ජතික හිස කෙළින් කරන්න හිස දන් දුන්
කැප්පෙටිපොළ වීරයාගේ හිස
ගොඩ ගන්නවාට නෑයන් විරුද්ධ ඇයි?

සමන්ති වීරසේකර

මහ රැජිණගෙන් ඥාතීන් කළ ඉල්ලීමක්‌ අනුව ලංකාවට යළි 'හිස්‌ ලැබුණා

හිරු නොබසින අධිරාජ්‍යයට එරෙහිව අසිපත එසවූ, පවුරු බැඳි පතාක සිංහල යෝධයෙක්‌ වේ නම් ඒ වීර මොණරවිල කැප්පෙටිපොල දිසාව ය. ඔහුගේ ප්‍රමුඛත්වයෙන් මෙහෙය වූ ඌව වෙල්ලස්‌ස සටනින් ඇරඹි සිංහලයේ උඩරට මහ කැරැල්ල ඉතිහාස ගතවී ද්විත්ව ශතකයක්‌ ගතවන්නට ඔන්න මෙන්න තිබියදී රටම කලම්බා අනේක විද පුවත් මැවෙන්නට ගත් බැවින්ම කැප්පෙටිපොල නාමය අළු දූලි පිසදමමින් යළි ඉස්‌මතුව ඇත්තේය.

"වීර මොණරවිල කැප්පෙටිපොල දිසාව හෙවත් කැප්පෙටිපොල වීරයාගේ හිස්‌කබල ගොඩගෙන මහජන ප්‍රදර්ශනය සඳහා තැබීමට කටයුතු කරන" බව මාතලේ වීර කැප්පෙටිපොල පදනමේ ලේකම් එම්. ඩබ්ලිව්. සෝමරත්න ප්‍රකාශ කිරීමත් සමඟ මේ සඳහා විවිධ අර්ථකථන ගොඩනැඟෙන්නට විය.

මේ සම්බන්ධයෙන් පොදුජන මතය වූයේ, කැප්පෙටිපොල විරුවාණන්ගේ හිස්‌කබල ප්‍රදර්ශනයට තැබීම හරහා ශ්‍රී ලාංකේය ඉතිහාසය සාක්‌ෂි සහිත නව්‍යකරණයකට ලක්‌වන බවය. පොදු ජනතාව අතර දේශප්‍රේමී අනුරාගයක්‌ ඇති වෙමින්, ජාතිය ආගම රට උදෙසා ජාත්‍යාලයෙන් කැපවූ විරුවකුගේ ජීවමාන සාධකයක්‌ ප්‍රදර්ශනය කර තැබීම හරහා ජාත්‍යන්තරයේ ගෞරවයද පිළිගැනීම ද වැඩිවන බව, ද විද්වතුන්ගේ අදහස විය.

නමුදු මේ සියල්ලක්‌ අභිබවා වීර කැප්පෙටිපොල ලේ ඥාතිත්වය, දිය යට සඟවා තිබී උඩමතු වූ බෝලයක්‌ සේ ඉස්‌මතුව ඇත්තේය. ඒ වීර මොණරවිල කැප්පෙටිපොල දිසාවයන්ගේ, ඉදිරි පරපුරේ සිව්වන පරම්පරාවේ දියණියක වන පර්ල් කරල්ලියද්ද සිය කිරිකිත්තාගේ හිස්‌කබල ප්‍රදර්ශනය තැබීම සඳහා විරෝධය පාමින් නැගී සිටීමත් සමඟය. මහා වීරවරයාගේ හිස්‌කබල ප්‍රදර්ශනයේ තබනවාටත් එය කොළඹ කෞතුකාගාරය වෙත රැගෙන යනවාටත් ඇය එක හෙළා විරුද්ධය. අසුරු සැනකින් ඉස්‌මතුව කැප්පෙටිපොල දිසාවගේ හිස්‌කබල ප්‍රදර්ශනයේ තබනවාට විරෝධය පාන මේ වීර කාන්තාව කවුදැයි කා තුළත් කුකුසක්‌ හටගැනීමේ අරුමයක්‌ නැත. එබැවින්ම විශ්‍රාමික දිසා විනිසුරු පර්ල් කරල්ලියද්ද වන ඇයට වීර මොණරවිල කැප්පෙටිපොල දිසාව හා සබැඳි ලේ සබඳකම කුමක්‌ දැයි විමසමු.

කැප්පෙටිපොල පරම්පරාව 1707 ත් 1739 ත් දක්‌වා වූ ඈත අතීතයකට උරුමකම් කියයි. වීර පරාක්‍රම නඡේන්ද්‍රසිංහ රජුගේ සළුවඩන පදවිය දරා ඇත්තේ කැප්පෙටිපොල පරපුරේ ආදිතමයකු වන රාජපක්‌ෂ වික්‍රමසිංහ මුදියන්සේය. තමන්කඩුව මාතලේ සහ සත්කෝරලේ දිසාපති පදවියද දැරූ රාජපක්‌ෂ මුදියන්සේ කැප්පෙටිපොල පවුල සම්භාව්‍ය රදල පවුලකි.

කැප්පෙටිපොල දිසාව උපන්නේ සතර කෝරලයේ ය. පියා ගොලහැල නිළමේ කැප්පෙටිපොල ය. ඔහු රාජාධි රාජසිංහ සමයේ සිටි දියවඩන නිළමේ ය. මව මොණරවිල කුමාරිහාමිය. පුත් කැප්පෙටිපොල උපන් පසුව ඔවුහු මාතලේ මොණරවිල පදිංචියට ගොස්‌ ඇත. මොණරවිල කැප්පෙටිපොල විවාහ පත් වූයේ, සබරගමුවේ දෙල්වල එතනහාමි සමඟය. කැප්පෙටිපොල අඹුසැමියන්ට ලොකු බණ්‌ඩා සහ පුංචි බණ්‌ඩා නමින් පුතුන් දෙදෙනෙකි. කල් යත්ම තරුණ වියේදී ලොකු බණ්‌ඩා වසූරිය වැළඳී මිය ගොස්‌ ඇත. කැප්පෙටිපොල දිසාවේගේ බාල පුත් පුංචි බණ්‌ඩා කැප්පෙටිපොල විවාහපත් වූයේ දුනුවිල කුමාරිහාමි සමඟය. මෙම යුවලට දරුවන් සයදෙනෙකි. පිරිමි ළමුන් හතරක්‌ සහ ගැහැණු ළමුන් දෙදෙනෙකි. ලොකු බණ්‌ඩා කැප්පෙටිපොල, විලියම් කැප්පෙටිපොල, හැරී කැප්පෙටිපොල, එඩ්මන් කැප්පෙටිපොල, සෝමාවතී කැප්පෙටිපොල සහ මන්ත්‍රී කැප්පෙටිපොල යනු එම දරුවන්ය. ඒ අතර සිව්වන දරුවා වන එඩ්මන් කැප්පෙටිපොල විවාහ පත්වූයේ ඇලිස්‌ තිලකරත්න සමඟය. ඔවුන්ගේ දියණිය සීලවතී මොණරවිල කැප්පෙටිපොලය. සීලවතී කැප්පෙටිපොල විවාහ පත්වූයේ ඡේ. බී. කරල්ලියද්ද සමඟය.

සීලවති සහ ඡේ. බී. යුවලට දරුවන් සිව්දෙනෙකි. මන්ත්‍රී කරල්ලියද්ද, පර්ල් කරල්ලියද්ද සද්ධාතිස්‌ස කරල්ලියද්ද කාවන්තිස්‌ස කරල්ලියද්ද අනුලා කරල්ලියද්ද සහ ස්‌වර්ණා කරල්ලියද්ද යනු ඔවුහුය. පර්ල් කරල්ලියද්ද යනු අපේ කතාවේ නායිකාව එම පවුලේ දෙටු දියණියය. ඇය සිය පරම්පරාවේ බල මහිමය රැකගැනීම උදෙසා ඇපකැප වන්නීය. මේ ඇයගේ කතාවය.

"වීර මොණරවිල කැප්පෙටිපොල දිසාව වසර 1818 ඔක්‌තොම්බර් 28 වැනිදා බ්‍රිතාන්‍ය ජාතිකයන්ට යටත් වුණා. ඔහු හා සිරගතව සිටි මඩුගල්ලේ දෙදෙනාට මරණ දඬුවම හෙවත් හිස ගසා දැමීමට නියම වී තිබුණේ, 1818 නොවැම්බර් 26 වැනිදා. අලුයම අවදිව කැප්පෙටිපොල දිසාව ඉතා කල්පනාකාරීව සිහිබුද්ධියෙන් වධකයා වෙත ගොස්‌, එරමිනිය ගොතා වාඩිවී "වධකය, මම නව අරහාදී බුදුගුණ පාඨ කියවද්දී මගේ හිස එක්‌ පහරින්ම කඳෙන් වෙන් වන්නට වැරෙන් පහරක්‌ ගසව.." යෑයි පවසා ඇති බව සඳහන් වෙනවා. අනතුරුව සියලුම ගොඩ, මඩ ඉඩම් රාජසන්තක කොට තිබෙනවා.

මොහු වීරවරයෙක්‌.. මොහුගේ හිස පරීක්‌ෂණයට ලක්‌ කිරීම සඳහා වෛද්‍ය හෙන්රි මාෂල් අවසර ලබා ගනිමින් ස්‌කොට්‌ලන්තයේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ කපාල වස්‌තු විශ්වවිද්‍යාලය වෙත රැගෙන ගියා. 1948 නිදහස ලැබීමෙන් අනතුරුව පවුලේ ඥාතීන් දිගින් දිගටම බ්‍රිතාන්‍ය මහ රැජිණගෙන් කළ ඉල්ලීම්වල ප්‍රතිඵලයක්‌ ලෙස හිස්‌ කබල ලංකාවට නැවත ගෙන එනු ලැබුවා. තාවකාලිකව කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කර තිබී පසුව කොළඹ කොටුව දුම්රිය ස්‌ථානයෙන් දුම්රිය මගින් බදුල්ලට රැගෙන ගොස්‌ තිබෙනවා. ගෞරව පූර්වකව පෙරහැරින් බදුල්ල බිබිල පාලුගම බණ්‌ඩාරවෙල ස්‌ථාන වෙත රැගෙන ගොස්‌ ඇති අතර නැවත පේරාදෙණිය දුම්රිය ස්‌ථානයේ සිට පෙරහරින් මහනුවර ශ්‍රි දළදා මාළිග පරිශ්‍රයට රැගෙන ගොස්‌ 1954 නොවැම්බර් 17 සිට 26 දක්‌වා ප්‍රදර්ශනය සඳහා තබා තිබෙනවා. අනතුරුව නැවත මාතලේ මොණරවිල පල්ලෙපොලට රැගෙන ගොස්‌ ගෞරව කොට සංඝරත්නයේ ප්‍රමුඛත්වයෙන් සහ ලොකුබණ්‌ඩා මොණරවිල කැප්පෙටිපොල සහ එවකට දියවඩන නිළමේ නුගවෙල මහතාගේ මැදිහත් වීමෙන් මහ මළුවේ හිස්‌ කබල තැන්පත් කොට තිබෙනවා.

හිස්‌කබල තැන්පත් කිරීමේදී එය කාලාන්තරයක්‌ ආරක්‌ෂා කිරීමට අවශ්‍ය කිසියම් හෝ ක්‍රමවේදයක්‌ භාවිත නොකර ඇති බැවින් මෙම හිස්‌කබල යථා තත්ත්වයේ පවතී ද යන්න ඥාතීන් වන අපට ගැටලුවක්‌. මෙම හිස්‌කබල යළි විවෘත කිරීමේදී ඒ අයුරින්ම නොතිබී විනාශව තිබුණ හොත් එතුමන්ට කරනු ලබන අගෞරවයක්‌ නේද යන කුකුස අප හට තිබෙනවා. සංරක්‌ෂණ ක්‍රමවේද භාවිත කර තිබුණේ නම් ඒ ගැන අප ප්‍රශ්න නොකරන්න ඉඩ තිබුණා. රටකට ජාතියකට පහල වන දුර්ලභ වීර චරිතයක්‌ පිළිබඳව මිනිසුන් තුළ අද තිබෙන්නේ මහා ගෞරවයක්‌. අභිමානයක්‌. එය අප ඉදිරියටත් ආරක්‌ෂා කළ යුතුයි. සියල්ල නැසෙන සුළු බව ඇත්ත. නමුත් අපි මේ වැර යොදා සිදු කරන්නට යන්නේ අවශ්‍ය දෙයක්‌ද කියා මම ප්‍රශ්න කරනවා. ඒ වාගේම කැප්පෙටිපොල විරුවාණන්ගේ සියලුම ඥාති පිරිස්‌ වෙසෙන්නේ කන්ද උඩරට. එසේ තිබියදී කොළඹ කෞතුකාගාරය වෙත රැගෙන යාම සුදුසු නැති බව මාගේ හැඟීමයි. අපට අපේකම වගේම ලේ ඥාතිත්වය පිළිබඳ කැක්‌කුමක්‌ තිබෙනවා. බොහෝ උදවිය කල්පනා කරාවි ඇයි මේ විදිහට ප්‍රශ්න කරන්නේ කියා. නමුත් අපේ මුතුන් මිත්තන්ගේ සාක්‌ෂි තවදුරටත් ආරක්‌ෂා කළ යුතුයි. ඇතැම් අවස්‌ථාවල ඉතිහාසගත සාක්‌ෂිවලට සිදුවන අකටයුතුකම් අතුරුදන් වීම් ඕනෑ තරම් අප අසා තිබෙනවා. මෙවන් සිදුවීමක්‌ සිදු වෙන්නට පෙර අප අපේ වීරවරයා ගෞරවාන්විතව ආරක්‌ෂා කරගන්න එක යුතුකමක්‌ ලෙස මා සලකනවා. එහෙයින් වීර මොණරවිල කැප්පෙටිපොල දිසාවගේ හිස්‌ කබල යළි ගොඩගැනීමට හෝ ප්‍රදර්ශන භාණ්‌ඩයක්‌ ලෙස කොළඹ කෞතුකාගාරයට ගෙන යැමට අපි ඥාතීන් ලෙස විරුද්ධ බව මා දන්වා සිටිනවා.."

මේ ඇසෙන්නේ රුධිරය කැකෑරෙමින් නැඟෙන අපේ කමේ හඬය. රටක්‌ ජාතියක්‌ ආරක්‌ෂා කොට අනාගතය වෙනුවෙන් භූමියක්‌ ඉතිරි කළ විරුවකුගේ පරපුරින් පැවැත එය අභිමානවත් හඬය. අප ඊට සවන් දිය යුතුය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.