එක්‌නැලිගොඩ විමර්ශන හමුවේ
තවමත් ඇදි ඇදී යන බුද්ධි අංශ දඩයම

සමන් ගමගේ



ප්‍රගීත් එක්‌නැලිගොඩ නඩුවේ ප්‍රධාන සැකකරුවන් ලෙස දිර්ඝ කාලයක්‌ රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි ලුතිනන් කර්නල් ශම්මි කුමාරරත්න සහ ලුතිනන් කර්නල් ප්‍රබෝධය සිරිවර්ධන යන යුද හමුදා බුද්ධි නිලධාරීන් මේ වන විට සිටිනුයේ අවිස්‌සාවේල්ල මහාධිකරණය මගින් ඇප ලබා දීම හමුවේ ඇප මත නිදහස්‌වය.

ඔවුන්ට ඇප ලබා දීමේදී මහාධිකරණය මගින් ඇප කොන්දේසි ගණනාවක්‌ පැනවීමට කටයුතු කෙරුණු අතර ඒ තුළ තිබූ එක්‌ ප්‍රබල කොන්දේසියක්‌ වූයේ සාක්‍ෂිකරුවන්ට බලපෑම් නොකළ යුතුය යන්නය.

යහපාලන දේශපාලන වේදිකාවේ ප්‍රබලම මාතෘකාවක්‌ වූ ප්‍රගීත් එක්‌නැලිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් යහපාලනය බිහිවීමෙන් පසු විමර්ශන ආරම්භ කළ සීඅයිඩීයේ අය ඉහත කී බුද්ධි නිලධාරීන් දෙදෙනා ඇතුළු යුද හමුදා බුද්ධි බළකායේ සිටිමින් රට වෙනුවෙන් සුවිශාල මෙහෙවරක්‌ කළා වූ බුද්ධි නිලධාරීන් නවදෙනකුට එරෙහිව චෝදනා ගොනු කරනු ලැබුවේ හෝමාගම මහෙස්‌ත්‍රාත් අධිකරණයේදීය.

මෙසේ එම බුද්ධි නිලධාරීන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමේදී ඉතිහාසය කණපිට හරවමින් වල්බූරු නිදහසකින් යුක්‌තව නීතිය ක්‍රියාත්මක කරවීමේ කටයුතු සිදු කළ සීඅයිඩීයේ මහත්වරු එහිදී කරන ලද විශ්මිත සහ අපූරු දෙයක්‌ද තිබිණ.

ඒ එක්‌නැලිගොඩ මැරුණාද, මැරුවාද, නැතහොත් තවමත් ජීවතුන් අතර සිටින්නේද යන්න පිළිබඳ පැහැදිලි සාක්‍ෂි කිසිවක්‌ නොමැතිව ශ්‍රී ලංකා දණ්‌ඩ නීති සංග්‍රයේ අංක 296 වගන්තිය යටතේ මෙකී බුද්ධි නිලධාරීන්ට එරෙහිව මිනීමැරුම් චෝදනා එල්ල කිරීමය. එය ප්‍රගීත් එක්‌නැලිගොඩ නඩුව හෝමාගම මහේස්‌ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගනු ලැබූ අවස්‌ථා ගණනාවකදීම හෝමාගම හිටපු මහෙස්‌ත්‍රාත් රංග දිසානායක මහතාගේ නිරන්තර ප්‍රශ්න කිරීමට ලක්‌වූ කාරණයක්‌ද විය.

එහිදී මහෙස්‌ත්‍රාත්වරයා සීඅයිඩීයේ මහත්වරුන්ගෙන් විමසා සිටියේ ප්‍රගීත් එක්‌නැලිගොඩ මැරිලද, මරලාද, නැතහොත් ඔහු ජීවත් වන්නේද යන්න පිළිබඳ පැහැදිලි සාක්‍ෂි තිබේද යන්නය.

එහෙත් මහෙස්‌ත්‍රාත්වරයා එසේ ප්‍රශ්න කරද්දී සීඅයිඩීයට දෙන්න උත්තර තිබුණේ නැත. ඔවුන් ඒ හැම අවස්‌ථාවකම කීවේ අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින යුද හමුදා බුද්ධි නිලධාරීන් වන සැකකරුවන් ඒ පිළිබඳ නිවැරදි ප්‍රකාශයක්‌ නොකරන බවය.

එහිදී සීඅයිඩීය සැකකාර බුද්ධි නිලධාරීන්ගෙන් බලාපොරොත්තු වූ නිවැරදි ප්‍රකාශය වූයේ "ඔව් මහත්තයෝ එක්‌නැලිගොඩ අරගෙන ගිහින් මැරුවේ අපි තමයි" යන්නද කියා දන්නේද සීඅයිඩීයම ය.

කෙසේ වෙතත් මෙම විමර්ශනයේදී වරක්‌ එක්‌ සැකකරුවකුගේ බිරිඳ විසින් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකට ඉදිරිපත් වෙමින් තමන්ගේ සැමියා වන යුද හමුදා බුද්ධි නිලධාරියා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ නියෝග මත රහස්‌ පොලිසියේ සිටියදී සීඅයිඩීයේ මහත්වරු රජයේ සාක්‍ෂිකරුවකු වන ලෙස ඔහුට උපදෙස්‌ දෙන්නට යෑයි තමන්ට දැඩි ලෙස බලපෑම් කළ බවක්‌ද සඳහන් කළාය.

එක්‌නැලිගොඩ විමර්ශනයේදී මුල සිටම ඉබාගාතේ යමින් රට බේරාගත් රණවිරුවන්ට එරෙහිව කටයුතු කළ සීඅයිඩීය මෙහිදී සිදු කරනුයේ රටට සතුරු බලවේගයක කුමන්ත්‍රණයක්‌ද යන ගැටලුව එවන් කතා ඇසෙද්දී අපට මතුවූ අවස්‌ථා බොහෝ විය. පසුගිය කාලයේ මේ බුද්ධි අංශ විරුවන්ට ඇප ලැබෙන තුරුම සීඅයිඩීය ඉතාම පහත් අන්දමින් සිදු කළ එවන් කටයුතු පිළිබඳ "දිවයින" දැඩි සේ විවේචනය කළේය. එවන් එක්‌ අවස්‌ථාවක සීඅයිඩීය අප විමසා සිටියේ මේ අන්දමට විමර්ශන කරනුයේ ලොකු පොරවල් ලෙස ලෝකෙට පෙන්වා තරු සහ පටි ගහන්නටදැයි කියාය.

කෙසේ වෙතත් අප කී ලෙසම ඒ තරු සහ පටි දැන් ඇතැම් සීඅයිඩී මහත්වරුන්ගේ නිල ඇඳුමේ පරණ දාතම සහිතවම එල්ලී ඇති වගද පසුගිය දිනවල වාර්තා විය. ඒ එක්‌නැලිගොඩ විමර්ශනය හමුවේ සදොස්‌ තැන් දැක අප කළ විමසීම් ඇත්ත බව පෙන්වා දෙමින්ය.

එක්‌නැලිගොඩ නඩුව සමඟ සීඅයිඩීය සිදු කළ විමර්ශනවලදී දැක ගැනීමට ලැබුණු තවත් සුවිශේෂී කරුණක්‌ද විය. ඒ සිද්ධිය සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ නිලධාරීන්ට පිටතින් කෑම ලබා දීම සහ වෛද්‍ය උපදෙස්‌ මත බන්ධනාගාර රෝහලේ ඔවුන් රඳවා තබා සිටීම සීඅයිඩීයේ මහත්වරුන්ට විශාල හිසරදයක්‌ වී තිබීමය. එහිදීත් සීඅයිඩීයේ ෂර්ලොක්‌ හෝම්ස්‌ලා නිතර කියන්නට වූයේ ඔවුන් එසේ සිටීම තමන්ගේ විමර්ශනවලට බාධාවක්‌ කියාය. ඔවුන් එසේ කියද්දී අපට නම් පෙනී ගියේ එක්‌නැලිගොඩ නඩුවේ සැකකරුවන් එසේ එකම ස්‌ථානයක රඳවා තිබීම මෙම සිද්ධියේදී හත් අට දෙනකු ගස්‌ යවන්නට පැහැදිලි රජයේ සාක්‍ෂිකරුවකු බා ගැනීමට සීඅයිඩීයට දැඩි බාධාවක්‌ව තිබූ බවය.

ඉස්‌සර නම් අප අසා තිබුණේ රහස්‌ පොලිසිය යනු හොඳින් කරුණු සොයා ගැනීමෙන් පසු අත්අඩංගුවට ගන්නා සැකකරුට කිසිදු ආකාරයකින් ගැලවී යා නොහැකි ලෙස චෝදනා ගොනු කරන ඉතාම වැදගත් බුද්ධිමත් පොලිස්‌ මහත්වරු රාජකාරි කරනු ලබන තැනක්‌ ලෙසය. එහෙත් මෑතක සිට අප දන්නා සීඅයිඩීය සෑම අවස්‌ථාවකම අපරාධ නඩු අරබයා සැකකරුවන් වැරදිකරුවන් බවට පත් කළේ රජයේ සාක්‍ෂි මත යෑපීමෙන්ය. හරකාට පුන්නක්‌කු මෙන් රහස්‌ පොලිසියේ බඩගෝස්‌තරය වූයේ රජයේ සාක්‍ෂිය. කෙසේ වෙතත් එක්‌නැලිගොඩ නඩුවේ සැකකරුවන් වූ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ රණවිරුවන් ඇපමත මුදා හැරීමෙන් පසු මාස තුනක පමණ කාලයක්‌ ඒ පිළිබඳ කතා බහ තිබුණේ යටපත්වය. එහෙත් දැන් එය යළිත් කරළියට ගෙන එන්නට අපේ රහස්‌ පොලිසියේ මහත්වරු කටයුතු කර ඇති බව පසුගියදා හෝමාගම අධිකරණයෙන් වාර්තා විය. මෙසේ එක්‌නැලිගොඩ කතාව යළි කරළියට එන්නේ ඇතැම් විට යහපාලනයෙන් පසු සීඅයිඩීය කඳු පහත් කරන තරමින් මාධ්‍ය සංදර්ශන පවත්වා සිදු කළ රවිරාඡ්, ලසන්ත වික්‍රමතුංග, තාජුඩීන් ආදී කතාන්දර තවමත් අගක්‌ මුලක්‌ නැති මනෝවිකාර බවට පත්ව තිබෙන නිසාදැයි අපි නොදනිමු.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාඡ් කතාව නම් රහස්‌ පොලිසිය බිංදුවට ඇද දමා අසමත් කරමින් විසඳුණු එකක්‌ බවටද පත් වූවකි. රහස්‌ පොලිසිය එසේ රවිරාඡ් විමර්ශනයේදී බිංදුවට ඇද වැටුණේ මෙරට අධිකරණ ඉතිහාසයේ නව වාර්තාවක්‌ද පිහිටුවමිනි.

එසේa නැතහොත් මේ වන විට ජිනීවාහි ආරම්භ වීමට නියමිතව තිබෙන මානව හිමිකම් සැසිවාරයේදී ජාත්‍යන්තරය දිනා ගැනීමේ උපක්‍රමයක්‌ ලෙස යළි මෙසේ එක්‌නැලිගොඩ කතාව මතුවනවාද විය හැකිය. ජාත්‍යන්තරය දිනා ගැනීමට සියල්ල පාවා දීම අද මේ රටේ ප්‍රතිපත්තිය වී තිබෙන බව පෙනෙන්නට තිබෙන නිසා අපට ඒ සැකය මතුවන්නේය.

කෙසේ වෙතත් මෙවර එක්‌නැලිගොඩ කරළියට රැගෙන එන්නට සීඅයිඩීය පියවර ගෙන ඇත්තේ අමුතුම ක්‍රමවේදයකටය. ඒ කලක සිට ගිරිතලේ කඳවුරේ රාජකාරි කළ බව කියන යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ සෙබළෙකු ලබා දුන් බව කියන ප්‍රකාශයක්‌ මුල් කරගෙනය.

රහස්‌ පොලිසිය අධිකරණයට වාර්තා කළ අන්දමට එක්‌නැලිගොඩ සිද්ධිය යටපත් කිරීම සඳහා එහි ප්‍රධාන සැකකරුවන් ලෙස අත් අඩංගුවට ගනු ලැබූ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ ලුතිනන් කර්නල්වරුන් වන ශම්මි කුමාරරත්න සහ ප්‍රබෝධය සිරිවර්ධන මේ කියන සෙබළාට අම්බානකට බලපෑම් කර ඇත. "අනේ පුතෝ උඹ නම් මුකුත්ම නොකියා කිසි දෙයක්‌ මතක නැහැ කියපන්" යෑයි පවසමින් ඒ සෙබළාගේ මොලේ මඤ්ඤං කරවා ඇත. ඒ නිසා යුද හමුදා බුද්ධි බළකායේ සිටිමින් එල්ටීටීඊයෙන් මේ රට බෙරා ගැනීම සඳහා මෙහි සටහන් කළ නොහැකි බොහෝ දේ සිදු කළ මෙකී රණවිරුවන් දෙදෙනා ඇප මත නිදහස්‌ව එළියේ සිටීම රහස්‌ පොලිසියට විශාල ගැටලුවක්‌ බවට පත්ව ඇත.

එහෙයින් රහස්‌ පොලිසිය පසුගියදා හෝමාගම අධිකරණයට වැඩිදුර වාර්තාවක්‌ ඉදිරිපත් කරමින් එකී විරුවන් දෙදෙනා ඇප කොන්දේසි කඩකර ඇති බැවින් ඔවුන්ගේ ඇප අවලංගු කර නැවත බන්ධනාගාරගත කරන ලෙසට ඉල්ලා ඇත්තේ ඉතාම ඕනෑකමින්ය. රහස්‌ පොලිසිය යළිත් මේ සැරසෙන්නේ කුමකටද? වසරකට ආසන්න කාලයක්‌ බන්ධනාගාරගතව සිටි ඔවුන්ව යළි ඇතුළට දාන්නටය. දැන් එක්‌නැලිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන සීඅයිඩී මහත්වරු යුගයේ සොයා ගැනීම සිදු කර ඇත.

ඒ එක්‌නැලිගොඩ මැරුවාද, මැරිලාද යන්න නොව, ප්‍රධාන සැකකරුවන් වන යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ මෙකී රණවිරුවන් දෙදෙනා සාක්‍ෂි කරුවකුට බලපෑම් කළාය යන්නය. මෙය මොනතරම් විශ්මිත සොයා ගැනීමක්‌ද?

මුල් අවස්‌ථාවේ බන්ධනාගාරගත කර සිටියදී සැකකරුවන් වූ බුද්ධි නිලධාරීන් බන්ධනාගාර රෝහලේ සිටින්නේ කෙසේ දැයි අසමින් විමර්ශනයට අදාළ නොවන කරුණු ගෙන අධිකරණය හමුවේ මුකරි කතා කී සීඅයිඩියේ මහත්වරුන්ට ඇතැම් විට ලුතිනන් කර්නල් ශම්මි කුමාරරත්නත්, ප්‍රබෝධය සිරිවර්ධනත් මෙසේ ඇප මත එළියේ සිටීම දැන් හොඳටම ඇලජික්‌ වී තිබෙනවාද විය හැකිය.

ලුතිනන් කර්නල් ශම්මි කුමාරරත්නත් ප්‍රබෝධය සිරිවර්ධනත් දැන් යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ නැත. අපට ලැබී තිබෙන තොරතුරු අනුව නම් මේ වන විට ඔවුනට වෙනත් ඒකකවල රාජකාරි පැවරී ඇත. පොලිසිය දෙවන වරටත් ඇප කොන්දේසි කඩ කළේ යෑයි කියමින් මොවුන්ව ඇතුළට දමන්නට සැරසෙන්නේ එවන් තත්ත්වයක්‌ තිබියදීය.

ජනාධිපතිතුමනි, පොලිසිය මේ අන්දමින් රණවිරුවන්ට කරන පහර දීම් නතර කෙරෙන්නේ කවදාද? අර ඝාතනය, මේ ඝාතනය කියමින් රට බේරා ගත් රණවිරුවා අරබයා මේ අන්දමට කටයුතු කිරීමට පොලිසිය ක්‍රියාත්මක වන්නේ කුමක්‌ නිසාද? මෙසේ කටයුතු සිදු වන්නේ කාගේ හෝ දෙකයි පනහේ වුවමණාවකට ද?

අද ගෙවෙමින් තිබෙන්නේ රටේ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ගැටලුවක්‌ පවතින බවට පොලිසියම කරුණු වාර්තා කර ඇති කාලයකි. එවන් තත්ත්වයන් තුළ වීශේෂයෙන් යුද හමුද සන්නද්ධ බුද්ධි බළකාය වැනි තැනක හිඳ එල්ටීටීඊ ත්‍රස්‌තවාදය නැසීමට සහ එය නැසීමෙන් පසුවත් රටට විශාල මෙහෙවරක්‌ කළ රණ විරුවන් මේ අන්දමට සිරගත කිරීමට කටයුතු කළහොත් ජාතික ආරක්‍ෂාවට වග කියන්නේ පොලිසියෙන්ද?

හොඳ පොලිස්‌ නිලධාරීන් මෙන්ම තුට්‌ටු දෙකේ කොන්තරාත්කාරයෝත් කලක සිටම ශ්‍රී ලංකා පොලිසියේ සිටින්නේය. එහෙයින් අප මේ සටහන තබනුයේ සේනාධිනායකයා ලෙස ඔබ තුමන්ගේ දැඩි අවධානය මේ දඩයම කෙරෙහි යොමු කරනු පිණිසය.

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.