ජල හිඟය මැඩගත් වැව් ගම්වාරි පිළිවෙත්

සත්ව ශාක සියල්ලෙහි පැවැත්මට අත්‍යාවශ්‍යම සාධක අතරින් ජලය ප්‍රමුඛස්‌ථානය ලබති. හිඟම සාධක වන්නේත් ජලයයි. පොළොවෙන් තුනෙන් දෙපංගුවක්‌ම ජලයෙන් වැසී ඇත. එසේ නම් මේ හිඟය මැවෙන්නේ ඇයි දැයි ප්‍රශ්නයක්‌ පැන නඟී. පොළොව වැසී ඇති මුළු ජල ප්‍රමාණයෙන් 97%ක ප්‍රමාණය ලවණ මිශ්‍ර කරදියයි. ඒවා ප්‍රයෝජනයට ගත හැක්‌කේ සීමිත අවශ්‍යතාවන් කීපයකට පමණි. වඩාත් ප්‍රයෝජනවත් වන මිරිදිය ඇත්තේ මුළු ජලයෙන් 3%කි. ඒවායෙන් ද 2%ක්‌ පමණ අයිස්‌ කඳු හා පොළොව යට තැන්පත්ව පවතී. ඒ අනුව මිහිකත මත සියලුම සත්ව ශාකවලට හා අනෙකුත් අවශ්‍යතාවන්ට භාවිත කළ හැක්‌කේ 1% ක්‌ පමණ වූ සීමිත මිරිදිය ප්‍රමාණයක්‌ පමණි. නවීන විද්‍යාඥයෝ ජලය සෑදි ඇති සංයුතිය හයිඩ්‍රජන් සහ ඔක්‌සිජන් යෑයි පවසති. නමුත් මේ වායු දෙක එකතු කිරීමෙන් වුවද ජලය නිපදවීමක්‌ කළ නොහැක. ජලයේ වටිනාකමත් දුර්ලභ භාවයත් කොතෙක්‌ දැයි මේ අනුව සිතාගත හැක. ජලය පූජනීයත්වයට පත් වූ වස්‌තුවකි. ආගමික කටයුතුවලදී ජලය, පැන් ලෙස ගෞරවාදරයට පත්වෙයි. ඕනෑම තැනකට ගලාගෙන යා හැකි ලිස්‌සනසුqලු සොබාවයක්‌ ජලයෙහි පවතී. ඕනෑම (වස විෂ හා අපිරිසිදු) දෙයක්‌ වහා පිරිසිදු කිරීමේ ශක්‌තිය, හැකියාව ජලය සතු අතර ඉතා ඉක්‌මනින් අපිරිසිදු වීමේ හා විෂ වීමේ සොබාවයද එකී ජලයෙහිම ස්‌වභාවයයි. සත්ව, ශාකවල වැඩි ප්‍රමාණය ජලය බවද සොයා ගෙන ඇත. විශේෂයෙන් සතුන් ජල හිඟය නිසා විජලනය (ජල හිඟවීම) නිසා මියෑදෙති.ආහාර නොමැතිව දිගු කලක්‌ ජීවත්විය හැකි වුවද ජලය නොමැතිව දිගු කලක්‌ සිටිය නොහැක.

සත්වයන්ගේ පැවැත්ම සේම ආහාර නිෂ්පාදන වන්නේද, සකසා ගන්නේද, ජලය ඇසුරිනි. මනුෂ්‍යාද සියලුම ආහාරපාන මූලික නිෂ්පාදනය කරනුයේ ජලය උපයෝගී කරගෙනය. ඕනෑම අහරක්‌ සකසා ගැනීමටත් ජලය මහෝඋපකාරි වෙයි. මෙවන් වටිනා ජලය රැස්‌කර ගැනීම සඳහා යම් යම් (වැව්, අමුණු, ගබඩා) සකසා ගැනීමත්, ඉතා සීමිත වූ පරිභෝජනය හා පරිහරණය කළ හැකි ජලය ඇති ස්‌ථාන සොයා ගැනීමත් මානව වර්ගයා ලබාගත් විශාලම ජයග්‍රහණයකි.

එසේ සොයාගත් සහ සකසාගත්, ස්‌ථාන වන්නේ ගංගා, ඔය, ඇළ, දොළ, වැව්, අමුණු, පතස්‌, පොකුණු, විල් , ළිං, උල්පත්, නළ ළිං, නබුමන් ආදියයි.

ඉතිහාසගත විස්‌තර හා නටබුන් අනුව ලෝකයේ අතිශය දියුණු වටිනාම වාරි තාක්‌ෂණයක උරුමය ශ්‍රී ලාංකික අප සතුය. පෞරාණික සාක්‍ෂි අනුව මේ හිමිකම සිංහල විශේෂයෙන් යක්‍ෂ ග්‍රෝතික අපේ ඥතීන්ට හිsමිවෙයි. ඔවුන්ගේ දේශජ ඥනය ජල හිඟයට පිළියම් සෙවීමට යොමු විය. වර්ෂයේ යල, මහ, සහ මැද කන්න තුනක්‌ ජලය උපයෝගී කරගෙන ධාන්‍ය (වී) වගාකිරීමට අහස්‌ ජලය ලැබුණේ දෙසැම්බර්, පෙබරවාරිවල එන ඊසාන මෝසම් වරුෂාව සහ මැයි සැප්තැම්බර් මාසවල එන නිරිත දිග මෝසම් වරුෂාවෙන්ය. පළමු අන්තර් මෝසම මාර්තු අප්‍රේල් මාසවලත් දෙවැන්න ඔක්‌තෝබර් නොවැම්බර් මාස වලත් ලැබුණි. අවුරුද්දේ අනෙක්‌ කාලවලදී ගොවිතැන් කිරීමේ අවශ්‍යතාවට සරිලන ලෙස ජලය රැස්‌කර ගත යුතු නිසා වාරි තාක්‍ෂණයක්‌ අපට අවශ්‍ය විය. ඒ අනුව මහ සයුර පරදන විශාල වැව්ද, අමුණුද, යෝධ ඇළවල්ද, අපේ මුතුන් මිත්තෝ සිරිලක පුරාම ඉදි කළහ.

රජරට පුරා කලා, බළලු වැව, මින්නේරිය, පරාක්‍රම සමුද්‍රය, පදවිය, තිසාවැව, කනදරාව ආදී මහ වැව් මෙන්ම ඊට අදාළ කුඩා වැව් රාශියක්‌ ද දකුණු දිසාවේ ඌරුසිටාවැව, තිස්‌ස වැව, උතුරේ පාවට්‌කුලම් වැව, යෝධ වැව, නැගෙනහිර දීඝවාපිය, මාදුරු ඔය, වයඹ පඬාවැව, ඌව වෙල්ලස්‌ස කිරි ඔරුව වැව ආදී වැව් සහ ඒ හා බැඳුණ කුළු වැව් රාශියක්‌ ද ලංකාව පුරාම එකම තාක්‌ෂණික හා සංස්‌කෘතික ලක්‌ෂණයන්a ඇතිව ඉදිවිය. වර්ෂය තුළ වරුෂාව නොමැති විට මේ ජල ගබඩාව මනුෂ්‍ය හා සත්ව අවශ්‍යතාවන් සපුරනු ලැබීය. ජාතියක්‌ විදිහට සිංහලයන් සම්පූර්ණයෙන් විනාශ කිරීමට නොහැකි වූවේද මේ වැව් ගම් සංස්‌කෘතියේ තිබූ ආර්ථික (නිෂ්පාදන) හා සාමාජික වටිනාකම් නිසාය. ඈත අතීතයේ කාලිංග මාඝ මෙන්ම මෑත යුගයේ බටහිරයන් අප රට ආක්‍රමණය කරන විට වැව් අමුණු විනාශයට පත් කළේද මේ ශක්‌තිය නැති කිරීමටය.

මහවැව් රකින කුළුවැව්ද, ජල පෝෂක වනස්‌පතියද, නිසා දැඩි නියං සමයක දී වුවද අවම ජල පහසුකම් එදා අපට උරුම විය. වැවේ නිර්මිත විසින්ද වැව පතුලට නොසි¹ සත්ව හා මිනිසුන්ට උග්‍ර ජල හිඟයක්‌ නොවීමට වගබලා ගත්තේය. සෑම වැවකම මඩතිය වසාගෙන අඩි තුන හතරක ජල ප්‍රමාණයක්‌ ඉතිරි වන සේ සොරොව් සකස්‌ වී තිබුණි. වැවේ ජලය අපතේ නොයන සේ වෑකන්ද, බිසෝ කොටු, සොරොවුව, ඇතුළුවාන, පිටවාන, ඉස්‌වැටි, කළිගුබැමි, තාවල්ල, රළපනාව, ඇළවේලී නිසියාකාරව නඩත්තු කළේය. මේ නිසා හත් අවුරුදු නියං සායක්‌, (බැමිහිටියා සාය වැනි) අවස්‌ථාවකදී හැර අපේ ඇත්තන් දිය තිබහෙන් දිවගිලීs මියදුණේ නැත. නියං කාලවල දී වැව්වල ඔයවල් වල, පුහුවලවල් හාරා ජලය රැස්‌කර ගත්තේය. එසේ කළේ පොළොවේ ජල මට්‌ටම ඉහළ මට්‌ටමේ තැබූ කුඩා වැව් හා ගස්‌ ගොම්මන තිබූ නිසාය.

ඉංගී්‍රසීන් අපේ වැව් දෙබෑකර ඒවා මැදින් පාරවල් දමා ජල ප්‍රමාණය අඩු කළේ ය. (මහකණදරාව, මාමිනියාව) නව වාරි මාර්ග සැලසුම් බොහොමයක කුළුවැව් සම්පූර්ණයෙන් ඉවත් කර ඒ බිම කුඹුරු බවට පත් කර මිනිසුන්ගේම ඕනෑකම නිසා ඔවුන්ටම කුඹුරු ලෙස බෙදා දුන්නේය. මහ වැව් ඉහත්තාවල හෝටල් හා පදිංචිය පිණිස ඉඩම් වෙන්කර දෙන ලදී. මේ නිසා ජලය අල්ලන ප්‍රමාණය අඩු විය. විශේෂයන් එල්ලංගා පද්ධිතය(වැව්වල්ල) අමතක කිරීමෙන් ජලය මහ මුහුදටම ගලායාමක්‌ සිදුවිය. කුළුවැව්, කැලෑවැව් සහ මහවැව ඉහත්තාවේ තිබූ වළවල් නැතිවීමෙන් වැවට පස්‌ ගස්‌ කොළන් රොඩු සහ නොයෙක්‌ දේ පැමිණි වැව් ගොඩ වී ඇත. මේ නිසාද ජලය නිසි ප්‍රමාණයට වැවට අල්ලන්නේ නැති විය. කල් යල් නොබලා වැව් දිය හිස්‌කර වැව් නිර්මිත හා පතුල ඉවත් කරන නඩත්තු කිරීම් නිසා අනියමින් ජලය වත්මනෙහි හිඟ කෙරෙති.

මෙපමණක්‌ නොව අපේ පුරාණ ගොවිතැනේ ජල කළමනාකරණය මැනවින් තිබුණි. හොරොව් (දිය කැට පහන) වැවේ ජල මට්‌ටම ගණනය කිරීමත් අවශ්‍ය ප්‍රමාණයට ජලය නිකුත් කිරීමත් සිදුකිරීමට උපකාරි විය. හැම වෙල් යායකටම වේලි දිගේ ජලය ගෙන ගියේය. ඒ තැන තිබූ වක්‌කඩේ ජලය පාලනය කළේය.

කුඹුරු ලියදු හරියාකාර මට්‌ටම් කර පෝරු ගා දිය ඇළි අරිමින් වී ටික වපුරා ගත්තේය. ලියද්ද තුළ එසේ ජල පාලනය කළ අතර කුඹුර තුළ කරහනෙන් ලැබෙන ජලය දෙපාවේලි මඟින් බෙදා කාරිය කර ගත්තේය.

මේ සියල්ල කළේa එදා වැව අපේ නිසාය. සෑම පංගුකරුවකුටම වැවේ හිමිකම තිබුණි. ඒ නිසා වැව තමන්ගේම වසතුවක්‌ ලෙස සලකා ආරක්‌ෂා කළේය. අද වැව ආණ්‌ඩුවේය. පාලනය කරන්නේ ද, නඩත්තු කරන්නේද ඔවුන්ය. මේ නිසා කාරියද තමන්ගේ ලෙස සිදු නොවන්නේය. නිසි ස්‌ථානයේ සිටුවා ඇති බෝගයට අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය වේලාවට නාස්‌තියකින් තොරව ජලය ගෙනයාම ජල කළමනාකරණයේ මූලික හරයයි. අක්‌ වැස්‌සක්‌ ප්‍රයෝජන කරගෙන කැකුලන් ගොවිතැන පුරාණයේ කළේ ද ජල කළමනාකරණ පදනම ද ඇතිවය. ජල හිඟයට පිළියම් සෙවීමේදී අරපිරිමැස්‌ම හා ජල මූලාශ්‍ර අරක්‌ෂා කර වර්ධනය කිරීමේ දිගුකාලීන වැඩපිළිවෙළකටද යා යුතුව ඇත. එසේ නොකළහොත් කබලෙන් ළිපටම වැටෙන කාලය ඉක්‌මන් වනු නියතය.

* මාමිනියාවේ ඉලංගසිංහ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.