එක්‌ සත්‍ය කතාවක්‌
හොරාගේ පුතා

දරුවන් වැඩිහිටියන් අනුගමනය කිරීම හෝ ආදර්ශයට ගැනීම සාමාන්‍යයෙන් සිදු වන්නකි. පියා දූ පුතුන් ඉදිරියේ මත්පැන් බොයි නම්, දුම්වැටි උරයි නම්, අසභ්‍ය වචන පාවිච්චි කරයි නම් දූ දරුවන්ටද ඒවා සාමාන්‍ය දේවල් බවට පත්වේ.

සුරාසොඬ පියවරුන්ගේ පුතුන්ද බොහෝ විට මත්පැනට ලොල් වූවන් වන්නේ නිරායාසයෙනි. තාත්තා ප්‍රසිද්ධියේ මත්පැන් බොයි නම් කුඩා කල ඒ දකින පුතා සිතන්නේ මත්පැන් සාමාන්‍ය දෙයක්‌ බවය.

මේ කතාව මත්පැන් ගැන නොවේ. එක්‌ ගම් පියසක සොරෙකු සිටියේය. ඔහු මුලින්ම කළේ සුළු සොරකම්ය. කඩ කැඩීම පටන් ගත්තේ පසු කලෙකය. ඔහුට පරණ මෝටර් සයිකලයක්‌ද තිබුණි. රාත්‍රී කාලයේ දී මෝටර් සයිකලයෙන් යන ඔහු ගමේ කුඩා කඩ කඩා ඇතුළු වී සබන්, සැමන් ටින් වැනි කුඩා කුඩා භාණ්‌ඩ ගෝනියක බහා බැඳගෙන ගෙදර එයි.

ගෙදර ගෙන එන මේ බඩු වෙන්කොට ඈත ප්‍රදේශයක කඩවලට ගෙන ගොස්‌ දී මුදල් ලබාගනී.

ඔහුගේ පුතාට කුඩාකල සිටම තාත්තා ගෙදරට ගෝනි ගණනින් බඩු ගෙන එන බව පෙනී ගියේය. තාත්තා මේවා ගෙන එන්නේ රාත්‍රී කාලයේදී බවද එම දරුවාට පෙනිණි.

දරුවා වැඩෙත්ම මේවා තාත්තා සොරකමෙහි යෙදීමෙන් ගෙන එනු ලබන දේවල් බව ඔහුට හැඟෙන්නට විය.

පියා දිනක්‌ ලොකු සොරකමකට ගියේය. වෙළෙඳ සලක උඩුමහලේ තැනකින් ඇතුළු වීමට තැත් දැරූ ඔහු අවාසනාවකට මෙන් උඩුමහලෙන් බිමට වැටුණි. පහළ තට්‌ටුවේ සිටුවා තිබුණු යකඩ උලක ඇමිණුනු ඔහු දරුණු ලෙස තුවාල ලබා ලේ ගලා යැමෙන් එම උඩුමහලේදීම මිය ගියේය.

ඒ වන විට සොරාගේ පුතා ලොකු මහත් වෙමින් සිටියේය. පියා අහිමි වුවද පියා කළ "රැකියාව" ගැන මතකය ඔහු තුළ තිබුණි. ඔහු තාත්තා කළ රස්‌සාව පටන් ගත්තේය.

ඔහුද කළේ ගම්බද කුඩා කඩ කැඩීමය. සැමන් ටින්, සබන් කැට ආදිය ගෝනිවල පිරී ගෙදර අහුමුළුවල

රැඳුණි. ඔහුගේ මව කිසිත් කීවේ නැත. ඇයට සොරකම් සුපුරුදු ඒවා බවට පත්ව තිබුණි. පුතා රෑට තාත්තාගේ මෝටර් සයිකලයෙන් යන ගමන් බිමන් ගැන ඇය දැන සිටියාය.

කුඩා කඩයක්‌ බිඳින්නට ගිය රැයක ඔහු කඩ හිමියාට අසුවිය. කඩ හිමියා සහ ඔහුගේ පුතුන් එකතුව ඔහුට පොලු මුගුරුවලින් පහර දුන්හ. කඩහිමියා පොලිසිය ගෙන්වා සොරා පොලිසියට භාර දුන්නේය. අවාසනාවකට පොලිසියට ගෙන යන අතරමඟදී ඔහු අවසන් හුස්‌ම හෙළීය.

තරුණ දරුවකුගේ ජීවිතය අවසන් වූයේ ඒ අන්දමටය. ඔහු සොරකමට පුරුදු වූයේ තාත්තා නිසාය. සොරකමට ඔහුගේ සිතෙහි තිබුණු බිය නැතිවිය. ඔහු ඒ රැකියාව තෝරා ගත්තේ එබැවිනි.

නරක සිරිත් පුරුදු කිරීම ඉතා පහසුය. තම දරුවන් තමන් ආදර්ශයට ගන්නා බව වැඩිහිටියෝ කල්පනා නොකරති. සොරෙකුගේ පුතෙකු වුවද, තමා සොරෙකු වග පුතාගෙන් වසන් කොටගෙන සිටියා නම් එම පුතා සොරෙකු නොවන්නට ඉඩ තිබුණි.

 චන්ද්‍රසිරි දොඩන්ගොඩ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.