කඩයක්‌ අයිති කරගන්න පවුලක්‌ මැරූ
දකුණු පාතාලයේ ලැසී ගැන්සිය



තිරිමාදුර ඉන්දික දුක්‌ මහන්සියෙන් ගොඩනඟා ගත් පුංචි සිල්ලර වෙළෙඳසල පිහිටා තිබුණේ අම්බලන්ගොඩ මාදම්පේ ඉඩන්ගොඩ ප්‍රදේශයේ ය. තම මවගෙන් සහ පියාගෙන් ලැබුණු දායාදයක්‌ වූ ඉඩමක කුඩාවට වෙළෙඳසලක්‌ ඉදිකර ගත් ඉන්දික සාධාරණව ව්‍යාපාර කරමින් දියුණුවන්නට වෙර දැරුවේය.

ඉන්දිකගේ දයාබර බිරිඳ ගෙන්ද ඊට ලැබුණේ නොමද සහායකි. ඉන්දිකට සිටියේ සිව් හැවිරිදි පිරිමි දරුවෙකි. ඉන්දිකට වැඩිමහල් සොහොයුරු වසර ගණනක්‌ තිස්‌සේ කොරියාවේ රැකියාවක්‌ කළේය. වත් පොහොසත් කම් ඇති සොයුරා යහපත් ජීවිතයක්‌ ගත කළේය. ඉන්දිකගේ බාල නැගණිය විවාහ වී සිටියේ රංජි නමැති පුද්ගලයකු සමඟය. තම නැගණියත් ඇගේ සැමියාත් ජීවිතයේ ඉරණම තීරණය කරන හෙනහුරා වනු ඇති බව ඉන්දික සිහිනයකින්වත් සිතුවේ නැත.

විජිත ආනන්ද නොහොත් රංජි නමැත්තා දකුණේ පාතාලයේ කෙරුම්කාරයකු බව ඉන්දිකගේ පවුලේ සාමාජිකයන් දැන ගන්නේ නැඟණිය මේ නරුමයාට විවාහ කර දී වසර ගණනාවකට පසුවය.

රංජි අම්බලන්ගොඩ හෙරොයින් ජාවාරමේ ද ප්‍රබලයකු විය. දකුණු පළාතේ සිදුÊවූ මිනිස්‌ ඝාතන රැසක්‌ සම්බන්ධයෙන් ද රංජි පොලිසියට අවශ්‍යව සිටි දාමරිකයකු විය.

රංජිගේ සමීපතම හිතවතුන් වූයේ සනත් සිල්වා සහ ජයලත් සිල්වා නමැති සොහොයුරන් ය. මේ දෙසොහොයුරන් දකුණු පළාතේ කුලී මිනීමරුවන් ලෙස ප්‍රසිද්ධය. අම්බලන්ගොඩ ප්‍රදේශය කේන්ද්‍ර කර ගෙන ක්‍රියාත්මක වූ එක්‌තරා පාතාල කල්ලියකට නායකත්වය දුන්නේ සනත් සිල්වා සහ ජයලත් සිල්වා නමැති මේ සොහොයුරන් දෙදෙනා ය.

මහා පරිමාණ හෙරොයින් ජාවාරම, ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීම, මුදල් කොන්ත්‍රාත් මත මිනිස්‌ ඝාතන සිදු කිරීම මේ දෙසොහොයුරන් ප්‍රමුඛ පාතාල කල්ලිය විසින් සිදු කළේ දීර්ඝ කාලයක සිට ය. මේ අපරාධ බොහොමක්‌ පිටුපස රංජිගේ නම ද කියෑවුණේය.

ඉකුත් 2011 වර්ෂයේදී කරන්දෙණියේ හිත හොඳ දොස්‌තර නමින් ප්‍රසිද්ධව සිටි වෛද්‍යවරයා ඝාතනය කළේද සනත් සිල්වා සහ ජයලත් සිල්වා නමැති මේ කුලී මිනීමරුවන් දෙදෙනා විසින් ය.

වෛද්‍යවරයා ඝාතනයට මේ සොහොයුරන් දෙදෙනාගේ මස්‌සිනා වූ ගීතානන්ද නමැති අයකු ද සම්බන්ධ වී සිටියේය. හිත හොඳ දොස්‌තර කරන්දෙණියේ ඩිස්‌පැන්සරියක්‌ පවත්වා ගෙන ගියේය. දුප්පත් අහිංසක රෝගීන්ට ඔහු නොමිලයේම ප්‍රතිකාර කළේය.

හිතහොඳ දොස්‌තරගේ ඩිස්‌පෙන්සරියට යාබදව ව්‍යාපාරිකයකු වෛද්‍ය මධ්‍යස්‌ථානයක්‌ පවත්වා ගෙන ගියේය. හිත හොඳ දොස්‌තර නොමිලයේ ප්‍රතිකාර කිරීම නිසා ව්‍යාපාරිකයාගේ වෛද්‍ය මධ්‍යස්‌ථානයට දිගින් දිගටම පාඩු සිදුවිය.

ව්‍යාපාරිකයා තම ප්‍රතිවාදියා වූ හිත හොඳ දොස්‌තර ඝාතනයට කොන්ත්‍රාත්තුවක්‌ ලබා දුන්නේය. ඒ කොන්ත්‍රාත්තුව ලබා ගත්තේ සනත් සිල්වා සහ ජයලත් සිල්වා ය. කොන්ත්‍රාත් මුදල රුපියල් තිස්‌ ලක්‍ෂයකි. මුළු කරන්දෙණියම ආදරය කළ, ගෞරව කළ හිත හොඳ දොස්‌තර මේ පාතාල නරුමයන් අතින් ඝාතනය වන්නේ රුපියල් තිස්‌ ලක්‍ෂයේ මුදල් කොන්ත්‍රාත්තුව අනුවය.

වෛද්‍යවරයා ඝාතනය සම්බන්ධයෙන් සිල්වා සොහොයුරන් සහ ගීතානන්ද නමැති මස්‌සිනා අවසානයේ දී පොලිසියට කොටු වූ අතර, පසුව ඔවුන් බන්ධනාගාර ගත කෙරිණි. සනත් සිල්වා සහ ජයලත් සිල්වා බන්ධනාගාර ගත වූ පසු ඔවුන් මෙහෙයවූ මහා පරිමාණ හෙරොයින් ජාවාරම තනිවම කරගෙන යන්නට සිදු වුණේ රංජිට ය.

රංජි පදිංචිව සිටියේ මීටියාගොඩ මහවෙල ප්‍රදේශයේ පිහිටි මහගෙදරය. මේ මහගෙදර අයිතිය පුද්ගලයන් කීපදෙනෙකු අතර බෙදී තිබුණේය. රංජිට කියා වෙනම ඉඩමක්‌ හෝ නිවසක්‌ තිබුණේ නැත.

හෙරොයින් ජාවාරම හොර රහසේ කර ගෙන යැම රංජිට බරපතළ ගැටලුවක්‌ විය. කිසිදු ව්‍යාපාරයක්‌ නොකර යහමින් මුදල් අතපත ගෑම ගැන අසල්වාසීන් සැක කරනු ඇතැයි රංජි සිතුවේය.

"මටම කියලා හොඳ කඩයක්‌ තිබුණා නම් ඒක කරන අතරේ මේ කුඩු බිස්‌නස්‌ එකත් ජයට කරන්න තිබුණා. කොහෙද මමත් ගෑනියෙක්‌ ගත්තා. මට මෙලෝ දෙයක්‌ ලැබුණේ නැහැ. උඹේ අයියා ජයටම කඩ කරගෙන යනවා....."

රංජි මේ ගැන කියමින් ඔහුගේ බිරිඳට නිතර නිතර දොස්‌ නැඟුවේය. ඉන්දික දුක්‌ මහන්සියෙන් ගොඩනඟාගත් වෙළෙඳසල තමන් සතු කර ගන්නට රංජි සිහින මැව්වේය. එහෙත් කිසිම අවස්‌ථාවක ඔහු ඒ බව කිසිවකුත් සමඟ නොපැවසීමට වගබලා ගත්තේය.

ඉන්දිකගේ වෙළෙඳසල තමන් සතු කර ගන්නට රංජි උපාය කීපයක්‌ අනුගමනය කළේය. ඉන්දිකගේ පියා නොමඟ යෑවූ රංජි උපායශීලීව දේපොළ තමන් වෙත ලබා ගැනීමට සැලසුමක්‌ සකස්‌ කළේය.

රංජි පාතාල ලෝකයේ නරුමයකු බව දැන සිටි නිසා ඉන්දිකගේ පියා ඔහුට බෙහෙවින් බිය වුණේය. රංජිගේ වචනයකට පිටින් යන්නට තරම් ඔහුට ශක්‌තියක්‌ තිබුණේ නැත.

"මාමේ ඉන්දිකයා දැන් කඩේ හොඳට කරගෙන යනවා. මාසෙකට ලක්‍ෂ ගණනක ආදායමක්‌ එනවා. මාමත් මාසෙකට රුපියල් පහළොස්‌දාහක්‌ විසිදාහක්‌ ඉල්ල ගන්න. ඉන්දිකයා මේ හැම දෙයක්‌ම තනියම භුක්‌ති විඳිනවා."

රංජි ඉන්දිකගේ පියාගේ සිතට වෛරය නමැති විෂබීජය එන්නත් කළේය. රංජිගේ කීම සැබෑවක්‌ බව තේරුම් ගත් පියා තම මද්දුම පුත්‍රයා වූ ඉන්දික සමඟ පැටලුනේය.

උඹ හම්බ කරන ඒවා තනියම කනවා. අපිට කිසි දෙයක්‌ දෙන්නේ නැහැ. මට මාසයක්‌ ගානේ රුපියල් විසිදාහක්‌ ඕනේ. එහෙම නැත්නම් උඹ මේ කඩේ වහලා දාපන්."

පියා ඉන්දිකට නිතර නිතර ආරවුල් ඇති කරන්නට පටන් ගත්තේ රංජිගේ උපදෙස්‌ අනුවය.

තාත්තට පිස්‌සුද? මම මේ කඩෙන් කොහොමද මාසෙකට ලක්‍ෂ ගාණක්‌ ලාභ ගන්නේ. මමත් බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නෙ. මට මාසයක්‌ ගානේ තාත්තාට දෙන්න සල්ලි නැහැ. අනික ගෙදර හැම අඩුපාඩුවක්‌ ම මම බලනවනෙ. මොකටද මාසෙකට වෙනම සල්ලි දෙන්නෙ.

ඉන්දික තම පියාගේ අසාධාරණ ඉල්ලීමට එරෙහි වුණේය. පිය පුතු ගැටුම ඇතිවුණේ ඒ ආකාරයටය. රංජිගේ සැලසුම හිතුවාටත් වඩා සාර්ථකය. රංජි තිරය පිටුපස සිටිමින් පියාගේ මනසට දිගින් දිගටම වෛරය එකතු කරන්නට වුණේය. අවසානයේ ඉන්දිකත් පියාත් නයින් මුගටින් බඳු වෛරක්‌කාරයන් බවට පත් වූහ.

සනත්a සිල්වා, ජයලත් සිල්වා සොහොයුරන් අම්බලන්ගොඩ, මීටියාගොඩ, හික්‌කඩුව, වේරගොඩ, තෙල්වත්ත. මලවැන්න, රත්ගම, ගාල්ල ප්‍රදේශ කේන්ද්‍ර කර ගෙන මිනිස්‌ ඝාතන කීපයක්‌ම සිදු කළහ.

සිල්වා සොහොයුරන් දකුණු පළාතේ අංක එකේ පාතාල නරුමයකු වූ පොඩි ලැසී සමීපව ඇසුරු කළහ.

කොන්ත්‍රාත් ක්‍රමයට මෙන්ම හිතවත්කම් මත ද සිල්වා සොහොයුරන් මිනිස්‌ ඝාතන සිදු කළහ. පොඩි ලැසීගේ අවශ්‍යතාව මත සිල්වා සොහොයුරන් මිනිස්‌ ඝාතන කීපයක්‌ සිදුÊකළේ ඒ හිතවත්කම් මුල් කරගෙනය.

සනත් සිල්වා, ජයලත් සිල්වා සමන් කොල්ලා නමැති පුද්ගලයා ද එක්‌ව වේරගොඩ තෙල්වත්ත, මලවැන්න ප්‍රදේශවලදී තරුණයන් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කරන්නට උත්සාහ කළේ පොඩි ලැසීගේ අවශ්‍යතාවන් මතය. එහෙත් මේ තරුණයන් තිදෙනාටම සිය ජීවිත බේරා ගැනීමට හැකිව තිබුණේ පූරුවේ කළ පුණ්‍යකර්ම නිසා ය.

එමෙන්ම සිල්වා සොහොයුරන්ගේ අවශ්‍යතාවන් මත පොඩි ලැසී ද දකුණේ මිනිස්‌ ඝාතන කීපයක්‌ ම සිදු කළේය.

මිනී මැරුම් ඇතුළු නොයෙකුත් අපරාධ සම්බන්ධයෙන් සිල්වා සොහොයුරන් බන්ධනාගාරගතව සිටිද්දී ඔවුන්ගේ අවශ්‍යතාවන් මත මිනිස්‌ ඝාතන කළේ පොඩි ලැසී ය. එමෙන් ම පොඩි ලැසී ආණ්‌ඩුවේ බෝඩිමට ගිය විට ඔහුගේ උපදෙස්‌ මත මිනී මැරුම් සිදු කළේ සිල්වා සොහොයුරන් ප්‍රමුඛ ඔවුන්ගේ පාතාල කල්ලිය විසින් ය.

මාදම්පෙ කොනදූව ප්‍රදේශය කේJද්‍ර කරගෙන එක්‌තරා තරුණයකු හෙරොයින් ජාවාරම කරගෙන යන්නට පටන් ගත්තේය. මේ තරුණයා අනාගතයේදී තමන්ට තර්ජනයක්‌ වනු ඇති බව සිල්වා සොහොයුරන් තේරුම් ගෙන සිටියහ. කරදඬු උස්‌ මහත්වන්නට පෙර මේ තරුණයා පරලොව යෑවීමට සිල්වා සොහොයුරන් තීරණය කළහ. වසන්ත නමැති පුද්ගලයකුගේ සහාය ලබාගෙන මේ තරුණයා පුංචි සාදයකට ගෙන්වා ගන්නට සිල්වා සොහොයුරන් කටයුතු කළහ. ඒ ඉකුත් 2016 වර්ෂයේ ජනවාරි 08 වැනිදා රාත්‍රි කාලයේදී ය.

එදින රාත්‍රියේදී තරුණයා ඝාතනය කිරිමට සිල්වා සොහොයුරන් කටයුතු කළහ. ඊට අමතරව 'සමන් කොල්ලා' නමැති අපරාධකරු ද මේ ඝාතන සැලසුමට එක්‌ව සිsටියේය.

සාදයේදී තරුණයාට නොසෑහෙන්නට මත්පැන් පානය කිරීමට ඉඩ කඩ සලසා දුන්නේ වසන්න විසින් ය. ඒ ඝාතන සැලසුමේ එක්‌ අදියරක්‌ ලෙස ය. එදින රාත්‍රි අධික ලෙස මත්පැන් පානය කළ තරුණයා යතුරු පැදියක නන්වාගත් වසන්ත තවත් ගෝලයකු සමඟ මාදම්පේ ගලගොඩ ප්‍රදේශයේ පාළු ස්‌ථානයකට රැගෙන ගියහ. තරුණයා එහි රැගෙන එන තුරු සිල්වා සොහොයුරන් සහ සමන් කොල්ලා මඟ රැක සිටියහ.

ගලගොඩ කැලෑබද ප්‍රදේශයකදී තරුණයාගේ හිසට වෙඩි තබා ඝාතනය කළ සිල්වා සොහොයුරන් ඇතුළු පාතාල ගහලයන් ඔහුගේ නිසල සිරුර කැලෑවට ඇද දමා පලා ගියේ මේ ඝාතනය සදාකාලික අබිරහසක්‌ වනු ඇතැයි සිතා ගෙනය.

මේ ආකාරයට හිතවත්කම් මත සිදු වූ මිනිස්‌ ඝාතන ප්‍රමාණය විශාලය.

අම්බලන්ගොඩ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදු වන අපරාධ දිනෙන් දිනම ඉහළ යමින් තිබුණේය. ඉතාම සාධාරණ සාමකාමී ජීවිතයක්‌ ගත කිරීමට පුරුදුව සිටි තිරිමාදුර ඉන්දික දිනෙන් දින වෙනස්‌ වන මේ සමාජ ක්‍රමය පිළිකුල් කළේය.

අම්බලන්ගොඩ ප්‍රදේශය විනාශ කරන අපරාධකාරයන් අතර තම මස්‌සිනා වන රංජි ද සිටින බව ඉන්දික හොඳින් දැන සිටියේය. රංජි යහමඟට ගන්නට ඉන්දික වෙහෙසුණේය. ඔහුට නිතර නිතර අවවාද කළේය.

මල්ලී උඹලා ඔය නීති විරෝධී වැඩ කරන එක නතර කරපං උඹට යහපත් දෙයක්‌ කරගෙන හොඳට ජීවත් වෙන්න පුළුවන්නෙ. මමත් උඹට උදව් කරන්නම්. දැන් බලාපන් මම අද මේ තත්ත්වයෙ ඉන්නේ කොයි තරම් මහන්සි වෙලාද?

ඉන්දික තම මස්‌සිනා වූ රංජි යහමඟට ගන්නට නොගත් උත්සාහයක්‌ නැත. එහෙත් රංජිගේ යටි සිත වැඩ කළේ වෙනත් අරමුණක්‌ ඔස්‌සේ ය.

රංජි තම කල්‍යාණ මිතුරන් වූ සිල්වා සොහොයුරන් හමු වුණේ යටි සිතේ ගොඩනැඟෙන සැලසුමට කිසියම් උපකාරයක්‌ ලබා ගැනීම සඳහා ය.

ඒ වන විට සිල්වා සොහොයුරන් සිටියේ ගාල්ල බන්ධනාගාරයේ ය. රංජි බන්ධනාගාරය වෙත ගොස්‌ ඔවුන් මුණ ගැසුණේය.

මගේ මස්‌සිනා ඉන්දිකයා මහ සවුත්තු මිනිහා. ඌ අපේ වැඩ නතර කරන්න හැම වෙලාවෙම උදැල්ල දානවා. මට පේන්නෙ ඌ තමයි අපි ගැන පොලිසියට ඔත්තු දෙන්නේ. මූව අයින් නොකළොත් ඉදිරියේදී අපිට ලොකු කරදරයක්‌ වෙනවා. රංජි තම මස්‌සිනා කෙරෙහි වැරදි වැටහීමක්‌ සිල්වා සොහොයුරන් තුළ ඇති කරන්නට උත්සාහ කළේ තම අභිප්‍රාය සාර්ථක කර ගැනීමේ අරමුණෙන් ය.

"මම කොහොම හරි ඉන්දිකයගෙ කඩේ අයිති කරගන්නවා. උන්ගෙ පවුලම පරලොව ඇරලා හරි මම ඒ වැඩේ කරනවා.

රංජි තම අරමුණ මුදුන් පමුණුවා ගන්නට අවශ්‍ය සියලු තුරුම්පු ගැසුවේය. රංජි තම මස්‌සිනා ගැන නොයෙකුත් වැරදි දිගින් දිගටම කියද්දී ජයලත් සිල්වා ඒවා පිළිගත්තේය. ජයලත් සිල්වා දිනක්‌ පොඩි ලැසීට දුරකථනයෙන් කතා කළේ ගාල්ල බන්ධනාගාරයේ සිටය. ඒ ඉන්දිකගේ ප්‍රශ්නයට විසඳුමක්‌ ලබා ගැනීම සඳහා ය.

රංජිගෙ මස්‌සිනා ඉන්දිකයා අපිට ලොකු කරදරයක්‌ වේගෙන එනවා. ඌ මාවයි රංජිවයි මරන්න රුපියල් ලක්‍ෂ 10 ක කොන්ත්‍රාත් එකක්‌ දීලා. අපි උසාවි අරගෙන එනකොට බන්ධනාගාර බස්‌ එකට වෙඩි තියන්න ඌ ප්ලෑන් කරගෙන ඉන්නේ.

ජයලත් සිල්වා ඉන්දික පිළිබඳ අසත්‍ය තොරතුරු රැසක්‌ පොඩි ලැසීගේ කනේ තැබුවේය. ඔවුන් කියූ සියලු මුසා බස්‌ පොඩි ලැසී විශ්වාස කළේය.

"මට ඕක සුළු දෙයක්‌. මම ඔය ඉන්දිකයව අයින් කරලා දෙන්නම්. උඹලා මට ඔය වගේ උදව්ද කරලා තියෙන්නේ.

පොඩි ලැසී ඉන්දික ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව ලබා ගත්තේ හිතවත්කම මතය. ඉන්දික ඝාතනය කිරීමේ සැලසුමට පොඩි ලැසී තම සමීපතම ගෝලයා වූ 22 හැවිරිදි උදාරව ද සම්බන්ධ කර ගත්තේය.

උදාර පදිංචිව සිටියේ දික්‌වැල්ලේ ය. පොඩි ලැසී තම සමීපතම ගෝලයා අම්බලන්ගොඩ නගරයට ගෙන්වා ගත්තේය. ඒ 2016 වර්ෂයේ දෙසැම්බර් 02 වැනිදාය. ඒ වන විට ජයලත් සිල්වා බන්ධනාගාරයේ සිට උදාර වෙත අලුත්ම වටිනා ජංගම දුරකථනයක්‌ එවා තිබුණේය. ඉන්දික ඝාතන සැලසුම සඳහා මේ දුරකථනය පාවිච්චි කිරීමට උපදෙස්‌ ලැබී තිබුණේය.

පොඩි ලැසීගේ ඥතියකු අම්බලන්ගොඩ ඩිපෝව ආසන්නයේ පදිංචිව සිටියේය. පොඩි ලැසී සහ උදාර දින කීපයක්‌ මේ නිවසේ නවාතැන් ගත්තේ එතැන් සිට ඉන්දික ඝාතන සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා ය.

ඉන්දිකගේ වෙළෙඳසල අසල කට්‌ටා නමින් හඳුන්වන තරුණයකු පදිංචිව සිටියේය. කට්‌ටා පොඩි ලැසීගේ කල්ලියේ සාමාජිකයෙකි. ඉන්දික ඝාතනය සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා යොදවා ගනු ලැබුවේ 'කට්‌ටා' නමැති මේ තරුණයාය. ඒ සඳහා ඔවුන් කට්‌ටාට ජංගම දුරකථනයක්‌ ද ලබා දී තිබුණේය.

ඉන්දික ඝාතනයට අවශ්‍ය ටී 56 ගිනි අවිය සහ වයිකෝ පිස්‌තෝලය ඒ වන විට පොඩි ලැසී ගෙනැවිත් තිබුණේ ඉතාම සුරක්‍ෂිත ලෙස ය.

2016 දෙසැම්බර් 04 වැනිදා පොඩි ලැසී සහ උදාර යතුරු පැදියක නැඟී ඉන්දිකගේ වෙළෙඳසල වෙත ගියේ ඔහු පරලොව යෑවීමේ අරමුණ ඇතිවය. එහෙත් එදින ඔවුන්ගේ සැලසුම ව්‍යර්ථ වුණේය. ඉන්දිකගේ වෙළෙඳසල අසල පොලිස්‌ ජංගම මුර සංචාරක රථයක්‌ නතර කර තිබුණේය.

පොලිස්‌ නිලධාරීන් කිසියම් අවශ්‍යතාවක්‌ සඳහා එහි පැමිණ සිටීම නිසා ඉන්දික ඝාතනය පසුවට කල් දැමූ පොඩි ලැසී සිය ගෝලයා ද සමඟ ආපසු අම්බලන්ගොඩ නවාතැන්පළ වෙත ගියේය.

පොඩි ලැසී එදින රංජි තම නවාතැන්පළ වෙත ගෙන්වා ගත්තේය.

"උඹලගෙ මස්‌සිනාගේ කඩේ ළඟ සී.සී.ටී.වී. කැමරාවක්‌ ගහලා තියෙනවා. ඒක කොහොම හරි ඕµa කරලා දාන්න ඕනේ. එහෙම නොවුණොත් අපට මේ වැඩේ කරන්න ටිකක්‌ අමාරුයි. පොඩි ලැසීගේ ඉල්ලීම එදිනම ක්‍රියාත්මක කිරීමට රංජි එකඟ වුණේය. රංජි කෙළින්ම ගියේ තම මාමණ්‌ඩිය මුණ ගැසීම සඳහාය.

"මාමේ ඉන්දිකයා ලක්‍ෂ ගණන් සල්ලි හම්බකරනවා. ඌ කඩේ ළඟ කැමරාත් හයි කරගෙන ඉන්නේ ඌට කැමරා හයිකරන්න සල්ලි තියෙනවා. උඹලට දෙන්න සල්ලි නැහැ.

රංජි ඉන්දිකගේ පියා නැවතත් ඇවිස්‌සුවේය. රහමෙර පානය කළ නාලාගිරි ඇතු මෙන් කෝපයට පත් වූ ඉන්දිකගේ පියා එදින දහවල් තම පුත්‍රයා සමඟ පැටලුනේය.

"මම උඹව මරනවා. උඹට යහතින් ඉන්න දෙන්නෙ නැහැ."

පියා තම පුත්‍රයා වූ ඉන්දිකට තර්ජනය කළේය. රංජි නමැති පාපතරයා තමන් නොමඟÊයවා ඇති බව ඉන්දිකගේ පියා දැන සිටියේ නැත. ඉන්දිකගේ වෙළෙඳසැල ඉදිරිපිට සීසීටීවී කැමරා පද්ධතිය ක්‍රියාත්මක කරන ස්‌වීචය තිබුණේ පියාගේ නිවසේය. තම පුත්‍රයා සමඟ ආරවුල් ඇති කරගත් පියා සීසීටීවී කැමරා පද්ධතිය ද විසන්ධි කර දැමුවේ රංජිගේ ඉල්ලීමට අනුවය.

තම පියාගෙන් එල්ල වු මරණ තර්ජන නිසා ඉන්දික එදින සවස අම්බලන්ගොඩ පොලිසිය වෙත පැමිණිල්ලක්‌ ද කළේ මතු ආරක්‍ෂාව සඳහා ය.

ලැසී මල්ලී ඔන්න කියපු විදිහට වැඩේ කළා. දැන්. සීසීටිවී වැඩ කරන්නේ නැහැ. අපට ඕනෙ විදිහට වැඩේ කරන්න පුළුවන්.

රංජි සිය කල්‍යාණ මිතුරා ලෙස සිටි පොඩි ලැසීට කීවේය. 2016 දෙසැම්බර් 05 වැනිදා සවස ඉන්දික ඝාතනය සඳහා පොඩි ලැසී සූදානම් වුණේය. එදින සවස කට්‌ටාගෙන් පොඩි ලැසීට දුරකථන ඇමතුමක්‌ ලැබුණේය. ලැසී අයියා මේ වෙලාව හොඳයි. ඉන්දිකය විතරයි කඩේ ඉන්නේ. සෙනඟත් නැහැ. දැන් ආවොත් ලේසියෙන් වැඩේ කරන්න පුළුවන්.

කට්‌ටාගෙන් ලැබුණු ඇමතුමට අනුව ඉන්දික මරා දැමීම සඳහා යැමට පොඩි ලැසී සහ උදාර සූදානම් වූහ. ඒ වන විට ධාරානිපාත වර්ෂාවක්‌ ඇද වැටීමේ පෙරලකුණු පහළ වෙමින් තිබුණේය.

පොඩි ලැසී සහ උදාර යතුරු පැදියේ නැඟී ඉන්දිකගේ වෙළෙඳසල අසලට එන විට ධාරාණිපාත වර්ෂාව ඇද හැලෙන්නට විය. වෙළෙඳසලට මීටර් 25 ක්‌ පමණ දුරින් යතුරු පැදිය නතර කළ පොඩි ලැසී සිය ගෝලයා ද සමඟ පා ගමනින් ඉන්දිකගේ වෙළෙඳසල වෙත ආවේය. ඒ එන විට වෙළෙඳසලේ ඉන්දිකගේ බිරිඳ සහ සිව් හැවිරිදි දරුවා ද සිටියහ. ඉන්දික තනිවම ඝාතනය කිරීම කළ නොහැකි බව ලැසී තේරුම් ගත්තේය.

පොඩි ලැසී ඒ මොහොතේම සිය ජංගම දුරකථනයෙන් ගාල්ල බන්ධනාගාරයේ සිටින ජයලත් සිල්වාට ඇමතුමක්‌ ලබා ගත්තේය.

"ඉන්දිකයගෙ ගෑනියි ළමයයි මෙතන ඉන්නවා. මොකද කරන්නේ උන්ව බේරලා ගහන්න බැහැ" ලැසී කීවේය.

"කරන්න දෙයක්‌ නැහැ. උන් තුන්දෙනාවම ඉවර කරලා දාපං. අපට උන් හිටියත් එකයි නැතත් එකයි."

ජයලත් සිල්වා කීවේය. තම මිතුරාගේ උපදෙස්‌ අනුව ක්‍රියා කිරීමට පොඩි ලැසී එකඟ වුණේය.

ධාරාණිපාත වර්ෂාව ඇද හැලෙමින් තිබුණේය. පිටස්‌තර කිසිවකුත් වෙළෙඳසලේ නැත. ඉතාම පහසුවෙන් තම ඉලක්‌කය සපුරාගත හැකි බව තේරුම් ගත් පොඩි ලැසී සහ උදාර ක්‍රියාත්මක වූහ.

හිත් පිත් නැති ගිනිඅවි උණ්‌ඩ ඉන්දිකගේ වෙළෙඳසල පුරා හතර අතට පුපුරාගියේ ගිනිපුළිඟු නංවමින් ය. සොබා දහම ද කම්පාවට පත් කරමින් හෙන පුපුරමින් මහ වැසි ඇද හැලෙන්නට විය.

කාටත් හිරිහැරයක්‌ කරදරයක්‌ නොමැතිව සාධාරණව ජීවත් වූ ඉන්දික ඔහුගේ බිරිඳ සහ හය හතර නොදන්නා සිව් හැවිරිදි දරුවා වෙඩි ප්‍රහාරවලට ලක්‌ව වෙළෙඳසල තුළ ඇද වැටුණේය.

ඒ මොහොතේ කොහේදෝ සිට පැමිණි රංජි නමැති පාපතරයා ද වෙඩි ප්‍රහාරයට ලක්‌ව කෙඳිරිගාමින් බිම වැටී සිටි ඉන්දිකට, බිරිඳට සහ කුඩා දරුවාට වෙඩි තැබුවේ කාලයක්‌ තිස්‌සේ සිතේ සිරකරගෙන සිටි වෛරය පිට කරමින් ය.

සිය ඉලක්‌කය සපුරා ගත් මේ පාතාල නරුමයන් පිරිස මහවැස්‌සේම යතුරු පැදියේ නැගී අම්බලන්ගොඩ නගරයට ආහ. ඒ වන විට පොඩි ලැසීගේ ඥාති සොහොයුරකු වූ ප්‍රියංකර නමැත්තා මෝටර් රථයකින් පැමිණ සිටියේය.

ත්‍රිත්ව ඝාතනය සඳහා යොදා ගත් ටී 56 ගිනි අවිය හා මයික්‍රෝ පිස්‌තෝලය ප්‍රියංකර වෙත භාර දුන් පොඩි ලැසී සහ උදාර හොර රහසේම පලා ගියහ.

මෙම ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කරන්නේ ඉන් පසුවය.

දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්‌පති කිත්සිරි ජයලත්, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි නිහාල් තල්දූව මහත්වරුන්ගේ උපදෙස්‌ මත පරීක්‍ෂණ පැවැත්වූ අම්බලන්ගොඩ මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක විල්ලෝරආරච්චි අපරාධ අශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක බාලේJද්‍රසිංහ ඇතුළු නිලධාරීන් මාස ගණනක්‌ තිස්‌සේ කළ විමර්ශන වලින් පොඩි ලැසී පිළිබඳ තොරතුරු හෙළිකර ගත්තේය.

පොඩි ලැසී සිය ගෝලයා වන උදාර සමඟ තල්දූව මංසන්ධියට පැමිණ සිටින බවට ලැබුණු තොරතුරක්‌ මත අපරාධ අංශයේ ස්‌ථානාධිපති බාලේJද්‍රසිංහ මහතා ඇතුළු නිලධාරීන් එම ප්‍රදේශය වට කළහ.

පොඩි ලැසී තල්දුවට පැමිණ සිටියේ තවත් තරුණයකු ඝාතනය කිරීම සඳහා ය. යුද හමුදා විශේෂ බළකායෙන් පැන ආ සෙබළකු මෙසේ ඝාතනය කිරීමට පොඩි ලැසී පැමිණ සිටියේය. තරුණයා ඝාතනය කිරීමට පෙර පොලිසිය ක්‍රියාත්මක වුqණේය.

පොඩි ලැසී සහ උදාර අත්අඩංගුවට පත්වන්නේ ටී 56 ගිනි අවිය සහ මයික්‍රෝ පිස්‌තෝලය ද සමඟය. දකුණු පළාතම භීතියට පත් කරගෙන අහිංසක ජීවිත බිලි ගනිමින් පාපතර ජීවිතයක්‌ ගත කරන පොඩි ලැසී නමැති කාලකණ්‌ණි චරිතය මේ වන විට සිටින්නේ ගාල්ල බන්ධනාගාරයේ ය.

අපරාධකාරයන්ට බන්ධනාගාරය තරම් ආරක්‍ෂිත ස්‌ථානයක්‌ තවත් නැත. ඒ මන්ද බන්ධනාගාරය තුළ සිට මොවුන් මිනීමැරුම් මෙහෙයවන්නේය. හෙරොයින් ජාවාරම ජයටම කරගෙන යන්නේය. කප්පම් ලබා ගන්නේය. ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් ඔවුන්ට ලැබෙයි.

එසේ නම් මෙවැනි පාපතරයන් බන්ධනාගාරවල ගාල්කිරීම පලක්‌ වන්නේ දැයි සිතීමට කාලය එළඹ ඇත්තේය.

හේමන්ත රන්දුණු

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.