ආදර හැන්දෑව
ගැහැනු ළමයිහි වසන්ති වගේ
ගැහැනු ළමයෙකුට මගේ හිත ඇදී ගියා...

දයාන් විතාරණ

සඳ ඇබින්දක්‌ වත් නැති මැදියම් රැයක හීන් හීතල සුළඟක දැවටිලා ඔයා එනවා තවමත් මගේ හිත ඇතුලට. තරුකැට දෙක තුනක්‌ විතරමයි ඒ වෙලාවට මගේ හිත ළගට එන්න පුළුවන් දුරක රැඳෙන්නේ. මේ හුදකලාව හරිම ගැඹුරුයි. ඔයා ළග නැති අඳුරු රාත්‍රියක්‌ වගෙයි මතකය ළඟට ආවහම ඇස්‌වලට තෙතක්‌ දැනෙන්නෙ බර සුසුම් ගිලිහෙන්නෙ හිත සැලි සැලි ඉකිලන්නෙ තනිකම නිසාමත් නෙවෙයි, ආදරය විඳගත්ත අතීතය සිහිවුණ නිසා. ප්‍රේමය පිළිබඳ ලියෑවුණ දහසක්‌ පදවැල්වලට ආදරය මුසුකළ අපේ කාලයේ සොඳුරු සේයා සිත්තරා දයාන් විතාරණ ආදර හැන්දෑවට ඇවිදගෙන ආවෙ තවත් අතකින් අල්ලගෙන නොවුණත් ආදරයෙන් හිත පුරවගෙන සැබෑ ලෙසම හිමිකරගන්න වරම් ලද ආදරයකට වඩා අන්සතු පෙම මොනතරම් සොඳුරුද? මට එහෙමත් හිතුණා. මන්ද දයාන් ආදර හැන්දෑවට ගෙනා පෙම් සිතුවමේ තිබුණ වර්ණ ඒ තරමටම මනරම් නිසා.

අමතක ද ප්‍රථම පෙම ?

නැහැ. හොදට මතකයි. එතකොට මම උසස්‌පෙළ පන්තියෙ හිටියේ. සුමිත්‍රා පීරිස්‌ මහත්මියගේ ගැහැණු ළමයි චිත්‍රපටය බලල එහි තිබුණ ප්‍රේමයෙන් හිත ආතුර වෙලා තිබුණ කාලයක්‌. ගැහැනු ළමයි චිත්‍රපටයේ වසන්තිගේ වගේ ලොකු ඇස්‌ තියෙන ගැහැනු ළමයෙක්‌ ගැන ආදර හිතක්‌ මටත් ඇතිවුණා. එයා අපේ පන්තියේම ගැහැණු ළමයෙක්‌. මමත් පෙරුම් පුරලා මගේ ආදරය එයාට දුන්නා. ඒ වෙත්දි මගේ හොඳම යාළුවත් එයාටම ආදරය ප්‍රකාශ කරලා. එයා ඒ ආදර ඇරයුමත් ප්‍රතික්‌ෂේප කරලා ඒ පසුබිම එක්‌ක ඇය මගේ ආදරයත් පිළිගන්න කැමැති වුණේ නැහැ.

දුකක්‌ දැනුණේ නැතිද ?

පාසල් සමය නිසා කල් පවතින දුකක්‌ තිබුණේ නැහැ. ඒත් එක්‌ටැම් ගේ චිත්‍රපටයේ උන්මාද සිතුවම් ගීතය මගේ හිතට තදින්ම දැනෙන්න ගත්තෙ ඔය ප්‍රේමය නිසා. අදටත් ඒ ගීතය ඇහෙද්දි හිත අතීතයට දුවගෙන යනවා.

ඊට පස්‌සෙ ආයෙමත් ආදර හීනයක පැටලෙන්න හිත බය වුණාද ?

එහෙම නැහැ. මගේ ජීවිතයේ පළමු ප්‍රේම සම්බන්ධය නන්දා මාලනී සංගීත අසපුවේදී ඇතිවුණා.

ඒ ආදරයත් වෙනතකට ගලාගියේ ඇයි ?

අපි දෙන්නම ආදරයෙන් හිටියා. ඒත් ඒ වෙත්දි ඇයට රැකවරණය දුන් මව අපේ ප්‍රේම සම්බන්ධයට කැමැති වුණේ නැහැ. එයා උඩරට මම පහත රට කෙනෙක්‌. ඒ වෙද්දි මම පොඩි රස්‌සාවක්‌ කළේ. ඒ දේවල් නිසා මම එයාව අයිති කරගන්න සුදුසු නෑ කියලා තීරණය කළා. ඉතින් අපි වෙන්වුණා.

වෙන්වුණත් ප්‍රථම ප්‍රේම සැමරුම් ඔබ ළග රැඳෙන්න ඇති නේද ?

ඔව්. එයා මට මුලින්ම දුන්නේ නීලා වික්‍රමසිංහගේ ගීත තිබෙන කැසට්‌ පටය. මම නිතරම එයාට එයාගෙ සේයාරූ අරන් තිළිණ කළා. ඇත්තටම ඒක හරිම සොඳුරු කාලයක්‌.

සොඳුරු කාලය අඳුරු වෙන්වීමකට ඉඟි කරද්දි ඔබ නොසැලී හිටියද ?

නැහැ. මගේ හිත ගොඩක්‌ රිදුණා. මම පානදුරේ අරියධම්ම ස්‌වාමින් වහන්සෙ මුණ ගැගෙන්න ගියා. උන් වහන්සේ හඳුනාගත්ත මම කිසියම් අහිමි වීමක්‌ නිසා හිත රිදවාගෙන නිසා ළඟට පැමිණි වග. උන්වහන්සේ පැවසුවෙ අද ඒ දේ අහිමිවීම නිසා දුකක්‌ දැනෙනවා නම් තවත් ඒ දේ තමන් ළඟ රැඳිලා ඒයට බැඳිලා කාලයක්‌ ගියත් ඔය අහිමිවීමේ වේදනාව අදටත් වඩා මතු දවසක විඳින්න වෙනවා. ඒ නිසා හිත හදාගන්න කියලා.

ඊට පස්‌සෙ තමන්ටම කියල ආදරයක්‌ අයිති කරගන්න හිතුවෙ නැතිද ?

හිතුනා ඒ වෙත්දි මම විවාහ විය යුතු වයසේ හිටියේ. මම ආයෙමත් පෙම්වතෙක්‌ වුණා. ඒත් ඒ ආදරයට මගේ අම්ම කැමැති වුණේ නැහැ. ඇයත් වෙනත් සරණක ගියා මට අදවගේ මතකයි. එයාගේ මංගල උත්සවයේ ජායාරූප ගනAන ඇය මට ඇරයුම් කළා. ඒ අවස්‌ථාවේ මම ඒක කරන්න බැහැ කිව්වා. මගේ ඇස්‌වල කඳුළක්‌ තිබුණා. ඒත් මම හිත හදාගෙන ඇය වෙනුවෙන් ඒ ඉල්ලීම ඉටුකළා.

අද දවසේ දයාන්ට ආදරය කියන්නෙ සුවඳ කඳුළු බිඳුවක්‌ද ?

කඳුළක්‌ නෑ දුකකුත් නැහැ. ඒ දේවල් හිමිවුණා නම් කියල තැවීමක්‌වත් අහිමිවීම ගැන විඳවීමක්‌වත් අද මට නැහැ. අද ළඟ රැඳෙන දේ හෙට තමන්ගෙන් ඈතට යන ලෝක සත්‍ය මම දැන් අවබෝධ කරගෙන ජීවත්වෙන්නේ. මට මේ අවුරුද්දට වයස අවුරුදු 55 ක්‌ වෙනවා. අහිමි වූ දේවල් ගැන නොතැවී ඉන්න පරිණත හිතකින් අද මම ජීවිතයට මුහුණ දෙනවා.

ධම්මිකා සුරංජි පතිරණ

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.