ස්‌නායු ආබාධයකින් පෙළෙන නිශාන්තට පිහිට වෙමු

ජීවිත අපේක්‍ෂාවන් යනු කිසිසේත් බැහැර කළ නොහැකි අතිශය සංවේදී මිනිස්‌ හැඟීමක්‌ය. එය තනිව ඉටු කරගත නොහැකි නම් කාරුණික මිනිසුන්ගේ පිහිට පැතීම අවමානයට හෝ ආත්ම අභිමානයට කැළලක්‌ ඇතිවීමට කරුණක්‌ නොවන්නේය. 45 හැවිරිදි එක්‌දරු පියෙක්‌ වන ඡේ. ඒ. නිශාන්ත පසුගිය දිනක තම එකම පුතුගේ වාරුවෙන් "දිවයින" කාර්යාලයට පැමිණියේ ඔහු පත්ව ඇති තත්ත්වය රටවැසියන් හමුවේ පවසා ජීවත් වීම පිණිස සරණක්‌ පැතීමටය. හරිහැටි ඇවිද ගැනීමට පවා අපහසු දැඩි ස්‌නායු ආබාධයකින් පෙළෙන ඔහු වෙනුවෙන් මෙම සටහන තබන්නේ පින්වන්ත මිනිසුන්ගේ ආධාර උපකාරයෙන් ඔහුව යළිත් දෙපයින් නඟාසිටුවීමේ දැඩි උවමනාවෙන් යුතුවය.

ලංකා ගමනාගමන මණ්‌ඩලයේ කොන්දොස්‌තර වරයකු ලෙස රැකියාව කර ඇති නිශාන්ත දරුණු ස්‌නායු ආබාධයකට ලක්‌ව ඔත්පලවී මේ වන විට වසර 10 ක්‌ ගෙවීගොස්‌ අවසන්ය. ජීවත් වීමට අමතරව වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාසිකව අධික මුදලක්‌ වැයවීම හේතුවෙන් ඔහු ඇතුළු දෙදෙනකුගෙන් සමන්විත පවුල මේ වන විට ජීවිතයේ අන්ත අසරණ අඩියකට වැටී ඇති අතර ඔහුට ඉතිරිව ඇති ජිවිත අපේක්‍ෂා අතර මුල්තැනක්‌ ගන්නේ හොඳින් ඉගැනීමට සමත්කම් දක්‌වන ලබන වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත තම එකම පුතුට තවදුරටත් හොඳින් අධ්‍යාපනය ලබාදීමය. මේ මොහොත වන විට එය තමන්ට තනිව කළ හැකි කාරියක්‌ නොවන බැවින් ඔහු කාරුණික රටවැසියන් ගෙන් ඉල්ලා සිටින්නේ ඒ සඳහා හැකි අයුරින් සහයෝගය ලබාදෙන ලෙසය.

බලාපොරොත්තු සහගත දැසින් යුතුව නිශාන්ත විසින් කරන ලද ඉල්ලීම කිසිසේත් ඉවත දැමිය නොහැකිය. නිහඬව පින් පුරණ මිනිසුන් තවමත් අප අතර සිටින බැවින් දිවියෙහි අතරමඟ අසරණව සිටින ඔහුට සරණක්‌ විය හැකි නම් එය මහත් කුසලයක්‌ වන බැවින් වත්තල මහජන බැංකු ශාඛාවේ ඔහු නමින් ඇති අංක 222200236858563 ගිණුමට ඔබගේ ආධාරය ලබාදිය හැකි අතර දුරකථන අංක 072-3867972 ට කතාකොට වැඩිදුර විස්‌තර ලබාගත හැකිය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.