රජතුමාගේ බොහෝ
සේවකයන් වූයේ කොල්ලන්ය...


සමරිසි කටගැස්‌මක්‌ද? සංවාදය....
ලිපි පෙළ-03

පසුගිය සතියේ පළවූ මිත්‍ර ශ්‍රී කරුණායකගේ ලිපියට පිළිතුරකි

පසුගිය සතියක ඉරිදා දිවයින පුවත්පතේ සමාජ විශ්ලේෂණ විශේෂාංගය කොටසට මිත්‍ර ශ්‍රී කරුණානායක විසින් ලියන ලද ලිපියට පිළිතුරක්‌ අප විසින් සපයනු ලැබූයේ ඔහු විසින් ඉදිරිපත් කර තිබූ අදහස්‌ සියල්ල සාරාංශයක්‌ ලෙස ගනිමින් ඒවාට පිළිතුරු සංවාදාත්මක සටහනක්‌ ලෙස යොදාගනිමිනි. එහිදී එම සංවාදය ශ්‍රී ලංකාවේ මනෝවිද්‍යා, සමාජයීය විද්‍යා හා නීති ක්‌ෂේත්‍රයන්හි විද්වතුන් සමඟ කරනු ලැබූ සාකච්ඡාවක්‌ ලෙස ඉදිරිපත් කරන ලදී. මෙහිදී අපගේ වෑයම වූයේ පුද්ගලයන් විසින් නිදියහන තුළ සිදුකරන ක්‍රියාකාරකම් පිළිබඳව අවුස්‌සා පාඨකයා නොමඟ යෑවීම හෝ පාඨකයාට සමරිසි භීතිකාවක්‌ ඇතිකිරීම නොව විද්‍යාත්මක හා තාර්කික පදනමක්‌ ඔස්‌සේ මානව ලිංගිකත්වයේ එක්‌ පැතිකඩක්‌ සමාජයට විවර කිරීමයි. පුද්ගලයකුගේ ලිංගික දිශානතිය මත පදනම්ව සිදුවන විවිධාකාරයේ හිංසන හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වැළැක්‌වීම සඳහා මතවාදීමය අරගලයක්‌ සමාජගත කිරීමටයි. එහිදී සමරිසිභාවය යනු මානසික රෝගයක්‌ය, අපරාධයක්‌ය, නීතිමය වශයෙන් දඬුවම් ලැබිය යුතු වරදක්‌ය, ඇබ්බැහිවීමක්‌ය, සමරිසියන් යනු අසම්මත චර්යාවන්හි නියෑළෙන පිරිසක්‌ය, ඔවුන් යහමාර්ගයට ගත යුතුය යන පුහු තර්ක හා අදහස්‌වලට අප විසින් සාධාරණ පිළිතුරු ලබාදුන්නේ මෙම සංවාදයෙහි හරවත්භාවය හා වැදගත්භාවය තේරුම්ගෙන සිටි නිසාවෙනි. 2015 වර්ෂයේ ජූලි මාසයේදී ද මෙවැනිම සංවාදයක්‌ උක්‌ත රචකයා හා මා අතර පැවති අතර පසුගිය කාලසීමාව වනවිට සමාජ සාධාරණත්වය හා මානව හිමිකම් ආරක්‌ෂා කිරීමේ අවශ්‍යතාවයෙන් සමරිසිභාවය තේරුම්ගත යුතුය යන ධනාත්මක අදහසට ඔහු පැමිණ ඇති බව ඔහුගේ අදහස්‌වලින් දක්‌නට ලැබුණි. මිනිසාට ගරුකරන සමාජයක්‌ බිහිකිරීම සඳහා අප විසින් ගනු ලබන උත්සාහයක ජයග්‍රාහී ප්‍රතිඵලයක්‌ ලෙස අපි එය දකිමු. පසුගිය සතියේදී විවිධ වෘත්තිකයන්ගෙන් සම්මුඛ සාකච්ඡා ලබාගනිමින් අප විසින් ඉදිරිපත් කළ සංවාදාත්මක ලිපිය කියවූ බොහෝ පාඨකයන් අප වෙත ලබාදුන් පණිවිඩය වූයේ විද්‍යාත්මකභාවය ආරක්‌ෂා කරමින් වඩාත් හරවත් සංවාදයකට අපි විසින් ගනු ලබන උත්සාහය ඔවුන් අගය කරන බවයි. එමෙන්ම සමරිසිභාවය පිළිබඳ නිවැරදි විද්‍යාත්මක පැතිකඩ අවබෝධ කර ගැනීමට එය උපකාරයක්‌ වූ බවයි. එමෙන්ම සමරිසිභාවය පිළිබඳ සමාජය තුළ වපුරන මිථ්‍යා අදහස්‌ නිසා නොයෙක්‌ හිරිහැරවලට, කරදරවලට ලක්‌වූ සමරිසි පිරිස්‌ අප වෙත දන්වා සිටියේ ඔවුන් බලාපොරොත්තු සහගත දෑසින් අනාගතය දෙස බලාසිටින බවයි. ඔවුන්ගේ දෙමවුපියන් ඔවුන් පිළිබඳ තේරුම් ගැනීමට අපගේ ලිපි උපකාරී වූ බවයි. එහෙත් පසුගිය සතියේදී ප්‍රති සංවාදාත්මක ලෙස මිත්‍ර ශ්‍රී කරුණානායක රචකයා විසින් ඉදිරිපත් කර තිබූ ලිපිය මානව සමාජය වඩාත් යහපත් කිරීමට ප්‍රාර්ථනා කරන ඕනෑම කෙනකු සසල කරවීමට තරම් දරුණු ආකාරයේ සමරිසි භීතිකාවක්‌ ඇතිකරවන තරම් වන නිසා එයට පිළිතුරක්‌ සැපයීමට සිතුවෙමු. මෙහිදී අවධාරණය කළ යුතු කරුණක්‌ වන්නේ මිත්‍ර හා අප විසින් ආරම්භ කළ සංවාදය ලිංගික දිශානතිය සම්බන්ධයෙන් වූවක්‌ වන බවයි. සමරිසිභාවය නීතිමය වශයෙන් අපරාධයක්‌ ලෙස සලකන නිසා එය අපරාධයක්‌ නොව සාමාන්‍ය මනුෂ්‍ය චර්යාවක්‌ බව හා නීතියේ හිඩැස්‌ පවතින නිසා ඔවුන්ට එරෙහිව විවිධාකාරයේ හිංසන පිළිබඳ තොරතුරු නිරන්තරව අපට ලැබීම හේතුවෙන් සමාජය මේ පිළිබඳව දැනුවත් කළ යුතු බවයි. මීට ප්‍රතිපක්‌ෂව මිත්‍රගේ තර්කය වූයේ අසාමාන්‍ය මනෝවිද්‍යාවට අනුව සමරිසිභාවය ඇබ්බැහියක්‌ හෝ අසාමාන්‍ය චර්යාවක්‌ වන බවයි. එහෙත් පසුගිය සති දෙකෙහි ඔහුගේ ලිපිවල අන්තර්ගතය සලකා බැලීමේදී ඒවා තාර්කික විද්‍යාත්මක සංවාදයෙන් බැහැරවූ මිනිසුන්ගේ බෙඩ් රූම් එකට එබී බැලීම හා ඒවා ද විවේචනය කිරීමට යැමට තරම් අගාධයකට වැටී තිබීම කනගාටුදායකය.

ඔහු ලිපිය ආරම්භයේදී පවසන ආකාරයට සුහද ලෙස විනිශ්චයෙන් තොරව බැලුවද සමරිසි හෙවත් සමලිංගික පණ්‌ඩකයන් හා එවන් අය දෙස ඔහු පිළිකුලෙන් යුතුව බලන බව. පැවසීම මගින්ම ඔහුගේ ලේඛන කලාව මගින් පාඨකයා රැගෙනයැමට උත්සාහ කරන දිශාව පිළිබඳව ඉඟියක්‌ ලබාගත හැකිය. පසුගිය ලිපි මගින් අප විසින් සමරිසිභාවය තේරුම් කිරීමට බුදුදහම සම්බන්ධ කර නොගත්තේ එය වෙනමම සාකච්ඡාවක්‌ ලෙස සිදුකළ යුතු නිසාය. එහෙත් රචකයා විසින් සමලිංගික පණ්‌ඩකයන් යන අදහස යොදාගැනීම මගින් ඔහු බුදුදහම විකෘති කිරීමට උත්සාහ කරන නිසා එයට පිළිතුරක්‌ සැපයීමෙන්ම මෙම ලිපිය ආරම්භ කරමු. පණ්‌ඩක යන පදයෙහි අර්ථය සොයා යැමේදී 'ලිංග දෙකෙහිම ලිංගික ලක්‌ෂණ ඇති පුද්ගලයා (උභතොඛ්‍යඤ්ජනක) හා 'වෘෂණ කෝෂ නැති තැනැත්තා (පණ්‌ඩක)' ආදීන් බුදුසසුනේ මහණ කිරීමට නුසුදුසුය (උපුටා ගැනීම) පීටර් හාවි, 2000, බෞද්ධ සදාචාරයට හඳුන්වා දීමක්‌ කෘතිය) යනුවෙන් බුදුන්වහන්සේ විසින් සඳහන් කර ඇති බවට විනය පිටකයේ සඳහන් වෙයි. අප විසින් මීට පෙර ලිපිවල දක්‌වා ඇති පරිදි වෘෂණ කෝෂ නොමැති පුද්ගලයින් හඳුන්වන්නේ අන්තර්ලිංගික අර්ථයෙන් විනා සමරිසි අයට නොවන බව පැහැදිලි කරගත යුතුය. බුද්ධඝෝෂ හිමියන් විසින් (01) අසිත්ත පණ්‌ඩක, (02) උසුය පණ්‌ඩක, (03) ඔපාක්‌කමික පණ්‌ඩක, (04) පක්‌ඛ පණ්‌ඩක හා (05) නපුංසක පණ්‌ඩක යනුවෙන් පණ්‌ඩක වර්ග පහක්‌ සඳහන් කර ඇති අතර එයින් අදහස්‌ කර ඇත්තේ ලිංගික වශයෙන් අපගාමී පිරිස්‌ ගැන විනා සමරිසි අය පිළිබඳව නොවේ. බුදුන්වහන්සේ විසින් භික්‌ෂු ශාසනයට ඇතුළත් කරගත නොයුතු පුද්ගලයන් ලෙස ඉදිරිපත් කළ අර්ථ දැක්‌වීම පදනම් විරහිත ආකාරයෙන් අපහාසය සඳහා භාවිත කිරීම පිළිබඳව අපි රචකයාට අනුකම්පා කරමු.

දෙවන අදහස සමරිසි අය යනු සමාජයට රෝග පතුරුවන, සමාජ ගැටලු ඇතිකරවන තමා විසින්ම තම වටිනා ජීවිතවලට අවමන් ලබාගන්නා තත්ත්වයන්ගෙන් ඔවුන් මුදවා ගැනීම සඳහා ඔහුගේ රචනාවන් වැදගත් වන බවයි. සමාජයට රෝග පතුරුවන යන අදහස අනුව ගත් කල සමරිසි අය යනු රෝග වාහකයන්ය යන අදහස ඉස්‌මතු කරනවා විය යුතුය. මිත්‍ර විසින් අපගේ සාකච්ඡාව නිදන කාමරවල ක්‍රියාකාරකම් හා සම්බන්ධ කරමින් අවතක්‌සේරු කිරීම ආරම්භ කරන්නේ මෙතැන් පටන්ය. සමාජ ගැටලු පිළිබඳ ලියනු ලැබූ කෘති අතරින් වර්තමානයේදී පවා වඩාත් පිළිගැනීමට ලක්‌කරන්නේ රොබට්‌ කේ. මර්ටන් විසින් ලියනු ලැබූ ඤබඑeපචදර්රහ Sදජස්‌ක ඡරදඉකැපි කෘතියයි. සමකාලීන සමාජ ප්‍රශ්න පිළිබඳ කරුණු ඉදිරිපත් කළ ප්‍රබලතම සමාජවිද්‍යාඥයා වන ඔහු සමාජ ප්‍රශ්නයක්‌ යන්න නිර්වචනය කරන්නේ සමාජ පර්යායට (ක්‍රමයට) බාධාකාරී වන ඕනෑම හැසිරීමක්‌ සමාජ ප්‍රශ්නයක්‌ වන බවයි. වැඩිහිටි පුරුෂයන් දෙදෙනකුගේ හා කාන්තාවන් දෙදෙනකුගේ ආදරණීය හෝ ලිංගිකමය හැසිරීමක්‌ සමාජ පැවැත්මට බාධාකාරී වන්නේ කෙසේද? මෙහිදී උක්‌ත රචකයා පෙන්නුම් කරන්නේ ඔහු තවමත් ක්‍රිස්‌තු පූර්ව යුගවල ජීවත්වෙමින් වර්තමාන මිනිසා හා ඔවුන්ගේ හැසිරීම් සම්බන්ධව අර්ථකථන ලබාදීමට උත්සාහ කරන පුද්ගලයකුගේ ප්‍රාථමික හැසිරීමකි. සමරිසිභාවය අසම්මතය යන්න පැහැදිලි කිරීම සඳහා ඔහු විසින් සිනහ උපදවන සුලු ආකාරයෙන් සම්මත හැසිරීම් පිළිබඳව උදාහරණ කිහිපයක්‌ ලබාදෙයි. කලිසම හෝ සරම ඉණට ඇඳීම එයින් එකකි. අපට නම් පෙනෙන්නේ මෙවැනි උදාහරණ සැපයීම හරහා රචකයා විසින් සරමත් ඇඳගෙනම ඔළුවෙන් සිටගෙන ඇති බවයි. සුද්දා විසින් අපට හඳුන්වා දුන් පාන් හා වයින් දකින උඩරැටියා සුද්දා තිරිවානා ගල් කා ලේ බොන බව පැවසූ ජනප්‍රවාදගත ඉතිහාසයක සිට පැවත එන අපට පාන් සමඟ පරිප්පු කෑම සම්මත සිරිත් ලෙස පිළිගත යුතු බව පැවසීමම කෙතරම් හාස්‍යජනකද? පාන් සමග පරිප්පුම කන්න යෑයි අපිට බල කරන්නේ පාන් කෑමට වෙනත් ආදේශක ඇති තරම් පවතින බව ඔහු නොදන්නා නිසා නොව ඔහු විසින් මෙවැනි ලියවීම් මගින් ලංකාවේ සමරිසි ප්‍රජාවටම පරිප්පු කැවීමට සූදානම් බව හැඟවීමට බව මාගේ අදහසයි. පොතක්‌ මුල සිට අගට කියවීම සම්මතයක්‌ නොව එය විය යුතු ආකාරයයි. නවීන ලෝකයත් සමඟ බද්ධවී ජීවත් වන නූතන මානවයාට ජෙල් වර්ග හෝ, කොණ්‌ඩ සරසන ක්‍රීම් වර්ග හෝ අමතක කරදමා තෙල් ගා හිස පීරීමේ සම්මත සිරිත සිදුකිරීමට ඔහු පාඨකයාට ආරාධනා කරයි.

ඔහු විසින් ප්‍රකාශ කරන ආකාරයට විද්වතුන්ට බලපෑම් කර අදහස්‌ ප්‍රකාශ කරවා ගැනීමට තරම් ශ්‍රී ලංකාවේ සමරිසි ප්‍රජාව පල්ලම් බැස නොමැත. පසුගිය සතියේ පළවූ ලිපිය සාරාංශ කළ පසු රචකයා විසින්ම මතු කර තිබූ අපහාසාත්මක ප්‍රකාශ කිහිපයකට ඒ සඳහා සුදුසුම වෘත්තිකයන්ගෙන් අදහස්‌ ලබාගැනීම පවා හෑල්ලු කිරීමට තරම් මාධ්‍යකරුවා හෑල්ලු නොවිය යුතු බව අපගේ විශ්වාසයයි. අඩුම තරමේ කිසියම් සමාජ කරුණක්‌ අප විසින් අනුමත නොකළ ද ඒවාට ගරුකිරීමට පුරුදුවීමද වැදගත්ය. මාධ්‍යකරුවාගේ භූමිකාව සමාජය ශෝධනය කිරීමෙහිලා වැදගත් කාර්යභාරයක්‌ සිදුකරන මෙවන් වකවානුවක කිසියම් සමාජ කරුණක්‌ පිළිබඳ ලිවීමේදී තොරතුරු හා සාක්‌ෂිවලින් සන්නද්ධ වීම අවශ්‍යම වේය යන මාගේ අදහසයි. පසුගිය සති දෙකෙහි ලිපි මගින් සමරිසි අය යනු ලිංගික ශ්‍රමය විකුණන බහිස්‍රාවීය ඉන්ද්‍රියයන් හා ආහාර ගැනීමට ඇති ඉන්ද්‍රියයන් ලිංගික කාර්යයන් සඳහා යොදාගන්නා පිරිසක්‌ය යනුවෙන් පිළිකුල් සහගත හංවඩු ගැසීමකට උත්සාහ කිරීමක්‌ දක්‌නට ලැබුණි. උක්‌ත හැසිරීම් අසම්මත නම් වාත්ස්‍යායනගේ කාම සූත්‍රය කෘතියද, ඉන්දියාවේ කජරාවෝ හින්දු කෝවිලෙහි ඇති විවිධ මූර්ති හා ප්‍රතිමාද බිමට සමතලා කර විනාශ කර දැමිය යුතුය. මෙහිදී අපට සිහිවන්නේ 1883 දී ශ්‍රී ලංකාව වෙනුවෙන් දණ්‌ඩ නීති සංග්‍රහය සකස්‌ කළ මැකොලේ නම් දැඩි මූලධර්මවාදී ක්‍රිස්‌තියානි පූජකයා දණ්‌ඩ නීති සංග්‍රහයට 365 වගන්තිය ඉදිරිපත් කළ ආකාරයයි. එම වගන්තියට අනුව -කිසියම් පුරුෂයකු, කාන්තාවක හෝ සතකු සමඟ ස්‌ව කැමැත්තෙන් ස්‌වභාව ධර්මයට එරෙහිව කාමුක සංසර්ගයේ යෙදුනහොත් දස වසරක්‌ දක්‌වා දීර්ඝ විය හැකි සාමාන්‍ය හෝ බරපතළ සිර දඬුවමක්‌ ලබා දිය යුතු අතර, ඒ කවර හෝ පුද්ගලයා දඩයකටද යටත් කළ යුතුය. මැකොලේ සාමිවරයා ස්‌වභාව ධර්මයට විරුද්ධ කාමුක සංසර්ගය යනු කුමක්‌ද යන්න නිර්වචනය කර නොමැති නිසා අදටත් ශ්‍රී ලංකාවේ නීතිය හිඩැස්‌ පවතින විහිළු සහගත එකක්‌ ලෙස හංවඩු ගැසෙමින් පවතී. 365 වගන්තියට අනුව ලිංගික කාර්යයේදී උපත් පාලන කොපුවක්‌ පැළඳීම හෝ උපත් පාලන ක්‍රමවේදයක්‌ අනුගමනය කිරීම පවා වරදක්‌ විය හැකිය. මන්ද එය ස්‌වභාව ධර්මයට විරුද්ධ චර්යාවක්‌ වන බැවිනි. මා මිත්‍ර රචකයා පාඨකයා වෙත ලබාදෙන පණිවිඩය හා මැකොලේ සාමිවරයා අතර වෙනසක්‌ මා දකින්නේ නැත.

කිසියම් වෛද්‍යවරයකු ප්‍රකාශ කළ යමක්‌ අප විසින් පාඨකයා හමුවේ තබන්නේ නම් එහිදී වෛද්‍යවරයා වෘත්තිකයකු විනා මා හිතවත් වෛද්‍යවරයකු වන්නේ නැත. එහෙත් වෛද්‍යවරයා උපුටා දක්‌වමින් ඉහත කී ලිංගික ක්‍රියාකාරකම් නිසා සමාජ රෝග ව්‍යාප්තිය පිළිබඳව දක්‌වා ඇති කරුණු සහේතුකව ඔප්පු කළ යුතුය. කොළඹ තදාසන්නව පමණක්‌ ලිංගික වෘත්තියේ යෙදෙන කාන්තාවන් 4000ක්‌ පමණ සිටින රටක, දිනකට නීත්‍යනුකූල ගබ්සාවන් 800 ක්‌ සිදු වන රටක සමරිසි පුරුෂයන්ගේ ලිංගික ක්‍රියාකාරකම් අරුමයක්‌ ලෙස දැකීම කුහකකමකි. සෑම පුද්ගලයෙකුම උපත ලබන ස්‌වභාවයක්‌ පවතී. ඔවුන්ගේ මනසේ ව්‍යqහය හා ලිංගික වශයෙන් විරුද්ධ ලිංගිකයන්ට හෝ සමාන ලිංගිකයන්ට ආකර්ෂණය වීම තවදුරටත් රෝගයක්‌ නොවන බව ඇමෙරිකානු මනෝවිද්‍යා සංගමය හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ වන බව පසුගිය සතියේ ලිපි මගින් අප විසින් සහේතුකව දක්‌වා තිබියදීත් සමරිසියන් යනු රෝග වාහකයන් හෝ සමාජ රෝගීන් බව පුන පුනා පවසා සිටීම මගින් පෙන්නුම් කරන්නේ මනුෂ්‍ය සමාජයක්‌ ලෙස අප මොනතරම් කුහකභාවයට පත්වී ඇතිද යන්නයි. සමකාමීන් විසින් බාල පරම්පරාව ලිංගික කටයුතු සඳහා යොදා ගන්නා බව තවත් තර්කයකි. වයස අවුරුදු 18 ට අඩු ඕනෑම පුද්ගලයකු කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ලිංගික ක්‍රියාකාරකම් සඳහා යොදා ගැනීම බරපතළ දඬුවම් ලබාදිය යුතු වරදක්‌ බව අපද පිළිගනී. සමරිසි වේවා විෂමරිසි වේවා එවැනි ආකාරයේ බරපතළ අපචාර සිදුවන්නේ නම් ඒවා වැළැක්‌වීමේ නීතිමය හා සමාජ යාන්ත්‍රණ ප්‍රබල විය යුතුය. ඒ පිළිබඳ විවාදයක්‌ හෝ තර්කයක්‌ නැත. එහෙත් සමරිසි ප්‍රජාව යනු බාල පරම්පරාව ගිල ගැනීමට සිටින කාමාතුරයන්ය යන අදහස වැරදිය. සමරිසි චර්යාව දිගටම නීතියෙන් තහනම් කළ යුතුයි කියා විශ්වාස කරන අය පවසන කරුණක්‌ වන්නේ සමරිසි චර්යාව අපරාධයක්‌ ලෙස සැලකීම නතර කළ හොත් පිරිමින්ට සිදුවන ලිංගික හිරිහැර අතවර වැඩි විය හැකිය යන්නයි. නමුත් පර්යේෂණවලින් සොයාගෙන තිබෙන්නේ පිරිමියකුට එරෙහිව තවත් පිරිමියෙක්‌ සිදුකරන ලිංගික අතවර හෙවත් අපයෝජන වලදී බොහෝ විට එය සිදුකරන ලබන පිරිමියා සමරිසි දිශානතියක්‌ ඇති කෙනෙක්‌ නොව විෂමරිසි දිශානතියක්‌ ඇති කෙනෙක්‌ (විරුද්ධ ලිංගික පාර්ශවය කෙරෙහි ලිංගික ආකර්ෂණයක්‌ ඇති සරලව කියනවා නම් කාන්තාවන් කෙරෙහි ලිංගික ආකර්ෂණයක්‌ ඇති පිරිමියෙක්‌ ) වන බවයි.

සේයා වැනි අහිංසක මල් කැකුළු දූෂණය කර මරා දැමූ ඉතිහාසයක්‌ ඇති රටක, මතුගම සමන් කුමාර වැනි අහිංසක දරුවන් තිරිසන් ලෙස මරාදැමුණු රටක. විටින් විට දූෂණය කර, ප්‍රසිද්ධියේ නිරුවත් කර ප්‍රේමවතී මනම්පේරිලා දූෂණය කර මරා දැමූ රටක, ලිංගික ප්‍රාණිකත්වයක්‌ තබා තමන්ට තමන්ව වත් පාලනය කරගත නොහැකි වයසක පසුවූ කොටකෙතන ආච්චිලා දූෂණය කර මරා දැමුණු රටක, සාගරිකා ගෝමස්‌, බටලන්ද වධකාගාර, සූරියකන්ද අමු මළ සොහොන් පිට්‌ටනි පිළිබඳ ලෙයින් කඳුළින් භීෂණයෙන් පිරුණු රටක්‌ තුළ සිටිමින් විෂමරිසි චර්යාවන් හොඳයි කීමට හෝ සමරිසි චර්යාවන් නරකයි කීමට හෝ අපට ඇති අයිතිය කුමක්‌ද යන්න ප්‍රශ්න කළ යුතුවේ. සේයා දූෂණය කර මරා දැමූ තැනැත්තා විෂම ලිංගිකයෙක්‌ම බව පැවසීමට අපට හැකිද? දූෂණය කර මරා දමන්නට පෙර "අනේ මට වතුර ටිකක්‌" යෑයි ඉල්ලූ පේමවතී මනම්පේරි සාමූහිකව දූෂණය කළ අයවළුන් විෂමසිරි යෑයි පැවසීමට අපට හැකිද? තිරාණගමලා සම්බන්ධ කුරිරු ඉතිහාසයක්‌ ඇති අපිට සමරිසිභාවයේ සුජාතකම හෝ හරි වැරැද්ද පැවසීමට ඇති හැකියාව කුමක්‌ද යන්න අප විසින්ම අපගෙන් ප්‍රශ්න කළ යුතුය. සමරිසි ප්‍රජාව ඉතිහාසය තුළ ද ජීවත් විය. අප විසින් අද සාඩම්බර ඉතිහාසය පිළිබඳ වාගාලාප දොඩවන රාජකීය පෙළපත් නාමයන් සියල්ල විෂමරිසියන්ද? ඉතිහාසය මදක්‌ හාරා විමසා බලන විට මිත්‍රට ඉතිහාසය විසින් පාඩම් උගන්වා දෙනු ඇත. පාඨකයාගේ දැනගැනීම සඳහා මෙන්ම මෙම ලිපියේ තාර්කිකභාවය ආරක්‌ෂා කිරීම සඳහා එවැනි උදාහරණ දෙකක්‌ දැක්‌වීමට කැමැත්තෙමු

-සමලිංගික පව කෝට්‌ටේ රාජධානිය පුරා පැතිර ඇති අතර, මෙහි ජීවත් වීම අපට දැනෙන්නේ බයකි. රාජධානියේ වෙසෙන වැදගත් නායකයකු වෙක ගොස්‌ මෙවැනි කැත ක්‍රියාවක්‌ ගැන ගැන ලැ-ජා නොවන්නේ දැයි ඇසූ කල, ඔහු පිළිතුරු දෙන්නේ, රජ විසින් යමක්‌ කරන්නේ නම් එය අපේ චාරිත්‍රය වෙන බවයි. (1547 නොවැ 27, පෘතුගීසීන් විසින් ඉන්දියාවේ සිටි ඩී ජොවාවෝ ද කැස්‌ත්‍රොa උප පාලකයාට යෑවූ ලිපියක්‌ ඇසුරිනි)

-රජතුමාගේ බොහෝ සේවකයන් වූයේ කොල්ලන්ය, තරුණ පිරිමින්ය. හොඳ පවුල්වලින් එන කඩවසම් අයය. දිසාවේලා හෝ රටේ මහත්තුරු හරහා එවැනි කොලු ගැටව් තෝරා ගැනෙන අතර යහපත් පෙනුමැති, හොඳ පවුල් පසුබිමක්‌ ඇති අය තෝරා මාළිගාවට එවේ. මේ කොලුවන්ගේ හිසකෙස්‌ බූ ගාන අතර කෙස්‌ පිටුපසින් එල්ලෙයි. රජුට සමලිංගික හැසිරීම සම්බන්ධයෙන් වරදක්‌ නොදැනුණු අතර, ඔවුන් අතර එවැනි පවක්‌ ගැන කතා වෙනු ද මම කිසිම දිනක නොඇසුවෙමි. (සිලෝන් දූපතේ ඓතිහාසික සම්බන්ධතා, රොබට්‌ නොක්‌ස්‌. 1681)

ඉහතින් දක්‌වන ලද උපුටාගැනීම් දෙක සමරිසිභාවය පිළිබඳ ශ්‍රී ලාංකේය ඉතිහාසයට උදාහරණ සපයයි. පළමුවැන්න පෘතුගීසි නිලධාරීන් විසින් අශික්‌ෂිත අපරාධයක්‌ ලෙස සමරිසිභාවය හුවාදක්‌වමින් ඔවුන්ගේ පාලකයන්ට යෑවූ ලිපියක එක්‌ සඳහනක්‌ය. එමගින් බරපතළ ලෙස අභියෝගයට ලක්‌කෙරෙන්නේ ක්‍රි.ව 1524 - 1551 කාල සීමාව පිළිබඳවයි. ඪෂෂ වැනි බුවනෙකබාහු රජතුමා පිළිබඳවයි. දෙවැන්න ශ්‍රී ලාංකේය ඉතිහාසය, ඇඳුම් පැළඳුම්, ආහාර පාන, චාරිත්‍ර වාරිත්‍ර හා සංස්‌කෘතිය සොයායැමේදී අපට හමුවන වැදගත්ම මූලාශ්‍රය වන රොබට්‌ නොක්‌ස්‌ගේ ඓතිහාසික කෘතියයි. මෙම උදාහරණ දෙක ඇසුරින් කිසියම් චර්යාවක හොඳ හෝ නරක සෙවීමට වඩා වැදගත් වන්නේ එම චර්යාව නිසා පුද්ගලයන්ට සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධව බව අපගේ හැඟීමයි. ඉහත උදාහරණ දෙකෙන් දැක්‌වෙන්නේ අපව කොළණිකරුවන් බවට පත්කළ විජාතිකයන් විසින් අපව දුටු ආකාරයයි. කවුද මේ ඪෂෂ වැනි බුවනෙකබාහු? නොක්‌ස්‌ විසින් රාජසිංහ රජුගේ ඇඳුම් හා වස්‌ත්‍රාභරණ පිළිබඳ විස්‌තර කරන ආකාරය හා සමාව සලකන්නේ නම් ධෝතියක්‌ අඳින, උඩු කයට සැට්‌ටයක්‌ අඳින, ආභරණ පළඳින, කන් විද කරාබු දමන, කොණ්‌ඩය වැවූ කෙනකු විය යුතුය. එවකට මෙවැනි ඇඳුම්, පැළඳුම් සම්මතයක්‌ ලෙස සැලකුණේ නම්, අමුඩය ගොවියාගේ නිල ඇඳුම ලෙස සම්මතයක්‌ ලෙස පැවතුණේ නම් අද වන විට ඒවා වෙනස්‌ වූයේ කෙසේද? සීගිරි ලලනාව හෝ අජන්තා සිතුවම් අද වන විට ලෝක පූජිත කලා නිර්මාණ බවට පත්වී ඇත්තේ කෙසේද? පිළිතුර සරලය. සංස්‌කෘතිය වෙනස්‌ වේ. පරිණාමයට පත්වේ. අද දින ඔබ සම්මතය යන්න හඳුනාගන්නා දෙය හෙට දිනයේදී එසේ නොවනු ඇත. මිනිසා බුද්ධියෙන්, තාක්‌ෂණයෙන් දියුණුවත්ම සංස්‌කෘතියද මිනිසාට සමාන්තරව වෙනස්‌ වේ. එදා කොණ්‌ඩය වැවූ රජු අද දින කොණ්‌ඩය වැවුවහොත් ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු හෝ, හිපියකු හෝ, සමරිසි පුද්ගලයකු හෝ ලෙස හංවඩු ගැසීමට මාධ්‍යවේදීන් පසුබට නොවනු ඇත. ඉතින් මිත්‍ර ඔබ විසින් දක්‌වා ඇති පරිදි මා බාලිකා පාසල්වල සමරිසි අක්‌කලා ගැන දන්නේ නැත. පන්සල්වල ලොකු හාමුදුරුවරුන්ගෙන් පොඩි හාමුදුරුවන්ට සිදුවන හිංසන ගැන දන්නේද නැත. පල්ලියේ ලොකු බ්‍රදර්ගෙන් පොඩි බ්‍රදර්ට වෙන දේවල් දන්නේ ද නැත. කොටින්ම කිවහොත් අදාළම නැත. එයට හේතුව ඉතිහාසය පුරා පැවති සමරිසිභාවය අදට ද හෙටද ද පවතින බව මා දන්නා නිසාය. ඔබ වැනි මාධ්‍යවේදීන් ඔවුන් පිළිබඳ පිළිකුල හා අප්‍රසාදයෙන් බලනතාක්‌ කල් ඔවුන් නිරන්තරව හිරිහැරයට , ගර්හාවට, පීඩනයට හා කායික මානසික යනාදී හිංසනයට ලක්‌වන බව නම් මා දන්නා නිසාය. ඔබ විසින් ලිපිය අවසන් කර ඇති ආකාරයට මම කැමැතිය. ඔබ ලිපිය අවසන් කර ඇත්තේ සමරිසියන් විරුද්ධ රිසියන් වනු දැකීමට කැමැති මිත්‍ර වශයෙනි. සමරිසියන් විරුද්ධ රිසියන් බවට පත්කළ හැකිනම් විරුද්ධ ලිංගිකයන් සමරිසියන් බවට පත්කළ හැකි ක්‍රමයක්‌ද ලෝකයේ තිබිය යුතුය. සමරිසියන් විරුද්ධ රිසියන් බවට පත්කළ හැකි වුවද මිත්‍ර ශ්‍රී කරුණානායක තුළ පවතින හෝමෝෆෝබියාව නැති කළ හැකිද යන්නද මා දන්නේ නැත. විද්‍යාත්මකව හා තාර්කික පදනමක්‌ මත මෙම මාතෘකාව පිළිබඳ සංවාදයේ නිරතවෙන්නේ නම් ඉදිරියටද මෙම ලිපිය සංවාදයට විවෘතයි. 2015 ජූලි මස එක්‌ ලිපියක මා විසින් සඳහන් කළ ආකාරයට ඉතින් මිත්‍ර, අපි දැන්වත් මිත්‍ර වෙමු.


තුෂාර මනෝඡ්
EQUALGROUND ව්‍යාපෘති නිලධාරී

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.