විරාගයේ සිරිදාසට ගන්න හිටියේ විජය කුමාරතුංගව
ඩග්ලස්‌ රණසිංහ සිනමා අතීතාවර්ජනය

තිරයේදී වැඩිපුර ආදරය කළේ අනෝජාට
රමණි බර්තොලමියුස්‌ මුලින්ම රඟපෑවේ මාත් එක්‌ක

සිනමාව හෝ වේවා වේදිකාව හෝ වේවා ඒ ඒ ක්‍ෂේත්‍රයන්හි රංගනයෙන් සිය ප්‍රතිභාව විදහා දක්‌වන්නට සමත් වූ විශාල පිරිසක්‌ සිටිය හැකි වූවත්, රංගන පෞරුෂය කෙනකු තුළ පිහිටන්නේ ඉතා කලාතුරකිනි. රංගන පෞරුෂය යනු කඩවසම් බව හෝ හැඩිදැඩි බව නොවේ. සිනමා තිරය මත හෝ වේදිකාව මත යම් රංගන ශිල්පියෙකුගේ රූපකාය ඇඳුණු සැනින් ප්‍රේක්‍ෂකයා තුළ මතුවන ආකර්ෂණීය හැඟීම ඒ සියල්ලට එහා ගිය එකකි.

ඩග්ලස්‌ රණසිංහ සතුව ඒ රංගන පෞරුෂය බිඳකුදු නොඅඩුව ඇත්තේය. එනයින්ම ඔහු රංගනයේ යෙදෙන සියලු නිර්මාණයන් ප්‍රේක්‍ෂකයා තුළ ගැඹුරු හැඟීමක්‌ මතු කරන්නට සමත්ය. හුණුවටයේ කතාව, අපට පුතේ මගක්‌ නැතේ, අක්‌කර පහ, විරාගය, යුගාන්තය, යුවතිපති මේ ආදී නිර්මාණ රැසක මතකය ඒ බව සාධාරණීකරණය කරන බව අපේ විශ්වාසයයි. ඒ සිනමා අතීතාවර්ජනය ඔහු මෙලෙස අප සමග බෙදාහදා ගත්හ.

සිනමාවට එන්න හිතගියේ වේදිකාවේ කරපු කැපකිරීම් නිසාද?

මගේ පළමු වේදිකා නාට්‍ය තමයි හුණුවටයේ කතාව. එහි මම රඟදක්‌වන්නේ බොහොම දඩබ්බර රළු පරළු කෝ්‍රපල්වරයෙකුගේ චරිතයක්‌. ඒ දවස්‌වල යුද්දෙට මම ගියා ගෑණි ගෙදර තියා කියන ගීතය බොහොම ජනප්‍රියවුණා. ඉස්‌සර ඒ දර්ශනය නාට්‍යයෙන් පසුවත් බොහෝ තැන්වල නැවත රඟදක්‌වලා පෙන්වන්න සිද්ධවුණා. ඊට පසුව මම කලේ ඊටහාත්පසින්ම වෙනස්‌ම චරිතයක්‌. ඒ අපට පුතේ මගක්‌ නැතේ වේදිකා නාට්‍ය නිර්මාණයේ. එතැනදී මම රඟදැක්‌වූයේ බොහොම අහිංසක චරිතයක්‌. එය සත්‍ය කතාවක්‌ ඇසුරින් නිර්මාණය වූවක්‌.

හුණුවටයේ කතාවට ඒ දවස්‌වල ලැබුණ ප්‍රතිචාර කොහොමද?

ඇත්තම කිව්වොත් මම ලංකාවේ හැම තැනම ඇවිද්දේ හුණුවටයේ කතාව නිසයි.

හෙන්රි ජයසේනයන් ඔබේ රංගන පරාසය කොහොමද දුටුවේ ?

නාට්‍ය නිෂ්පාදකවරයෙක්‌ විදිහට ඔහුට තියෙනවා නළුවෝ ගැන හොඳ ඉවක්‌. ඒක ඔහු ඔප්පු කරලා පෙන්නුවා.

ඒ කොහොමද?

හුණුවටයේ කතාවේ දරදඬු චරිතයක්‌ ලබාදීලා අන්තිමේ අපට පුතේ මගක්‌ නැතේ වේදිකා නිර්මාණයේ බොහොම අහිංසක සංවේදී චරිතයක්‌ භාරකිරීමෙන් මම ඒ බව දුටුවා. අපට පුතේ මගක්‌ නැතේ නාට්‍යයේ චරිතය කරපු වෙලාවේ සත්‍ය කතාන්දරයට හිතට ගත්තා වැඩියි කියලා ඔහු මට නොයෙක්‌ වතාවලදී කිව්වා.

එතකොට ඔබ ප්‍රසිද්ධ සිනමාවට පිවිසුන විදිහ තවම පැවසුවේ නැහැ ?

ඒකත් හරියට දෛවෝපගත විදිහට තමයි සිද්ධවුණේ. හුණුවටයේ කතාව වේදිකා නාට්‍ය ලුම්බිණියේ පැවැති අවස්‌ථාවක එහි ප්‍රධාන ආරාධිතයා විදිහට පැමිණියේ ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මහත්මයා. එතැනදී වේදිකාව පිටුපසට ඇවිත් ඔහු ඇහැව්වා කෝ අර නළුවා කියලා.

එහෙම කිව්වේ ඔබටද?

ඔව්. සොල්දාදුවා කෝ කියලා තමයි ඇහැව්වේ.

එතකොට ඔබට මොකද කිව්වේ ?

මම වේෂ නිරූපණයන් ඉවත්කරලා තිබුණ හින්දා එක්‌වරම මේ ඔහුමද කියලා හඳුනාගන්න අපහසු වුණා. අන්තිමේ ඔහු මට කිව්වා මාව ඇවිත් හමුවෙන්න කියලා කිව්වා. එතැනදී හෙන්රි අයියා ලස්‌සන කතාවක්‌ කිව්වා.

ඒ මොකක්‌ද?

ඔන්න ඔන්න මගේ හොඳම නළුවා හොරකම් කරන්න යනවා කියලා. ඒ වුණාට අන්තිමේ හෙන්රි අයියා මට ආදරයෙන් වගේ කිව්වා අනිවාර්යයෙන්ම පලයං කියලා.

අන්තිමේ ඔබට ලෙස්‌ටර්ව හමුවෙනවා?

එතැනදී මට අක්‌කර පහ චිත්‍රපටයේ සමරෙගේ චරිතයට ලැබෙනවා.

අපට පුතේ මගක්‌ නැතේ වේදිකා නාට්‍යය හින්දත් ඔබට සුවිශේෂී චරිතයක්‌ ලැබෙනවා නේද?

අපට පුතේ මගක්‌ නැතේ නාට්‍ය බලන්න ආපු ඩී. ජී. එල්. පෙරේරා එහිදී මගේ හැකියාවන් දැකලා රෝමියෝ ජුලියට්‌ චිත්‍රපටයේ රෝමියෝගේ චරිතය ලබාදුන්නා.

අක්‌කර පහ චිත්‍රපටයේ රූගත කිරීම් අවසන්වෙලා ආචාර්ය ලෙස්‌ටර් ඔබට අපූරු කතාවක්‌ කිව්වා කියන්නේ ඇත්තද?

මේ කතාව තියෙනවා ද ලෝන්ලි ආටිස්‌ (හුදකලා කලාකරුවා) කියන කෘතියේ. ෂ ය්d ටරුaඑ dසසෙජ්කඑස සබ saඩසබට පහ යෑරද රෙදප dදමටක්‌s. අක්‌කර පහේ ප්‍රධාන චරිතය වුණ සේනගෙ චරිතය කළේ මිල්ටන් ජයවර්ධන. මම සමරෙ. අක්‌කර පහ චිත්‍රපටයේ වීරයා සේන. හැබැයි මේ වීරයාව සමරෙ (ඩග්ලස්‌) ගෙන් බේරාගන්න ගොඩක්‌ මහන්සිවෙන්න වුණා කියලා තමයි කිව්වේ.

අක්‌කර පහ තිරගතවෙනකොට මොනවගේ ප්‍රතිචාරද ලැබුණේ ?

මගේ හීරෝව ඩග්ලස්‌ගෙන් බේරාගත්තේ බොහොම අමාරුවුණා කියන කතාව හරියට ප්‍රසිද්ධවුණා. බොහෝ දෙනෙක්‌ කිව්වා නවකතාවෙන් සමරෙ ඉවත්වුණාට චිත්‍රපටයට ලොකු හානියක්‌ වගේම අඩුපාඩුවක්‌ වුණා සමරෙ චිත්‍රපටයේ මැද්දෙන් ඉවත්වීම කියලා. ආපහු සමරෙ මදකොට හෝ ගෙනආවා නම් හොඳයි කියන තැන ඒ කාලේ බොහෝ දෙනෙක්‌ හිටියා.

රෝමියෝ ජුලියට්‌ හි රෝමියෝ ගැනත් කතා නොකරම බැහැ නේද?

රෝමියෝ ජුලියට්‌ හි ගේල්ස්‌ රාධා කියන බර්ගර් තරුණියක්‌ සමග තමයි මම රඟපෑවේ.

ඔබ කාලයක්‌ විදෙස්‌ගත වුණා නේද?

මට හිතුණා රඟපෑම ගැන වැඩිදුර ඉගෙන ගැනීම සඳහා විදෙස්‌ගත වෙන්න. ඒ අනුව තමයි මම විදෙස්‌ගත වුණේ. මට ඒ වෙලාවේ චිත්‍රපට පහකට ආරාධනා ලැබුණා. ඒ එකකටවත් බැහැ කියලා තමයි මම ලංකාවෙන් ගියේ.

ඔබ ආපහු ලංකාවට ආවේ ?

මම විදෙස්‌ගතවෙලා අවුරුදු අටකට නවයකට පසුව තමයි නැවත ලංකාවට ආවේ.

ලංකාවට ආවට පසුව නිර්මාණ රැසකට ආරාධනා ලැබුණා නේද?

යුගාන්තය, තන ගිරවි, විරාගය, යුවතිපති, සාරංගා වගේ නිර්මාණ රැසකට ආරාධනා ලැබෙනවා.

යුගාන්තය ගැනත් කතා කරමු ?

රමණී බර්තොලමියුස්‌ මුලින්ම රඟපෑවේ මාත් එක්‌ක. ඒ කාලේ ඇය පුංචි කෙල්ලක්‌. මටයි එයාට රඟපෑම ගැන කියාදෙන්න වුණේ. ලෙස්‌ටර් උන්නැහේ මට ඒක භාරකළා. අප අතරින් වෙන්වුණ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ පළමු රංගනය සිදුවුණේ මේ නිර්මාණය හරහායි. රිචඩ් ද සොයිසා චිත්‍රපටයට සම්පූර්ණයෙන්ම ආධුනිකයි. ඔහු අපිට හිටපු දක්‍ෂ වේදිකා නළුවෙක්‌. යුගාන්තයේදීත් ලෙස්‌ටර් මට අපූරු කතාවක්‌ කිව්වා. වේදිකාවේ රංගනය අමතක කරලා ස්‌විච් ඔන් කරන්න පුළුවන් සිනමා රංගනයට ඇසිල්ලකින් කියලා කිව්වා. ලෙස්‌ටර්ගේ ඔය කතාවට ගොඩක්‌ දෙනෙක්‌ගේ හිත රිදිලා තිබුණා.

යුගාන්තය වගේම විරාගයත් සුවිශේෂයි නේද?

විරාගයේ මගේ රඟපෑම් කළ සියලුම දර්ශන රැඳිලා තිබුණා නම් අද ඔයිට වඩා ඒ ගැන කතා කරනවා. තිස්‌ස අබේසේකර විරාගයේ පිටපත මට ගෙදරට ගෙනැවිත් දීලා අපූරු කතාවක්‌ කිව්වා.

ඒ මොකක්‌ද?

ඩගී විරාගයේ සිරිදාසගේ චරිතයට මම ගන්න හිටියේ විජය කුමාරතුංග. නමුත් මගේ පිටපතේ තියෙනවා එක දර්ශනයක්‌. ඒක ඩගී ඔයාට වගේ ඔහුට කරන්න බැහැ. ඒක නිසයි මම ඔයාව ගන්නේ. ඔය කතාව ඔහු මගේ මුහුණටම කිව්වා.

චිත්‍රපටය තිරගතවෙන කොට අධ්‍යක්‍ෂවරයා මොකද කිව්වේ ?

ඔහු මට ඒ දර්ශනය ගැන කිව්වා නිසා මම ඒකට විශේෂ අවධානයක්‌ යොමුකළා. නමුත් අන්තිමේ ඒ දර්ශනය තිබුණේ නැහැ.

ඩග්ලස්‌ට සිනමාවේ සංකීර්ණ චරිතය වගේම පෙම් චරිත පවා ලැබිලා තියෙනවා නේද?

අමරනාත් ජයතිලකගේ ආදර ගීතය බොහොම සංවේදී චිත්‍රපටයක්‌. එහිදී මම සබීතා පෙරේරා සමග රඟපෑවා. රෝමියෝ ජුලියට්‌ට මට තියෙන්නේ වෙනස්‌ම ආදරයක්‌. ඒක මගේ පළමුවැනි ආදර කතාව. ඒක පැත්තකින් තියලා තියෙන්නේ. ඒකට හේතු ගණනාවක්‌ තියෙනවා. සුනිල් ශාන්ත ජීවිතේට චිත්‍රපට පසුබිම් ගායනයට සම්බන්ධවෙලා නැහැ. හැබැයි ඔහු කියපු එකම සහ අවසාන ගීතය තමයි මයි ඩී්‍රම්ස්‌ ආ රෝසස්‌ කියන ගීතය. ඒ ගීතය පද රචනා කළේ මර්සිලින් ජයකොඩි පියතුමා. සාරංගා තමයි මම හුඟාක්‌ම ආදරය කරන චිත්‍රපටය.

තිරයේදී වැඩිපුරම පෙම්කරන්න ලැබුණේ කාටද?

මට මතක විදිහට අනෝජා වීරසිංහ. සාරංගා, නිවන් දකිනා ජාති දක්‌වා, ආදර චාරිකා, කැලෑ මල් චිත්‍රපටවල තමයි මම ඇයත් සමග ආදර ජවනිකා රඟපෑවා.

ඒ කාලේ ඔබට කැපිලි කෙටිලි තිබුණේ නැතිද?

මම ලංකාවට ආපහු ආපු වෙලාවේ මාව පිළිගත්තේ වෙනස්‌ම පරපුරක්‌. මගේ සමකාලීනයෝ නෙමෙයි. ඔවුන් ටිකක්‌ සැලිලා හිටියේ. ඒ කාලේ මටත් හරියට අන්ඩර්කටින් තිබිලා තියෙනවා. ඒ කතාව මට කිව්වේ එච්. ඩී. ප්‍රේමරත්න. මම ආපහු ලංකාවට ආපු වෙලාවේ මගේ පරපුරේ කට්‌ටිය මාව දෑතින් පිළිගත්තේ නැහැ. ඒ දවස්‌වල මාත් එක්‌ක වැඩකරන්න අමාරුයි කියලා ගොඩක්‌ දෙනෙක්‌ කතාවක්‌ පැතිරුවා. ඒක හැබැයි මම ඉක්‌මණින් දැනගත්තා. ඒක දැනගත්තෙත් එච්. ඩී. ප්‍රේමරත්න හින්දා.

ඒ කොහොම වුණත් ඔබ එච්. ඩී. ප්‍රේමරත්නගේ නිර්මාණ රැසක වැඩකරනවා ?

ඒ දවස්‌වල මට ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ හමුවෙන්න එන්න කියලා තිබුණා. එතැනදී ඔහු මට කිව්වා මොකක්‌ද මේ ඩගී ඔයත් එක්‌ක වැඩකරන්න බැහැ කියන්නේ. මම ඒ වෙලාවේ ඇහැව්වා කවුද එහෙම කිව්වේ කියලා. කියපු අය පස්‌සේ කියන්නම්. ඔයා දැන් මෙයත් එක්‌ක කතා කරන්න. ඊට පසුව මම කතාකළේ එච්. ඩී. ප්‍රේමරත්න සමග. එච්. ඩී. මට කතා කරලා කිව්වා මගේ හිතේ තියෙනවා ඔයාව චිත්‍රපටයකට ගන්න. නමුත් මේ ඇහෙන කතා නිසා මම ඔයාව ගන්නේ කොහොමද කියලා. මම ඒ වෙලාවේ එච්. ඩී. ට කිව්වා ඔයා පොඩි අවදානමක්‌ අරගෙන මාත් එක්‌ක මුලින් වැඩකරන්න බලන්න කියලා. ඊට පසුව මුලින්ම මම එච්. ඩී. ගේ කුලගෙය චිත්‍රපටය රඟපෑවා. අන්තිමේ එයාගේ අවසාන චිත්‍රපටය වුණ උඩුසුළගේ පවා මම රඟපෑවා. මට ඔහුගේ පාලම යට චිත්‍රපටයේ විතරයි රඟපාන්න බැරිවුණේ.

දිනේෂ් විතාන
ඡායාරූප - ක්‍රිෂාන් කාරියවසම්

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.