කොහොඹා යක්‌ ශාන්ති කර්මයේ
පුද ලබන අඹරාපොති දෙවඟන

ශ්‍රී ලංකාවේ පැවැත එන පැරණිතම දේවාත්මයක්‌ ලෙස සැලකෙන අඹරාපොති දෙවඟන පිළිබඳව උඩරට කොහොඹා යක්‌ නර්තන සම්ප්‍රදායේ සඳහන් වන්නේ බින්තැන්න හා බැඳී පවතින වැදි යකුන් පිළිබඳව කියවෙන කවි ගායනාවලදීය.

"දියවක සඳ මෙන් බැඳි පට නළලේ
රන්සක මෙන් තැනු ඉඟ පුළුලුකු ලේ
වැදිරට ගම මැද වැඩ සිටි එක ලේ
දියවක අඹරාපොති එන ලී ලේ"

අඹරාපොති දෙවඟන වැදි රට හෙවත් බින්තැන්නේ ගම් මැද විසූ දේවතාවියක්‌ බව ඉහත සඳහන් පද්‍යයෙන් පැහැදිලි වේ. සිහින් වූ ඉඟකින් සහ රනින් නිම කරන ලද්දක්‌ වැනි වූ පුළුල් උකුල් තලයකින්ද යුතු වූ අඹරාපොතියගේ රන්පට බඳු නළල් තලය දියවක සඳ මෙනැයි කීමෙන් මැගේ ශරීර ශෝභාව කෙතෙක්‌ දැයි පැහැදිලි වේ.

බින්තැන්නේ වැදි ජනයා අතර පවතින දේව විශ්වාසයන් ඒ අවට වූ සිංහල ගම්මානවලද පැතිරී ඇති බවට කිරි අම්මා දෙවිවරු ඇදහීමෙන් පෙනේ. කිරි අම්මා දෙවිවරු ආදිවාසීන්ගේ මියගිය ඥතීන් ඇදහීමක්‌ යෑයි දේවපුරාණයේ කියවේ. කිරි අම්මාවරු අතර ඉදිගොල්ලේ කිරි අම්මා කුකුළාපොළ කිරි අම්මා, උනාපාන කිරි අම්මා, වෙල්ලස්‌සේ කිරි අම්මා යනුවෙන් කිරි අම්මාවරු සිsටිති. අඹරාපොති වැදි ජනතාව අතර පැවැත ආ කිරි අම්මා දේවතාවියක වන බව පහත සඳහන් යහන් කවි ගායනාවෙන්ද පැහැදිලි වේ.

එගොඩ ගෙදර දරු සුරතල් අම්මා
මෙගොඩ ගෙදර අඳුරුයි කිරි අම්මා
නෙතේ කඳුළු සළුවෙන් පිස දැම්මා
මටත් පුතෙක්‌ දෙනවද? කිරි අම්මා

පුතෙකුත් නැති අම්මාවරුන්ට පිරිමි දරු ඵල ලබා දීමට හැකියාවක්‌ ඇති දේවතාවියක්‌ ලෙස අඹරාපොති දේවතාවියට පුදපෙත් තැබූ බවද ඉහත පද්‍යයෙන් පැහැදිලි වේ.

සත් පත්තිනි දේව මෑණිවරුන් අතර, අඹරාපොති පත්තිනි යෑයිද කිය වේ. එනම් අඹපත්තිනි, හෙට්‌ටිපත්තිනි, නුග පත්තිනි, වදුරු පත්තිනි, සළඹ පත්තිනි, ගිනි පත්තිනි, අඹරාපොති පත්තිනි යනුවෙනි. පත්තිනි මෑණියන් ගිනි දලුවෙන්, මවිත අඹෙන් ඇතුළුව සත් වාරයක්‌ උපන්a බැවින් සත්පත්තිනි ලෙසද දොළොස්‌ වාරයක්‌ උපන් හෙයින් දොළොස්‌ පත්තිනි ලෙසද හැඳින් වේ.

අඹරාපොති, අඹපත්තිනි අතර සබඳතාවක්‌ පවතී. අඹරාපොති යනුවෙන් හඳුන්වනු ලබන දේවතාවිය අඹපත්තිනිය වන්නටද බොහෝ දුරට ඉඩකඩ පවතී.

"නමින් පසිඳු දඹදිව්තල පඬිරට රජ කළ නිරිඳුට
යොදුන් ගණන් අඹ උයනක්‌ විය එහි මැද සැදුණු යසට
ඇසින් බලා බැරි නිම වෙන රන්කඳ වෙයි රුකෙහි පාට
ගොසින් පතිනි එ අඹ ගසේ අඹයක පිළිසිඳ මොනවට

පත්තිනි පැතුමෙහි එන මල් යහන් කවි ගායනාවල එන මෙම පද්‍යයෙන් කියවෙන ආකාරයට පත්තිනිය කකුසඳ බුදුන් සමය උපන් කුමරියකි. "තිරිමා" නම් කුල කාන්තාවකගේ කුස උපන් මැය කකුසඳ බුදුන් සඳහා දනක්‌ පිරිනමනු දැක තුමූද දනක්‌ පිරිනමනු කැමැත්තෙන් කකුසඳ බුදුන්ට මහත් කඨීන චීවර පූජාවක්‌ සිදු කරයි. සිය යෙහෙළියන්ද කකුසඳ බුදුන් ප්‍රධාන මහා සංඝයා වහන්සේට දන් පිණිස මී අඹ ගෙන එයි.

එම මී අඹ තුළ තිබුණ කුණු වූ මී අඹ ගෙඩියක්‌ දුටු කුමරිය එම මී අඹ ගෙඩිය ගෙන පැළ කළාය. එම අඹ ගසෙහි සැදුන මී අඹ ගෙඩියක්‌ කකුසඳ බුදුන්ට පූජා කළ කුමරිය මී අඹයක ඉපදීමට පැතු බවත් පසු කලෙක එම පැතුම අනුව රජුගේ අඹ උයනක හටගත් අඹ ගෙඩියක උත්පත්තිය ලැබූ බවත් පැවැසේ.

අඹරාපොති දෙවඟන පිළිබඳව ජනප්‍රවාදයේ පැවතෙන තවත් පුවතකට අනුව මැය විසල්පුර රජ කෙනෙකුගේ බිසවකි. රජවාසල සිටි සෙන්පතියකු සමඟ ඇති කර ගන්නා ලද ප්‍රේම සබඳතාවක්‌ මුල් කරගෙන බිසොව සමඟ උරණ වූ රජතෙමේ ඇය ගංගාවක ගිල්වා මරණයට පත් කළ බවත් මරණින් මතු අඹරාපොති නමින් දේවත්වයට පත් වුණ බවත් පැවසේ.

සිංහල දේව පුරාණයේ සඳහන් වන ආකාරයට ඇය මරණයට පත් කොට ඇත්තේ කළු ගංගාවේ ගිල්වමිනි. විසල්පුර නම් විශාලා නුවරය. එහෙත් කළු ගංගාව ඇත්තේ ලංකාවේය. එය ගලා බසින්නේ සමනළ කන්දෙනි. මේ පුවතෙහි කිසියම් විකෘති ස්‌වභාවයක්‌ පවතී.

කන්ද උඩරට මහනුවරට නුදුරුව මහවැලි ගංගාව අසබඩ ගෝනාවත්ත නම් ප්‍රදේශයේ විසල්පුරය නමින් හැඳින් වූ ස්‌ථානයක්‌ වූ බවත් මෙම රජ බිසව ගිල්වා මැරුවේ මෙම ස්‌ථානයේ විය හැකි බවත් අනුමාන කෙරේ. මෙසේ ගඟේ ගිල්වා මරණයට පත් කළ රජ බිසව දේවත්වයට පත්ව මඩකලපුව බින්තැන්න හරහා මහනුවරට පැමිණ කන්ද උඩරට ජනතාවගේ පුද පූජාවන්ට පත් වුණ බව පැවැසේ.

මහනුවර යටිනුවර පෙදෙසේ බැතිමත්හු අඹරාපොති දේවිය වෙනුවෙන් දේවාලයක්‌ ඉදි කළ බවද පැවැසේ. ක්‍රි.ව. 1604-1636 රජ පැමිණි සෙනරත් රජුගේ පුත් දෙවැනි රාජසිංහ රජු විසින් ඉදි කළා යෑයි පැවැසෙන යටිනුවර දොඩන්වල දේවාලය අඹරාපොති දේවතාවිය වෙනුවෙන් ඉදිකරන ලද්දක්‌ බවද පැවැසේ. යටිනුවර පෑලව කන්දේ ඉදිකොට ඇති දෙවොල කන්ද උඩරට ජනතාව විසින් අඹරාපොති දේවියගේ පිහිට ලබා ගනු වස්‌ ඉදිකරන ලද්දකි. දෙවැනි රාජසිංහ රජු පෘතුගීසීන් හා බලන සටනට යැමට පෙර අඹරාපොති දේවාලයට භාරයක්‌ වූ බවද පැවැසේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.