ජයනි සාදය මාරයි සල්ලි හමාරයි
නාට්‍යයෙන් ඉවත් වුණේ ඇයි?


නිතරම රට යන්නේ කාව බලන්නද?

අවුරුදු පහළොවකට විතර ඉස්‌සර මට හමුවෙද්දි කලාකාරිනියක ලෙස ප්‍රසිද්ධියට පත්වෙලා අවුරුදු දෙකක තුනක්‌a විතර ගෙවිලා තිබුණේ. මගේ මතකය නිවැරදි නම් එකල ඇය සරසවි සිසුවියක්‌. එදා අනෙකුත් යොවුන් නිළියන්ගෙන් නොදුටු අපූර්වත්වයක්‌ මා ජයනි තුළින් දුටුවා මෙන්ම මම ඇය පිළිබඳ ලියූ ලිපියෙහිද එය සටහන් කරන්නට යෙදුණා. මා පමණක්‌ නොව කලා ලෝකයේ මෙන්ම ඉන් පිටතත් බොහෝ දෙනා ජයනි සේනානායක නම් තරුණ නිළිය පිළිබඳ එදවස තැබූ සුභවාදී බලාපොරොත්තු අපමණයි. එකී බලාපොරොත්තු ඉතාමත් ගෞරවයෙන් හා වගකීමෙන් පරිස්‌සම් කළ ජයනි රංගන ශිල්පිනියක ලෙස සිනමාව වේදිකාව හා රූපවාහිනිය තුළින් සරිකරගත් වටිනාකම් ඇගයීමට ලක්‌වන අන්දමද අප අත්විඳිනු ලැබුයේ මහත් සොම්නසින්. මන්ද ඈ සපල කරලූයේ අපේම බලාපොරොත්තු නිසාවෙන්. අද එකී සියලු කාරණා පෙරටු කරගෙන ජයනි සේනානායක නම් වන ප්‍රතිභාපූර්ණ ප්‍රවීණ රංගන ශිල්පිනිය හමුවනවා.


ජයනි ඔබ හැම තැනකම දකින්න නැතත් දැනෙන විදිහට කලාවේ රැදී ඉන්න කෙනෙක්‌ ?

ඇත්තටම මම ලෝබ නැතිව අත් අරින කෙනෙක්‌. ඒ අතහැරීම තුළ සැනසීමකුත් තියෙනවා. මම හිතනව මාධ්‍ය ඉදිරියේ වුණත් මම කරපු දේ පමණට කතා කළහම ඇති කියලා. මම කරල තියෙන දේවල් ගැන මට කතා කරන්න ලැබිල තියෙන අවස්‌ථා හොදටම ඇති. මටම දැනෙනව නම් මං ගැන එච්චර කතා කරන්න ඕනෑ නැහැ කියලා මට මාධ්‍යයෙන් ඇරයුමක්‌ ලැබුණත් ඒ අවස්‌ථාව අතහරිනවා. සමහර චරිත ඉන්නව මොනවත් කරල නැහැ. ඒත් නිතරම පත්තරවල රූපවාහිනී නාලිකාවල ඉන්නවා. රංගන ශිල්පීන් හැටියට මාධ්‍ය ඉදිරියේ පෙනී ඉන්න එක නෙවෙයි අපේ වෘත්තිය. රඟපෑම හරියට කරලා ඒ පිළිබදවයි වැඩි අවධානයක්‌ යොමු කරන්න ඕනෑ.

මේ අත්හැරීමේ පුරුද්ද නිර්මාණවලදීත් සිද්ධ වෙනවාද?

මම නිර්මාණයක නිරතවන්න සුදුසු පසුබිමක නැතිනම් ඉතා හොඳ චරිත පවා අත්හල අවස්‌ථා ඕනෑ තරම් තියෙනවා. උදාහරණයක්‌ විදිහට මෑත කාලයේ මම චිත්‍රපට දෙකක්‌ හා වේදිකා නාට්‍ය දෙකක්‌ අත්හැරියා. එම චිත්‍රපට දෙකේ වගේම වේදිකා නාට්‍ය දෙකේ ඉතා හොඳ මට්‌ටමේ චරිත කළේ. ඉවත් වෙන්න හේතුව මේ දිනවල මගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවන නිසා හා අපේ පවුලේ දේවල් වෙනුවෙන් කාලය වුවමනා නිසා.

ඇරයුම් කෙරෙන චරිතයක්‌ පිළිගන්නවද නැද්ද කියල තීරණය කරන්න බලපාන වෙනත් සාධක මොනවාද ?

රඟපානවා කියල මොනවා හරි දෙයක්‌ කරන්න මට කවදාවත් ඕන වුණේ නැහැ. මම කරන දේකින් ප්‍රේක්‌ෂකයා මොනවා හරි දෙයක්‌ උකහා ගනියි. ප්‍රේක්‌ෂකයාගේ බුද්ධි මට්‌ටම යම් තරමකටවත් උසස්‌ වෙයි. ප්‍රේක්‌ෂකයාගේ රසඥතාවය ඉහළ තලයකට රැගෙන එයි කියල හිතෙන නිර්මාණ හා නිර්මාණකරුවන් සමගයි මම කවදත් වැඩ කළේ. මට ලැබෙන චරිතය තුළ මම ඉහත සඳහන් කළ පසුබිම තියෙනවාද? කියන දේ හැරුණාම ඒ චරිතය සුදුද කළුද අලුද කියන එක මම සලකන්නේ නැහැ.

මේ අන්දමට බොහොම සැලකිල්ලෙන් කටයුතු කරන්නේ ජයනි සුවිශේෂී බලාපොරොත්තු සමග කලාවට පැමිණි නිසාද?

නැහැ. මම ලොකු බලාපොරොත්තු තියාගෙන කලාවට ආපු කෙනෙක්‌ නෙවෙයි. නමුත් පුංචි කාලෙ ඉඳන්ම හොඳ දේ හඳුනාගැනීමේ හැකියාවක්‌ මට තිබුණා. මට අහම්බයකින් මේ වෘත්තියට එන්න අවස්‌ථාව ලැබුණා. ඊට පසුව මේ වෘත්තිය පිළිබදව වගකීමෙන් යුතුව හිතන්න වැඩ කරන්න පටන් ගත්තා. මම හිතනවා අපි කරන මොනයම් වෘත්තියක්‌ වුණත් එය වගකීමෙන් යුතුව ඉටුකරන එක තමයි ඕනෑම මනුස්‌සයෙකුගේ කාර්යය විය යුත්තේ.

ජයනි කලාවට පිවිසීමට වඩා වෙනස්‌ වෘත්තීය අරමුණුද සමග බාල කාලය ගෙවූ කෙනෙක්‌ද?

මම ඉගෙන ගත්තෙ සෞන්දර්ය විෂයයන්. මට නර්තන ගුරුවරියක වීමේ අපේක්‌ෂාවක්‌ තිබුණා. තවත් කාලයකදී මට ක්‍රීඩිකාවක වීමේ අපේක්‌ෂාවක්‌ තිබුණා. පසු කළක්‌ හෙදියක්‌ වෙන්න ඕනෑ කියලත් මම හිතාගෙන හිටියා. ඒත් අද මම හිතනවා මට ගැලපෙනම වෘත්තියයි හිමිවෙලා තියෙන්නේ කියලා.

රංගන දිවියේ දී ජයනිට අභියෝගයක්‌ වූ චරිත මොනවාද ?

මම හිතන්නෙ නැහැ රඟපාන එක අභියෝගයක්‌ කියලා. රඟපාන එක තමන්ගෙ හදවතින්ම කරන දෙයක්‌ කරගත්තාට පස්‌සේ ඒක හරිම රසවත් රැකියාවක්‌. ඒ ගැන හොයා බලමින් එය විඳිමින් කරන්න ගත්තට පස්‌සෙ මෙය හරිම තෘප්තිමත් රැකියාවක්‌ වෙනවා. ලොකේ තියෙන වර්ණවත්ම රැකියාව මෙයයි. තමන්ට තවත් කෙනෙක්‌ වෙන්න ලැබෙන එකම අවස්‌ථාවත් රංගන කාර්ය නේ. අභියෝගයක්‌ වෙන්නෙ රඟපාන එක නොවයි ජීවත් වෙන එක. ජීවිතවලට එල්ලවෙන අනේකවිධ ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙමින් ජීවත් වෙන එකයි අභියෝගය.

සාදය මාරයි සල්ලි හමාරයි වේදිකා නාට්‍යයේ ලලනිගේ චරිතය අතහැරීම පිළිබඳ විවිධ කතා අහන්න ලැබුණා. ඇතැමුන් පැවසුවේ ඔබ එම චරිතය අත්හැරියේ විදේශයක පදිංචියට යන බැවින් කියලයි ?

ලලනිගේ චරිතය මම ඉතා කැමැත්තෙන් හා ආදරයෙන් රඟපෑ චරිතයක්‌. නමුත් පසුගිය කාලයේ මම මගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සොයා නොබලාම වැඩවකිරීම නිසා මට වෛද්‍යමය හේතු මත කිසියම් විවේකයක්‌ වුවමනා වුණා. සාදය මාරයි සල්ලි හමාරයි කියන්නෙ දර්ශන වාර නිතරම තියෙන නාට්‍යයක්‌. ඒ නාට්‍යයත් සමග රැඳී සිටීම වෙහෙසකාරී නිසයි මම කලින්ම එහි නිෂ්පාදකවරයා හා අධ්‍යක්‌ෂවරයා දැනුවත් කරල ඒ චරිතයෙන් අයින් වුණේ.

එතකොට ඔබ විදේශ ගතවන බවට පැතිරුණ ආරංචිය ?

පිටරටක පදිංචියට යන්න මගේ කිසිම අදහසක්‌ නැහැ. මම හිතනවා ලංකාවේ කලාකරුවකුට පිටරටකට ගිහින් කරන්න දෙයක්‌ තියෙනවා කියලා. නමුත් මම නිතරම කෙටි නිවාඩුවලට විදේශ ගත වෙනව එයට හේතුව මගේ සැමියා විදේශයක රැකියාව කරන නිසා.

ජයනිගෙ සැමියා කලාව නිසා ඔබට හමුවූ කලාවට සම්බන්ධ කෙනෙක්‌ද ?

ඔහු මට මුණ ගැහුණේ හඩ කැවීම් ශිල්පිනියක්‌ විදිහට සිරස මාධ්‍ය ආයතනයට ආගිය එකේ ප්‍රතිඵලයක්‌ විදිහට. නමුත් ඔහු කලාකරුවෙක්‌ නෙවෙයි. ඔහු ගණකාධිකාරවරයෙක්‌. එම කාලයේ ඔහු එම ආයතනයේ ගණකාධිකාරිවරයෙක්‌ ලෙස සේවය කළා.

රංගන වෘත්තිය කරගෙන යද්දි බිරියක ලෙස ජයනිට සීමාවන් පැනවෙන අවස්‌ථා තියෙනවාද ?

මගේ සැමියා මට හොඳින් ආදරය කරන මාව තේරුම් ගත්ත මාව ආදරයෙන් බලාගන්න ස්‌වාමිපුරුෂයෙක්‌. කාන්තාවක්‌ විදිහට තමන්ගේ පවුල මව්පිය සහෝදර සහෝදරියන් වගේම අපේ රටේ සංස්‌කෘතිය පරිසරයක තුළ ජීවතවෙන්න පුළුවන් විදිහේ තත්ත්වය රැකගෙන තමන්ගේ වෘත්තිය කරගෙන යන්න කියලයි ඔහු මට පවසන්නේ.

ජයනි හරිම කාර්ය බහුල චරිතයක්‌ වෙන්නේ ?

ඇත්තටම මම හරිම කාර්ය බහුලයි. එයට හේතුව වෙන්නෙ බිරිඳක්‌ දියණියක්‌ සොහොයුරියක්‌ යෙහෙළියක්‌ නිළියක්‌ හා ගැහැණියක්‌ විදිහට මගෙන් ඉටුවෙන්න ඕන දේවල් හරියටම කරන්න මම හැම වෙලාවකම වෙහෙසෙනවා. ඒ නිසා මම බොහෝ අවස්‌ථාවල කුමක්‌ හෝ කාර්යයක්‌ සමගයි රැඳී ඉන්නේ.

පවුලේ කටයුතු හා වෛද්‍ය ප්‍රතිකාර නිසා මේ දිනවල ජයනිගේ රංගනය සම්පූර්ණයෙන් ප්‍රෙක්‌ෂකයන්ට අහිමි කරලාද ?

නැහැ. පහුගිය දවස්‌වල මම සියපත් අරම හා නිසල අසපුව කියන ටෙලි නාට්‍ය දෙකට රංගනයෙන් දායක වුණා. එයින් එක්‌ නිර්මාණයක්‌ මේ මාසයේa රූපවාහිනියේ විකාශය ඇරඹෙනවා. ඒ හැරුණම රොහාන් පෙරේරාගේ හීන හොයන සමනල්ලු චිත්‍රපටයත් ළගදීම ප්‍රෙක්‌ෂකයන්ට රසවිඳින්න ලැබෙයි. එහි මම නපුරු ගුරුවරියක්‌ ලෙසින් රඟපානවා.

ආයෙත් දවසක ජයනි වේදිකාවේ ලලනි ලෙසින් හමුවෙන්න ඉඩ තියෙනවාද ?

ඒක කියන්න බැහැ. දැන් ඒ චරිතය කරන්නෙ මගේ සහෝදර ශිල්පිනියක වන චමිලා පීරිස්‌. ඇයට කිසියම් කාර්ය බහුල අවස්‌ථාවක්‌ යෙදුනොත් එවැනි අවස්‌ථාවකදි මම ගිහින් එම අවශ්‍යතාව ඉටුකර දෙන්න ඉඩ තියෙනවා.

කලා ක්‍ෂේත්‍රය ශිල්පීන්ට යෑපෙන්න තරම් ප්‍රමාණවත් නැහැ කියන තත්ත්වය ජයනිටත් බලපාල තියෙනවද ?

මම හිතන්නේ නැහැ එහෙම වැඩවල අඩුවක්‌ තියෙනවා කියලා. මට නම් ප්‍රමාණවත් තරම් වැඩ ලැබෙනවා. මම භාරගන්නේ නැති උනාට මෙහෙම දෙයක්‌ තියෙනවා. ක්‍ෂේත්‍රයට ආපු අලුත්ම මිල අධික නිවාස වාහන හා අනිකුත් දේවල් සඳහා ගියොත් තමන්ට ලැබෙන මුදල නොසෑහෙන්න පුළුවන්. තමන්ට ඔරොත්තු දෙන මට්‌ටමේ ජීවන රටාවක්‌ හදාගත්තොත් මෙයින් ලැබෙන දේ හොඳටම ප්‍රමාණවත්. රජයේ සේවකයෙකු හෝ වෙනත් වෘත්තිකයෙක්‌a මසකට උපයන වැටුපට වඩා කිහිප ගුණයකින් වැඩි මුදලක්‌ අපේ කලාකරුවො උපයනවා.

පසුගිය කාලයේ ජයනිත් වෙනත් ව්‍යාපාර වලට යොමුවුණේ කලාවේ පවතින අස්‌ථාවරත්වය නිසා නොවෙයිද ?

පසුqගිය කාලයේ කලා ක්‌ෂේත්‍රය පැවතුණේ හරිම අපහැදිලි තැනක. හොඳ නිර්මාණ නොකෙරුණ තරම්. රඟපාන්න යමක්‌ නැති තැන්වල නිකන් පෙනී සිටින්න බැරි නිසා ඒ කාලෙ යමක්‌ කරන්න ඕනෑ කියන මමත් රූපලාවන්‍යාගාරයක්‌ අවන්හලක්‌ වැනි ව්‍යාපාරවලට යොමුවුණා. නමුත් අද වෙත්දි මට දැනිලා තියෙනවා මට ගැලපෙනම රැකියාව මෙය කියලා. ඒ නිසා මම ඒ දෙවල් අත්හැරල රංගනය සමග රැඳී ඉන්නවා.

සෞන්දර්ය උපාධිධාරිනිsයක්‌ විදිහට ජයනි උගත් දෙයින් යමක්‌ කරන්න උත්සාහ නොගන්නවද ?

මම නර්තන විෂය හැදෑරුවෙ මම ලද අධ්‍යාපනය යමක්‌ රස විඳිද්දි හා රංගන කාර්යයේදී මම උදව් කරගන්නවා. ඒ හැරුණම මම උගත් දෙය සමාජයට දෙන්න ඕන කියලා හිතුනොත් බොහොම ශාස්‌ත්‍රිය පදනමක පිහිටල මම එය කරයි. එහෙම නැතිව නටන්නන්වාලේ නටන්න නම් මම සූදානම් නැහැ.

ධම්මිකා සුරංජි පතිරණ

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.