සෞඛ්‍ය බලධාරීනි ජනතාව ඩෙංගු මරු කටේ

වර්තමාන රජයේ සෞඛ්‍ය බලධාරීන් ඩෙංගු මර්දන වැඩපිළිවෙළ විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්‌සේ ජනතාවට පවරා තිබේ. තමන්ගේ නිවස හා ගෙවත්ත පිරිසිදුව පවත්වා ගැනීම ජනතාවගේ වගකීමක්‌ ලෙස අවා ඩෙංගු මර්දනය කිරීමට නොහැකිවීම ජනතාව එම වගකීම පැහැරහැරීමේ හේතුව නිසා ඇතිවූ බව ඔවුන් නොකියා කියති.

වරින් වර ඩෙංගු මර්දන සති ප්‍රකාශයට පත් කිරීමෙන් සහ පොලිසිය සහ හමුදාව යොදවා නිවාස හා ඉඩම් පරීක්‌ෂා කිරීමෙන් මෙන්ම මදුරු කීටයන් හමුවුණු නිවෙස්‌ හා ඉඩම් හිමියන්ට දඩ ගැසීමෙන් ඩෙංගු මර්දනය කළ හැකි යෑයි මතයක්‌ ගොඩනැඟීමට ද මේ නිලධාරීන් මාධ්‍ය ඔස්‌සේ උත්සාහ දරති.

නමුත් ඒ කිසිවකින් ඩෙංගු මදුරුවා මර්දනය කළ නොහැකි බව ඉතා පැහැදිලිව සනාථ වී ඇතත් එයම කරමින් එයම කියමින් මදුරුවාට මුළු රටම අඩපණ කිරීමට වත්මන් සෞඛ්‍ය බලධාරීනුත් අවස්‌ථාව සලසා දී තිබේ.

ආණ්‌ඩුවේ සෞඛ්‍ය බලධාරීන් සහ පළාත් පාලන ආයතනවල සිටින මහජන සෞඛ්‍ය පරීක්‌ෂකවරුන් සිය කාමරවලින් එළියට පැමිණ ඩෙංගු මර්දනය කිරීම සඳහා ප්‍රායෝගිකව සහභාගි නොවී මේ කරන ඇඟබේරා ගැනීමෙන් රටට වන්නේ මහත් විපතකි. රට පුරා ඇති ප්‍රධාන නගර බොහොමයක්‌ තුළින් මේ සඳහා උදාහරණ පෙන්වාදිය හැකිය. ජාඇල නගරය ඩෙංගු මරු කටට ළංවුණු එවැනි තවත් එක්‌ නගරයකි.

ජාඇල නගර සභා ගොඩනැගිල්ල අසළ ඇති කාණු, ප්‍රධාන පාර දෙපස ඇති කාණු, ක්‌ෂේවියර් පාර, වෑවල පල්ලිය පාර, ජාඇල ප්‍රධාන බස්‌ නැවතුම්පළ ඉදිරිපිට හා ඩිපෝව පිටුපස ඇති පෙදෙස, කේ. එµa. සී. ගොඩනැඟිල්ල ඉදිරිපිට කාණු මදුරු තවාන්වලින් පිරී ඇති නමුදු කිසිදු බලධරයෙක්‌ මේ මදුරු රජදහන් පිළිබඳ අවධානය යොමු කරන්නේ නැත.

මෙය ජාඇල නගරයට පමණක්‌ සීමා වූ තත්ත්වයක්‌ නොවේ. රටේ සෑම නගරයකම පාහේ තත්ත්වය මෙයයි. රාජ්‍ය සේවයේ අකාර්යක්‌ෂමතාව නිසා ජනතාවට විඳින්නට සිදුවී ඇති මේ විපත ජනපති - අගමැති ඇතුළු රට කරවන්නන්ටද නොපෙනීම පුදුමයකි.

ඩී. සී. ප්‍රනාන්දු, ජාඇල

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.