ආර්ථිකය ඩවුන්ද පල්ලං ගිහින්ලු...
ඇත්තද මේ කියන්නේ...

ශ්‍යාම් නුවන් ගනේවත්ත



වත්මන් රජයේ ආර්ථික කළමනාකරණය ගැන බොහෝ විවේචන ඉදිරිපත් වෙමින් තිබුණත්, පසුගිය රජය විසින් වට්‌ටපු ආර්ථිකය නිසි මූල්‍ය විනයක්‌ ඇතිව ඉදිරියට ගෙන යන බව මුදල් ඇමැති රවි කරුණානායක මහතා පසුගියදා (16 දා) මුදල් අමාත්‍යාංශයේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කීවේය. රාජ්‍ය ආදායම සියයට තුනකින් පමණ ඉහළ ගොස්‌ ඇති බවද මුදල් ඇමැතිවරයා කීවේය. ඇත්ත වශයෙන්ම පසුගිය රජය සමයේ රාජ්‍ය ආදායම අඩුවීම අපගේ ද විවේචනයට ලක්‌ වූ ප්‍රධානතම කරුණකි. රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට වහාම ක්‍රියාමාර්ග ගත යුතු බව අප ද කියා සිටි කරුණකි. එහෙත් මේ ආදායම් වැඩිවී ඇත්තේ වැඩි වශයෙන් වක්‍රබදු හරහා නම් ඒ නිසා අතිමහත් බහුතර සාමාන්‍ය ජනයාට බර පැටවෙන බව අමුතුවෙන් කිව යුතු නැත. එම විවේචනය තිබෙන අතරම ආර්ථිකයේ ප්‍රගතිය රාජ්‍ය ආදායම තුළින් පමණක්‌ මැනිය නොහැක්‌කකි. මේ පසුබිම තුළ අංශ ගණනාවකින් ආර්ථිකයේ පවතින වත්මන් තත්ත්වය ගැන සාකච්ඡා කිරීම අපගේ අරමුණයි.

ආර්ථිකයේ විදේශ අංශය දෙස බලන විට විදේශ සංචිත තත්ත්වය පිරිහී රුපියල රැක ගැනීමට දිගින් දිගටම විශාල පීඩනයක්‌ පවතින බව රහසක්‌ නොවේ. එය අප විසින් අමුතුවෙන් කිව යුතු නොවන අතර මහ බැංකුව විසින් කියන දේවලින්ම හොඳටම පැහැදිලි වන්නකි. ඉකුත් පෙබරවාරි 07 දින ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මූල්‍ය ප්‍රතිපත්ති විවරණ වාර්තාවේ ඇති පහත සඳහනින්ද එය පැහැදිලිය.

'විදේශ අංශය සැලකූ කල ආනයන වියදම් ඉහළ යැම සහ අපනයන ආදායමේ අඩුවීම හේතුවෙන් වෙළෙඳ ශේෂයේ සමුච්චිත හිඟය 2015 වසරේ පළමු මාස එකොළහ තුළදී පැවැති ඇමෙරිකානු ඩොලර් බිලියන 7.6 ට සාපේක්‍ෂව 2016 වසරේ අනුරූප කාලයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 8.2 දක්‌වා තවදුරටත් පුළුල් විය. සංචාරක ඉපයීම් සහ විදේශ සේවා නියුක්‌තිකයන්ගේ ප්‍රේෂණ, වෙළෙඳ ශේෂයේ හිඟය මගින් සමස්‌ත ගෙවුම් ශේෂය මත ඇති කරනු ලබන අහිතකර බලපෑම තවදුරටත් අවම කිරීමට හේතු විය. 2016 වසරේදී සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියන 3.4 දක්‌වා සියයට 14.0 කින් වර්ධනය වී ඇතැයි ඇස්‌තමේන්තු කර ඇති අතර විදේශ සේවා නියුක්‌තිකයන්ගේ ප්‍රේෂණ ඇමෙරිකානු ඩොලර් බිලියන 7.2 දක්‌වා සියයට 3.7 කින් වර්ධනය විය. 2016 වසරේ Rජු විදේශ ආයෝජන ලැබීම් අපේක්‍ෂිත මට්‌ටමට වඩා අඩුවූ අතර රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ තුළ විදේශ ආයෝජනවල පිටතට ගලා යැමක්‌ වාර්තා විය. දළ නිල සංචිත 2016 වසරේ අවසානයේ වාර්තා කළ ඇමෙරිකානු ඩොලර් බිලියන 6.0 ට සාපේක්‍ෂව 2017 ජනවාරි මස අවසානයේ දී ඇමෙරිකානු ඩොලර් බිලියන 5.5 ක්‌ ලෙස ඇස්‌තමේන්තු කර ඇත. විදේශ අංශයෙහි වර්ධනයන් පිළිබිඹු කරමින් 2016 ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව සියයට 3.8 කින් අවප්‍රමාණය වූ ශ්‍රී ලංකා රුපියල 2017 වසරේ මේ දක්‌වා සියයට 0.5 කින් තවදුරටත් අවප්‍රමාණය වී ඇත.'

මේ අනුව අපනයන ආදායම අඩුවීම, වෙළෙඳ හිඟය (අපනයන ආදායම සහ ආනයන වියදම අතර පරතරය) ඉහළ යැම, විදේශ ආයෝජන පිටතට ගලා යැම, විදේශ සංචිත අඩුවීම සහ තවදුරටත් රුපියල පිරිහීම යන අහිතකර තත්ත්වයන් පවතින බව මහ බැංකුව විසින්ම තහවුරු කර ඇත.

වර්ෂ 2014 අග වන විට ඇමෙරිකානු ඩොලරයට ගෙවිය යුතු රුපියල් අගය තිබුණේ රුපියල් 131 ක්‌ වැනි මට්‌ටමේය. අද වන විට එම අගය රු. 152 ද පසුකර ගෙන ගොස්‌ ඇත. මෙසේ රුපියල පිරිහෙන්නේ රටට ලැබෙන විදේශ විනිමය ආදායම් අඩුවීම නිසාය. එසේ තිබියදී රුපියල අතින් අල්ලා නතර කරගත නොහැකිය. එහෙත් මුදල් ඇමැතිවරයා මහ බැංකුවේ විනිමය අනුපාත ප්‍රතිපත්තිය ගැන මහ බැංකුවට චෝදනා කර තිබිණි. ඒ ගැන මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා පවසා තිබුණේ විධිමත් මුදල් මණ්‌ඩල තීරණ අනුව අගමැතිවරයා ප්‍රදානත්වය දරන ආර්ථික කළමනාකරණ කමිටුවට ද ඉදිරිපත් කිරීම් සිදුකර, එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර ඇති බවයි. මේ අනුව රුපියල රැකගැනීම විදේශ සංචිත යොදාගෙන පමණක්‌ කළ හැකි දෙයක්‌ නොවන බව මහ බැංකුව කියන දෙයයි. මහ බැංකුව කියනා මෙය කාටත් පිළිගත හැකි දෙයකි. අවසානයේ විදේශ සංචිත ටිකත් නැතිකරගෙන රුපියලේ අගය කොහොමත් පිරිහීමට ලක්‌ වෙනවානම් එවැනි ආකාරයට රුපියල රැකගැනීමට කටයුතු කිරීම නිෂ්ඵල දෙයක්‌ බවට මහ බැංකුව අධිපතිවරයා කියන අදහසට අපටත් එකඟ වීමට සිදුවේ. විදේශ සංචිත ගතහොත් 2014 වසර අග තිබූ විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 8208 සිට මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 5500 ක්‌ පමණ දක්‌වා පහත වැටී තිබේ. මෙලෙස පසුගිය කාලය තුළ උත්සන්න වී ඇති විදේශ විනිමය අර්බුදකාරී තත්ත්වය ආර්ථිකයේ අනෙත් සෑම අංශයටම අහිතකර ලෙස බලපාන බව රහසක්‌ නොවේ. ආනයන භාණ්‌ඩවල මිල ඉහළ යැම හරහා එය දේශීය භාණ්‌ඩ හා සේවා මිල ගණන්වලට ද Rජුවම බලපානු ලබයි.

ජාත්‍යන්තර දර්ශක අනුව රටේ දූෂිතභාවය ද ඉහළ ගොස්‌ තිබේ. ලංකා ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාව ලෙස චෝදනා එල්ල වී ඇති බැඳුම්කර මගඩිය සිදුවූයේ ද මේ යහපාලන රජය යටතේ මහ බැංකුව තුළය. කොටස්‌ වෙළෙඳපොළ ද පසුබෑමට ලක්‌ව ඇත. රජය තුළ ඇති බලවත් ප්‍රතිපත්තිමය පරස්‌පරයන් නිසා රජයේ ඇතැම් තීන්දු තීරණවල ඒකමතිකභාවයක්‌ ද දක්‌නට නැත. ඒවා නිතර වෙනස්‌ වන ස්‌වභාවයක්‌ ද තිබේ. එය අපේ ආර්ථිකය කෙරෙහි ජාත්‍යන්තර ප්‍රජාවගේ සහ විදේශ ආයෝජකයන්ගේ විශ්වාසය පළුදු වීමට හේතුවී ඇත.



 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.