පෙබරවාරි විසිහය  කලූවර වෙයි

සූර්යයා චන්ද්‍රයාට අසුවෙයි
රටටම අසුබ කාලයක්‌


ලැබුවා වූ 2017 වසරේ දී සූර්යග්‍රහණ දෙකක්‌ සිදුවීමට නියමිත අතර එහි ප්‍රථම වලයාකාර සූර්යග්‍රහණය එළැඹෙන පෙබරවාරි මස 26 වැනි ඉරිදා රාත්‍රි 08.24 ට ග්‍රහණයේ මධ්‍ය අවස්‌ථාවේ සිදුවීමට නියමිතය. ඒ අනුව මෙම ග්‍රහණය සෙනසුරුට අයත් කුම්භ රාශියේ රාහුට අයත් සියාවස නැකතේ තෙවැනි පාදයේ සිදු වනු ඇත. සූර්යග්‍රහණයක්‌ යනු ඉතාම වැදගත් හා සුවිශේෂී වූ යම් පීඩාකාරී ග්‍රහ සිදුවීමකි. මෙම ග්‍රහණය ශනිට අයත් රාශියක්‌ තුළ සිදුවීම හේතුවෙන් යම් පමණක පීඩාකාරී විපත් තත්ත්ව බහුල වනු ඇත.

සූර්යග්‍රහණයක්‌ යනු චන්ද්‍රයා මගින් සූර්යයා සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් අවහිර කිරීමේ සංසිද්ධිය සරලව සූර්ය ග්‍රහණයක්‌ යනුවෙන් හඳුන්වයි. මෙලෙස අවහිර වීමට නම් අනිවාර්යයෙන්ම චන්ද්‍රයා, සූර්යයා හා පෘථිවිය හරි මැදට පැමිණිය යුතුය. ඒ අනුව සඳු මෙවැනි ආකාරයක පිහිටීමකට පැමිණෙන දින සාමාන්‍යයෙන් හඳුන්වන්නේ අමාවක දින ලෙසිනි. ඒ අනුව බොහෝ විට සූර්යග්‍රහණයක්‌ සිදු වන්නේ අමාවක දිනකදීය. නමුත් සෑම අමාවක දිනකදීම සූර්ය ග්‍රහණයක්‌ සිදු නොවේ.

මෙවැනි සූර්යග්‍රහණයක්‌ සිදු වීමට පෙර දින තුනක්‌ හා සිදුවූ පසු දින 3 ක කාලය තුළ කිසිදු සුබ වැඩකට යෝග්‍ය නොවනු ඇත. වලයාකාර සූර්ය ග්‍රහණය සිදුවීම හේතු කොටගෙන අප රට තුළ මෙන්ම ලෝකය ආශ්‍රිතවද ඵසේම පොදුවේ ඔබ අප සැමගේ ලග්න 12 ආශ්‍රිතවද සුවිශේෂී සුබද අසුබ ද උදාවනු ඇත. විශේෂයෙන් මෙම සූර්යග්‍රහණය රාජ්‍ය පාලනයේ නියුතු වූ හිටපු නායකයන්ට මෙන්ම බලවත් ස්‌ත්‍රීන්ට ද අපලදායක වනු ඇත. ඔවුන් දීර්ඝ කාලයක්‌ තබාගත් බලය බිඳ වැටෙනු ඇත. කරදර හා බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇත.

මෙම වලයාකාර සූර්යග්‍රහණය හේතු කොට ගෙන අප රටේ මෙන්ම මුළුමහත් පෘථිවි තලය පුරාම ඉතාම ප්‍රබල දේශගූණ හා කාලගූණ වෙනස්‌කම් ඇති විය හැකි අතර ලෝකය පුරාද අප රට ආශ්‍රිතවද, සාගරය ආශ්‍රිත කැළඹීම්, නියඟයන් මෙන්ම වියළි කාලගුණ තත්ත්වයන්ද විටින් විට දැකගත හැකිවනු ඇත. මෙම කාලය අධ්‍යාපනය හා තරුණ ප්‍රජාව අතර ප්‍රශ්න ඇති වන අතර දරුවන්ට අයහපත් වනු ඇත. මහා පරිමාණ හොරුන් ඇතුළු සියලුම නීති විරෝධී ක්‍රියා කරන්නන්ට නිසි දඬුවම් හිමි වන කාලයකි. පැවිදි උතුමන්ට හා ප්‍රභූන්ට සුබ දායක නැත. මත්ද්‍රව්‍ය හා ඒ ආශ්‍රිත ව්‍යාපාරවලට දැඩි දඬුවම් හිමිවන කාලයකි. රටේ ආර්ථිකය යම් පමණකට පසු බැසීමට ලක්‌වනු ඇත. මෙම කාලය මහජනතාවට එතරම් සහන නොලැබෙන කාලයකි. කෙසේ වෙතත් දේශගුණ හා කාලගුණ තත්ත්වයන් නිසා මහජනතාවට ක්‌ෂණික පීඩා ඇති වනු ඇත. රිය අනතුරු, මංකොල්ලකෑම්, ගිනි අනතුරු හා පීඩාකාරී සිදුවීම්, අපරාධ, ස්‌ත්‍රී දූෂණ මෙම කාලයේ වැඩි වීමට ඉඩ ඇත. විවිධාකාරයේ වසංගත රෝග පැතිරී යා හැකිය. එම හේතු නිසාවෙන් හදිසි අනතුරුවලින් මියයන ප්‍රමාණයේ වැඩිවීමක්‌ දක්‌නට ලැබේ. මෙම ඉහත වලයාකාර සූර්යග්‍රහණය මේ සඳහා මූලික වනු ඇත. කාන්තාවන්ට, කුඩා දරුවන්ට හා නිළියන්ට එතරම් සුබදායක නොවනු ඇත. රෙදිපිළි හා විසිතුරු භාණ්‌ඩ වෙළෙඳාමට බාධා හා කරදර එල්ල වන කාලයකි. ඩෙංගු හා බෝවන රෝග යළි හිස ඔසවයි. විදේශයක ප්‍රබල භූ කම්පනයක්‌ සිදු විය හැකි අතර ප්‍රබල ජල යාත්‍රා අනතුරක්‌ නිසාවෙන් මිනිස්‌ ජීවිත ප්‍රමාණයක්‌ අහිමි වනු ඇත. ලෝකයේ යම් යම් රටවල් ආශ්‍රිතව යුද්ධයේ පීඩාකාරී බව ඇතිවනු ඇත.

මෙම ග්‍රහණය හේතුවෙන් සෙනසුරු, බුධ, සිකුරු හා කුජ යන ග්‍රහයන් පීඩාවට ලක්‌වන අතර වලයාකාර සූර්යග්‍රහණය පෞද්ගලික ජන්ම පත්‍රයන්ට එතරම් බලනොපෑවද ඉහත ග්‍රහ පීඩා විඳීම් හේතුවෙන් මෙන්ම එම ග්‍රහ තත්ත්ව නිසා මේ තුළින් සිංහ, ධනු, මීන, තුලා, මකර, කුම්භ හා වෘෂභ යන ලග්නවලට එතරම් සුබදායක නොවන අතර අනෙක්‌ ලග්නවලට මධ්‍යම සුබඵල උදා කරනු ඇත. මෙම ග්‍රහණය හේතුවෙන් දැනට ධනුවේ සම රාශි ගතව ගමන් කරන සෙනසුරු පීඩාවට පත්වීම හේතුවෙන් තම ජන්ම පත තුළ ඒරාශ්ටක අපල ඇති අයට මෙම ග්‍රහණයේ අසුබ ප්‍රතිඵල වඩාත් උදා වනු ඇත.


වැඩි විස්‌තර සඳහා 0382293771 / 0772753100
ජ්‍යෙතිෂවේදී, බණ්‌ඩාරගම,
සම්පත් එස්‌ කල්පගේ "තසුනි" සෙත්කවි හා ජ්‍යෙතිෂ සේවය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.