පායන රස්‌නයත් තාරුණ්‍යයේ උෂ්ණයත්
ඇගට ගෙන පාසල් මැරයෝ ගුටි ඇන ගනිති

ගයාන් සමරසිංහ

කොළඹ ආනන්ද විදුහල සහ නාලන්ද විදුහල අතර ඇත්තේ එක බඩවැල කඩාගෙන ආ සහෝදරයන් දෙදෙනකු හා සමාන බැඳීමකි. එය එසේ වනුයේ මෙම හේතුව නිසාය. අතීතයේ එක්‌තරා කාලපරිච්ඡේදයක ආනන්ද විද්‍යාලයේ සිසුන් වැඩිවීම නිසා පංති කාමර කිහිපයක්‌ යාබද ඉඩමකට ගෙන යන ලදී. කලක්‌ ගතවෙද්දී එම පංති කාමරවල පරිපාලනය වෙනම සිදුවී කොළඹ නාලන්දා විදුහල බිහිsවිය.

එලෙස එකම පාසල දෙකට බෙදුනත්, ඔවුහු අතර තිබුණ බැඳීම කිසිසේත් පළුදු නොවූහ. කලක්‌ යන තුරු එම පාසල් දෙක සහයෝගීතාවයෙන් යුතුව කටයුතු කළහ. එහෙත් වර්තමානය වන විට එම තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් වෙනස්‌ වන්නට පටන් ගත්තේය. නව පරම්පරාව තුළින් එකල පැවති සහෝදරත්වය ගිලිහී යමින් තිබුණි. එයට හොඳම උදාහරණයක්‌ වශයෙන් ගෙනහැර දැක්‌විය හැක්‌කේ පසුගිය වසරවල පැවති සමහර "බිග් මැච්" අතර වාරයේ ඇතිවූ ගැටුම්ය.

කොළඹ ආනන්ද - නාලන්ද පාසල් දෙක අතර පවතින බැඳීම දුරස්‌වී යන කාල වකවානුවක එය තවත් තීව්‍ර කිරීමේ සිදුවීමක්‌ද පසුගිය පහළොස්‌ වැනිදා මුළු රටටම අසන්නට දකින්නට ලැබුණි. එම සිද්ධිය සැකෙවින් මෙසේය.

ආනන්ද විදුහලේ සිසුවකු කොළඹ බාලිකා විදුහලක සිසුවියක සමඟ ප්‍රේමන් ගිය සම්බන්ධතාවක්‌ පවත්වාගෙන ගියේ දැනට මාස කිහිපයක පමණ සිටය. එම සිසුවිය සමඟ නාලන්දා විදුහලේ සිසුවකුද ප්‍රේම සම්බන්ධතාවක්‌ ගොඩනඟා ගැනීමට උත්සාහ කළේය. එහෙත් ඇය වෙන අයකු සමඟ එවැනි සම්බන්ධයක්‌ ගොඩනඟා ගෙන ඇති බව නාලන්ද විදුහලේ සිසුවාට දැන ගන්නට ලැබුණි.

නාලන්ද විදුහලේ සිසුවා එම පාසල් සිසුවිය සමඟ සම්බන්ධතාව ගොඩනඟාගත් පුද්ගලයා ගැන තොරතුරු සෙව්වේය. ඒ අනුව ඔහුට දැනගන්න ලැබුණේ එයට සම්බන්ධ ආනන්ද විදුහලේ සිසුවකු බවයි. දින කිහිපයක්‌ ඔහු එම සම්බන්ධය නවතා දමන ලෙස පවසා විවිධ බලපෑම් එල්ල කළේය.

ආනන්ද විදුහලේ එම සිසුවාද නාහෙට අහන්නේ නැති අයෙකි. නාලන්ද සිසුවා කරන බලපෑම් ඔහු තඹ සතේකටවත් මායිම් නොකළේය. ඔහු නිතරම පැවසුවේ "මම එම සම්බන්ධතාව නවත්වන්නේ නැහැ... පුළුවන් දෙයක්‌ කරපන්" කියා ය. එම වදන්වලට බියේ නාලන්ද සිසුවාද තම සටන අත්හැරියේ නැත. ඔහුත් "බලපන් ළඟදීම මම ඕකට කරන දේ" කියා නිතරම පැවසුවේය.

සති කිහිපයක්‌ ගතවෙද්දී එම සිසුන් දෙදෙනා අතර පවතින සීතල යුද්ධය පාසල් දෙකේ බොහෝ සිසුහු දැන ගත්හ. සමහර සිසුහු එය මැඬපැවැත්වීමට උත්සාහ කළත් එය අසාර්ථක වූහ.

තත්ත්වය එන්න එන්නම දරුණු විය. පාසල් දෙකේ සිසුන් දෙදෙනා අතර පැවති විරසකය එන්න එන්නම වර්ධනය වූහ. එහි ප්‍රතිඵලයක්‌ ලෙස පසුගිය දහහතර (14) වැනිදා පාසල් දෙකේ සිසුහු අතර ගැටුමක්‌ ඇතිවූහ. මහ පාරේදී ඇතිවූ එම ගැටුම දුර දිග නොගියද එතැනින් අවසන් නොවී මතු සම්බන්ධ විය.

දිනය පසුගිය පහළොස්‌ (15) වැනිදාය. එදින ආනන්ද සිසුවා පාසලට ආවේ යක්‍ෂාරූඪ වූ අයෙකු මෙන්ය. ඒ පෙරදින සිදුවූ සිදුවීම නිසාය. පාසලේ චණ්‌ඩියකු ලෙස ලේබලයක්‌ අලවාගෙන සිටින ඔහු තම හොඳම මිතුරාට පැවසුවේ "අරුන්ට වැඩක්‌ නොදුන්නොත් අපි බලු වෙනවා... අද ඉස්‌කෝලෙ ඇරුණාම අපි සෙට්‌වෙලා උන්ගේ ඉස්‌කෝලේ ළඟටම ගිහින් ගහලා එමු..." කියාය. එම මිතුරාද නාහෙට නාහන අයෙකි. එම නිසා ඔහු දුරදිග නොබලා එකහෙළාම එම යෝජනාවට එකඟ විය.

කතාකරගත් පරිදි එම සිසුන් දෙදෙනා පාසල අවසන් වූ පසු නාලන්ද සිසුන්ට පහරදීම සඳහා ලක ලැහැස්‌ති වූහ. ඒ පිළිබඳව ඉතා සූක්‍ෂම ලෙස ඔවුහු පාසලේ බොහෝ සිසුන් පිරිසක්‌ දැනුවත් කළහ.

නියමිත වේලාවට පාසල අවසන් විය. එහෙත් කථිකා කරගත් පිරිස නිවෙස්‌ බලා නොගොසින් නාලන්ද විදුහලේ සිසුන්ට පහරදීම සඳහා සූදානම් වූහ. ඒ සඳහා ඔවුහු යකඩ පොලු, පුටු කකුල්, වීදුරු බෝතල්, පොලු මුගුරු ආදී දේවල්වලින් සන්නද්ධ වී ගාල කඩාගත් හරක්‌ රැළක්‌ සේ නාලන්දා විදුහල දෙසට ගියෝය. ඒ යන අතරමඟදී ද සිසුහු එකතු වූහ. බොහෝ දෙනකු දැන සිටියේ නාලන්ද විදුහලේ සිසුන්ට පහරදීමට යන බව පමණි. ඒ කුමක්‌ අරබයාද යන්න ඔවුහු නොදැන සිටියෝය.

පාසල් නිල ඇඳුමෙන් සැරසී සිටියත් ආවේගශීලීව හැසිරෙන එම පාසල් සිසුන් දිස්‌වූයේ පාතාල ලෝකයේ ඇම්බැට්‌ටයන් පිරිසක්‌ ලෙසිනි. පුංචි බොරැල්ල, කුප්පියාවත්ත ප්‍රදේශයේ කරණාරත්න අබේසේකර මාවත දිගේ ඔවුහු නාලන්ද විදුහල දෙසට පැමිණියහ.

පාසල් සිසුවෙකුට කිසිසේත් උචිත නොවන අයුරින් හැසිරෙන එම පිරිසට මුලින්ම දිස්‌වූයේ නාලන්ද විදුහල ඉදිරිපස නවතා තිබූ පාසල් බස්‌රථ දෙකකි. එම බස්‌රථ දෙකට මුලින්ම ප්‍රහාර එල්ල කළ එම අමන රැළ පසුව එහි සිටි කිසි දෙයක්‌ නොදත් අහිංසක සිසුන්ට ඉවක්‌ බවක්‌ නොමැතිව පහරදීමට පටන් ගත්හ. ඒ සමඟම නාලන්ද විදුහලේ සිසුහුද ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්හ. ගතවූයේ විනාඩි ගණනකි. එම ප්‍රදේශයම පුංචි යුද්ධයක්‌ බඳු විය. දෙපාර්ශ්වයේම පාසල් සිසුහු ගුටිබැට හුවමාරු කරගත්හ. සමහරු පොලු මුගුරුවලින් පහරදුන් අතර තවත් සමහරු ගල් ප්‍රහාර එල්ල කළහ. තත්ත්වය එන්න එන්නම දරුණු විය. සමහර දෙමාපියෝ තම දරුවන් තුරුළු කරගෙන නොසෙල්වී සිටියේ කොයි මොහොතක හෝ ප්‍රහාරයක්‌ එල්ලවීමට ඉඩකඩ තිබුණ නිසාය.

එක්‌තරා මවක්‌ තම පුතාට විරුද්ධ පාර්ශ්වයේ පාසල් සිසුවකු පහරදීමට සැරසෙන අයුරු දුටුවාය. ඇයට කළ හැකි කිසිවක්‌ නොවීය. ක්‍ෂණිකවම ඇය තම පුතා තුරුළු කර ගත්තාය. එහෙත් ආවේගශීලීව පහරදීමට පැමිණි එම පාසල් සිසුවා සිත් පිත් නොමැති තිරිසනෙකු මෙන් එම මවට පහර දුන්නේය.

පැය භාගයක්‌ පමණ යන තුරු පාසල් දෙකේ සිසුහු ගුටිබැට හුවමාරුව සිදු කරගත්හ. අවසානයේ මරදාන සහ බොරැල්ල පොලිසිය ඒකාබද්ධව කළ මෙහෙයුමකින් පසුව එම ගැටුම සමථයකට පත්කර ගැනීමට හැකිවූහ. ඒ සමඟම ගැටුම මෙහෙයවූ සිසුහු පහළොස්‌ දෙනකු අත්අඩංගුවට ගත්හ. එයින් අටදෙනකු ආනන්ද විදුහලේ සිසුන් වූ අතර ඉතිරි හත්දෙනා නාලන්ද විදුහලේ සිසුන්ය.

මෙම ගුටිබැට හුවමාරුව නිසා ලංගම බස්‌ රථ දෙකක්‌ ඇතුළුව වාහන අටකට බරපතළ හානි සිදුවී තිබුණි. ඇතැම් වාහන එම පටු මාර්ගයේ නිවැසියන්ට අයත් නිවෙස්‌ අසල නවතා තිබූ ඒවාය. ඒ සමඟම තුවාල ලැබූ පාසල් සිසුන් හය දෙනකු ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලදී.

අත්අඩංගුවට ගත් සිසුන් පහළොස්‌ දෙනාගෙන් දස දෙනකු මරදාන පොලිසියේද ඉතිරි හත්දෙනා බොරැල්ල පොලිසියේද රඳවා ගත්හ. ඉන්පසු එම සිසුන්ගේ දෙමාපියන්ද පොලිසියට කැඳවා එම සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ සිදු කළහ. ඉන්පසු මෙම සිසුහු අධිකරණයට ඉදිරිපත් කළ අතර දැඩි අවවාද ලබාදී ඇප මත නිදහස්‌ කළහ.

මෙම සිද්ධිය පිළිබඳ පොලිසිය සිදුකළ පුළුල් පරීක්‍ෂණයට අනුව අනාවරණය වූයේ පාසලේ දාමරිසා ශිෂ්‍යයන් දෙදෙනකු නිසා මෙම ගැටුම ඇතිවූ බවයි. ඔවුහු අනෙක්‌ සිසුන්වද සූක්‍ෂම ලෙස ගැටුමට ඒකරාශි කරගෙන තිබූ අතර මීට පෙර විද්‍යාලයේ ක්‍රීඩා තරග අවස්‌ථාවකදී බීමත්ව හැසිරී සිටි බවටද අනාවරණය වී තිබේ.

ආනන්ද - නාලන්ද ගැටුම එසේ අවසන් වුණු අතර එදිනම කොළඹ ඩී. එස්‌. සේනානායක විදුහල තුළද ගැටුමක්‌ ඇති විය. ඒ විනය සම්බන්ධව දෙපිරිසක්‌ අතර ඇතිවූ සිද්ධියක්‌ මුල් කරගෙනයි.

විදුහලේ එක්‌ ශිෂ්‍ය නායකයකු තවත් සිසුවකුට විනය සම්බන්ධයෙන් අවවාද කර තිබේ. එය මුල්කර ගෙන ඇතිවූ බහින් බස්‌ වීමක්‌ දුරදිග යැමෙන් මෙම ගැටුම ඇතිවී තිබේ. එහිදී ශිෂ්‍ය නායකයා සමඟ ගැටුම ඇති කරගත් සිසුවා පාසල තුළ චණ්‌ඩියකුගේ චරිතය රඟපාන බවට ආරංචියක්‌ද පැතිර යයි. ඔහුගේ පියා මෙම පාසලේ ආදි ශිෂ්‍යයෙකි. තම පුතාට පහරදීම නිසා උරණ වූ ඔහු පාසලට පැමිණ විනය භාර ගුරුතුමාටද පරුෂ වචනයෙන් බැණ උසස්‌ පෙළ හදාරන සිසුවකුට අමානුෂික ලෙස පහරදී තිබේ. පසුව එම සිසුවා කොළඹ ජාතික රෝහලට වැඩිදුර ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇතුළත් කරන ලදී.

පසුව කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීහු පැමිණ පාසල් සිසුවාට පහරදුන් සැකකරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ. එහිදී මහෙස්‌ත්‍රාත්වරයා ඔහුට තරයේ අවවාද කර දැඩි ඇප කොන්දේසි මත මුදාහරින ලදී.

කෙසේ වෙතත් එම පාසල් සිසුවාට පහරදීම සිදුකළ සැකකරු පැවසුවේ තම පුතාද රෝහල්ගත වී ප්‍රතිකාර ලබන බවත්, පොලිසිය ඒ සම්බන්ධයෙන් නීතිය හරිහැටි ක්‍රියාත්මක නොකරන බවත්ය. එහිදී මහෙස්‌ත්‍රාත්වරයා පැවසුවේ ඒ පිළිබඳවද නිසියාකාරව පැමිණිල්ලක්‌ ඉදිරිපත් කරන ලෙසයි.

කොළඹ ඩී. එස්‌. සේනානායක විදුහලේ ගැටුම එලෙස අවසන්වූ අතර එදිනම නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ සහ කොතලාවලපුර විද්‍යාලයේ සිසුන් දෙපිරිසක්‌ අතර ගැටුමක්‌ ඇතිවූහ.

මෙම පාසල් දෙක අතර මොරටුව ජනජය විදුහල් ක්‍රීඩාංගණයේ දී සැහැල්ලු පන්දු ක්‍රිකට්‌ තරගාවලියක්‌ පැවැත්විණි. එය අතරමගදී දෙපිරිස අතර බහින් බස්‌වීමක්‌ ඇතිවූහ. එය විසඳීමට අසල සිටි පිරිස උත්සාහ ගත්තත් එය සාර්ථක වූයේ නැත.

අවසානයේ දෙපාර්ශ්වයේම පාසල් සිසුහු ආවේගශීලීව හැසිරෙමින් උණුසුම් වචන පවා හුවමාරු කරගත්හ. එන්න එන්නම දෙපිරිස අතර ආවේගශීලීත්වය වැඩිවූහ. ඒ එක්‌කම සිසුවෙකුට ප්‍රතිවිරුද්ධ පාසල් සිසුවකුගෙන් කම්මුල් පහරක්‌ වැදුණි.

එම කම්මුල් පහරත් සමඟම දෙපිරිස අතර තත්ත්වය වඩාත් උණුසුම් වූහ. විනාඩි ගණනක්‌ යැමට මත්තෙන් එය ගුටි කෙළියක්‌ බවට පත්විය. ඉවක්‌ බවක්‌ නොමැතිව දෙපාර්ශ්වයේම පාසල් සිසුහු ගුටි කෙළගත්හ. පැය කාලක්‌ පමණ පැවති එම ගුටිකෙළිය අවසන් වූයේ පොලිසිය පැමිණීමත් සමඟයි.

පොලිසිය එම සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේ සිසුන් දස දෙනකු අත්අඩංගුවට ගත්හ. තුවාල ලැබූ කොතලාවල පුර විදුහලේa සිසුන් හය දෙනකු ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ලුණාව රෝහලට ඇතුළත් කරන ලදී. අත්අඩංගුවට ගත් සිසුන් දසදෙනා මොරටුව අධිකරණයට ඉදිරිපත් කළ පසු දැඩි ලෙස අවවාද කර ඇප මත මුදාහරින ලදී.

එක්‌ දිනක්‌ තුළ මෙරට ජනප්‍රියම පාසල්වල එම සිසුන් හැසිරුණේ මොළේ කළඳක්‌වත් නොමැති පාතාල ඇම්බැට්‌ටයන් ලෙසිනි. මෙය පාසල්වලට පමණක්‌ නොව මුළුමහත් පාසල් පද්ධතියටම විශාල කැළලකි.

තරුණ පාසල් සිසුන් ආවේගශීලී වන බව සැබෑවය. එය එම සිසුන්ගේ වරදක්‌ නොව තාරුණ්‍යයේ ස්‌වභාවයයි. එහෙත් යම්කිසි සීමාවක්‌ තුළද ආවේගශීලීත්වය අනිවාර්යයෙන්ම පාලනය කරගත යුතු වේ. එසේ නොවුණහොත් ඉදිරියේ දී සමහර පාසල් සිසුහු පාතාල ඇම්බැට්‌ටයන් මෙන් කඩු කිණිසි සහ තුවක්‌කු ආදිය ගෙන මිනී මරාගැනීමේ තත්ත්වයට පවා පැමිණේ.

පාසල් කාලයේදී ගුරුවරුන් මෙන්ම ඉන් පිටතදී දෙමාපියන්ද තම සිසු සිසුවියන් සහ දුවා දරුවන් ගැන වෙනදාටත් වඩා සැලකිලිමත් විය යුතුය.එසේ නොවුණහොත් වර්තමාන සමාජ ක්‍රමයත් සමඟ දුවා දරුවන් නොමඟ යැමේ සම්භාවිතාව බොහෝ සෙයින් වැඩිවේ.



 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.