විජය පළාත් සභා ක්‍රමයට
පක්ෂ නිසා එයා මරන්න ඕනේ


ලයනල් රණසිංහගෙන් පාපොච්චාරණයක්‌
වසර 29ක්‌ පිරෙන විජය ඝතනය
දිග් විජය කරන්නට පෙර නික්‌ම ගිය කුමරුවා -01 කොටස

කුරුණෑගල දොරවාරුව ප්‍රදේශයේ ශ්‍රී ලංකා මහජන පක්‌ෂයේ සමුළුවක්‌ පවත්වනු ලැබුවේ 1988 ජනවාරි 31 වැනි දිනය. ජනතාව පිරී ඉතිරී ගොස්‌ සිටි එම ජනහමුවේදී විජය සිය ජීවිතයේ අවසානය පිළිබඳව නිවැරදි අනාවැකිය ප්‍රකාශ කළේය. "පොදු ජනතාව උදෙසා අප ගෙන යන මේ අරගලයේදී රාජ්‍ය ත්‍රස්‌තවාදියකුගේ හෝ ජවිපෙ තුවක්‌කුකරුවකුගේ වෙඩි ප්‍රහාරයකින් මගේ හිස කෑලිවලට පුපුරුවා මරා දාන්න ඉඩ තියෙනවා...." ඔහුගේ 'ඒ හඬ ඊට දවස්‌ දාසයකට පසුව සැබෑ කරවමින් පොල්හේන්ගොඩ පිහිටි සිය නිවස ඉදිරිපිටදීම විජය කුමාරතුංගට ඔ56 රයිෆල් වෙඩි පහර කිහිපයකට මුහුණ දෙන්නට සිදුවිය. ඔහුගේ ලගන්නා සිනහව අපූර්වත්වයෙන් හැඩ කරන ලද මනරම් යටි තොල සහ ජනකාන්ත භාවය ඔහු කරා ආකර්ෂණය කරන ලද කඩවසම් මුහුණ ඒ උණ්‌ඩ කිහිපයෙන් කීතු වී ගියේය. විනාඩියකට පතුරම් තිහක්‌ පමණ නොනවත්වා නිකුත් කරන ( ඔ56) රයිෆලය, විජය වෙත මරු කැඳවා තිබුණේ, උණ්‌ඩ 14 ක්‌ පමණ නිකුත් කර බව, පොලිසිය විසින් විජය ඝාතනය කරන ලද ස්‌ථානයේ තිබී සොයාගත් හිස්‌ පතොරම් කොපු තහවුරු කළේය.

1969 දෙසැම්බර් 30 වැනිදා සිංහල සිනමාවේ 205 වෙනි චිත්‍රපටය ලෙස තිරගතවූ හන්තානේ කතාව චිත්‍රපටියේ රංගනයට එකතුවීම පිණිස නළු නිළියන් තෝරා ගැනීමට පුවත්පත් දැන්වීමක්‌ එහි අධ්‍යක්‍ෂ විසින් පළකරන ලද්දේය. ඒ දැන්වීමට ප්‍රතිචාර දක්‌වමින් සිය අනාගත නළු සිහිනය සැබෑ කරගැනීමට, පැමිණි තරුණයෙක්‌ අධ්‍යක්‍ෂ සුගතපාල සෙනරත් යාපාට තමා හඳුන්වා දුන්නේ "මම විජය කුමාරතුංග, මගේ ගම සීදූවේ... නමුත් දැනට නතර වෙලා ඉන්නෙ මරදානෙ විමලදාස පෙරේරගෙ කාමරයක..." යනුවෙනි.

ලයනල් රණසිංහගෙන් පාපොච්චාරණයක්‌


1988 වසර වන විට ඒ මුහුණ මුළු රටම හඳුනාගෙන සිටියේය. මිට වසර විසි නවයකට පෙර පෙබරවාරි දහසය වැනිදා කොළඹ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය එම්. එන්. එල්. සල්ගාදු මහතා ඉදිරියේ තමා කවුරුන් දැයි හඳුන්වා දෙන්නට පණ කඳක්‌ හෝ හැඩරුවක්‌ ඔහු සතු නොවීය. සාහසික වෙඩි පහර කිහිපයක්‌ විසින් විජයගේ මුහුණ හඳුනාගත නොහැකි ලෙස විකෘති වී ගොස්‌ තිබුණි. ප්‍රාණය ද නිරුද්ධ කොට දමා තිබිණි. ඒ ධවල භීෂණ, කාලයක්‌ විය. ධර්මසිරි බණ්‌ඩාරනායක විසින් වේදිකාවට ගෙන ආ ධවල භීෂණ නාට්‍යයේ සෝබියර් චරිතය වද දීම පිණිස ඇදගෙන යන අවස්‌ථාවේ නගන අඳෝනාව සමස්‌ත දේශය පුරාම දෝංකාර දෙමින් පැවතුණි. ඒ මරලතෝනිය දේශය වෙලාගෙන තිබුණි.. සියල්ලට ඉහළින් තිබිය යුතු යෑයි මිනිසත් බව විසින් සම්මත කර තිබූ, මනුෂ්‍යත්වය අතිතකාමයක්‌ බවට පත්වෙමින් සැඟවී ගොස්‌ තිබුණි. යුක්‌තිය පසිඳලීමේ නීති මාපාංකයට හිමිවිය යුතු තැන, උණ්‌ඩය විසින් අරක්‌ ගෙන තිබුණේ, පොත් අතරේ සිටින කාවන්ගේ වේයන්ගේ රසයට නීතිය ද එකතු කරමිනි. ධර්මිෂ්ඨ සමාජය නම් ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් හැත්තෑහතේ ඇරඹුණු එජාප පාලනය රටට අත්කර දෙමින් පැවතියේ මහා නරකාදියක මිහිපිට ලකුණය.



 

 

 

 



ජනප්‍රියත්වයේ මුදුනතටම සිනමාවෙන් යන්නට සමත්වූ විජය දේශපාලනයට පිවිසින්නේය. පැවති ආණ්‌ඩුවට සේම අනිකුත් සන්නද්ධ කණ්‌ඩායම්වලටද ඔහුගේ හිස පමණක්‌ අවශ්‍ය වන්නේ එම ආගමනයත් සමඟය. එම අවශ්‍යතාවය කොතරම් දැයි සමාජය දැන සිටියේය. "විජයට වෙඩි තියලා..." යන අසත්‍ය කට කතාව, ඔහු සත්‍ය ලෙසම වෙඩි කන්නට පෙර කිහිප වතාවක්‌ම කොළඹ ප්‍රදේශය පුරා පැතිරී ගියේ, මේ නිසාය. නැති නම් සිය අනාගත අවශ්‍යතාවයට රට හුරු කිරීම සඳහා ඝාතකයන් විසින් එය සන්නිවේදනය කළා ද විය හැකිය. මෙවැනි එක්‌ කටකතාවක්‌ පිළිබඳව විජය සිය හිතවතුන්ට පිළිතුරු දුන්නේ, චිත්‍ර පටයක රඟපාන කොට හරි, මල් ගහක්‌ වටේ කැරකෙන කොට හරි, මැරිලා වැටෙනවාට වඩා ආණ්‌ඩුවේ කොළ කොටියකුගේ හෝ කිසියම් කළු කොටියකුගේ වෙඩි පහරකින් මැරෙන්න ඇත්නම් එම මරණය තමාට සේම, තම දරුවන්ට ගෞරවයක්‌ වන බව ප්‍රකාශ කරමිනි.

විජයගේ කඩවසම් සද්ධන්ත කය, කීතු වී ගොස්‌ තිබූ ඔහුගේ මුහුණ සමඟ තැන් කිහිපයකින් යන්තම් ගැටගැසී තිබුණි. ලේ වැල් කිහිපයක්‌ අව් කාශ්ටකය මැද්දෙන් ගලා යමින් තිබුණි. විජයගේ පාවහන්, පොත්පත් චිත්‍ර කිහිපයක්‌ අවට විසිරී තිබූ අතර, නියත ලෙසම විජය මියගොස්‌ තිබුණ ද ඔහුගේ පණ නල යළි දෙවියන් විසින් හෝ ගෙනැවිත් දේවි යෑයි අපේක්‌ෂා කරමින් ඔහුගේ දේහය කොළඹ මහ රෝහල වෙත ගෙන ගොස්‌ තිබුණි. සිද්ධිය වූ ස්‌ථානයට මුලින්ම පැමිණි, පොලිස්‌ නිලාධාරියා වූයේ නාරහේන්පිට පොලිසීයේ, අපරාධ විමර්ශන භාර ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක නන්දන විඡේරත්නය. විජය සමඟ කුළුපග මිතුරුකමක්‌ ඔහුට තිබුණි. ඉන් පසු තවත් පරීක්‌ෂණ කණ්‌ඩායම් කිහිපයක්‌ම වහ වහා නාරාහේන්පිටට පැමිණි අතර, සියලු පරීක්‌ෂණ විසින් විජයට වෙඩි තබන ලද පුද්ගලයා ලයනල් රණසිංහ ලෙස හඳුනාගෙන තිබුණි. ලයනල් රණසිංහ අත්අඩංගුවට ගැනීම පහසු කාර්යයක්‌ නොවූවත්, 1989 මාර්තු මස 14 වැනිදා අහම්බයකින් මෙන් ලයනල් රණසිංහ අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් විය.

'සමනලයකුට වෙඩි තැබීම, විජය කුමාරතුංග ඝාතනය පිළිබඳව ආචාර්ය සරත් අමුණුගම විසින් පුවත්පතකට ලිපියක්‌ ලියන ලද්දේ ඒ සිරස්‌තලයෙනි. ඒ වෙඩිල්ලට ඉලක්‌කය ඇල්ලූ බවට චෝදනා ලද ලයනල් සිය සාක්‌ෂිය අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ගොනු කළේය.

"පෙබරවාරි 16 වැනිදා උදේ මම දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ 'හේරත්' සමඟ කිරුළපනට පැමිණියෙමි. හේරත් මට හඳුන්වා දුන්නේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ කොළඹ දිස්‌ත්‍රික්‌ නායකයා ජයන්ත නමැති කෙනෙක්‌. විජය කුමාරණතුංගට වෙඩි තැබීමේ කටයුත්ත අපට පවරන ලද්දේ ඔහුය. එම පැවැරීම විජයට වෙඩි තැබීමට සති කිහිපයකට පෙර පිළියන්දල හෝටලයකදී සිදු විය. 'විජයට වෙඩි තියන්නේ ඇයි...?' මම එවිට ජයන්තගෙන් ඇසුවෙමි.

"හේතු කිහිපයක්‌ තියෙනවා.., ජයන්ත අපට පැහැදිලි කළේය. 'ඉන්දු - ලංකා සාම ගිවිසුමට විජය එකඟයි. 1987 ජුලි 28 වැනිදා රජිව් ගාන්ධි එක්‌ක ඡේ. ආර්. ජයවර්ධන ගහපු මේ ගිවිසුම ලංකාවේ ඒකීයත්වයට හානියක්‌. ඊළඟට පළාත් සභා ක්‍රමයටත් විජය පක්‌ෂයි. අපට පළාත් සභා ක්‍රමයෙන් වැඩක්‌ නැහැ. එහෙම තියෙද්දි විජය පළාත් සභා ක්‍රමයෙහි වැදගත්කම පෙන්වන්න ඒ ගැන පැහැදිලි කරමින් රටපුරා රැස්‌වීම් පවත්වනවා. එයා ජනප්‍රිය නළුවෙක්‌ නිසා තරුණ පරම්පරාව ඒ රැස්‌වීම්වලට ඇදිලා ඇවිත් එයාගේ කතා අහගෙන ඉන්නවා. එතකොට වෙන්නෙ පළාත් සභාවල සුබවාදී පැත්ත ගැන පණිවුඩය තරුණ පරම්පරාවට යැමයි. මේ ඔක්‌කොම ඉදිරි පළාත් සභාවල පාවිච්චිවෙන අලුත් ඡන්ද. මේ අතර බංකොලොත්වෙලා තිබෙන වමේ පක්‌ෂ විජයගේ මහජන පක්‌ෂයත් එක්‌ක සන්ධානගත වෙලා ඉන්නවා.

ජනතා විමුක්‌ති පෙරමුණ සහ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය පළාත් සභාවලට විරුද්ධයි. ඒ එක්‌ දෙමළ බෙදුම්වාදී PLOT සංවිධානය සහ EPRLF සංවිධානය විජයගේ පිරිසකට සන්නද්ධ පුහුණුව දෙනවා. අපි පසුගිය ටිකේම විජයට අනතුරු හඟවලා තිබෙනවා මේ වැඩ නවත්වන්න කියලා. ඒත් එයා ඒවා ගණන් ගත්තෙ නැහැ. අපි දැන් අවසන් නිවේදනයත් නිකුත් කරලයි තියෙන්නෙ. විජය ඒකත් ගණන් අරගෙන නැහැ. ඒ නිසා විජය මරන්නම ඕනෑ. ඒක අත්‍යවශ්‍ය කාරණයක්‌....

පෙබරවාරි 16 වැනිදා හේරත් සහ මම කිරුළපනේදී හමු වූයෙමු. කිරුළපනේ මහජන පුස්‌තකාලය අසලට මා ගෙන ගිය ඔහු මා එහි නවත්වා නික්‌ම ගොස්‌ මඳ වේලාවකින් මෝටර් සයිකලයක්‌ පදවාගෙන ආයේය. එහි නැගුන අපි තවත් තැනකට ගිය විට අපට කළු පාට දිග බෑගයක්‌ ලැබිණ. එහි වූයේ ඔ 56 තුවක්‌කුවක්‌ සහ අත්බෝම්බයකි. විජයගේ පොල්හේන්ගොඩ නිවස කිට්‌ටු පිහිටි අපේ හිතවතකු වූ 'තම්බි'ගේ නිවසට ගිය අපි බෑගය එහි තැබීමු. ඉන්පසු විජයගේ නිවස පේන තෙක්‌මානයේ අපි ගැවසුණෙමු.

දහවල් 12 වන විට විජය මෝටර් රථයකින් පොල්හේන්ගොඩ නිවසට පැමිණියේය. ඒ රථයේ වර්ගය මට මතක නැත. විජයගේ නිවසේ ගේට්‌ටුව ඉදිරිපිට සුදු පැහැති ඩබල් කැබ් රියක්‌ පාක්‌ කර තිබෙනවා මම දිටිමි. විජය තමන් පැමිණි කාරය එලවාගෙන ආ බව ඔහු රියේ දකුණුපස ඉදිරි දොර විවෘත කර පිටතට බැසීම නිසා මට වැටහිණ. ඔහු ගෙට ගියේය. "විජය තව ටිකකින් එළියට එනවා. එතකොට වැඩේ කරමුද?, හේරත් මගෙන් ඇසීය. එයට එකඟ වූ මම වහාම හේරත් සමඟ තම්බිගේ නිවසට මෝටර් සයිකලයෙන් ගොස්‌ තුවක්‌කුව සහ බෝම්බය තිබූ බෑගය රැගෙනවිත් විජයගේ ගෙදර ගේට්‌ටුව පෙනෙන මානයේ රැඳී සිටියෙමු.

විනාඩි 5 කට පමණ පසු විජය නිවසින් පිටතට ආවේය. ගේට්‌ටුව අසල සිටි පුද්ගලයකු සමඟ ඔහු ස්‌වල්ප වේලාවක්‌ කතා කළේය. මේ පුද්ගලයා කලිසම් කමිස හැඳි කෙනෙකි. මෝටර් සයිකලයට නැගුන අපි විජයට මීටර් 20 ක පමණ පරතරයක්‌ ඇතිව මෝටර් සයිකලය නැවැත්තුවෙමු. එවිට බෑගය තිබුණේ සයිකලයේ පිටුපස අසුනෙහි සිටි මගේ උකුල මතය. මම සයිකලයේ සිටියදීම තුවක්‌කුව ගෙන විජයට දෙවරක්‌ වෙඩි තැබුවෙමි. එවිට ඔහු සිටියේ අපට පිටුපාය. වෙඩි කෑ විජය බිම වැටුණු අතර ඔහු අත වූ ලිපි ගොනුවක්‌ විසිරෙනු මම දුටුවෙමි. ඉන්පසු මම සයිකලයෙන් බැස විජය වැටී සිටි තැනට ගොස්‌ ඔහුගේ හිසට කිහිප වාරයක්‌ වෙඩි තැබුවෙමි. එවිට ඔහු පැළඳ සිටි විග් එක ගැලවී විසිවිය.

මේ අතර විජය සමඟ කතා කරමින් සිටි පුද්ගලයා විජයගේ ගෙතුළට දුවන්නට විය. මම ඔහුට ද වෙඩි තැබුවෙමි. අනතුරුව ඩබල් කැබ් එකේ පිටුපස අසුනෙහි සිටි පුද්ගලයකුට ද වෙඩි තැබුවෙමි. විජය ළඟ බිම වැටී තිබූ ලිපි ගොනුව ගත් මම එය උඩින් පල්ලෙන් බලා බිම දමා තුවක්‌කුව රැගෙන එය බෑගය තුළට රුවා මෝටර් සයිකලයේ පිටුපස ආසනයට නැග ගත්තෙමි. ඒ වන විට සයිකලය පණගන්වා ගත් හේරත් කිරුළපන හයිලෙවල් පාර පැත්තට මුහුණලාගෙන සිටියේය. අපි පොල්හේන්ගොඩ පාර දිගේ විදුලි වේගයෙන් ගියෙමු. "අප කෙළින්ම ගියේ පිළියන්දල දාම්පේටය. මා ඇඳ සිටි අත් දිග සුදු පැහැති ටී ෂර්ට්‌ එකේ ලේ පැල්ලම් විය. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් කුලියට ගත් නිවසක්‌ දාම්පේ තිබිණි. එදින රැය අපි එහි ගත කළෙමු. ලේ තැවරුණු මගේ ටීෂර්ට්‌ එක පුළුස්‌සා දමන ලෙස අපේ ව්‍යාපාරයේ සහෝදරයෙක්‌ මට උපදෙස්‌ දුන්නේය."

ලයනල් රණසිංහ සිය සාක්‌කියේදී විජය ඝාතනය විස්‌තර කළේය.

මතු සම්බන්ධයි

ඔසිත අත්තනායක

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.