ෆේස්‌බුක්‌ මඩ සියල්ල මතක සටහන් ලෙස එකතු කළා
පොලිස්‌පති පූජිත් ජයසුන්දර දිවයිනට කියයි

හේමන්ත රන්දුණු

මමත් කාලයක්‌ ෆේස්‌බුක්‌ පරිශීලනය කළා. දැන් තියෙන රාජකාරිත් එක්‌ක ඒක කරන්න වෙලාවක්‌ නැහැ.

ශ්‍රී ලංකා පොලිස්‌ ඉතිහාසයේ මෑත භාගයේ විශේෂයෙන්ම නම කියෑවෙන පොලිස්‌පතිවරයා වූයේ පූජිත ජයසුන්දර මහතා ය. දේශපාලන පලිගැනීම්, නීතිය නැවීම්, දුරකථන ඇමතුම් ආදියෙන් ජනතාව අතර ඔහුගේ න් නිරන්තරයෙන් කියෑවිණි. එහෙත් ඒ සඳහා ඔහුගේ පිළිතුරු කිසි විටෙකත් නොකියවිණි. පොලිස්‌පති ධුරය භාරගත් පසු ඔහු සෘජු ලෙස ඒ සියල්ලට පිළිතුරු දෙන පළමු අවස්‌ථාවයි මේ.

ප්‍රශ්නය - ප්‍රධාන පක්‍ෂ දෙකම එකට රට පාලනය කරනවා. කිසිම පොලිස්‌පතිවරයකුට මුහුණ දීමට නොලැබුණු අභියෝගයකට ඔබට මුහුණ දීමට සිදු වී තිබෙනවා. පසුගිය කාලයේ වූ ඇතැම් සිදුවීම්වලදී ඔබ දැඩි අපහසුතාවන්ට මුහුණ දුන් බව රටම දැක්‌කා.

පිළිතුර - සත්තකින්ම මේ වන තුරු මට කිසිම අපහසුතාවක්‌ වෙලා නැහැ. පොලිස්‌පතිවරයා විදිහට නිදහසේ බලපෑමකින් තොරව රාජකාරි කරන්න අවශ්‍ය පරිසරය මට ලැබී තිබෙනවා. රාජකාරි කරගෙන යද්දී මට ජනාධිපතිවරයාගෙන් හෝ අගමැතිවරයාගෙන් කිසිම බලපෑමක්‌ එල්ල වෙලා නැහැ. දේශපාලන අවශ්‍යතා මත අර වැඩේ කරන්න මේ වැඩේ කරන්න අරයව අල්ලන්න, මෙයාව අල්ලන්න එපා. එහෙම කියලා කිසිම අවස්‌ථාවක මට බලපෑම් කරල නැහැ.

ප්‍රශ්නය - පසුගිය රජය සමයේ සිටි දේශපාලනඥයන් විවිධ වංචාවන්ට සම්බන්ධ බව කියමින් අත්අඩංගුවට ගන්නවා. මේ අත්අඩංගුවට ගැනීම් සාධාරණ නොමැති බවට පොලිස්‌පතිවරයාට චෝදනා එල්ල වී තිබෙනවා.

පිළිතුර - කිසිම පුද්ගලයකු හිතුවක්‌කාර විදියට අත්අඩංගුවට ගන්න පොලිස්‌පතිවරයාට හෝ පොලිස්‌ නිලධාරීන්ට බලයක්‌ නැහැ. රටේ නීතියක්‌ තියෙනවා.

යම් පුද්ගලයෙක්‌ අත්අඩංගුවට ගන්නවා නම් මුලින්ම පැමිණිල්ලක්‌ තියෙන්න ඕනේ. ඊට පස්‌සේ ඒ පුද්ගලයාගෙන් ප්‍රකාශ ගන්න ඕනේ. ඒ පැමිණිල්ලට අදාළ ලිත හෝ වාචික සාක්‍ෂි තියෙන්න ඕනේ. මේ දේවල් සම්පූර්ණ කළාට පස්‌සේ තමයි රටේ නීතිය අනුව පුද්ගලයෙක්‌ අත්අඩංගුවට ගන්නේ. පොලිස්‌පතිවරයා විදියට මට හිතුවක්‌කාර තීන්දු තීරණ ගන්න බැහැ.

ඒ වගේම එක එක පුද්ගලයාගේ අවශ්‍යතා මත එක එක පුද්ගලයාට ඕනෙ විදිහට පෞද්ගලික පලිගැනීම්වලට දේශපාලන අවශ්‍යතා මත කිසිම කෙනෙක්‌ අත්අඩංගුවට ගන්න බැහැ. පොලිස්‌පතිවරයාගේ අභිමතය පරිදි පොලිස්‌පතිගෙ අවශ්‍යතාව මත අත්අඩංගුවට ගැනීම් කරන්නත් බැහැ. ඇතැම් අවස්‌ථාවලදී පොලිස්‌පතිවරයා විදිහට යම් යම් කරුණු පිළිබඳව මම ජනාධිපතිවරයා දැනුවත් කර උපදෙස්‌ ලබා ගන්නා අවස්‌ථා තිබෙනවා. ඒ වගේම අගමැතිවරයාගෙන්, විෂය භාර ඇමැතිවරයාගෙන්, ලේකම්වරයාගෙන් මෙන්ම පොලිස්‌ කොමිසමෙන් උපදෙස්‌ ලබා ගෙන කටයුතු කරන අවස්‌ථා තිබෙනවා.

ප්‍රශ්නය - වර්තමාන යහපාලන රජයේ ඇතැම් දේශපාලනඥයන්ට විවිධ වංචා අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා. එහෙත් ඔවුන් අත්අඩංගුවට ගන්නට පොලිසිය අසමත් වෙලා.

පිළිතුර - පසුගිය රජය වගේම වර්තමාන රජයේ වුණත් අපරාධයකට සම්බන්ධ පුද්ගලයෙක්‌ ගැන ලිත පැමිණිල්ලක්‌ ලැබුණොත් අපි ඒක විභාග කරනවා.

ඒවා පොලිස්‌ ස්‌ථාන මට්‌ටමින් වංචා විමර්ශන අංශයෙන්. සී. අයි. ඩී. එකෙන් හෝ එµa.සී.අයි.ඩී. එකෙන් විභාග කරනවා.

හැබැයි වාචිකව හෝ ප්‍රමිතියක්‌ නැති ලිත පැමිණිලි විභාග කරන්න බැහැ. පැමිණිල්ලක්‌ ඉදිරිපත් කළොත් ඒකට සාක්‍ෂි තියෙන්න ඕනෙ. ඒ පැමිණිල්ලට අදාළව තොරතුරු තියෙන්න ඕනෙ. ඒ පැමිණිල්ලට සාක්‍ෂි තොරතුරු මත යම් වරදක්‌ වෙලා තිබෙනවා නම් වර්තමාන රජයේ දේශපාලනඥයකු හෝ වේවා අත්අඩංගුවට ගන්න පොලිසිය කටයුතු කරනවා.

වරදක්‌ කර තිබෙනවා නම් වර්තමාන රජයේ ද පසුගිය රජයේ ද, හිටපු දේශපාලනඥයෙක්‌ ද, ඉන්න දේශපාලනඥයෙක්‌ ද වැරදිකාරය උතුරෙද, දකුණෙද, පොහොසතෙක්‌ ද, දුප්පතෙක්‌ ද ගැහැනියෙක්‌ ද මිනිහෙක්‌ ද කියලා බලන්නෙ නැහැ.

පොලිස්‌පතිවරයා විදිහට මම කැපවෙලා ඉන්නේ මහජනතාවට සේවය කරන්න. අනික පැමිණිලි පාර්ශ්වය හෝ විත්ති පාර්ශ්වය එකවර සනසන්න අපට බැහැ. වැරදි කරපු පැත්තට විරුද්ධව කටයුතු කරන කොට ඒ අය විවිධ අභූත චෝදනා කරනවා. ඒ නිසා පක්‍ෂ පාට භේදයක්‌ නැහැ. වැරදිකරපු ඕනෑම කෙනෙකුට විරුද්ධව කටයුතු කරන්න පොලිස්‌පතිවරයා විදිහට බැඳී සිටිනවා.

ප්‍රශ්නය - එµa. සී. අයි. ඩී.ය පවත්වාගෙන යැම සම්බන්ධයෙන් වර්තමාන රජය වෙත මෙන්ම පොලිසිය වෙත බරපතළ අන්දමේ චෝදනා එල්ල වී තිබෙනවා. මේ අංශය දේශපාලන අවශ්‍යතා මත ක්‍රියා කරන බව විපක්‍ෂය මෙන්ම ආණ්‌ඩු පක්‍ෂයේ ඇතැම් දේශපාලනඥයන් ද චෝදනා කරනවා.

පිළිතුර - පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය ස්‌ථාපිත කරනු ලැබුවේ වැදගත් අරමුණක්‌ වෙනුවෙන්.

රටේ මහජනයාගේ දේපළ කොල්ල කෑ පුද්ගලයන් නීතියේ රැහැනට නතු කර ගැනීමට ආරම්භ කරපු මේ ආයතනයට විරුද්ධ වෙන්නෙ ඒ දේවල්වලට සම්බන්ධ වෙච්ච අයමයි.

එµa.සී.අයි.ඩී. එක හිතුමතේ රාජකාරි කරන්නෙ නැහැ.

මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට ලැබෙන හැම පැමිණිල්ලක්‌ම මම පෞද්ගලිකව විශ්ලේෂණය කරනවා.

එµa.සී.අයි.ඩී එක දේශපාලන අවශ්‍යතා මත ක්‍රියා කරන ආයතනයක්‌ නෙවෙයි. කව්රු මොනවා කිව්වත් එµaසීඅයිඩී එක වහන්නෙ නැහැ. මෙතනට ලැබිලා තියෙන හැම පැමිණිල්ලක්‌ ම විභාග කරලා අපරාධකාරයාට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා.

ප්‍රශ්නය - නීතිය නමා හෝ රාජකාරි කළ යුතු බව ඔබ පසුගිය කාලයේ කළ ප්‍රකාශය මහත් ආන්දොaලනයට ලක්‌වෙලා. ඒ ප්‍රකාශය නීතියට අභියෝග කිරීමක්‌.

පිළිතුර - මාව පොලිස්‌පති ධුරයට පත් කළේ රටේ ජනාධිපතිවරයා සහ උත්තරීතර ව්‍යවස්‌ථාදායක සභාව. පොලිස්‌පතිවරයා විදිහට මට විශාල අභියෝගයක්‌ තිබෙනවා. වගකීමක්‌ තිබෙනවා. මහජන ආරක්‍ෂාව සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම තිබෙන්නේ පොලිස්‌පතිවරයා සතුව.

ඒක මම නොපිරිහෙලා ඉටු කළ යුතුයි. මහජන දේපළ කොල්ලකාපු, දේශපාලනඥයො සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන කරද්දී ඔවුන් විවිධ අභූත චෝදනා කරනවා.

අනවශ්‍ය දේවල් ඉස්‌මතු කරමින් තමන් සිදුකළ අපරාධ වහන්න උත්සාහ කරනවා. මට මේ දේවල් අදාළ නැහැ. පොලිස්‌පතිවරයාත් පොලිසියත් නීතියට ගෞරව කරනවා. ඒ වගේම නීතිය ඉතාම ඉහළින් තබාගෙන කටයුතු කරනවා.

ප්‍රශ්නය - පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන් පත් කිරීමේදී දේශපාලන අවශ්‍යතා මත ඒ ක්‍රියාවලිය නැවත සිදුවන බවට චෝදනා එල්ල වී තිබෙනවා.

පිළිතුර - ඒක සම්පූර්ණ අසත්‍ය චෝදනාවක්‌. පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන් පත් කිරීමේ ක්‍රමවේදයක්‌ සකස්‌ කර තිබෙනවා. ඒ ක්‍රමවේදයට පටහැනිව කිsසිම විදිහකින් ස්‌ථානාධිපතිවරුන් පත් කරන්නෙ නැහැ.

පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන් තෝරා ගැනීම සඳහා සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වෙනවා. ඒ සඳහා සුදුසුකම් සම්පූර්ණ කළ නිලධාරීන්ට ඉදිරිපත්වීමේ හැකියාව තිබෙනවා. පසුගිය දිනවල පොලිස්‌ නිලධාරීන් 1200 දෙනෙක්‌ සම්මුඛ පරීක්‍ෂණයට භාජන කළා. ඒ අතරින් තෝරාගත් දක්‍ෂම නිලධාරීන් පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන් ලෙස පත් කරනවා. මේ ක්‍රමවේදයට පටහැනිව කිසිම නිලධාරියකු පත් කරන්න හැකියාවක්‌ නැහැ.

ප්‍රශ්නය - පොලිස්‌ නිලධාරීන්ගේ උසස්‌වීම් සම්බන්ධයෙන් වූ ගැටලුවට මේ වන තුරුත් යහපත් පිළිතුරක්‌ ලැබී නැහැ. පොලිස්‌ නිලධාරීන් රාජකාරි කරන්නේ දැඩි කලකිරීමෙන්. රැකියාව පිළිබඳ ඔවුන් තෘප්තිමත් නැහැ.

පිළිතුර - හැම පොලිස්‌ නිලධාරියෙක්‌ම තෘප්තිමත්ව තමුන්ගෙ රාජකාරිය කළ යුතුය යන මතයෙ මම ඉන්නෙ. පොලිස්‌ නිලධාරින් එහෙම හිටියොත් තමයි හොඳ රාජකාරියක්‌ බලාපොරොත්තු වෙන්න පුළුවන්.

පොලිස්‌ නිලධාරීන්ට නිසි කාල සීමාවේදී උසස්‌වීම් ලබා දිය යුතුය යන මතයේ මම ඉන්නේ. ඒ සඳහා අවශ්‍ය හැම ක්‍රියාමාර්ගයක්‌ම මම ගන්නවා. මේ සම්බන්ධයෙන් මේ වන විට පොලිස්‌ කොමිසම සමඟ සාකච්ඡා කර නිවැරැදි ක්‍රමවේදයක්‌ සකස්‌ කර තිබෙනවා.

පොලිස්‌ නිලධාරීන්ට කඩිනමින් උසස්‌වීම් ලබා දීමේ වැඩපිළිවෙළට මා පෞද්ගලිකවම මැදිහත්වී කටයුතු කරනවා.

උසස්‌වීම් සම්බන්ධයෙන් අධිකරණ නියෝගවලට අනුව ක්‍රියා කරනවා. ඒ වගේම පොලිස්‌ නිලධාරීන්ගේ විවිධ ප්‍රශ්න සම්බන්ධයෙන් විනය ලිපිගොනු 6000 ක්‌ පමණ පසුගිය කාල සීමාව පුරා පොලිස්‌ මූලස්‌ථානයේ ගොඩ ගැසී තිබුණා.

මේ ලිපි ගොනු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගැනීම නිසා ඒ නිලධාරීන් දැඩි අපහසුතාවට පත්වෙලා සිටිනවා. මේ විනය ගොනු හැකි ඉක්‌මනින් අවසන් කර ඒ නිලධාරීන්ට සාධාරණයක්‌ ලබා දීමට කටයුතු කරගෙන යනවා. ඒ විනය ලිපිගොනු වලින් 3/4 ක කටයුතු මේ වන විට අවසන් වී තිබෙනවා.

ප්‍රශ්නය - රටේ අපරාධ රැල්ල පාලනය කළ බවට පොලිසිය ප්‍රකාශ කළත් රට පුරා සිදුවන අපරාධවල අඩුවක්‌ නැහැ.

පිළිතුර - 2015 වර්ෂයට සාපේක්‍ෂව 2016 වර්ෂයේ සිදු වී ඇති බරපතළ අපරාධ 3000 කින් පමණ අඩු වී තිබෙනවා. අපරාධ අඩු වන ආකාරය ගැන මේ වන විට පොලිසිය විශේෂ විමර්ශනයක්‌ කරගෙන යනවා.

53% ක මට්‌ටමේ තිබුණු අපරාධ විමර්ශනය මේ වන විට 70% දක්‌වා ඉහළට ගෙන ඒමට අපට හැකි වී තිබෙනවා. ඒ වගේම අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේදී මෙන්ම නීතිපති උපදෙස්‌ ගැනීමේදී යම් යම් ප්‍රමාදයන් සිදු වෙනවා.

ප්‍රශ්නය - අල්ලස්‌ ලබා ගැනීම අතින් පොලිසිය අනෙකුත් සියලු ආයතන අභිබවා ඉදිරියෙන් සිටිනවා. ඒ වගේම විනයක්‌ නොමැති පොලිස්‌ නිලධාරීන් ගැන පසුගිය කාලය පුරාම අසන්නට දකින්නට ලැබුණා. නීතිගරුක, පොලිසියක්‌ බිහි කිරීම සඳහා මොන වගේ වැඩපිළිවෙළක්‌ ද ගෙනියන්නේ

පිළිතුර - පොලිස්‌ දෙපාර්තමේන්තුව තුළ ඉතාම තදින් විනය ආරක්‍ෂා කළ යුතුයි. විනය කඩ කරන නිලධාරීන් සම්බන්ධයෙන් මගෙන් කිසිම සමාවක්‌ නැහැ. මේක ඉහළම නිලධාරියාගේ ඉඳලා පහළම නිලධාරියා දක්‌වා පොදු කාරණයක්‌.

අල්ලස්‌ ලබා ගන්න නිලධාරීන්, දූෂිතයන් ඇසුරු කරමින් විනය විරෝධී වැඩ කරන නිලධාරීන්, පොලිස්‌ බලය අනිසි ලෙස පාවිච්චි කරන නිලධාරීන්ට එරෙහිව පොලිස්‌පතිවරයා විදියට මම ඉතාම තදින් ක්‍රියා කරනවා.

ඒ වගේම හැම පොලිස්‌ ස්‌ථානයකටම අවශ්‍ය කරන පහසුකම්, මුදල් ඇතුළු අනෙකුත් දේවල් උපරිම අයුරින් ලබා දීමට මේ වන විට කටයුතු කර තිබෙනවා.

ඒ නිසා පොලිසියේ කටයුතුවලට පිටස්‌තර පුද්ගලයන්ගෙන් අල්පෙනිත්තක දෙයක්‌ ලබා ගන්න අවශ්‍ය නැහැ. පොලිසිය කොන්ද කෙළින් තබාගෙන රාජකාරි කළ යුතුයි.

එහෙම නොකරන නිලධාරීන්ට මගෙන් කිසිම සමාවක්‌ නැහැ. ඒ අයට දෙන්න පුළුවන් උපරිම දඬුවම ලබා දෙන්න මම දෙපාරක්‌ හිතන්නේ නැහැ. නීතිපතිවරයා සමඟ සාකච්ඡා කරගෙන යනවා කඩිනමින් නීතිපති උපදෙස්‌ ලබා ගන්න අවශ්‍ය කටයුතු කරන්න හැකියාව ලැබුණාම පොලිසියේ කටයුතු තවත් පහසු වෙනවා. ඒ වගේම අපරාධකාරයන්ට එරෙහිව දඬුවම් ලබාදීමේ කාර්යයත් කඩිනම් වෙනවා.

පොලිස්‌ නිලධාරීන් අත්අඩංගුවට ගන්නා අපරාධකාරයන්ට කෲර වධ හිංසා පැමිණවීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ විවිධ චෝදනා එල්ල වී තිබුණා.

වර්තමානයේ කෲර වධ හිංසා සම්බන්ධ සිද්ධීන් ගැන අන්තර් ජාතික මානව හිමිකම් කොමිසමේ පවා සාකච්ඡාවට ගැනුණා.

කෲර වධහිංසා පැමිණවීම්වලින් තොරව අපරාධකරුවන්ගෙන් තොරතුරු ලබා ගන්න බැහැ. නවීන ක්‍රම පිළිබඳව පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන්, සහකාර පොලිස්‌ අධිකාරිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක්‌ පසුගිය දිනවලදී මගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

මින් ඉදිරියේදී පොලිස්‌ නිලධාරීන් මේ කෲර වධහිංසා සම්බන්ධ චෝදනා එල්ල නොවෙන තැනට අවශ්‍ය කටයුතු කරගෙන යනවා.

ප්‍රශ්නය - ඔබ පොලිස්‌පති ධුරයට පත් වී ලබන අප්‍රේල් මාසයට වසරක කාලයක්‌ ගත වෙනවා. පොලිසියේ අභිවෘද්ධිය වෙනුවෙන් මොන වගේ ක්‍රියාමාර්ග ද ගෙන තිබෙන්නේ.

පිළිතුර - 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට අනුව පොලිස්‌ දෙපාර්තමේන්තුව මේ වනවිට අමාත්‍යාංශයක්‌ යටතට පත්වීමට අපට හැකි වී තිබෙනවා. ඒ වගේම පොලිස්‌ ස්‌ථාන 600 ක්‌ දක්‌වා වැඩි කිරීමට අපි සැලසුම් කරගෙන සිටිනවා.

පොලිස්‌ ස්‌ථානවලට අවශ්‍ය සියලු පහසුකම් උපරිමයෙන් ලබා දීමට ක්‍රියා කරගෙන යනවා.

ඒ වගේම පොලිස්‌ නිලධාරීන්ගේ වැටුප 40% කින් වැඩි කර ගැනීමට හැකි වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, විෂයභාර ඇමැතිවරයාට, ලේකම්වරයාට මෙන්ම පොලිස්‌ කොමිසමට ස්‌තුති කළ යුතුයි.

පොලිස්‌ නිලධාරීන්ගේ අධ්‍යාපන මට්‌ටම ඉහළ දැමීමට ක්‍රියාමාර්ග රැසක්‌ ආරම්භ කර තිබෙනවා. අපරාධ විශ්වවිද්‍යාල, පොලිස්‌ ඇකඩමි ආරම්භ කිරීම, ඒවා වැඩිදියුණු කර පොලිස්‌ නිලධාරීන්ගේ අධ්‍යාපන මට්‌ටම උපාධියක්‌ දක්‌වා ඉහළට ගෙන යැමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගෙන යනවා.

ඒ වගේම හැම පොලිස්‌ ස්‌ථානයක්‌ ම පරිගණක හරහා එකිනෙකට සම්බන්ධ කර අපරාධකරුවන් හඳුනාගැනීමේ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කිරීමට හැකිවුණා. පොලිස්‌ නිලධාරීන්ගේ සුබ සාධනය, ඔවුන්ගේ ගැටලු පෞද්ගලිකව මට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම පොලිස්‌ කොමිසමට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය හරහා අසාධාරණයට ලක්‌වන පොලිස්‌ නිලධාරීන්ට සාධාරණයක්‌ ලබා ගැනීමට හැකි වන අයුරින් ක්‍රමවේදයන් සාකච්ඡා කර තිබෙනවා.

ප්‍රශ්නය - ජාතික පොලිස්‌ කොමිසම සහ පොලිස්‌පතිවරයා අතර පසුගිය කාලයේ විවිධ මත ගැටුම් ඇති වී තිබුණා. මේ ගැටුම් පොලිස්‌ නිලධාරීන්ට බලපානවා.

පිළිතුර - මේ වෙන කොට පොලිස්‌ කොමිසමේ නව සභාපතිවරයා වන මනතුංග මහත්තයා එක්‌ක අපි බොහොම සුහදව එකමුතුව වැඩ කරනවා. නව සභාපතිවරයා ඉතාම ක්‍රියාශීලීව පොලිසියේ අභිවෘද්ධිය, නිලධාරීන්ගේ ගැටලු වෙනුවෙන් මැදිහත් වී සිටිනවා.

ඒක ඉතාම හොඳ තත්ත්වයක්‌. පොලිසියේ අනාගතය ශුභවාදී වෙන්න ඒක හොඳ පෙර නිමිත්තක්‌ වේවි.

ප්‍රශ්නය - ෆේස්‌බුක්‌සමාජ ජාලා වෙබ් අඩවි හරහා ඔබ දැඩි ප්‍රහාරයන්ට නිතර ලක්‌වෙනවා.

පිළිතුර - ෆේස්‌බුක්‌ ගැන මගේ කිසිම උනන්දුවක්‌ නැහැ. මමත් කාලයක්‌ ෆේස්‌බුක්‌ පරිශීලනය කළා. දැන් තියෙන රාජකාරිත් එක්‌ක ඒක කරන්න වෙලාවක්‌ නැහැ.

පසුගිය කාල සීමාවේ පොලිස්‌පති පූජිත් ජයසුන්දර ෆේස්‌බුක්‌ වෙබ් අඩවි හරහා දැඩි ප්‍රහාරයන්ට ලක්‌ කළා. මේ හැම කෙනාම මට ගැහුවේ මම පූජිත් ජයසුන්දර නිසා. ෙµaස්‌බුක්‌වලින් මේ විදිහට මට පහර දුන්නෙ එක එක පෞද්ගලික අරමුණු තිබිච්චි අය. ඇතැම් අය දේශපාලන අරමුණුවලට මේක කළා. තවත් අය තනතුරු උසස්‌වීම් බලාගෙන මේක කළා. තවත් අය මුදල් පරමාර්ථයෙන් වෙනත් ලාභ ප්‍රයෝජන බලාගෙන ෙµaස්‌ බුක්‌ වලින් මට මඩ ප්‍රහාර එල්ල කළා. මේ හැම දෙයක්‌ම කළේ සංවිධානාත්මක කණ්‌ඩායම් කීපයක්‌.

කොයි තරම් මට මඩ ප්‍රහාර එල්ල කළත් ඒ කිසිවකින් මම වැටුණේ නැහැ. වැටෙන්නෙත් නැහැ.

මට මඩ ගහන ෙµaස්‌බුක්‌ වාර්තා සියල්ල මම නරඹලා රසවින්දා. ඒ හැම එකක්‌ම මම මගේ එකතුවක්‌ විදිහට තියාගෙන ඉන්නවා.

ප්‍රශ්නය - ඔබ වෙනත් පොලිස්‌පතිවරුන්ට වඩා සම්පූර්ණ වෙනස්‌. බොහෝම පාසල් ළමයින්, සිවිල් ජනතාව සමඟ මෙන්ම පොලිස්‌ නිලධාරීන් සමඟ කටයුතු කරනවා. ඒ ආකාරයෙන් කටයුතු කිරීම රාජකාරියට බාධාවක්‌ නොවෙයිද?

පිළිතුර - අපි පෘථග්ජන මිනිස්‌සු. ඒ වගේ අපි කවුරුත් අනාගතේ දවසක මේ හැම දෙයක්‌ම අතහැරලා දාලා යන්න ඕනෙ. ඒ නිසා තනතුරු තානාන්තරවලින් ඔළුව උදුම්මාගෙන ඉන්න හොඳ නැහැ.

ඕනෑම තැනකදී ඕනෑම කෙනෙක්‌ එක්‌ක සුහදව කතා කරන්න, විහිළු කරන්න මට හැකියාවක්‌ තියෙනවා. මම පොලිස්‌පති කියලා අනිත් මිනිස්‌සු බයකරගෙන, පාගගෙන ඉන්න අවශ්‍ය නැහැ.

ඒවගේම මම බොහොම සැහැල්ලු සරල ජීවිතයක්‌ ගත කරන්නේ. ඔබ මගේ කිට්‌ටුවන්ත මිතුරෙක්‌ නිසා මගේ චර්යාවන් ගැන හොඳින් දන්නවා. සාමාන්‍ය ජනතාව වගේම පොලිස්‌ නිලධාරීන්ටත් මම බොහොම සුහදයි. සමීපයි. ඒ මගේ හැටි. අපි මේ දේවල් කවදාවත් ගෙනියන්නේ නැහැ.

මිනිස්‌සුන්ට කරන්න පුළුවන් උදව්වක්‌ උපකාරයක්‌ කරගෙන බොහොම සාධාරණව හිටියොත් ඒ පුද්ගලයා අමරණීයයි.

ප්‍රශ්නය - පොලිස්‌පති ධුරය ඔබට ඔටුන්නක්‌ ද?

පිළිතුර - කොහෙත්ම නැහැ. පොලිස්‌පති ධුරය ඔටුන්නක්‌ කර ගන්න හොඳ නැහැ. මේ තනතුරු නිලතල උසස්‌වීම් හැම එකක්‌ම බොහොම තාවකාලික දේවල්. අපි හිතන්න ඕනෙ කවද හරි මේ දේවල් අත ඇරලා දාලා යන්න ඕනේ කියලා. ඒ නිසා පොලිස්‌පතිකමෙන් ඔළුව උදුම්මගෙන ඉන්න හොඳ නැහැ.

ඕනම වෙලාවක මට මේ තනතුරු තානාන්තර අතහැරලා දාලා යන්න පුළුවන්. මේ දේවල් හැම එකක්‌ම සදාකාලික දේවල් නෙවෙයි

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.