රාජ්‍ය සේවය, නිලධාරියා සහ රටේ හෙට දවස

නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි

හැට වයස්‌ පිරි අමාත්‍යාංශ ලේකම්වරුන්ට සේවා දිගු නොදෙන ලෙස ශ්‍රී ලංකා පරිපාලන නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා ඇත. මෙය සාධාරණ වෘත්තීය ඉල්ලීමකි. ශ්‍රී ලංකා පරිපාලන නිලධාරීන්ගේ එකී ඉල්ලීම සහ රාජ්‍ය සේවයෙහි පවත්නා අසාර්ථක සහ උකටලී භාවය පදනම් කොට සාකච්ඡාවකට මෙය කදිම අවස්‌ථාවකි. රාජපක්‍ෂ පාලන කාලය පුරා රාජ්‍ය සේවයේ වෘත්තීය අයිතිවාසිකම් යටපත්ව තිබිණ. එකල තමන් දැඩි බලපෑම් වලින් මිරිකී සිටි බව සමහර රාජ්‍ය නිලධාරීහු පිළිගනිති. යහ පාලනයට පසුව, ශ්‍රී ලංකා පරිපාලන නිලධාරීන්ගේ සංගමය සක්‍රීයව ඇති බව පෙනේ. ඔවුන් යහ පාලකයන් සමග අවි අමෝරා සටන් වදිනු දැකිය හැකිය.

දිවුලපිටියේ ආරවුල හරහා රාජ්‍ය සේවය කොටඋඩ තැබීමට තැත් කළද දින තුනක්‌ ඇතුළත මාධ්‍ය සාකච්ඡාවකින් සටන අවසන් විය. "ප්‍රාදේශීය ලේකම්වරිය අසාමාන්‍ය කාලයක්‌ එකම තැන සේවය කළා" යන කීම හිරිකිත ආරංචිය ඊට මුල් විය. ප්‍රශ්නගත පස්‌ කැපීම රීතියක්‌ පාලනයක්‌ නොමැතිව සිදුවූ බව හෙළි විය. ප්‍රසන්න රණතුංගගේ නායකත්වය නිසා එකී සටන දේශපාලන ගොහොරුවට විසි විය. මහ ඇමැති ලෙස ප්‍රසන්න රණතුංග රාජ්‍ය නිලධාරීන් හැසිරවූ ආකාරය සමඟ රන්ජන් රාමනායකගේ හැසිරීම අතර වෙනස දිස්‌විය. ප්‍රසන්න රණතුංගලාගේ යුගයේ වසර හැත්තෑ පහ ඉක්‌මවූ නිලධාරීන් ද, පිටස්‌තර ව්‍යාපාරිකයන් හිතමිතුරන් ද අමාත්‍යාංශ ලේකම් දිසාපති ආදි තනතුරු දැරූහ. ජ්‍යෙෂ්ඨත්වය නො සලකා පුරප්පාඩු පිරවිණ. හිතමිත්‍රයන්ට පමණක්‌ ජනප්‍රිය නගරාසන්න මෙන්ම පිට වාසි ඇති සේවා ස්‌ථාන සින්න විය. මෙකී දුර්වර්ණ අතීතයට එරෙහි නොවූ පරිපාලන නිලධාරී සංගමයට ජනතා සහාය නොලැබිණ. යහ පාලනය සමඟ දූෂණ වංචා හෙළි විමෙන් රාජ්‍ය නිලධාරීන් මාංචු දමා බන්ධනාගාර ගෙන ගියහ. ඔවුන්ට එරෙහි නීති පියවර ගනියි නම් සිය තනතුරු වලින් ඉල්ලා අස්‌වන බවට ශ්‍රී ලංකා පරිපාලන නිලධාරීන්ගේ සංගමය රජයට තර්ජනය කළහ. අධිකරණයේ චෝදනා ලැබ ඇප මත සිටි සමහර නිලධාරීන් වැඩ තහනමට ලක්‌ නො කිරීම සහ ඔවුන් ඉහළ තනතුරු වලට පත් කිරීමේ චෝදනාව මත හිටපු රාජ්‍ය පරිපාලන ලේකම්ට තනතුර හැර යැමට සිදු විය. තවමත් ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි රාජ්‍ය සේවයේ අත්පොත් බව සමහර ලේකම්වරු පවා නොදනිති.

මහාචාර්ය විශ්වා වර්ණපාලගේ "ලංකා සිවිල් සේවා පරිපාලනය" නම් කෘතියෙහි රාජ්‍ය නිලධාරියා යනු රාජ්‍ය මුදල් භාවිත කරන පුද්ගලයා ලෙස අර්ථ දක්‌වා ඇත. රාජ්‍ය මුදල් භාවිත කිරීමේ අවසරය ඇති රාජ්‍ය නිලධාරීන් දේශපාලනඥයන් ගුරු කොට ගත යුතු නැත. ඔවුන් අනුගත විය යුත්තේ ව්‍යවස්‌ථාදායක අණ පනත් සහ රාජ්‍ය මූල්‍ය චක්‍ර ලේඛයන්ය. රාජ්‍ය නිලධාරීන් පාර්ලිමේන්තුවට, විධායකයට අධිකරණයට ජනතාවට Rජුව වගකිව යුතු වේ. රාජ්‍ය සේවය දේශපාලකයන්ට හීලෑ වීම යනු දූෂණයට වංචාවට දොර හැරීමකි. සිය වගකීම් අතර, ලැදිකම බිය හෝ වෙනත් බලපෑම්වලට නතුවී සිදු කෙරෙන රාජකාරි පිළිබඳව කිසිදු රාජ්‍ය නිලධාරියෙකුට නිදහස්‌ විය නිදොස්‌ විය නො හැක.

රාජ්‍ය සේවය දේශපාලනඥයන් විසින් හීලෑ කිරීම ඓතිහාසික කතාවකි. රාජ්‍ය සේවයේ කොඳු නාරටිය කඩාදැමුවේ 1972 සහ 1978 ව්‍යවස්‌ථා මගිනි. රාජ්‍ය සේවා කෙමිෂන් සභා අධිකාරිය අක්‍රීය කළ පසුවද, රාජ්‍ය නිලධාරීන් ස්‌වකීය වගවීම් පිළිබඳ ප්‍රවේශම් විය. එහෙත් 2010 දී 18 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ස්‌වාධීන කොමිෂන් සභා අහෝසි කළ පසුව, රාජ්‍ය සේවය මෙන්ම අධිකරණ සේවය ද දේශපාලකයන්ගේ වහල් කඳවුරු බවට පත් විය. මෙතෙක්‌ හෙළිවී ඇති දූෂණ වංචා බොහෝමයක්‌ 18 වැනි ව්‍යවස්‌ථා සංශෝධන නීතියෙහි ප්‍රතිඵල වෙති. මහාධිකරණයේ අධි චෝදනා ලැබූ චූදිත රාජ්‍ය නිලධාරියෙකු රාජපක්‍ෂ පාලන කාලයේ පැවති පීඩනය ගැන කරුණු කීය. ඔහු වර්තමානයේ පත්ව සිටින අසරණ තත්ත්වය හා සමාජ අපවාද ගැන පසුතැවිලි වේ. මැතිවරණ කාලයක ආහාරපාන දීමද ඡන්ද දූෂණයකි. ඒ පසුබිම යටතේ ජනාධිපති අපේක්‍ෂකයාගේ වාසියට රජයේ මුදලින් සිල් රෙදි ලබාදීම දූෂණයක්‌ නොවේද? අල්ලස්‌ දීමේ වරදට අපේක්‍ෂකයා ද රාජ්‍ය මුදල් අවභාවිතය ගැන නිලධාරීන්ද වරදට හසුවේ. රාජ්‍ය සේවය පැවතියේ මෙවැනි පසුබිමකය.

රාජ්‍ය නිලධාරීන්ට අනවශ්‍ය ළෙන්ගතුකම් හා ජ්‍යෙෂ්ඨත්වය නොතකා නිලධාරීන් තනතුරුවල පිහිටුවීමෙන් පෑමෙන් මේ තත්ත්වය උදාවිය. රාජ්‍ය සේවය බිඳවැටුණේ මෙසේය. ශ්‍රී ලංකා පරිපාලන සංගමය මේ තත්ත්වය අනුමත නොකළේද? එබැවින් අද කළ යුත්තේ හුදෙකලා සිද්ධීන් දඩමස්‌ කිරීම නොවේ. ධනාත්මක ප්‍රවේශයක්‌ අවබෝධාත්මක කතිකාවකට මුල පිරීමය. ශ්‍රී ලංකා පරිපාලන සංගමය මේ තත්ත්වය තේරුම් නොගන්නේ ඇයි? ඔවුන් පක්‍ෂ දේශපාලනයට මිශ්‍ර වී සිටිති. දිවුලපිටි සටන අසාර්ථක වුණේ රාජ්‍ය නිලධාරීන් බිය වැද්දවූ ප්‍රසන්න රණතුංගලාගේ අතීත කෙරුවාවල් නිසාය.

ශ්‍රී ලංකා පරිපාලන නිලධාරීන්ගේ සංගමය සත්‍ය ලෙසම බුද්ධිමතුන්ගේ සංසදයකි. ස්‌වකීය වෘතිය ගෞරවය සාමාජික සුභ සාධනය හා යහපත් රාජ්‍ය සේවයක්‌ වෙනුවෙන් නව ප්‍රවේශයක්‌ හඳුනා ගත යුතුව ඇත. වියපත් පුද්ගලයන් තනතුරුවල රඳවා නො තැබීය යුතුය යන්නට රජය යහපත් ප්‍රතිචාර දක්‌වනු නියතය. අතලොස්‌සක්‌ වන අමාත්‍යාංශ ලේකම් තනතුරු දරන හැට වයස්‌ පිරි නිලධාරීන් ඉයත් කිරිමෙන් නිලධාරීන් කිහිප දෙනෙකුට යහපතක්‌ උදාවේ. එයින් රාජ්‍ය සේවයේ ගුණාත්මක භාවය හෝ ගෞරවය වැනි ධනාත්මක ප්‍රතිලාභ අත් නොවේ. මේ ඉල්ලීම හරහා තම වෘත්තීය වපසරිය ගැන ඔවුන් තුළ ඇති අනවබෝධය හැර වෙන යමක්‌ නැත. ඔවුන් ස්‌වයං විවේචනයක යෙදිය යුතුවේ.

ශ්‍රී ලංකා පරිපාලන සේවය තම පූර්වගාමින් අනුගමනය කළ යුතුව ඇත.

රාජ්‍ය සේවයේ වර්තමානය අඳුරුය. බෙහෙවින් අවුල් සහිතය. කනගාටුදායකය. දශක ගණනාවක සිට රාජ්‍ය නිලධාරීන් තුළ වෘත්තීය සහෝදරත්වය සහජීවනය නො තිබිණ. ජ්‍යෙෂ්ඨත්වය සහ යහ පැවැත්මට අවශ්‍ය කැපවීම දැකිය නො හැකිය. තවකෙකු යටපත් කොට ඉහළට යැම රාජ්‍ය සේවයෙහි පවත්නා පිළිකුල් තත්ත්වයකි. දිස්‌ත්‍රික්‌ ලේකම් තනතුර සඳහා එදා ජ්‍යෙෂ්ඨත්වය අනම්‍ය සුදුසුකම විය. එහෙත් මෑතක මේ සම්මතයන් ප්‍රතික්‌ෂේප විය. එසේම රාජ්‍ය පරිපාලන චC්‍ර ලේඛ අනුව යම් සේවා ස්‌ථානයක රැඳී සිටිය හැකි කාල නියමය නො තකා හැරිණ. රට පුරා විවිධ පළාත්වල සේවය කිරීමේ පළපුරුද්ද අවතක්‌සේරු විය. සමහරු කැඩෙට්‌ නිලධාරීන් ලෙස පැමිණි දිස්‌ත්‍රික්‌කයෙන් පිටත මැතිවරණ රාජකාරියකට හෝ ගොස්‌ නැත. අත්දැකීම් රහිත පටු අරමුණු වෙත නැඹුරුවූ පුද්ගලයන් රාජ්‍ය සේවයට මෙන්ම රටටද හානියකි.

එක්‌ ප්‍රාදේශීය ලේකම් කෙනෙකු පිළිබඳ ඉහළට පැමිණිලි ලැබිණ. වංචනික ලෙස ගමන් වියදම් ලබා හසුවී ආපසු ගෙවීම් අක්‍රමික ඉපැයීම් පිළිබඳ බොහෝ චෝදනා නැඟිණ. වසර හතක්‌ එකම තනතුරක සේවය කළ ඒ ප්‍රදේශයට වෙනත් නිලධාරියකු අවශ්‍ය බව ප්‍රාදේශීය දේශපාලන අධීකාරියේ ස්‌ථාවරය විය.

"මෙහෙම චෝදනාවක්‌ නොමැති නිලධාරියෙකු රාජ්‍ය සේවයෙන් සොයා ගත හැකිද? ඉහත තත්ත්වය ගැන අමාත්‍යාංශ ලේකම්වරයකු ප්‍රතික්‍රියා දැක්‌වූයේ එසේය. සාවද්‍ය මුදලක්‌ ලබා ගැනීමක්‌ එසේ සාධාරණීකරණය කරයි නම් අල්ලස්‌ පිට වාසි කොමිස්‌ සම්බන්ධව රාජ්‍ය සේවා චින්තනය මෙබඳු විය හැකිය. රාජ්‍ය සේවයේ වර්තමාන ප්‍රතිරූපය එවැන්නකි. විශ්වා වර්ණපාල නිර්වචනය අනුව අප යහපත් රාජ්‍ය සේවයක්‌ සොයා ගත යුතුව ඇත. රාජ්‍ය සේවය මෙසේ පිරිහුණේ දේශපාලන බලපෑම් නිsසාය. වරද දේශපාලනඥයාගේ නොවේ. තම ස්‌වාධීනත්වය ආරක්‍ෂා කර ගැනීම රාජ්‍ය නිලධාරියා සතු මූලික වගකීම වේ. රාජ්‍ය සේවයත් සේවා ගෞරවයත් මෙසේ නැති වීම නිසා පොදු දේපළ ආරක්‍ෂාව සඳහා පොලිසිය උසාවි යමින් සිටිති. ප්‍රධාන ගිණුම් නිලධාරියාය යන හැ`ගීම වගකීම නො දරන කිසිවෙකු ගෞරව අපේක්‍ෂා නොකළ යුතුය. කොන්දේසි රහිතව නින්දාවට පත් වන්නේ මෙතැනදීය. පිටතින් රාජ්‍ය සේවයට පුද්ගලයන් සොයන්නේ මේ තත්ත්වය තුළය. මේ නිසා බොහෝ

රැකියා අවස්‌ථා ද රාජ්‍ය නිලධාරීන්ට අහිමිව ඇත. එනිසා රාජ්‍ය සේවයට බලපාන එකම ගැටලුව වයස්‌ සීමාව ඉක්‌මවා තනතුරු දැරීම නොවේ. දුෂ්කර ප්‍රදේශවල සේවය කරන බොහෝ නිලධාරීන්ට ප්‍රිය මනාප සේවා ස්‌ථාන ලබා ගැනීමේ ඉඩකඩ නැත. නිල නිවාස පරිහරණය ගැන මෙහි සාකච්ඡා නො කෙරෙයි. අපේක්‍ෂිත පිළිතුරක්‌ නොලද තැන සිහි කැඳවීමක්‌ යෑවීම පවා වර්තමානයේ සිදු නොවේ. රාජ්‍ය සේවකයාගේ වර්තමාන මැදිහත්වීම ප්‍රශ්නයක්‌ ඇත් නම් ලියා එවන්න යන්නට සීමා වී ඇත.

එක්‌ දහස්‌ නවසිය හැත්තෑ ගණන් වලදී පවා සේවා ස්‌ථානයක රාජ්‍ය සේවකයෙකු රැඳී සිටිය යුතු සම්මත කාලය වසර තුනකි. එහෙත් ආසන්න වසර තිස්‌ ගණනක රාජ්‍ය සේවයෙහි වාර්ෂික ස්‌ථාන මාරු ප්‍රතිපත්තිය සියයට බිංදුවකි. කවුරු හෝ බලවතෙකු සතුටු කරමින් අධිරාජ්‍ය පිහිටුවා ගත් රාජ්‍ය නිලධාරීන් බහුලය. දිවුලපිටි අත්දැකීම ඊට උදාහරණයකි. ප්‍රශ්නගත පස්‌ කන්ද එහි ප්‍රතිඵලය විය හැකිය. ඒ හරහා බිඳවැටුණේ රාජ්‍ය සේවයේ අභිමානයයි. යහ පාලන ඉලක්‌කය යහපත්ය. එය විධිමත් කොට රටේ පැවැත්ම සහතික කිරීම රාජ්‍ය සේවයට පැවරුණු වගකීමකි. ඒ සඳහා පාලකයන් සමඟ මුහුණට මුහුණ ලා කතිකාවක්‌ ගොඩ නැගිය යුතුව ඇත. එය සාර්ථක වූ පසුව රාජ්‍ය සේවය කාර්යක්‍ෂම වේ. දේශපාලන නායකත්වය පවා හැසිරවීමේ ඉඩ රාජ්‍ය සේවයට අත්පත් කර ගත හැකිය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.