සයිටම් අර්බුදය හඳුනා ගැනීම

ශ්‍රී ලංකා ආර්ථිකය, සමාජ පසුතලය තුළ කලින් කලට විවිධ මාතෘකා පැමිණේ. ඒ සම්බන්ධව සිදුකරන ජනමාධ්‍ය උත්ප්‍රේරණය සමඟ විවිධ පසුබිම්වල පුද්ගලයන්, වියතුන්, අදහස්‌ දක්‌වති. අවසාන විග්‍රහය කෙසේ වුවත් එය ප්‍රජාතන්ත්‍රවාදයට අත්‍යවශ්‍යම සාධකයකි. නමුත් රට තුළ සාකච්ඡා කරන ගැටලුව -සත්‍ය ගැටලුවද" යන්න පිළිබඳව මෙහිදී නැවත විමසීමක්‌ කල යුතුය. මා මෙය ප්‍රවේශයක්‌ ලෙස සාකච්ඡා කිරීමට අදහස්‌ කළේ වර්තමාන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අර්බුදය, එනම් සයිටම් අර්බුදය පිළිබඳව සිදුකරන මතවාදය හරහාය. මෙයට දශක කිහිපයකට පෙර අප කතා කළ, කියවූ රාගම වෛද්‍ය විද්‍යාලයීය ගැටලුව මෙන්ම මෙවරද සුපුරුදු ලෙසට මාධ්‍ය තුළ නිරන්තර සාකච්ඡාවට බඳුන් වී ඇත. පිරිසක්‌ මේ පිළිබඳව පක්‌ෂපාතීව අදහස්‌ දක්‌වන අතර, තවත් පිරිසක්‌ මෙයට විරුද්ධව අදහස්‌ දක්‌වති. නමුත් අවාසනාවන්ත ලෙස නියම ගැටලුව වටහා ගැනීමට උත්සාහ නොකර රෝග ලක්‌ෂණ සම්බන්ධව කථිකයන් නිර්මාණය වී තිබීම මෙහි ඇති ෙ€දවාචකයයි. මෙයට ඉතා අගනා උදාහරණයක්‌ බුදු දහම තුළ දක්‌නට ඇත.

බුදු දහමේ දක්‌වන
අසේවනාච බාලානං
පණ්‌ඩිතානංච සේවනා

යන පාඨය දෙස බැලූවිට අප සාම්ප්‍රදායිකව සිතන්නේ, අර්ථකථනය කරන්නේ බාලයන් ඇසුරු නොකර, පණ්‌ඩිතයන් ඇසුරු කරන්න ලෙසය. බාලයන් යනු නූගතුන් ලෙසත්, පණ්‌ඩිතයන් යනු බුද්ධිමතුන් ලෙසත් සාම්ප්‍රදායිකව අර්ථය තුළ විග්‍රහ කරගත් නමුත් බාලයා කවුද, පණ්‌ඩිතයා කවුද කියා නිවැරදි නිර්වචනයක්‌ නොමැතිව බොහෝ විට ලතවෙන්නේ මෙම බුදු දහමේ මංගල කාරණාව අර්ථකථනය කිරීමේදී සිදුවී ඇති ගැටලුව නිසාය. නමුත් දාර්ශනික අර්ථය අනුව බාලයා යනු දසඅකුසල් කරන, අප සිත තුළ පහන් වන අයහපත් සිතුවිලි වන අතර පණ්‌ඩිතයා යනු සිත තුළ පහළ වන කුසල් සිත් වේ. මෙය සිත ගවේෂණය කිරීමයි. නමුත් අප විසින් සාම්ප්‍රදායිකව අර්ථ දැක්‌වීම තුළ විවිධ ලෙස අවුල් වියවුල්වලට ලක්‌වී ඇති බව මෙයින් පැහැදිලි වේ.

සයිටම් අර්බුදය ද අප හට මෙම රාමුව තුළ සාකච්ඡා කළ හැක. මෙහිදී අප හට නිරීක්‌ෂණය කළ හැක්‌කේ එකම ආකාරයේ කරුණු දැක්‌වීමක්‌ වේ. ඉහත හඳුන්වන ලද මංගල කාරණාවලට අදාළව විග්‍රහ කළ විට දෙපිරිසක්‌ මේ පිළිබඳව සාම්ප්‍රදායික රාමුව තුළ තර්ක විතර්ක සිදු කරන අතර, මෙහි දාර්ශනික අර්ථකථනය වන රටේ අධ්‍යාපන, සමාජ, දේශපාලන ගැටලුව පිළිබඳව අවිඥානිකව කටයුතු කරයි.

කලින් සඳහන් කළ පරිදි රාගම වෛද්‍ය විද්‍යාලයීය අර්බුදයද නිමා වූයේ ලෙඩට නොව රෝග ලක්‌ෂණයට බෙහෙත් දීම හරහාය. නමුත් මෙම ගැටලුව රට ගැන, ජාතිය ගැන මනා ආර්ථික, සමාජ කියවීමක්‌ ඇති දාර්ශනික, බුද්ධිමත් සංවාදයකට නියම සමාජ අවකාශයන් සලසා ඇති බව මාගේ අදහසයි. රාත්‍රී රූපවාහිනියේ දේශපාලන වැඩසටහන්වලින් තමාට අහිමි වූ රසවින්දනය බලාපොරොත්තු වන -µeන්ටසි ග්‍රාහකයා වෙනුවට රට, ගැන වඩා අවබෝධයකින් සිතන, වසර විස්‌සකට පසු රට තිබිය යුතු ස්‌ථානය ගැන මනා වැටහීමක්‌ ඇති සියලු පුද්ගලයන් තුළ මේ පිළිබඳව අවධානය යොමුවිය යුතු බව මෙහිදී සඳහන් කරනු වටී.

රට තුළ ගැටලු ඇතිවූ විට තම දේශපාලන කණ්‌ණාඩිය තුළින් ගැටලුව හඳුනා ගැනීමට උත්සාහ දැරීමත් අපට දැකිය හැක. නමුත් සයිටම් ප්‍රශ්නය තුළදී මෙයට වඩා ඉදිරියට ගිය ප්‍රායෝගික කියවීමක්‌ දාර්ශනික පසුතලය හරහා අවශ්‍ය බව වටහා ගත යුතුය. එම විසඳුම තුළ ලාංකීය අධ්‍යාපනයේ හැඩතල පිළිබඳව, ඉදිරි ගමන පිළිබඳව නිවැරදි තක්‌සේරුවක්‌ මෙහිදී අවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ සංස්‌කෘතික - ආර්ථික විකෘතිත්වය තුළ රටේ උසස්‌ පෙළ සඳහා 250,000 සිසුන් මුහුණ දෙන විට 25,000 ක පිරිසකට පමණක්‌ විශ්වවිද්‍යාලයීය දොරටු විවෘත වේ. මේ සියලු දේ සිදු වන්නේ -නිදහස්‌ අධ්‍යාපනය යන සංකල්පය මතයි. නමුත් අධ්‍යයන ක්‍රමය, එහි ඇති ගැටලු මෙම රටේ අවශ්‍යතා සමඟ ඒකාත්මික නොවීම, වැනි කරුණු දෙස පුළුල් සමාජ කතිකාවන් අවශ්‍ය වී ඇත. සැම විටම අපි ලෝකයේ දියුණු රටවල් ගැන සාකච්ඡා කරමු. නමුත් අවාසනාවන්ත ලෙස සීගිරි, පොළොන්නරුව වැනි ඉතා උසස්‌ ප්‍රෙෘඪ ශිෂ්ටාචාරයකට උරුම කම් කී රටකට තම අතීත ශක්‌තීන්, වර්තමාන පුද්ගල දක්‌ෂතා සමඟ අනුබද්ධ කිරීම් ක්‍රමවේදය පසුගිය දශක කිහිපය තිස්‌සේම මගහැරී ගොස්‌ ඇත. එය එසේ තිබියදී බෙදී වෙන්වී මාධ්‍ය සන්දර්ශන තුළ තම අවශ්‍යතා සපුරා ගැනීමට උත්සාහ නොදරා එකම ජාතියක්‌ ලෙස, රටක්‌ ලෙස නියම ගැටලුව හඳුනා ගැනීම ඉතා වැදගත් වේ.

රටේ ප්‍රාණ වායුව අපගේ ජනතාවයි. ඉදිරි පරම්පරාව යනු රටේ අනාගතයයි. රට පාලනය කරන, රටේ උගත් සහ වියතුන් යයි සම්මත සියලු දෙනා සතුව ඇති වගකීම වන්නේ ඉහත සඳහන් කළ උසස්‌ ශිෂ්ටාචාරය දූපත් මානසිකත්වයෙන් තොරව කියවීම වන අතර එය ලෝකයට ගැළපෙන ශ්‍රී ලාංකික ආකෘතියක්‌ තුළ ඉදිරියට ගෙන යා යුතුය. මෙහිදී සයිටම් ගැටලුව පිළිබඳව දාර්ශනික අර්ථකථනයක්‌ අවශ්‍ය වනු ඇත. රට තුළ ආර්ථික, සමාජ වෙනස්‌කම්වලට අදාළ අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණයක්‌ සිදුවිය යුතුය. මේ තුළදී තම පාසලේ තුන්වැනි වසරේදී කිලෝ හතක බෑගයක්‌ රැගෙන යන අහිංසක දරුවාගේ, විශ්වවිද්‍යාල වල සිසුන්ගේ, රට ගැන, ආයතනය කන ආකල්ප, නායකත්ව කුසලතා වර්ධනය කළ හැකි ක්‍රමවේදයක්‌ සැකසිය යුතුය. මෙය යුගයේ අවශ්‍යතාවයයි.

ඉහත සඳහන් කළ ආකාරයට සයිටම් ගැටලුව හරහා රට තුළ, අධ්‍යයනය තුළ සුසමාදර්ශී වෙනසක්‌ (ඡ්ර්dසටප Sයසඓ) සිදුවිය යුතු බවට ඉතා වැදගත් සංඥාවන් නිකුත් වී ඇත. අප සිදු කළ යුත්තේ එය දාර්ශනිකව වටහා ගැනීමයි. ඒ තුළින් රටට ආදරය කරන, සංවේදී පරපුරක්‌ බිහි කිරීමේ වගකීම සියලු බුද්ධිමතුන්ගේ, පුරවැසියන්ගේ කාර්යභාරය වන බව සැලකිය යුතුය. එසේම මෙය නොපමාව කළ යුතු වන්නේ රටේ ඉදිරි ගමන සමඟ මෙහි ධනාත්මක සහ-සම්බන්ධතාවක්‌ පවත්නා නිසාය.

* නලින් අබේසේකර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.