කුවේටයේ ශ්‍රී ලාංකික හයකට මරණ දඬුවම

අජිත් අලහකෝන්

මරණ දඬුවම නියම වූ ශ්‍රී ලාංකිකයන් හය දෙනෙක්‌ කුවේටයේ මධ්‍යම බන්ධනාගාරයේ සිරගත කර ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති නන්දිපන් බාලසුබ්‍රමනියම් මහතා 'දිවයින'ට ප්‍රකාශ කළේය.

'දිවයින ඉරිදා සංග්‍රහය' සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්‌වෙමින් තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මරණ දඬුවමට ලක්‌වූ හය දෙනා මත්ද්‍රව්‍ය සහ මිනීමැරුම් චෝදනා යටතේ වරදකරුවන් වී ඇති බවය.

ඝාතනයට ලක්‌වූ පුද්ගලයන්ගේ ඥතීන් ලේ වන්දියක්‌ ලබා ගැනීමට කැමැත්ත ප්‍රකාශ කළොත් මරණ දඬුවමට නියම වූ අයට ජීවිතාන්තය දක්‌වා සිරදඬුවමක්‌ ලබාගත හැකි මුත් මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්‌වූවන්ට එවැනි සමාවක්‌ ලබාගත නොහැකි බව ද තානාපතිවරයා කීවේය.

මනුෂ්‍ය ඝාතනයක්‌ සම්බන්ධව මෑතකදී මරණ දඬුවම නියම වූ ලාංකිකයකු වෙනුවෙන් තානාපති කාර්යාලය විසින් මුදල් එකතු කර ලේ වන්දියක්‌ ලබාදී සමාව අයෑදීමේ ලියෑවිල්ලක්‌ ඉදිරිපත් කර ඇතැයි ද කී නන්දිපන් බාලසුබ්‍රමනියම් මහතා ඒ පිළිබඳ වැඩිදුර කටයුතු ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවට ලබාදී ඇතැයි ද කීය.

කුවේට්‌ රජය 2013 වසරේ සිට 2016 දක්‌වා කාලය තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටු වූවත් මෙම වසරේ සිට එය යළි ක්‍රියාත්මක වන බව ද ඒ අනුව පසුගියදා කුවේට්‌ රජ පවුලේ සාමාජිකයකු ඇතුළු හත්දෙනකුට මරණ දඬුවම ක්‍රියාත්මක කළ බව ද කුවේට්‌හි ශ්‍රී ලංකා තානාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.