කුකුල් නින්දකට නොව සැප නින්දකට මග මෙන්න

දවස පුරාවට බොහෝ වෙහෙස මහන්සිවී වැඩකරන ඔබ විවේකය ද ලබාගත යුතු බවට විවාදයක්‌ නැත. රාත්‍රියේ සෑහෙන පමණ කාලයක්‌ නින්දක්‌ නොලැබේ නම් පසුව කාර්යක්‌ෂම වැඩකිරීමට අපහසු වන්නේය. මේ නිසා බාධාවකින් තොරව සුවබර නින්දක්‌ ලබාගැනීම වඩා සාර්ථක ජීවිතයක්‌ ගත කිරීමට අත්‍යවශ්‍ය වේ.

ලොව බොහෝ කීර්තිමත් පුද්ගලයෝ සුවසේ නිදාගත්තෝ බව ද නොරහසකි. එංගලන්තයේ කීර්තිමත් අග්‍රාමාත්‍යවරයකු වූ වින්ස්‌ටන් චර්චිල් මෙන්ම හෙන්රි පෝඩ් වැනි ප්‍රකට පුද්ගලයෝ ද කොතරම් වැඩ තිබුණත් දවසේ වෙන්කරගත් වේලාවට නොවරදවාම නිදාගත් අය බව එම චරිත කතාවලින් පැහැදිලි වේ.

එමෙන්ම සෑම නිවාස සැලසුමකම නිදන කාමර ගැන විශේෂ සැලකිල්ලක්‌ දක්‌වයි. ප්‍රධාන නිදන කාමරය නිවසේ නිරිත, දිශාවේ තිබීම අවශ්‍ය බව වාස්‌තු නියමයකි. එසේ නොමැති නම් දකුණ, බටහිර යෝග්‍ය වේ. නිවාස සැලැස්‌මක්‌ ඇඳගන්නා විට විශේෂ අවධානය යොමුකළ යුතු කරුණක්‌ වන්නේ ප්‍රධාන නිදන කාමරය පිළිබඳවයි.

නින්ද කොතෙක්‌ අගනා වුව ද නින්ද නොයැම ද ප්‍රශ්නයකි. මේ නිසා ඔබේ නින්දට බාධා වන එමෙන්ම විවිධ සෞඛ්‍ය ගැටලු ඇතිකරවන නිදාගැනීම පිළිබඳව තවදුරටත් සාකච්ඡා කර ඇත. එයින් අද ඔබේ නිදන කාමරයේ පවතින ගැටලු විස¹ගැනීමටත් සුවබර නින්දක්‌ ලබාගැනීමටත් හේතුවනවා ඇත.

මීළඟට සැලකිය යුත්තේ ඔබ නිදාගන්නා විට හිස දමන දිශාවයි. කිසිවිටෙකත් උතුරට හිස දමා නිදාගැනීම නොකළ යුතු බවත් ඉතා අශුභ බවත් වාස්‌තු නියමයක්‌ බව සලකන්න. පෘථිවි ගෝලයේ උතුරු ධ්‍රැවය දෙසට හිස දැමීමෙන් ශාරීරික හා මානසික සෞඛ්‍ය හානිකරන බව නූතන විද්‍යාඥයෝ ද පිළිගනිති. නැගෙනහිරට හෝ දකුණට හිසලා සැතපීමෙන් සැප සම්පත් ඇතිකරන බව

"දක්‌ෂිනෙ සුඛ සම්පදඃ" යන ශ්ලෝක පාඨය අනුව කියෑවේ. උතුරට හා බටහිරට හිසලා නිදාගැනීමෙන් තම වංශයට හා දරුවන්ට රෝග පීඩා ඇතිවන බව ඉසිවර නියමයයි. විශේෂයෙන් ළමයින් නිදාගන්නා විට නැගෙනහිරට හිස දමා නිදාගැනීමෙන් ඥනය වර්ධනය වන බව කියෑවේ. උතුරට හිස දමා නිදාගැනීම නිසා හෘද රෝග, මොළයේ ස්‌නායු ආබාධ ඇතිවේ.

ඔබ නිදාගන්න විට පාද දැමිය යුත්තේ උතුරට හෝ බටහිරට වුව ද පූජා කාමරයට හෝ බුද්ධ ප්‍රතිමා, දේව ප්‍රතිමා වැන්නක්‌ දෙසට පාද දැමීම සුදුසු නොවේ. එමෙන්ම මවුපියන්, ගුරුවරුන් වැනි උතුමන් දෙසට පාද දමා නිදාගැනීම ද සුබ නැති බව සලකන්න. මේ පිළිබඳ වටිනා කතාවක්‌ ධර්මයේ සඳහන්ය. සැරියුත් - හිමියන්ට ධර්මාවබෝධය ලැබීමට එක සතර පද ගාථාවක්‌ ප්‍රමාණවත් විය. ඒ පැවිදිවීමට පෙරය.

"යේ ධම්මා හේතුප්පබවා" යන මෙම ගාථාව කියන ලද මහා කස්‌සප හිමියන් සිටින දිශාවට පාද දමා කිසිදිනෙක සැරියුත් හිමියන් සැතපුනේ නැත. ඒ ගුරු ගෞරවයයි.

මීට අමතරව ඔබ අවිවාහක තරුණියක්‌ නම් විවාහපේක්‌ෂිත නම් ද ඔබ නිදන කාමරයේ දොර දෙසට පාද දමා නිදාගැනීම අශුභ බව සලකන්න. එමෙන්ම ඔබේ නිදන කාමරය තුළ ඇති කණ්‌ණාඩියකින් නිදාසිටින අයුරු දැකීම ද සුබ නැත. අවිවාහක හෙවත් යුගදිවියක්‌ පතන අය මේ උපදෙස්‌ පිළිගැනීම මැනවි. දැනට ඔබ නිදාගන්නේ පාද දොර දෙසට දමා නම් වහාම ඔබේ ඇඳ වෙනස්‌ කිරීම සුදුසුය.

නිදන කාමරයේ ඇඳ තබන දිශාව ද වාස්‌තු විද්‍ය නියමයන්ට අනුකූල විය යුතුවේ. ඔබේ නිදන කාමරයේ නිරිත දිශාවේ ඇඳ තබා ගැනීම උචිතය. දකුණ, බටහිර දෙවැනිව ද සුදුසුය. ඊසාන දිශාවේ ඇඳ තැබීම ඉතා අශුභය. කාමරයේ ඊසාන දිශාව හිස්‌ව තැබීම මැනවි.

නිදන ඇඳ පිළිබඳව ද බොහෝ කරුණු වස්‌තු ශාස්‌ත්‍රයේ සඳහන් වේ. පුරාණ ඉසිවරුන් ප්‍රකාශ කර ඇති මෙම කරුණු අනුව පැරැණි නිවෙස්‌වල ගෘහ භාණ්‌ඩ නිපදවා ඇති බව පෙනේ. ඇඳක නැතහොත් සයනයක දිග, පළල හා උස ගත යුත්තේ මෙසේය. සයනයේ දිග දෙකට බෙදා ලැබෙන ප්‍රමාණයෙන් අටෙන් එකක්‌ අඩුකළ විට ලැබෙන ප්‍රමාණය පළල විය යුතුය. දිගෙන් තුනෙන් එකක්‌ ඇඳේ උස විය යුතුය. ඇඳක කකුල් සාදන විට ඊට භාවිත කරන දැවයේ අග මුල මාරු නොවිය යුතුය. එසේ අගමුල මාරු කරන ලද ඇඳ කකුල් ඇති විට නිදාගන්නා තැනැත්තාට ඇතිවන රෝගාබාධත් විස්‌තර කර තිබේ.

එමෙන් ඇඳක්‌ එකම ගසක දැවයෙන් කරන ලද නම් ධනවත් බව ද, ගස්‌ දෙකක නම් වඩා සුබ බව ද, තුනක නම් දරුසම්පත් වර්ධනය ද, හතරක නම් ධනය හා කීර්තිය ද, ගස්‌ පහක (5) දැවයෙන් කරන ලද සයනයක යමෙක්‌ නිදාගනී නම් මරණයට පැමිණෙන බව ද, ඊට වැඩි නම් පරපුරේ විනාශය ද සිදුවන බව කියා තිබේ. මේ අනුව ඇඳක්‌ සෑදීමට ගස්‌ හතරක දැව භාවිතය ඉතා සුබ බවත් ඊට වැඩිවීම ඉතා අසුබ බවත් දත යුතුවේ.

ඇඳක්‌ නිර්මාණයට සුබ හා අසුබ ලී වර්ග ද තිබේ. මේ අනුව ඇද්දෙමට, මොර, තිඹිරි, ඇට්‌ටේරිය, සඳුන්, බුරුත, කළුවර, සල්, මහරිය යන ලී ඉතා සුබය. අකුනු වැදුනු ගස්‌ වර්ග ද, බෝ, නා ආදී පූජනීය වෘක්‌ෂ ද, සොහොන් භූමි හා මහා මාර්ගවල ඇති වෘක්‌ෂ ද ඇඳ සෑදීමට සුදුසු නැති බව සලකන්න. මේ අතර යකඩ හෝ ලෝහයෙන් සාදන ලද ඇඳන් නිදාගැනීමට සුදුසු නොවේ.

ඔබ නිදාගන්නේ ඇඳක නොව බිම නම් ඉහත දිශා ආදිය ගැන සලකා බැලිය යුතුය. බිම නිදාගැනීම වරදක්‌ නොවේ, එහෙත් ඔබ නිදාගන්නේ තවත් කෙනකු නිදාගන්න ඇඳක්‌ අසලවීම සුදුසු නොවේ. ඇඳේ නිදාගන්න අයගේ ප්‍රාශ්වාස වාතය අපිරිසිදුය, බරය. එය ඇඳ මට්‌ටම සිට පහළට පැතිරෙන නිසා බිම නිදාගන්නා ඔබට එම අපිරිසිදු වාතය ආශ්වාස කරන්නට සිදුවේ. අපිරිසිදු වාතය සෞඛ්‍යයට හිතකර නොවේ. එසේ නැතිව කෘමි, සර්ප ආදී සතුන්ගෙන් ආරක්‌ෂාකාරීව බිම සැතපීම මැනවි. බිම නිදාගැනීම ස්‌වාභාවිකය. සතුන් ද බිම නිදාගනී.

මේ අතර ඔබ නිදාගන්න ඇඳට හරියටම කෙළින් සිටින සේ පහත මාලයක ඇඳක මවුපියන්, ගුරුවරුන් හෝ උසස්‌ අය නිදාගැනීම ද සුබ නොවේ. අපට පරීක්‌ෂා කරන්න ලැබුණු එක්‌ දෙමහල් නිවසක බිරිඳ හා සැමියා නිදාගන්නා ඇඳට හරියටම කෙළින් යටමාලයේ බුද්ධ ප්‍රතිමාව/ දේවරූප සහිත පූජා ස්‌ථානයක්‌ තිබුණි. මෙය වහාම වෙනස්‌ කරන ලෙස උපදෙස්‌ දුන්න ද සැලකිල්ලට ගත්තේ නැත. පසුව මේ නිවස විකුණා දැමීමට අයිතිකරුට සිදුවිය. අනතුරුව එය කඩාබිඳ දමා අලුත් ගොඩනැඟිල්ලක්‌ සාදා තිබේ.

ඔබ නිදාගන්නා ඇඳට හරියටම ඉහළින් හරස්‌ අතට බාල්ක, තලාන් ආදිය පිහිටීම ද සුබ නොවේ. ඔබේ සිරුර හරහා එවැනි තලාන් බාල්ක ආදිය තිබීම ද සෞඛ්‍ය ගැටලු ඇති කරයි. එය වෙනස්‌ කිරීමට පමා නොවන්න.

මේ අතර නිදාගන්නා තැනට යටින් ජල නළ, උල්පත්, ළිං, ටැංකි වැනි ජලය ගමන් කරන ස්‌ථාන තිබීම ද ඉතා අශුභය. පිළිකා වැනි බරපතළ රෝග ඇතිවීමට ද කොන්දේ අමාරු ආදියට ද එය බලපානු ඇත. සමහරවිට ඔබ නොදැනම මෙවැනි ජලධාරා භූ ගතව තිබිය හැකිය. ළිඳ ඇති විට ඊට ජල උල්පත් එන පැත්ත නිරීක්‌ෂණය කළ විට මෙය දැනගත හැක. ජල නළ ද, ඔබ යුගදිවියට පත්ව සිටින අතර බිරිඳ හෝ සැමියා අසලම නිදාගන්නේ නම් සැලකිය යුතු කරුණු බොහෝය. විවාහක යුවළක්‌ නිදාගත යුත්තේ සැමියාගේ වම් පැත්තේ බිරිඳ සිටින අයුරිනි. නැතහොත් බිරිඳගේ දකුණු අත පැත්තේ සැමියා සිටින අයුරිනි. බිරිඳ දකුණු ඇලයටත්, සැමියා වම් ඇලයටත් හැරී නිදාගැනීමෙන් අෙන්‍යාන්‍ය ආදරය වර්ධනය වේ. ලිංගික සබඳතා ශක්‌තිමත් වේ. මංගල පෝරුවේ නංවන විට මනාලයාගේ වම් පසින් මනාලිය සිටුවන්නේ මේ කරුණ මතය. විවාහක යුවළක්‌ නම් ඔබලාට මෙසේ නිදාගැනීම බොහෝ සුබඵල දෙනු ඇත. මීට ප්‍රතිවිරුද්ධව එනම් සැමියාගේ දකුණු පසින් බිරිඳ නිදාගන්නේ නම් යුගදිවිය ඉක්‌මනින් නිසරුවීමට ඉඩ තිබේ.

එමෙන්ම විවාහක යුවළක්‌ නිදන කමරයේ කණ්‌ණාඩි මේස තැබීම සුව නොවේ. නිදාගන්නා ආකාරය කණ්‌ණාඩියෙන් දැකීම යුග දිවියට හානිකර බව ෙµංෂුයි ශාස්‌ත්‍රය කියයි.

තව ද ඔබ නිදන ඇඳ යට පරණ සපත්තු, කුණු රොඩු තැබීම ද ඉතා අශුභය. ඇඳ යට පිරිසිදුව තබාගැනීම මැනවි. පවුල් අවුල් - අධික වියදම් - අඹු - සැමි භේද ඇතිවීමට ද මෙය හේතුවන බව සලකන්න.

වර්තමානයේ නවීන විද්‍යාවේ දියුණුවත් සමඟ දායාද වී ඇති විදුලි හා විද්Hqත් උපකරණ ද නින්දට මහත් බාධාවක්‌ හා අනපේක්‌ෂිත සෞඛ්‍ය ගැටලු ඇතිකරන බව කිව යුතුය. පෘථිවියේ ස්‌වභාවික භූ ආකර්ෂණ ශක්‌තිය හැර වෙනත් ශක්‌තීන් සිරුර වටා ක්‍රියාත්මක වීම නිසා භූමියේ ආකර්ෂණ ශක්‌තිය විකෘති වේ. මෙය සිදුවීමට නවීන උපකරණ බෙහෙවින්ම හේතුවී ඇත.

උෂ්ණාධික බව නිසා විදුලි පංකා ක්‍රියාත්මක කර නිදාගැනීමට බොහෝ දෙනා පුරුදු වී සිටී. එහෙත් විදුලි මෝටර් ක්‍රියාත්මක වන විට චුම්බක බලයක්‌ ද ඇති කරයි. මෙය ශරීරයට හිතකර නොවේ.

බොහෝ අයගේ ජංගම දුරකථනය ඇත්තේ ද නිදාගන්නා ඇඳ අසලමය. මෙම විද්යුත් තරංග ද, රූපවාහින, පරිගණක ආදී උපකරණවලින් නිකුත් වන තරංග ද ශරීරයට අහිතකරය. නින්ද සුවදායී වීම කෙරෙහි මෙම උපකරණ ද බාධා කරන බව සලකන්න. මානසික ආතතිය හා ව්‍යාකූලතා ඇතිකර ප්‍රධාන හේතුවක්‌ ලෙස ජංගම දුරකථනය සලකනු ලැබේ.

සුවපත් නින්දක්‌ ලැබීමට සිතුවිලි ද බොහෝ බාධා ඇති කරයි. තරහ, ක්‍රෝධ, වෛර සිතිවිලි හා රාගාධික සිතුවිලි ද අමිහිරි මතකයන් ද ඊට හේතු වේ. මෙයට ප්‍රත්‍යක්‌ෂ ඖෂධයක්‌ වන්නේ භාවනාවයි. මෛත්‍රි භාවනාව නිසා ආනිශංස එකොළහක්‌ ලැබෙන අතර එයින් තුනක්‌ම සුවපත් නින්දකට හේතුවෙයි. එනම් සුවසේ නින්දට යයි. (සුඛං සුපති) එමෙන්ම සුවසේ පිබිදේ. (සුඛං පටිබුඡ්ජති) මේ නිසා නින්දට යැමට පෙර ආගම සිහිකර සියලු සත්ත්වයෝ නිදුක්‌ වෙත්වා, සුවපත් වෙත්වා යෑයි මෙත් වඩන්න. මෙසේ විනාඩි කිහිපයක්‌ ගතකර නින්ද යන තුරුම සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා යනුවෙන් සිහිකරමින් නිදාගන්න. එය ප්‍රමාණවත්ය. මෛත්‍රී භාවනාවේ තවත් අනිශංසයක්‌ වන්නේ නපුරු සිහින නොපෙනීම (නපාපතං සුපිනං පස්‌සති) යන්නයි.

මේ අනුව ඔබට මෛත්‍රී භාවනාව ඉතා සුවපත් නින්දක්‌ ගෙනදෙනු ඇත. යහපත් නින්දකට බලපාන නිදන කාමරයේ දිශාව, ඇඳ තබන දිශාව, හිස දමන දිශාව, පාද දමන දිශාව, ඇඳ සාදන දැව වර්ග ඇඳ වටා නොතිබිය යුතු දේ මෙන්ම මෛත්‍රී භාවනාව ගැනත් කෙටියෙන් සාකච්ඡා කළෙමු. මෙම කරුණු ඔබට හා ඔබේ පවුලේ අයට ඉතා සුවදායක නින්දක්‌ ලබාගැනීමට ඉවහල් වේවායි අපි ප්‍රාර්ථනා කරමු.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.