රට විරුවන් පීඩාවට පත්කරන
මැදපෙරදිග ගුවන් සේවා


එක්‌ ලක්‍ෂ පනස්‌ දහසකට අධික ශ්‍රී ලාංකිකයන් පිරිසක්‌ ඉතාලියේ පදිංචි මෙන්ම රැකියාවල නිරත වූවෝ වෙති. රෝමයේ සිට කටුනායක බලා පියාසර කළ අපේ ජාතික ගුවන් සේවය අවලංගු කිරීමෙන් පසු පවතින රජය පිළිබඳ දැඩි අප්‍රසාදයක්‌ මොවුන් තුළ නිර්මාණය වී තිබේ. තම මව්රට බලා පැමිණීමේදී මොවුන් තෝරා ගැනීමට වැඩි රුචිකත්වයක්‌ දක්‌වන්නේ ඉතා සාධාරණ මිලකට ගුවන් ටිකට්‌පතක්‌ මිලදී ගත හැකි මෙන්ම සුවපහසු වූ ගුවන් සේවයකි. එවන් මොහොතක වෙනත් විකල්පයක්‌ සොයා ගැනීමට ඔවුනට සිදුවේ. සතියේ දින පහක්‌ තුළ වැඩි ගුවන් වාර ගණනක්‌ රෝමයේ සිට කටුනායක බලා පියාසර කරමින් මගීන් සඳහා අති විශේෂ වට්‌ටම් මිලදී ගන්නා සිය ටිකට්‌පත් සඳහා ලබා දෙමින් අනිකුත් ගුවන් සේවා සමාගම් අභිබවා ඉහළ සේවාවක්‌ තම ආයතනය මගින් ලබාදීමට කටයුතු කරන අප මේ සඳහන් කරන ගුවන් සේවය මැදපෙරදිග අංක එකේ ගුවන් සමාගමකි. මිලදී ගන්නා ටිකට්‌පත් සඳහා පළමු වර දින වෙනස්‌ කිරීමට කිසිදු මුදලක්‌ අය නොකර වඩාත් ඵලදායී සේවාවක්‌ සිය පාරිභෝගිකයන් සඳහා ලබාදීමට මෙම ගුවන් සේවය සහතික වන්නේ අන් කිසිදු ගුවන් සේවා සමාගමක්‌ එවැනි කටයුත්තක්‌ සිදු නොකරන පසුබිමකය. රෝමයේ සිට කටුනායක බලා ගමන් ගන්නා අනිකුත් ගුවන් සේවයන් හරහා මිලදී ගන්නා ටිකට්‌පතේ පළමුවර දින වෙනස්‌ කිරීම සඳහා යූරෝ 50 කට අධික මුදලක්‌ ගෙවීමට සිදුවන අතර එයට සාපේක්‍ෂව මේ සමාගම විශේෂ වට්‌ටම් සහ වරප්‍රසාද ගුවන් මගීන්ට ලබා දෙන්නේ වැඩි පිරිසක්‌ ඔවුන්ගේ සේවය සඳහා නතුකර ගනිමිනි. විද්යුත් පණිවිඩ හා මාධ්‍ය හරහා මේ ගුවන් සමාගම වැඩි ප්‍රසිද්ධියක්‌ ලබා දෙන්නේ නිරතුරුවම සිය පාරිභෝගිකයන් සඳහා අනෙකුත් සේවාවන්වලට වඩා කාර්යක්‍ෂම සහ විශිෂ්ට සේවාවක්‌ ලබාදීම සඳහා කැපවුන ගුවන් සේවා සමාගමක්‌ ලෙසය.

මේ ගුවන් සේවය හරහා මිලදී ගන්නා ගුවන් ටිකට්‌පත් හිමියන්ට නැවත සේවය සඳහා ඉතාලිය බලා පිටව යැමේදී යම් අවශ්‍යතාවක්‌ මත අය කිරීමකින් තොරව තම ටිකට්‌පතට හිමි පළමුවර දිනය වෙනස්‌කර ගැනීමට යැමේදී මුහුණදීමට සිදුවන්නේ අනපේක්‍ෂිත සිදුවීමකටය. ඒ සඳහා මොවුන් පවසන්නේ විශේෂ වට්‌ටම් හරහා ටිකට්‌පත් මිලදී ගන්නා මගීන් පළමුවර දින වෙනස්‌ කර ගැනීමේදී මුදලක්‌ නොගෙවා දිනයක්‌ වෙන්කර ගැනීම සඳහා මසකට අධික කාලයක්‌ රැඳී සිටීමට සිදුවිය යුතු බවයි. එසේ නොමැති නම් එම සමාගම පෙන්වා දෙන්නේ තම අවශ්‍යතාවය මත දිනයක්‌ හෝ ඊට ආසන්න වෙනත් දිනයක්‌ හෝ ලබාගැනීම සඳහා යූරෝ 100 කට අධික මුදලක්‌ ගෙවීමට සිදුවන බවය. මෙලෙස විශේෂ වට්‌ටම් හරහා ගුවන්පත් අලෙවිකොට පාරිභෝගිකයන් නොමග යවා සිදුකරන්නේ ප්‍රොaඩාවකි. එය ඉතා අසාර්ථකය.

ඉතාලියේ සිට තම මව් රට බලා පැමිණීමේදී තමන් මිලදී ගන්නා ටිකට්‌පතට විශේෂ වට්‌ටම් සඳහා යැමේදී වරක්‌ නොව දෙවරක්‌ සිතීම ඔබ විසින් කළ යුතුව ඇත. ඉතාලියේ සේවය කරන එක්‌ ලක්‍ෂ පනස්‌ දහසකට අධික ශ්‍රී ලාංකිකයන් සඳහා තම ජාතික ගුවන් සේවය අහිමි කිරීම තුළ මෙවැනි අර්බුදකාරී තත්ත්වයකට මුහුණදීමට සිදුවීම නිසා මේ රටේ බලධාරීන් පිළිබඳ ඇති වන දැඩි කලකිරීම හා අප්‍රසාදය මීට පෙරද අප පෙන්වා දී තිබේ. මව්රට බලා පැමිණීමේදී වෙනත් ගුවන් සේවාවන් හරහා රටවිරුවන්ට ඇතිවන ගැටලු සහගත තත්ත්වයන් මුදවා ජාතික ගුවන් සේවය අභිමානයෙන් පියාසර කරන්නට වාතාවරණයක්‌ සැලසීම ඉක්‌මණින් කළ යුත්තකි.

ලලිත් හෙට්‌ටිආරච්චි - ඉතාලිය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.