සුජීව නිවුන්හැල්ල


ශ්‍රී ලංකාවට එරෙහි ඊළඟ ජිනීවා යෝජනා
ඉදිරිපත් කිරීම මහා බ්‍රිතාන්‍යයෙන්

එක්‌සත් ජාතීන්ගේ මානුෂික අයිතිවාසිකම් කවුන්සිලයේ ඊළඟ රැස්‌වීම පැවැත්වෙන්නේ පෙබරවාරි 27දා සිට මාර්තු 24 දා දක්‌වා ස්‌විට්‌සර්ලන්තයේ ජිනීවා නුවරදීය. මෙය ඔවුන් ගේ 34 වැනි සැසිවාරයයි.

මෙම සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳව සාකච්ඡාවට ගැනෙන්නේ මාර්තු 22 දාය. එහිදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා ඉදිරිපත් කිරීම භාරගෙන ඇත්තේ මහා බ්‍රිතාන්‍යයයි. ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට චෝදනා එල්ල වන්නේ මානුෂික අයිතිවාසිකම් සුරැකීම, වගකීම, වගවීම සහ සංහඳියාව හරිහැටි ඉටු වී නැතැයි යන මත ඔස්‌සේය.

එහිදී සංහිඳියාව ඇති කිරීම සඳහා මෙතෙක්‌ ශ්‍රී ලංකාව ගෙන ඇති පියවරයන් පිළිබඳව එක්‌සත් ජාතීන්ගේ මානුෂික අයිතිවාසිකම් කවුන්සිලයේ මහා කොමසාරිස්‌ සයීඩ් අල් හුසේන් ඉදිරිපත්කර ඇති වාර්තාවද මෙහිදී සාකච්ඡාවට භාජනය කෙරෙනු ඇත.

එම වාර්තාවෙහි ඔහු ශ්‍රී ලංකා රජය කෙරෙහි යම් ප්‍රසාදයක්‌ පළ කොට තිබීම ශ්‍රී ලංකාවට යම් කිසි වාසිසහගත තත්ත්වයක්‌ ඇති කිරීමට හේතුවේ යෑයි දේශපාලන විචාරකයන්ගේ මතයයි.

ශ්‍රී ලංකාව සපුරාලිය යුතු කරුණු ඉටුකර ගැනීම සඳහා කල් ඉල්ලා ගැනීමක්‌ හෝ යෝජනා සංශෝධනයක්‌ හෝ සිදුකර ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තාවේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.