නාවික හමුදාව බාරගන්නා අලුත් 'කප්පිත්තා' කවුද?

මනෝඡ් අබයදීර



ලංකා රාජකීය නාවික හමුදාව,පිහිටුවන ලද මුල් අවස්‌ථාවේදී නාවික හමුදාවේ කපිතාන් යන නිල නාමය එහි ප්‍රධානම පදවිය ලෙස පැවතුන අතර 1950 සිට පවත්වාගෙන ආ එම තත්ත්වය වෙනස්‌ වන්නේ, 1972 දී ශ්‍රී ලංකාව ජන රජයක්‌ වූ පසුවය. ලංකා රාජකීය නාවික හමුදාව ලෙස එතෙක්‌ භාවිතා වූ නාමය ශ්‍රී ලංකා නාවික හමුදාව ලෙස වෙනස්‌ වූ අතර නාවික හමුදාවේ ප්‍රධාන පදවිය වූ නාවික හමුදාවේ කපිතාන් පදවි නාමය නාවික හමුදාපති ලෙස ද ඒ සමඟ වෙනස්‌ විය.

නාවික හමුදාපති තනතුරේ වත්මනේ කටයුතු කරන වයිස්‌ අද්මිරාල් රවීන්ද්‍ර විඡේගුණරත්න එම තනතුර හොබවන විසිවැනියාය. ඔහු නාවික හමුදාපති තනතුර සඳහා පත්වූයේ, 2015 වසරේ ජුලි 10 වැනිදා අද්මිරාල් ජයන්ත පෙරේරා විශ්‍රාම යැමෙන් පසුවය. ඒ වන විට නාවික හමුදා මාණ්‌ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටි රියර් අද්මිරාල් විඡේගුණරත්න නාවික හමුදාපති ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරන ලදී. වත්මන් නාවික හමුදාපතිවරයා විශ්‍රාම ලැබීමට නියමිතව ඇත්තේ එළඹෙන විසි දෙවැනිදාය. ඔහු සිය තනතුරේ වැඩ භාර ගනිමින් ප්‍රකාශ කර තිබුණේ, විශ්‍රාම යැමෙන් පසු සේවා දීර්ඝ මත තනතුරේ රැඳී සිටීමට තමන් කිසිසේත්ම බලාපොරොත්තු නොවන බවය.

නාවික හමුදාපතිවරයා විශ්‍රාම ගැනීමට නියමිත හෙයින් මීළඟ නාවික හමුදාපති ලෙස පත්වන්නේ කවුරුන්ද යන්න, හමුදා ක්‌ෂේත්‍රයේ මාස කිහිපයක සිට කතා බහට ලක්‌වෙමින් තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නාවික හමුදාපති රවී විඡේගුණරත්න වෙත සේවා දීර්ඝයක්‌ දීමේ සම්භාවිතාවද නැත්තේ නොවේ. වත්මන් යුද හමුදාපතිවරයා දැනට සිටින්නේ ඔහු විසින් ලබන ලද දෙවැනි සේවා දීර්ඝය මතය. එවැනි තත්ත්වයක්‌ උද්ගත නොවීම සඳහා ඇති හේතු වන්නේ, අද්මිරාල් රවීන්ද්‍ර විඡේගුණරත්න එවැනි සේවා දීර්ඝයක්‌ අපේක්‌ෂා නොකිරීම සහ එසේ වුවහොත් නාවික හමුදාවේ මුල් පෙළේ නිලධාරීන් කිහිපදෙනෙකුම නාවික හමුදාපති පුටුව පෙනෙන මානයට පැමිණ විශ්‍රාම ලැබීමය.

දැනට නාවික හමුදාවේ අධිපති තනතුර සඳහා නිලධාරීන් සිව්දෙනකු ජ්‍යෙෂ්ඨත්වය අනුව ඉදිරියෙන් සිටියි. නාවික හමුදා බඳවා ගැනීම් අංක අනුපිළිවෙළට එහිදී මුලින් සිටින්නේ රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහය. භRඞ0212 අංකය දරන ඔහු වයස පනස්‌පහ සපුරන්නේ මේ වසරේ නොවැම්බර් දහනව වැනිදාය. භRඞ0219 දරන බඳවා ගැනීම අංකය යටතේ සිටින රියර් අද්මිරාල් ටේ්‍රවිස්‌ සින්නයියා , නැඟෙනහිර පළාත් ආඥාපති ලෙස දැනට කටයුතු කරන අතර, ඔහු වයස පනස්‌ පහ සපුරන්නේ මෙම වසරේ සැප්තැම්බර් මස විසි හයවැනිදාය. මෙම නිලධාරීන් දෙදෙනාම නාවික හමුදාවට බැඳී ඇත්තේ, 1982 වසරේ නොවැම්බර් 15 වැනිදාය. එසේම ඔවුන් දෙදෙනා රියර් අද්මිරාල් තනතුර සඳහා උසස්‌වීම් ලබන්නේ 2012 ජුලි පළමු වැනිදාය.

1981 වසරේ සැප්තැම්බර් විසි අට වැනිදා කොතලාවල ආරක්‌ෂක විද්‍යා පිඨයට බැඳී, නාවික හමුදාවට බැඳුණු රියර් අද්මිරාල් සිසිර ජයකොඩිගේ නාවික හමුදාව අංකය වී ඇත්තේ භRඞ 0292 ය. මෙම වසරේ අගෝස්‌තු 31 වැනිදාට පනස්‌පස්‌ විය සපුරන රියර් අද්මිරාල් ජයකොඩි, 2012 ජුලි පළමු වැනිදා රියර් අද්මිරාල් ධුරයට පත්විය. 2018 වසරේ ජනවාරි දෙවැනිදා වයස අවුරුදු පනස්‌ පහට එළඹෙන රියර් අද්මිරාල් නීල් රොසයිරෝ , බඳවා ගැනීම් අංක භRඞ 0218 යටතේ නාවික හමුදාවට බැඳී ඇත්තේ, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ සහ රියර් අද්මිරාල් ටේ්‍රවිස්‌ සින්නයියා සමඟම 1982 වසරේ නොවැම්බර් 15 දිනයේදීය. පෙර නිලධාරීන් තිදෙනාම රියර් අද්මිරාල් නිලයට උසස්‌වීම් ලද 2012 ජුලි පළමුවෙනි දින රියර් අද්මිරාල් රොසයිරෝ ද එම ධුරයට උසස්‌වීම ලබා තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්‌ඩලික ප්‍රධානී වශයෙන් මේ වන විට කටයුතු කරන්නේ රියර් අද්මිරාල් රොසයිරෝය.

එකම දිනයේ නාවික හමුදාවට බැඳුණු නිලධාරීන් තිදෙනෙක්‌ සහ කොතලාවල ආරක්‌ෂක විද්‍යා පිඨයට බැඳී නාවික හමුදාවට බැඳුණු නිලධාරියෙක්‌ ලෙස මෙම සිව් දෙනා හැදින්විය හැකි අතර සිව් දෙනාම රියර් අද්මිරාල් ධුරයට පත්වී සිටින්නේ ද එකම දිනයේය. මෙම පසුබිම තුළ නාවික හමුදාපති තනතුර සඳහා කවුරුන් පත්වේ දැයි 'ජ්‍යෙෂ්ඨත්වයේ අංක ගණිතය' තුළින් පැහැදිලි කිරීම අපහසු කරුණකි.

'82 වසරේ ජුලි කණ්‌ඩායම හෙවත් 11 වන බඳවාගැනීමේ දක්‌ෂතම මධ්‍ය නිලධාරියාට හිමි ගෞරවනීය අසිපත හිමි කරගනිමින් බ්‍රිතාන්‍ය ඩාර්ට්‌මත් හි රාජකීය නාවික විද්‍යාපීඨයෙන් (1984-1985) වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට සිරිමෙවන් රණසිංහට හැකි විය. එම දක්‌ෂතාවය සඳහා හිමි මහා බ්‍රිතාන්‍යයේ නාවික පුහුණුව සඳහා යන අතර, ටේ්‍රවිස්‌ සින්නයියා, උප ලුතිනන් පාඨමාලාව හැදෑරීම සඳහා මහා බ්‍රිතාන්‍ය සඳහා පිටත්ව යන ලදී. නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨත්වය සඳහා පදනම් වන්නේ මෙම ලුතිනන් මට්‌ටමේ දක්‌ෂතාවයය. එහිදී ජ්‍යෙෂ්ඨත්වය දක්‌ෂතාවය අනුව වසරකින් ඉහළ නැංවීමට හෝ පහත වැටීමට හැකි අතර, එයින් වඩා ජ්‍යෙෂ්ඨත්වය හිමිකර ගනු ලබන්නේ රියර් අද්මිරාල් සින්නයියාය. ඒ අනුව මෙම හතරදෙනා අතරින් වඩා ජ්‍යෙෂ්ඨත්වයකට හිමිකම් කියනු ලබන්නේ රියර් අද්මිරාල් ටේ්‍රවිස්‌ සින්නයියා සහ රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහය. ටේ්‍රවිස්‌ සින්නයියා කොමදෝරු තනතුර දරණ සමයේදී ඇතිවූ සිද්ධියක්‌ මත, නාවික හමුදාවෙන් ඉල්ලා විශ්‍රාම ලැබුවේය. චුන්ඩිකුලම් මුහුදේදී නාවික සෙබළු හතර දෙනෙකු අතුරුදන් වීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් සින්නයියා වෙත, පරීක්‌ෂණයක්‌ නාවික හමුදාව විසින් පවත්වන ලද්දේය. එවකට උතුරු ආඥාපති ලෙස කටයුතු කරන ලද රියර් අද්මිරාල් සුසිත් වීරසේකර මහතා නිවාඩු ලබා සිටි අතර ආඥාපති තනතුරේ වැඩ බලන ලද්දේ කොමදෝරු සින්නයියා මහතාය. පරීක්‌ෂණය පැවැත්වෙන අතර වාරයේදී කොමදෝරු සින්නයියා 2011 වසරේ ජුනි මස විසි පස්‌වැනිදා නාවික හමුදාව වෙත සිය ඉල්ලා අස්‌වීම භාරදෙන අතර ඉන්පසු ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්‌ෂක උපදේශකයකු ලෙස සේවය කරනු ලැබිය. යහපාලන ආණ්‌ඩුව බලයට පත්වීමෙන් අනතුරුව, දේශපාලන පළිගැනීම් ලැයිස්‌තුව මාර්ගයෙන් අභියාචනයක්‌ ඉදිරිපත් කරමින් වසර හතරහමාරක කාලයකට පසුව 2015 දෙසැම්බර් නවවැනිදා යළිත් නාවික හමුදාව සේවයට පිවිසි කොමදෝරු සින්නයියා මහතා වෙත, රියර් අද්මිරාල් තනතුර පසු දින යොදමින් ලබාදීමට ද නිර්දේශ වී තිබුණි. දේශපාලන පළිගැනීමක්‌ ලෙස අර්ථ ගැන්වුවද රියර් අද්මිරාල් සින්නයියා සම්බන්ධයෙන් එවැනි අත්දැකීමක්‌ සනාථ කළ හැකි ආකාරයෙන් ඉදිරිපත් වී නැති බව පැවසේ. වසර හතරහමාරක කාලයක්‌ නාවික හමුදාවෙන් එපිට සිටි නිසා මේ නිලධාරීන් අතරින් නාවික හමුදාවේ අඛණ්‌ඩව

රැඳෙමින් ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉදිරියෙන් සිටින්නේ, නාවික හමුදා මාණ්‌ඩලික ප්‍රධානියා හෙවත් නාවික හමුදාවේ දෙවැනියා ලෙස කටයුතු කරන රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ බව කිව හැකිය. කෙසේ වුවත් ත්‍රස්‌තවාදයට එරෙහිව කරන ලද සටනේදී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ සහ රියර් අද්මිරාල් ටේ්‍රවිස්‌ සින්නයියා යන දෙදෙනාම නාවික හමුදා ක්‍ෂේත්‍රයේ නොමැකෙන සේවයක්‌ ඉටු කළහ. නාවික හමුදා මෙහෙයුම් අධ්‍යක්‌ෂක ලෙස රට වෙනුවෙන් මහඟු කාර්යභාරයක්‌ රියර් අද්මිරාල් රණසිංහ ඉටු කළ අතර, චලේ මුහුදු සීමාවේදී කොටි ත්‍රස්‌තවාදීන් විසින් මගී නෞකාවකට පහරදීමට උත්සාහ දරන ලද අවස්‌ථාවකදී, සිය ඩෝරා යාත්‍රාවේ තුවක්‌කුවට හානි සිදුවීම නිසා මුහුදු කොටි යාත්‍රා උඩින් සිය ඩෝරා යාත්‍රාව දියත් කරමින් මුහුදු කොටි ත්‍රස්‌තයන් පරාජය කිරීමේ ක්‍රියාන්විතය හේතුවෙන් වීර වික්‍රම විභූෂණ පදක්‌කම සඳහා හිමිකම් ලැබිය. රණ වික්‍රම පදක්‌කමට ද හිමිකම් කියන රියර් අද්මිරාල් රණසිංහ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

කොටින්ගේ පාවෙන අවි ගබඩා විනාශ කිරීමේ මෙහෙයුමේ සමුදුරේ රාජකාරි ඉටු කරමින් දේශය වෙනුවෙන් කැපීපෙනෙන සේවයක්‌ ඉටු කරන ලද රියර් අද්මිරාල් ටේ්‍රවිස්‌ සින්නයියා, වීර වික්‍රම විභූෂණ, රණ වික්‍රම සහ රණ ශූර යන පදක්‌කම් තුනටම හිමිකම් කියන අතර, ඔහු මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදී ශිෂ්‍යයකු වෙයි.

සාධක සියල්ල එසේ පැවැතියත්, නාවික හමුදාපතිවරයා මෙම මස විසිදෙවැනිදා විශ්‍රාම ලබනවාද, තව දුරටත් සේවා දීර්ඝයක්‌ මත එම තනතුරේ හිඳිනවාද ඊළඟ නාවික හමුදාපතිවරයා කවුරුන්ද මේ තීරණය ඇත්තේ ඒ සඳහා නෛතික ලෙස අභිමතාර්ථය ඇති ජනාධිපතිවරයා අතය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.