නව නිපැයුමෙන් ලෝකය දිනා
ලක්‌මව රනින් සැරසූ පුතා



ජගත් නව නිපැයුම් තරගයකින් රටවල් රැසක්‌ අභිබවා ජය හිමිකර ගෙන නොබෝදා ලක්‌ මවගේ ගෙලෙහි රන් තැල්ලක්‌ පැළැ» පුතෙකු පිළිබඳ නවමු ආරංචිය අපට ලැබෙනුයේ පොළොන්නරුවේ දිඹුලාගල ඈත දුෂ්කර ගම් පියසකිනි.

තායිලන්තයේ බැංකොක්‌ අගනුවරදී පසුගියදා පැවති නව නිපැයුම් තරගාවලියේ දී ස්‌වයංක්‍රීය ජල සැපයුම් උපකරණයක්‌ නිර්මාණය කර ඉදිරිපත්කොට අප රටටම කීර්තියක්‌ අත්කර දුන්නේ දිඹුලාගල සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ 11 වැනි ශේ්‍රණියේ ඉගෙනුම ලබන එම්. යොමාල් විශ්වජිත් සිරිවර්ධන සිසුවායි.

මහවැලි නිම්නයේ පිහිටි ගොවි ගම්මානයක්‌ වන යක්‌කුරේ යොමාල්ගේ ගම් පියසයි. ඔහුගේ පියා වන විපුල සිරිවර්ධන මහතා වෘත්තියෙන් ග්‍රාම නිලධාරියෙකි.

මව ප්‍රියන්තා කල්‍යාණි දසනායක මහත්මියයි. දරුවන් දෙදෙනකුගෙන් යුත් පවුලේ බාලයා යොමාල් විශ්වජිත්ය. ඔහුගේ අක්‌කා යසාරා යුවනිකා සිරිවර්ධන රජරට විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්‍ෂිකාවකි. පාසලේ ඉගෙනීමේ කටයුතුවලටත් වෙනත් බාහිර ක්‍රියාකාරකම්වලටත් එකසේ දස්‌කම් දක්‌වන බැව් කියන යොමාල් නව නිර්මාණ, අත්හදා බැලීම්වලට වැඩි උනන්දුවක්‌ දක්‌වන බව ඔහුගේ පියා වන විපුල සිරිවර්ධන මහතා අප සමඟ කීය.

යක්‌කුරේ ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලබන යොමාල් 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත්ව දිඹුලාගල සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුමට වරම් ලබා තිබේ. ඔහු කුඩා කාලයේ පටන්ම විවිධ නිර්මාණයන් කිරීම සඳහා යොමුවී ඇති බව අපට දැන ගන්නට ලැබිණි.

සිංහල අලුත් අවුරුදු කාලයට ගමේ යහළුවන් රතිඤ්Æ, අහස්‌කූරු දැල්වීමට ගොස්‌ දෑත්, ඇඟිලි ආදිය තුවාල කරගන්නා අයුරු යොමාල් අනන්තවත් දැක තිබේ. ඔහු එයට පිළියමක්‌ ලෙස ආරක්‌ෂා සහිතව අහස්‌ කූරු විදිනයක්‌ නිපදවනු ලැබීය. එය තමන් වෙසෙන පරිසරයේ ගොවි ජනතාව නිරන්තරයෙන් මුහුණ දෙන ප්‍රශ්නයක්‌ වන වන අලි ගම්මානවලට කඩා වැදීමේදී පලවා හරින්නට සහ වගාවන්ට හානි කරන රිළා වඳුරන් බියවද්දා එළවා හරින්නටද මෙය ප්‍රයෝජනයට ගත හැකි බව යොමාල් කියයි.

එහි ඇති විශේෂත්වය වන්නේ අහස්‌ කූර ඉලක්‌කයට විදීමට හැකිවීම සහ ආරක්‌ෂිත බව යෑයිද හෙතෙම කීය.

මෙයට අමතරව කෘත්‍රිම අතක්‌ද මේ පුංචි හපනා විසින් නිපදවා තිබේ. එම කෘත්‍රිම අතට 2015 වසරේ උතුරු මැද පළාතේ නව නිපැයුම් තරගාවලියේදී ප්‍රථම ස්‌ථානය හිමිවී ඇති අතර එම වසරේ නව නිපැයුම් සමස්‌ත ලංකා තරගයේදී තෙවැනි ස්‌ථාන ලබාගෙන ඇත. ජලය උණු කරන ආරක්‌ෂිත හීටරයක්‌ද තමන් විසින් නිපදවූ බව යොමාල් අප සමඟ කීය.

මෙවර නව නිපැයුම් ජාත්‍යන්තර තරගාවලියේදී රන් පදක්‌කම දිනාගත් යොමාල්ගේ නිර්මාණය වන ස්‌වයංක්‍රීය ජල සැපයුම් යන්ත්‍රය පිළිබඳව අප හමුවේ විස්‌තර කළේ මේ අන්දමටය.

මේ උපකරණය සම්පූර්ණයෙන්ම ස්‌වයංක්‍රීයයි. එය ක්‍රියාත්මක කෙරෙන්නේ විදුලියෙන්. ඊට අවශ්‍ය විදුලිය නිපදවා ගනු ලබන්නේ සූර්ය කෝෂ පද්ධතියක්‌ මගිනුයි. මෙහි ක්‍රියාකාරිත්වය වන්නේ විශේෂයෙන් ගොවි බිමකට හෝ අවශ්‍ය වෙනත් ස්‌ථානයකට ජල සැපයුම ස්‌වයංක්‍රීය ලෙස පාලනය කිරීමයි. වුවමනා වේලාවට ජලය ලබා ගැනීමටත් අනවශ්‍ය වේලාවට නවතා දමන්නටත් ස්‌වයංක්‍රීයව කළ හැකියි. එය දුරස්‌ථ පාලකය ලෙස තමන්ගේ අතේ තිබෙන ජංගම දුරකථනය යොදා ගැනීමට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම එය ක්‍රියාත්මක කරවීම සඳහා වේලාවක්‌, ස්‌ථානයක්‌, දුර ප්‍රමාණයක්‌ බලපාන්නේ නෑ.

මෙමගින් කාලය, ශ්‍රමය ඉතිරි කර ගැනීමටත්, කඩිනම් සේවාවක්‌ ලබා ගැනීමට සහ ආරක්‍ෂාවද ලැබෙනවා.

මෙහි ක්‍රියාකාරිත්වය අත්හදා බැලීම සඳහා වාරි ජලය සැපයෙන කුඹුරක ඇළකට සවිකළ බවද යොමාල් විශ්වජිත් අප සමඟ පැවසීය.

තම නිර්මාණයේ අනෙක්‌ විශේෂත්වය වන්නේ වගා බිමක මෙය සවි කළේ නම් එය වෙනත් ස්‌ථානයක සිට ක්‍රියාත්මක කරන විට එම අවස්‌ථාවේ එහි ජලය තිබේද, නැද්ද යන්න පවා ජංගම දුරකථනයට ලැබෙන සංඥවක්‌ මගින් දැන ගැනීමට හැකියාව තිබෙන බවද කීය. එමෙන්ම මෙම උපකරණය යම්කිසි ස්‌ථානයක සවිකර තිබෙන විට එය කවුරුන් විසින් හෝ රැගෙන යැමට, සොරකම් කිරීමට වෑයම් කළහොත් එයද දැන ගැනීමට හැකියාව ලැබෙන බවද යොමාල් කීවේය.

යොමාල්ට මෙම ස්‌වයංක්‍රීය ජල සැපයුම් යන්ත්‍රය නිර්මාණය කිරීම සඳහා වැයවී ඇත්තේ රුපියල්

12,000 ක පමණ මුදලකි. ප්‍රමාණයෙන් විශාල ඕනෑම ජල මාර්ගයකට හෝ ජල සැපයුමකට සවි කිරීම සඳහා මෙය වැඩිදියුණු කිරීමට හැකියාව තිබෙන බවද ඔහු පවසයි.

ඔහු මෙම නව නිර්මාණය පාසල් අයදුම්කරුවකු ලෙස මුලින්ම ඉදිරිපත් කර ඇත්තේ පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ නව නිපැයුම් තරගයකටය. ඉන් ජයග්‍රහණය කොට අනතුරුව උතුරු මැද පළාතේ නව නිපැයුම් තරගාවලියේදී සිය නිර්මාණයට ප්‍රථම ස්‌ථානය හිමිවූ බවත් පසුව ජාතික මට්‌ටමේ නව නිපැයුම් තරගාවලියේද ජය හිමිකර ගැනීමෙන් අනතුරුව මෙම ජාත්‍යන්තර තරගාවලියට යොමු කිරීමේ අවස්‌ථාව උදාවූ බවද යොමාල් කීවේය.

සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ඊ. ඩී. ඩී. එදිරිසිංහ මහතා සහ විද්‍යාලයේ ගුරු භවතුන් මෙම කාර්යයේ දී දක්‌වන ලද සහයෝගය විශේෂයෙන් සිහිපත් කරන බව ඔහු පැවසීය.

2017 තායිලන්ත නව නිපැයුම් දිනය වෙනුවෙන් තායිලන්තයේ බැංකොක්‌ අගනුවර ග්‍රෑන්ඩ් ශාලාවේ බයිටෙක්‌ ප්‍රදර්ශනාගාරයේ පැවති මෙම නව නිපැයුම් තරගාවලිය සඳහා චීනය, ජපානය, තායිලන්තය, මැලේසියාව, ඉන්දියාව, පකිස්‌ථානය, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 29 කින් තරගකරුවන් දහසකට අධික පිරිසක්‌ සහභාගි වී තිබේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යොමාල් විශ්වජිත් සිසුවා සමඟ තවත් පාසල් සිසුන් තිදෙනකුද එයට සහභාගි වී ඇති අතර ඔවුහුද සිය නව නිර්මාණ වෙනුවෙන් රිදී පදක්‌කම් 03 ක්‌ දිනා ගනිමින් සිය රටට ගෞරවයක්‌ අත්කර දී ඇත.

එම සිසු දරුවන් තිදෙනා ගම්පහ, කුරුණෑගල, කෑගල්ල යන දිස්‌ත්‍රික්‌ක නියෝජනය කර එයට සහභාගි වී තිබේ.

අපේ රටේ දරුවන්ට මෙම ජාත්‍යන්තර තරගයට සහභාගි වී සිය නිර්මාණ ඉදිරිපත් කිරීමේ අවස්‌ථාව සංවිධානය කර තිබෙන්නේ විද්‍යා තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මගිනි.

සෑම වසරකම එය සංවිධානය කරනු ලබන බවත්, මෙම සිසු දරුවන්ට එයට සහභාගි වීම සඳහා අවස්‌ථාව උදාකරදී ඇත්තේ නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ අධ්‍යක්‍ෂ ආචාර්ය මහේෂ් එදිරිසිංහ මහතා ප්‍රමුඛ කාර්ය මණ්‌ඩලයයි. තරගකරුවන්ට සිය නිර්මාණ ඉදිරිපත්කොට එයට සහභාගිවීම සඳහා සියලු විය පැහැදම්ද නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මගින් දරා තිබෙන බවද අපට දැන ගන්නට ලැබිණි.

තමන්ගේ මෙම ජයග්‍රහණය වෙනුවෙන් සියලුම උදව් උපකාර මඟ පෙන්වීම් කළ තම ආදරණීය අම්මා, තාත්තා සහ අක්‌කාද පාසලේ විදුහල්පතිතුමා සහ ආචාර්ය මණ්‌ඩලයටද නව නිපැයුම් කොමිසමේ අධ්‍යක්‍ෂ ආචාර්ය මහේෂ් එදිරිසිංහ මහතා ඇතුළු සියලුම කාර්ය මණ්‌ඩලයටද ස්‌තුතිය පුදකරන බව යොමාල් විශ්වජිත් සිරිවර්ධන සිසුවා පැවසීය.

රටවල් රැසක තරගකරුවන් දහසකට අධික සංඛ්‍යාවකගේ නිර්මාණ අතුරින් විශිෂ්ට නිර්මාණයක්‌ ලෙස අපේ රටේ පුංචි හපනාගේ නිර්මාණයට රන් පදක්‌කම හිමිවීම සැබැවින්ම අපට, රටට ඉමහත් ගෞරවයකි, ආඩම්බරයකි. එනමුදු එය අපේ රටේ වගකිවයුත්තන් විසින් නිසි අගැයීමකට ලක්‌කළ බවක්‌ නම් අපට දැන ගන්නට ලැබුණේ නැත. එක්‌ අතකින් එය අපේ රටේ හැටිය. ඇතැම් විට මෙය කොළඹ හෝ වෙනත් තදාසන්න නගරයක සුපිරි පාසලක සිසු දරුවෙකු විසින් හිමිකර ගත් ජයග්‍රහණයක්‌ නම් එම දරුවා රටට ගොඩබසින විට ගුවන් තොටුපළේදීම රතු පලස එළා පිළිගන්නටද ඉඩ තිබුණි. නමුත් යොමාල් විශ්වජිත් සිරිවර්ධන සිසුවා රන් පදක්‌කම දිනා තායිලන්තයේ බැංකොක්‌ අගනුවර සිට කටුනායක ගුවන් තොටුපළෙන් බැස බස්‌ රියෙන් දිඹුලාගල යක්‌කුරේ පිහිටි සිය නිවසට පැමිණියේ කිසිවකුගේත් පිළිගැනීමකින් තොරවය.

ලක්‌ මවගේ ගෙල රනින් සැරසූ ආදරණීය පුලතිසි පුතණුවනි, ඔබට අපගේ ගෞරවය සහ උණුසුම් සුබ පැතුම්!

කරුණාරත්න ගමගේ
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.