කුවේට්‌ රටේ සිටින ශ්‍රී ලාංකික අනාථයන්
ගණන එන්න එන්නම අඩුවෙනවා
කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කන්දීපන් බාලසුබ්‍රමනියම්


කුවේටයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරන්නේ කන්දීපන් බාලසුබ්‍රමනියම් මහතායි. ශ්‍රී ලාංකිකයන් රැසක්‌ විවිධ ක්‍ෂේත්‍රයන්හි රැකියාව කරන කුවේටයේ මෙරට තානාපතිවරයා සමඟÊකළ සම්මුඛ සාකච්ඡාවක්‌ මතු දැක්‌වේ.

පළමුව ඔබ ගැන පැහැදිළි කළ හැකි ද?

මම ශ්‍රී ලංකාවේ විදේශ සේවය නියෝජනය කරන නිලධාරියෙක්‌. ඉන්දියාව, ජිනීවා හා නෙදර්ලන්තයේ හේග් නුවර රාජ්‍යතාන්ත්‍රික නිලධාරී පුහුණුව ලැබුවා. නෙදර්ලන්තය, චීනය, පිලිපීනය හා ඊජිප්තුව වැනි රටවල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු වශයෙන් ද සේවය කළා. මඩකලපුවේ පිහිටි ශ්‍රී ලංකාවේ ඉපරැණිs ම ඉංගී්‍රසි පාඨශාලව වන වර්ෂ 1814 ඇරඹි මොතෝදියස්‌ විද්‍යාලය මුල් කර ගනිමින් ආධ්‍යාපනය හැදෑරූ මා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්මය සඳහා වන පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ දර්ශනපති උපාධිධරයෙක්‌ එතෙක්‌ මෙතෙක්‌ මා ආ ගමනට පන්නරය ලබා දුන් මාගේ ආදරණීය මව හා පියා සම්බන්ධයෙන් යම් මතකයක්‌ තැබුවහොත් රංජිදම් බාලසුබ්‍රමනියම් වන මාගේ මව ගුරුවරියක්‌ වන අතර එස්‌. බාලසුබ්‍රමනියම් වන මාගේ පියා ග්‍රාමීය සංවර්ධන නිලධාරියෙක්‌. මාගේ බිරිඳ වන අරුෂියා දන්ත වෛද්‍යවරියක්‌. පුතා චෛතන්‍ය. දියණිය කරිස්‌මි.

ඔබ වර්තමානයේ කුවේට්‌ හි ශ්‍රී ලංකා තානාපතිවරයා. ඔබ හඳුනාගත් පරිදි කුවේටය කුමන රාජ්‍යයක්‌ ද?

කුවේටය යනු අන්තවාදයෙන් තොර ඉතා ම සාමකාමී, නිදහස්‌ හා නිවහල් ජාතියකින් සමන්විත තුන්වන ලෝකයේ රාජ්‍යයක්‌. එසේ ම ලොව වටිනා ම තෙල් හා ගෑස්‌ සම්පත අතින් සය වන ස්‌ථානය නියෝජනය කරන රාජ්‍යය. ලොව මුදලේ වැඩි ම අගය සනිටුහන් කරන රාජ්‍යය වන්නේ ද කුවේටය යි. එහෙත් කිව යුතු වැදගත් ම දේ නම් මෙහි ජනගහනයෙන් 65%ක්‌ නැතහොත් තුනෙන් දෙකක්‌ම නියෝජනය කරන්නේ විදේශිකයන් වීමයි. මෙරට සමාජ, ආර්ථික සුභසිද්ධිය උදෙසා මේ විදේශිකයන් මහ`ගු සේවාවක්‌ ඉටු කරනවා. රට ගොඩ නැංවීමේ මහ`ගු දායකත්වයට ද ඔවුන් උර දුන් බව නොරහසක්‌. ඒ අතර ශ්‍රී ලංකිකයන් වන අපට ද සුවිශේෂී ස්‌ථානයක්‌ හිමි ව ඇති බව මෙරට රාජ්‍ය තන්ත්‍රය විසින් ද පිළිගෙන තිබෙනවා. ඒ හේතුවෙන් මෙරට රජය ශ්‍රී ලංකාව සමඟින් සුහදවූත්, මිත්‍රශීලීවූත් ප්‍රතිපත්තියක්‌ අනුගමනය කිරීමට පෙළඹී ඇති අතර ශ්‍රී ලංකාව සම`ගින් ආර්ථික, සමාජ හා සංස්‌කෘතික සබඳතා වර්ධනයට ද ඉඩප්‍රස්‌ථා සලසා දීම අප රට ලත් භාගයයක්‌ වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන්.

අප රටේ බොහෝ පිරිසක්‌ කුවේට්‌ හි විවිධ මට්‌ටමේ රැකියාවල නිරත වෙනවා. විශේෂයෙන් ම ගෘහ සේවිකාවන් දැක්‌විය හැකිය. මොනවද ඔවුන් මෙහි දී මුහුණ දෙන ගැටලු.

මෙරටට වැඩිම විදේශ විනිමයක්‌ ලබා දෙන මාර්ගය වශයෙන් මේ ශ්‍රමිකයන් හැඳින්විය හැකියි. වර්තමානය වන විට කුවේටයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 100,000 කට අධික ප්‍රමාණයක්‌ සිටින අතර ඉන් බහුතරය ගෘහ සේවය, පිරිසිදු කරන්නන්, සාත්තු සේවකයන් හා රියෑදුරන් වශයෙන් සිය ජිවිකාව පවත්වාගෙන යනවා. එහෙත් විධායක මට්‌ටමින් හා අර්ධ විධායක මට්‌ටමේ රැකියාවන් හි නිරත වන 30% ප්‍රතිශතයක්‌ ද කුවේට්‌ හි වාසය කරනවා. මොවුන් අතරින් ඉතා ම සංකීර්ණ ගැටලූවලට මුහුණ දෙන පිරිස වන්නේ මා ඉහත ස`දහන් කළ ශ්‍රමිකයෝ යි. ඔවුන් මුහුණ දෙන ප්‍රධාන ම ප්‍රශ්නය නම් නීත්‍යානුකූල වීසා බලපත්‍ර නොමැතිව විවිධ රැකියාවන් හි නිරත වීමයි. මෙහි දි මතු වන ප්‍රශ්නයක්‌ නම් ඔවුන් මේ අයුරින් එළියට පැන යන්නේ මන්ද යන්නයි. ඒ සඳහා බලපාන ප්‍රධාන කරුණු කිහිපයක්‌ තියෙනවා.

සිය හාම්පුතාගේ තාඩන පීඩාවන්ට ගොදුරු වීම, රැකියාව හරියාකාර ව සිදු කිරීම ස`දහා අවශ්‍ය පරිසරයක්‌ නොමැතිවීම, ලබන පඩියට වඩා අධික වැඩ කොටසක්‌ තිබීම, ප්‍රමාණවත් වැටුපක්‌ නොලැබීම, පොරොන්දු වූ වැටුපට වඩා අඩු වැටුප් ලැබීම, හාම්පුතුන් විසින් ව්‍යාජ චෝදනා ඉදිරිපත් කරමින් ආගමන - විගමන තහංචි දැමීම, ලිංගික හිංසාවන්ට ගොදුරු වීම, ගිවිසුම් ගත කාලසීමාව අවසන්වීමෙන් අනතුරුව බලහත්කාරයෙන් නිවසේ ර`දවා සිටීම, වීසා බලපත්‍ර දිගු නොකිරීම, බලහත්කාරයෙන් දේශසීමා ඔස්‌සේ රැගෙන ගොස්‌ අයථා කටයුතු විෂයෙහි යෙදවීම වැනි කරුණු දැක්‌විය හැකියි.

එහෙත් වගකිවයුතු තානාපති කාර්යාලයක්‌ වශයෙන් මේ සම්බන්ධව සොයා බලා කටයුතු කරනු ලැබුවත් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීම ස`දහා අවශ්‍ය පහසුකම්, සම්පත් අප සතුව නෑ. එසේ ම විවිධාකාරයේ දුෂ්කර ගැටලුවලට මුහුණ දෙන ළමුන් වෙනුවෙන් නීත්‍යානුකූල අයුරින් කටයුතු කිරීම ස`දහා නීතඥ ගාස්‌තු සොයා ගැනීමට නොහැකිවීම ද අප මුහුණ දෙන වඩාත් බරපතළ ම ප්‍රශ්නයක්‌. ඒ හේතුවෙන් ගැටලු නිරාකරණය වන තෙක්‌ එවැනි අයට සුරක්‌ෂා නිවහනේ දිගු කලක්‌ රැ`දිසිටීමට සිදුවනවා. ඒ නිසා ඔවුන්ට යම් මුදලක්‌ උපයා ගත නොහැකි වීම නිසා ඔවුන් මෙහි පැමිණි අරමුණ ද සඵල කර ගත නොහැකි ව අපේක්‍ෂා භංගත්වයට පැමිණ සිටින අවස්‌ථා දැක ගත හැකියි. එහි ප්‍රතිඵලය වන්නේ ඇතැම් විට ඔවුන් සිය දිවි නසා ගැනීම වැනි දරුණු ක්‍රියාවන්ට පෙළඹීමයි. අනෙක්‌ තානාපති කාර්යාලවල මෙවැනි ප්‍රශ්න යොමු කිරීම ස`දහා නීතිඥවරයකු සිටියත් අප සතුව එවැනි සම්පත් නොමැති වීම රටට ලැබිය යුතු විදේශ විනිමය අපතේ යෑවීමක්‌ වශයෙන් හඳුන්වා දිය හැකියි.

ගෘහ සේවිකාවන් බොහෝ දුරට මැදපෙරදිග රාජකාරී සිදු කරද් දි තම සේවා ස්‌ථානයෙන් පැන යන අවස්‌ථා තිබෙනවා. කුවේටයේ ත් මෙවැනි සිද්ධින් නැති විය නොහැකිය. එවැනි අය වෙනුවෙන් තානාපති කාර්යාලය පෙනී සිටින්නේ කුමන ආකාරයට ද?

මා ඉහතින් සඳහන් කළ පරිදි ම කුවේට්‌ වැනි රටවලට බොහෝ ශ්‍රමිකයන් පැමිණෙන්නේ ගෘහසේවය, පිරිසිදු කරන්නන් හා රියදුරු වැනි රැකියා ඉලක්‌ක කර ගනිමින්. මින් බොහෝ පිරිසක්‌ සිය රාජකාරිය සතුටින් කරනු ලැබුවත් තවත් බොහෝ පිරිසක්‌ තමන් රාජකාරිය කරන ස්‌ථානය සම්බන්ධයෙන් ඇත්තේ මහත් අසහනයක්‌. වේදනාවක්‌. නැතහොත් කලකිරීමක්‌. මේ හේතුවෙන් ඔවුන් සිය සේවා ස්‌ථානයෙන් පැන යන අවස්‌ථා දැකිය හැකියි.

කෙසේ වෙතත් මේ පිරිස්‌ ශ්‍රී ලංකිකයන් වීමත්, ඔවුන් බහුල වශයෙන් මෙරටට විදේශ විනිමය ගෙන දිම නිසාත් වගකිවයුතු තානාපති කාර්යාලයක්‌ ලෙස ඔවුන්ගේ හාම්පුතා හා සාකච්ඡා කර ගැටලු නිරාකරණය තානාපති කාර්යාලය සතු වගකිමක්‌ වශයෙන් මා අවබෝධ කරගෙන තිබෙනවා. යම් හෙයකින් එය අසාර්ථක වන්නේ නම් කුවේටයේ ගෘහ සේවකයන් සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව හෙවත් 'අමානා මන්සීල්' වෙත ගොස්‌ එම ප්‍රශ්න නිරාකරණයට කටයුතු කරන අතර පසුව ආගමන විගමන කටයුතු සිදු කර ආපසු මාතෘ භූමිය වෙත යෑවීමට කටයුතු කරනවා. මේ කර්තව්‍යය සිදු කිරීම සඳහා හො`දින් පුහුණුවලත්, කාර්යක්‌ෂම කාර්ය මණ්‌ඩලයක්‌ තානාපති කාර්යාලයේ සිටින අතර ඔවුන්ගේ රාජකාරියට බාධා කරන අය ඉන් ඉවත් කොට මාර්ගය නිදහස්‌ කිරීමට අවස්‌ථා කිහිපයකදී මා කටයුතු කරනු ලැබූයේ හුදෙක්‌ ම රාජකාරිය වඩාත් පාරිශූද්ධ හා විනිවිද භාවයෙන් සිදු කරනු පිණිසම යි. එවැනි අවස්‌ථාවන්හි දී මා සුරතට ශක්‌තිය ගෙන දුන් තානාපති කාර්යාලයේ කම්කරු හා සුබසාධන අංශයේ අංශ ප්‍රධානී නිල්මිණී අබේගුණවර්ධන මහත්මියට ද මේ අවස්‌ථාවේ මාගේ හදපිරි කෘතඥතාව පිරිනැමීමට මා කාරුණික වීම අනිවාර්ය ම කරුණක්‌.

මේ අය මුහුණ දුන් කරදර හේතුවෙන් යම් කිසි වන්දි මුදලක්‌ ලබා දීමටත්, ඔවුන් වෙනුවෙන් නීත්‍යානුකූලව කටයුතු කිරීමටත් අප තානාපති කාර්යාලය යුහුසුළු ව ක්‍රියාකරනවා. එසේ ම සේවා ස්‌ථානය හැරදා තානාපති කාර්යාලයට පැමිණෙන පිරිස්‌ තානාපති කාර්යාලයේ සුරක්‌ෂා නිවහනේ සුරක්‌ෂිත ලෙස රඳවා තබා ගැනීමට අවශ්‍ය පහසුකම් සකසා ඇති අතර අවසානයේ ඔවුන් මුහුණ දී ඇති ගැටලු විස`දා යළි මාතෘ භූමියට යෑවීමට කටයුතු කරනු ලබනවා.

'සේµa හවුස්‌' (ආරක්‍ෂා නිවහන) හි මේ වන විට අපේ රටේ අය රඳවා සිටිනවා ද?

ඔව්. අප රටට විශාල වශයෙන් විදේශ විනිමය උපයා දෙන ශ්‍රමික පිරිස්‌ රැකබලා ගැනීම ස`දහාත්, ගැටළු නිරාකරණය කරන තෙක්‌ ඔවුන්ගේ සුරක්‌ෂිතබව සහතික කරනු වස්‌ සුරක්‌ෂා නිවහනක්‌ අප තානාපති කාර්යාලය සතු වෙනවා. 2015 සැප්තැම්බරයේ මා විසින් තානාපති කාර්යාලයේ රාජකාරි අරඹන විට සුරක්‌ෂා නිවහනේ ලැගුම් ගෙන සිටි රැ`දවියන්ගේ ප්‍රමාණය 558 කි. එහෙත් මා රාජකාරී ඇරඹීමෙන් පසු කුවේට්‌ බලධාරීන් වන ආගමන විගමන දෙපාර්තමේන්තුව, කම්කරු දෙපාර්තමේන්තුව හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය සම`ග සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයක්‌ වශයෙන් ක්‍රමාණුකූලව එම රැ`දවියන්ගේ ප්‍රශ්න විස`දමින් ආපසු මාතෘ භූමිය වෙත යෑවීමට කටයුතු කළා. එම නිසා වර්තමානය වන විට එහි ඇත්තේ රැ`දවියන් 60 දෙනෙකු වැනි සංඛ්‍යාවක්‌. ආගමන විගමන ගැටලු ඇතුළු ඔවුන් මුහුණ දී ඇති ප්‍රශ්න විසඳමින් ඔවුන් ද වහා මාතෘ භූමිය වෙත යෑවීමට මේ වන විටත් කටයුතු සම්පාදනය කරමින් සිටී ම අප තානාපති කාර්යාලය ලත් සුවිශේෂී ජයග්‍රහණයක්‌ වශයෙන් හ`දුන්වා දිය හැක.

ඉන් නොනැවතී අප තානාපති කාර්යාලය විසින් දැනට සුරක්‌ෂා නිවහන සතුව සිටින රැඳවියන්ගේ ප්‍රමුඛ අවශ්‍යතා ඉටු කිරීම හා මසකට වරක්‌ වෛද්‍ය සායන පැවැත්වීම වැනි කරුණුවලට අමතරව රැඳවියන්ගේ මානසික මට්‌ටම නගා සිටුවනු ස`දහා විවිධ උපදේශන සේවා පැවැත්වීම, ආගමික පුන්‍යකර්මවලට දායක කර ගැනීම, ලංකාවේ වෙසෙන සිය ඥාතීන් හා සබ`දතා පැවැත්වීමට අවශ්‍ය පහසුකම් ලබා දීම හා සුරක්‌ෂා නිවහන මුල් කර ගනිමින් ලංකාවේ පැවැත්වෙන සෑම උත්සවයක්‌ ම පැවැත්වීමට හා ඔවුන්ගේ දායකත්වය ඊට ලබා ගැනීමට කටයුතු කරනවා. මේ අයට තවදුරටත් නිරාකරණය කර ගැනීමට ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ස`දහා ක්‌ෂණික දුරකථන අංකයක්‌ ද හ`දුන්වා දීමට තානාපති කාර්යාලය විසින් කටයුතු කර තිබේ.

ඔබ හොඳ කලා රසඥතාවක්‌ ඇති තානාපතිවරයෙක්‌. අපේ රටේ කලාව, සංස්‌කෘතිය කුවේටයේ ප්‍රවර්ධනය කිරීමට ඔබ දරන උත්සාහය පිළිබ`ද පැහැදිළි කළ හැකි ද?

ඔබ පැවසූ පරිදි මා කලාවට සුවිශේෂී ප්‍රියමනාපවත් බවක්‌ දක්‌වන තැනැත්තෙක්‌. කුඩා කළ සිට ම මා කලාව විෂයෙහි සුවිශේෂී රසඥතාවක්‌ දක්‌වන අතර පාසල් අවදියේ මම තූර්ය වාදක කණ්‌ඩායමේ සාමාජිකයෙක්‌. එසේ ම පාසල් සංගීත ප්‍රසංගවලට මගේ දායකත්වය උපරිමයෙන් ම ලබා දී ඇති අතර ගීත ගායනයේ ත් සංගීත භාණ්‌ඩ වාදනයේ ත් සුවිශේෂී හැකියාවක්‌ මා සතුව පවතිනවා. මගේ විශ්වාසයට අනුව ශ්‍රී ලංකාව යනු කලාවේ නිජබිමයි. අතීතයේ සිට ම අපේ රටේ කලාව විෂයෙහි මහා පෘතුලත්වයක්‌ ඔසවන බව මගේ විශ්වාසය වී තිබේ.

මා අවබෝධ කර ගත් කරුණ වන්නේ කුවේටය හා ශ්‍රී ලංකාව අතර ද්වි පාර්ශ්වික සංස්‌කෘතික ගිවිසුම් ගත සබඳතා සෞම්‍ය අයුරින් වර්ධනය කිරීම ස`දහා කලාව හො`ද මාධ්‍යයක්‌. මේ හේතුවෙන් ම විශේෂයෙන් ම අප රටට වැදගත් දිනයක්‌ වන නිදහස්‌ දිනය ඉලක්‌ක කර ගනිමින් 2016 වසරේ දි චන්න-උපුලී නර්තන කණ්‌ඩායම හා මෙවර ප්‍රදිප් රත්නායක හා චන්දන වික්‍රමසිංහ ප්‍රමුඛ නර්තන කණ්‌ඩායම කුවේටයට ගෙන්වමින් 'සංස්‌කෘතික සතිය' නමින් උළෙලක්‌ පවත්වා රසවින්දනයක්‌ ලබා දීමට හැකි වීම කලාවට ලැදි අයෙකු වශයෙන් මා හට ඇත්තේ හද පතුලෙන් ම නැගී සතුටක්‌. මේ සම්බන්ධයෙන් ලැබෙන්නේ වඩාත් ම උණුසුම් ප්‍රතිචාරයක්‌. බොහෝ පිරිස්‌ පැවසුයේ නෙත් කළුවූත්, සවන් පිනවූත් ගායනාවෙන් හා නර්තනයෙන් තමන් මහත් උද්දාමයට සේ ම අමන්දානන්දනයටත් පත් වූ බවයි. මන්ද මා නිසකව ම අවබෝධ කර ගත් කරුණක්‌ නම් රටක ජාතික අභිලාශය වර්ධනය කරනු වස්‌ යොදා ගත හැකි මෘදු බලයක්‌ වන්නේ සංස්‌කෘතියයි.

මේ හේතුව නිසා ම සෑම වර්ෂයක ම පෙබරවාරි මාසය එළඹෙන විට කුවේට්‌ වැසියන් මග බලා සිටින්නේ මෙවැනි සංදර්ශනයකින් යලි විකසිත වීමටය. ප්‍රබෝධමත් වන්නටය. මෙවර අප කුවේටයේ ස්‌ථාන 04ක්‌ ඉලක්‌ක කර ගනිමින් අපගේ සංස්‌කෘතිකාංග ප්‍රදර්ශනය මහත් ප්‍රසිද්ධියක්‌ මේ ස`දහා ලැබුණු බව. එසේ ම මේ ලැබුණු ප්‍රසිද්ධියේ උපරිමය නිසා ම ශ්‍රී ලංකාවේ සංස්‌කෘතිය මුල් කරගනිමින් රූපවාහිනී සම්මුඛ සාකච්ඡා කිහිපයක්‌ පැවැත්වුණු අතර තානාපති නල නිවස මුල් කරගනිමින් සිදු වූ මේ සම්මුඛ සාකච්ඡා හේතුවෙන් අප රටේ සංස්‌කෘතියේ ශක්‌තිය සම්බන්ධයෙන් වැටහීමක්‌ දිමට අවස්‌ථාව උදා වීම සැබවින් ම අප රට ලත් භාග්‍යයක්‌ වශයෙන් හැදින්විය හැකියි. ඉදිරියේ දි ත් මාගේ අභිලාශය නම් මෙවැනි ම වූ සුවිශේෂී දිනයක්‌ මුල් කර ගනිමින් නව ආරක මෙවැනි සංස්‌කෘතික උළෙලක්‌ ලෝකයාට විකසිත කරමින් අප රටේ සංචාරක කර්මාන්තය ඇතුළු ක්‌ෂේත්‍ර ගනනාවක සංවර්ධනයක්‌ සිදු කිරීමයි.

කලක්‌ අප රට ජාත්‍යන්තර වශයෙන් තරමක්‌ දුරස්‌තව සිටියා. අද ඒ තත්ත්වය මග හැරී තිබෙනවා ද?

2015 වසරේ නව රජය බලයට පත් වීමෙන් පසු දියත් කළ සාමය හා සන්හිදියා ප්‍රතිපත්තිය විෂයෙහි ජාත්‍යන්තරයේ ඇත්තේ සුවිශේෂී පිළිගැනීමක්‌. ප්‍රජාතන්ත්‍රවාදය ශක්‌තිමත්වීම, මාධ්‍ය නිදහස වර්ධනය වීම හා නිවහල් බව වර්ධනය වීම තුළ මේ පිළිගැනීම තවත් වර්ධනය වීමට පාදක වුනා. තවද සිදු වූ තවත් වර්ධනීය ම කරුණක්‌ වන්නේ තානාපති සේවයේ තිබිය යුතු ගෞරවය හා නිදහස්‌ බව නැවත වරක්‌ හිමිවීමයි. ඒ තුළ සිය කාර්ය භාරය වඩාත් නිවරදිව, සුපිරිසි`දුව සිදු කිරීමට ඔවුන්ට හැකයාව ලැබුණා. එහි ප්‍රතිඵල වර්තමානයේ ශ්‍රී ලංකාව භූකිත වි`දිනු දැකිය හැකිවීම ඉමහත් භාග්‍යයක්‌ වශයෙන් හැ`දින්විය හැකියි.

අපේ රටේ කලින් කලට අනුගමනය කළ ප්‍රතිපත්ති නිසා ජාතීන් අතර සුහදතාව මැකී ගියත් වර්තමානයේ අනුගමනය කරන ප්‍රතිපත්තිය හේතුවෙන් සෑම ජාතියක්‌ තුළම යම් විශ්වාසයක්‌ අප රට විෂයෙහි ගොඩනැගී තිබීම දැක ගත හැක. මේ වඩාත් ප්‍රඥාගෝචර ප්‍රතිපත්තියක්‌ වශයෙන් අගය කරන ජාත්‍යන්තර ප්‍රජාව ඒ සම්බන්ධයෙන් ප්‍රසංශා මුඛයෙන් අදහස්‌ දැක්‌වීම සතුටට කරුණක්‌. මෙහි ප්‍රතිඵලය කුමක්‌ ද?

කුවේටය වැනි මැදපෙරදිග රටවල් හා සුහදත්වය වර්ධනය වීම තුළ මේ රටවලින් අපේ රටේ ආර්ථිකය විෂයෙහි හා ජාත්‍යන්තර මට්‌ටමේ දේශපාලනය විෂයෙහි ලැබෙන දායකත්වය වර්ධනය වීමයි.

අජිත් අලහකෝන්

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.