාගාරයේ ගත කරන්නට සිදුවිය. එහෙත් ඉන් වැඩි කාලයක්‌ ගෙවා තිබෙන්නේ රිමාන්ඩ් සිරකරුවකු වශයෙනි.

බණ්‌ඩාරනායක ඝාතනයෙන් වසර 29 කට පසු ඔහුගේ බෑණා වන විජය කුමාරතුංග මිය යන්නේ ද වෙඩි පහරවලිනි. ඔහුට වෙඩි තැබූ තුවක්‌කුව ටී 56 වර්ගයේ රයිපලයකිනි. බණ්‌ඩාරනායක ඝාතනයට වසර තුනකට පෙර භධRෂභCධ නමැති චීන සමාගම ටී 56 රයිපලය නිපදවීමට පටන්ගෙන තිබිණ. බණ්‌ඩාරනායක ඝාතනය සිදුවන්නේ මධ්‍යහ්නයේදීය. විජය කුමාරණතුංග මරා දමන්නේ ද මධ්‍යහ්නයේදීය. මේ දෙදෙනාම තමන් පදිංචි නිවෙස්‌ ඉදිරිපිටදී වෙඩි කෑහ.

බණ්‌ඩාරනායක අගමැතිතුමා වෙත වෙඩි තබන ලද දිනයේ උදෑසන 9.15 ට උඩු මහලේ වූ නිදන කාමරයේ සිට පහත මාලයට පැමිණියේය. බණ්‌ඩාරනායක මහතා ප්‍රථමයෙන්ම කතා කළේ ඒ මොහොතේම තම නිවසට පැමිණි ඇමරිකානු තානාපති බර්නාඩ් ගµaලර් සමගයි.

බණ්‌ඩාරනායක මහතාගේ බෑණාවූ විජය කුමාරතුංග වෙඩි කන මොහොතේ පිටත්ව යැමට සැරසුණේ ඇමරිකානු තානාපති කාර්යාලයෙන් ලැබුණු ඇරයුමක්‌ අනුව ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරියකු සමඟ දිවා ආහාරය ගනු පිණිසය.

සෝමපාල අද හොඳ ගොවියෙකි. හොඳ මිනිසෙකි. පළාතේ මළ ගෙයක්‌ වූවොත් ඒ සඳහා අවශ්‍ය එළවළු සියල්ල ඔහුගේ කොටුවෙන් නොමිළේ සැපයේ. ගමේ සෑම කෙනකුම ඔහුගේ නවාතැන්පළ ඉදිරියෙන් ගමන් කරන විට වචනයක්‌ දෙකක්‌ හෝ ඔහු සමඟ කතා නොකර නොයයි. ඒ තරමට අද ඔහු ගුණ යහපත්ය. වයස අසූ ගණනක්‌ වුවත් ඔහු තවම තාරුණ්‍යයේ ජවයෙන්ම හෙබිය. වයස අවුරුදු අසූ හතරක තරුණයෙක්‌ වන සෝමපාල තවමත් ජීවත් වන්නේ තමන්ගේ වැර වෑයමෙනි.

"දැකලා තියෙනවද ඒ පිස්‌තෝලය. අන්න බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ කෞතුකාගාරය ඒක තියෙනවා. මම කොළඹ ගියාම එහෙ ගිහිල්ලා ඒක බලල එනවා."

"ඒ පිස්‌තෝලයම කියලා අඳුර ගත්තාද."

"අපෝ මොකද අදුර ගන්න බැරි... මං ගාව අවුරුදු දෙකක්‌ විතර තිබ්බ බඩුවනේ... ඒක දැක්‌කාම මට අතීතය මතක්‌ වෙනවා. දැන් මං ඕවා අල්ලන්නෙවත් නැහැ. මම හැම පෝයටම කැලණිය පන්සලට යනවා."

"එතකොට බුද්ධරක්‌ත හාමුදුරුවෝ මතක්‌ වෙන්නේ නැද්ද...?"

"අපෝ මොකද මතක්‌ වෙන්නේ නැත්තේ. මාත් එක්‌ක තිබ්බ යාළුකම මතක්‌ වෙන කොට හරිම දුක හිතෙනවා නායක හාමුදුරුවෝ ගැන... ඊටත් වඩා මට දුක හිතෙන්නේ බණ්‌ඩාරනායක මහත්තයා ගැන. එතුමා මේ රටට කොයි තරම් වැඩ කටයුතු කරපු කෙනෙක්‌ද...?"

* ඔසිත අත්තනායක
කමල් බෝගොඩ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.