උම්බැ ජාතකය - පුත්‍ර සමාගම

දිනෙක රජපසයාණෝ කාලතන මැදුරෙහි විවේක සුවයෙන් හිඳිනුයේ නැවැතැ රාජ ස්‌වප්න දකිමින් සියලු පෙර දොස්‌ අනුලෝම ප්‍රතිලෝමව ද, නැවැතැ ප්‍රතිලෝම අනුලෝමව ද සිහි නඟමින් සිටින්නේ, එකී පෙර දොස්‌ මෙකල්හි දොස්‌ හා කිරා මැන බලමින් ද සිටින්නෝ යෑ. ඒ කෙසේද යත්, එකල්හි ධවල රථ සැරිය යෑ. මෙකල්හි දැන් දැන් කාල රථ සැරියක්‌ එළි බසිනා යෑ. එකල්හි පළින් පළ උද්ඝෝෂණ යෑ. මෙකල්හි දිනපතා උද්ඝෝෂණ මතු නොව සිසු හිස්‌ ද පලනා හ. සඟ චීවර උනා පියා නෙලනු යෑයි අණ කරනා හ. එකල්හි පුවත්පත් කරුවෝ අතුරුදන් කළැයි චෝදනා යෑ. මෙකල්හි දෙනෝදහක්‌ ඇස්‌ මත්තෙහි උන් බෙලි මිරිකනා යෑ. රූ යන්තර අතුරුදන් වනා යෑ. එකල්හි මිලියන චෞරයන් යෑ. උන් ඇතුලේ යෑ. තවත් උන් එක පතේ යෑ. මෙකල්හි බිලියන චෞරයන් යෑ. උන් ආරතික පෙරෙවි බමුණන් සේ පත්වීම් ලබනා යෑ. නොහොත් උපදෙස්‌ සපයනා හ. බලන කළ වෙනසක්‌ නොපෙනෙනා යෑ. සම රිසි සේ යෑ. මෙසේ සිතමින් රජපස තෙමේ මැදුරෙහි ඔබ මොබ සරන්නේ අංගනය දිසාවෙන් මුණු මුණුවක්‌ ඇසී කිමෙක්‌ දැයි බලන්නේ යෑ. එසේ බැලු කළ දිනසයා යෑ, විම්මලයා යෑ, අලස දලසයා යෑ, ගොම්මන්පිලයා යෑ, පරණගමයා යෑ ඈ පස්‌ වග සගයන් පැමිණ රිලවා අස්‌ථානගත වූ පනික්‌කියන් මෙන් විරවං පට්‌ටං සෙයියාවෙන් ඇණ බා ගෙන සිටිනා බවක්‌ දක්‌නට ලැබෙන්නේ, 'කිමැ සගයිනි, කිමැ විම්මලයිනි, තොපට තවත් අවභාවිතාවක්‌ දැ?' යි විමසනා හ. උන් එකිනෙකා මුවෙන් මුවැ බලමින් මුවින් නොබැණ සිටින්නෝ යෑ. එකල්හි රජපස තෙමේ, 'බලව්, දැන් අප, ජය පෙනෙනා මානයේ යෑ. මුන් අනා ගනිමින්, ගා ගනිමින්, නා ගනිමින් සිටින්නෝ යෑ. පසෙකින් රට විකිණීම යෑ. අනෙක්‌ පසෙන් භාණ්‌ඩාගාර මගඩිය යෑ. උද්ඝෝෂණ යෑ. සහල් මිල යෑ. සයිතම යෑ. සම්මුතිය බිඳී එකිනෙකා නියවා ගනිමින් සිටින්නේ යෑ. තැටිය රත් වී එන්නා සේ පෙනේ. නොපමාව රොටිය පුළුස්‌සා ගතයුත්තේ නොවේදැ සගයිනි' යි අසනා හ.

මෙතෙක්‌ මුවින් නොබැණ හුන් පස්‌ වග සගයන් සයිතමැයි කණ වැකුණු සැණින් සියල්ලෝ එක්‌වරම මුව විවර කොට, 'අහෝ ස්‌වාමිනී, පැනය නම් එයම යෑ'යි පවසනා හ. එබස්‌ ඇසූ රජපස තෙමේ යමක්‌ මතක්‌ වැ වුව අමතකැ සේ, 'කිමෙක්‌ද සගයිනි, සයිතමය පැනයක්‌ වන්නේ උනට මිස අපට නොවේ ය. ඉදින් කුමට තැවෙමු දැ' යි අසනා හ. එකල්හි උන්, 'කමා වුව මැනවි, ස්‌වාමිනී, සයිතමය අප කල්හි ඇරඹුවකැයි මුන් පැවසුව ද එය නම් අප හට ගේමක්‌ නොවන්නේ යෑ. නමුත් ඔබ පුත් කුමරා රත්තරනා හා සමඟැ පෙර කල්හි සයිතමයෙහි සිරි නැරඹූ රූප පෙළක්‌ බුකී වනයෙහි සැරිසරන්නේ යෑ. බුකීවාසීහු අපගේ හැඳි වත් ගලවා කමෙන්තයන් එවනා හ. එකී රූ සාක්‌ෂි තිබියදී කෙසේ නම් අප සයිතම විරෝධී හඬ නගමුදැ' යි පවසනා හ. විම්මලයා ද පැනැ දෙන්නේ, 'එසේ යෑ ස්‌වාමිනී, පෙර කල්හි ද උහු එසේම යෑ. කීවක්‌ නාහන උහු එකල්හි උඩනුවර මං මාවත් අවුරා අම්මෝගිනි පදවා මහ සඟුන් සිත රිද වීයෑ. ඊට රිටනය අනුභව කළෝ නම් මා ය. වෑස්‌තෑව පහදා දෙනු වස්‌ බැහැ දකින්නට ගිය කල්හි එතුමෝ මා නොතකා පලවා හැරිය හ. මෙවරවත් උහු මෙල්ල නොකළහොත් නම් සුම්මා යෑ' යි පවසනා යෑ. එකල්හි රජපස තෙමේ එපුවත් දැන් ඇසුවා සේ දණ්‌ඩෙන් පහර ලත් නාග රාජයකු මෙන් කෝපාවිෂ්ට ව නිබ්බුත පදයක්‌ මුවටැ නැඟුන ද එය ගිල ගෙනැ, 'එම්බල පුතණ්‌ඩ, වහා එව. මුන් කියනා බස්‌ සැබෑවක්‌දැ' යි මහ හඬින් උහු කැඳවනා හ. වහා දිවැ එන පුත් කුමරුවෝ පිය කොව තඹයකුදු මායිම් නොකොටැ, 'කිම්ද පියාණෙනි, සිනාසුව මැනැවැ' යි අත් බනුව ඇද පියා සමඟැ සැලපියක්‌ තළා ගෙනැ එසැණින්මැ ආපසු දිව යන්නා හ. 'උහු තවමැ නොදරුවා යෑ. බරක්‌ පතළක්‌ නොදත්තේ යෑ'යි රජපස තෙමේ කී කල්හි පස්‌ වග සගයින් නැවැතැ මුවින් මුවැ බලා මුවින් නොබැණ සිටියාහු යෑ.

නිමල් µ්‍රeන්සිස්‌

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.