යහපාලනෙන් අපිට මොනවද ලැබුණේ?



'නාස්‌තිය, දූෂණය නතර කළාලු. කෝ ඒත් අපිට ලැබුණ දෙයක්‌ නැහැනේ'. 'හාල් මිල අහස උසට ගිහින්. මෙහෙම අහේනියක්‌ කවදාවත් තිබුණේ නැහැනේ', 'මේ ආණ්‌ඩුවෙන් කියලා තඹ සතේක සංවර්ධනයක්‌ වෙලා නැහැ.'

මේ පසුගිය කාලය පුරා හඳ දෙස නොව, හඳ පෙන්වන ඇඟිල්ල දෙස බැලීමට පුරුදු පුහුණු කර සිටි ජනතාව යහපාලන ආණ්‌ඩුව ගැන කියනවා යෑයි කියන කතා කිහිපයකි.

ලංකාවේ ගොවි ජනතාව කෙරෙහි පවතින සුවිශේෂ බලය හේතුවෙන් ( මඩ සෝදා ගත් කල ගොවියා රජකමට පවා සුදුසුය - රොබට්‌ නොක්‌ස්‌) 'ගොවි පුතෙක්‌' වීම දේශපාලනමය වශයෙන්ද සුවිශේෂ සාධකයක්‌ වශයෙන් සැලකෙන ආකාරයක්‌ දැකිය හැකිය. වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද මෙම ගොවි උරුමය මහත් අභිමානයෙන් සිහිපත් කරන ආකාරයක්‌ බොහෝ විට දැකිය හැකිය.

පුලතිසි පුරයෙන් බිහි වූ ගොවි පුතෙකු වන ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රමුඛ අවධානයක්‌ වාරි සංවර්ධනය කෙරෙහි යොමු වන්නේ පසුගිය කාලය තුළ කුඩම්මාගේ සැලකිල්ලටත් අන්ත සැලකිල්ලකට ලක්‌ වූ රජරට ගොවියා ආර්ථික, සමාජ හා සංස්‌කෘතික වශයෙන් පමණක්‌ නොව සෞඛ්‍යමය වශයෙන් ද ඔසවා තැබිය හැක්‌කේ වාරි මාර්ග සංවර්ධනය මගින් පමණක්‌ බව අත්දැකීමෙන්ම වටහා ගෙන සිටි නිසාය.

තිරසර සංවර්ධනයක්‌

නියඟය, සහල් මිල ඉහළ යැම වැනි සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතය හා බැඳී පවතින ගැටලු වලින් මුළු මහත් සමාජයම මෝහනයට පත්ව සිටින අතරතුර ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට පමණක්‌ නොව හත්මුතු පරම්පරාවක අනාගතයට ද බලපාන සුවිශේෂ සිදුවීම් දෙකක්‌ පසුගිය සති කිහිපය තුළ වැඩි සද්ද බද්දයකින් තොරව සිදුවිය. ඉන් එකක්‌ වූයේ පසුගිය ජනවාරි 11 වැනි දින සිදුවූ 'මොරගහකන්ද ව්‍යාපෘතියේ' මංගල දියවර රැඳවුම් මංගල්‍යයයි. අනෙක ඊට මාසයකට පමණ පසු පෙබරවාරි 13 වැනි දා ආරම්භ වූ 'වයඹ පළාත් ඇළ ව්‍යාපෘතියයි.'

මෙම ව්‍යාපෘති ද්විත්වයම සමස්‌ත ශ්‍රී ලංකාවාසීන් කෙරෙහිම ප්‍රතිලාභ ලබා දෙන දැවැන්ත ව්‍යාපෘති දෙකක්‌ වනවා පමණක්‌ නොව ශ්‍රී ලංකා ඉතිහාසය තුළ සිදුවන දැවැන්තම වාරි සංවර්ධන ව්‍යාපෘති ද්විත්වය වශයෙන් ද සැලකිය හැකිය. එමෙන්ම මෙම ව්‍යාපෘති ද්විත්වයම තිරසර සංවර්ධන ඉලක්‌ක සපුරා ගැනීම සඳහා සියයට සියයක්‌ සැලසුම් සහගත වූ ව්‍යාපෘති වශයෙන් ද සැලකිය හැකි බව වාරි විශේෂඥයින්ගේ අදහසයි.

මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතිය

සැලකෙන්නේ ලංකාවේ වාරි කර්මාන්ත ඉතිහාසයේ දැවැන්තම ව්‍යාපෘතිය වශයෙනි. සංඛ්‍යා ලේඛන දක්‌වන ආකාරයට එය පරාක්‍රම සමුද්‍රය මෙන් හය ගුණයක්‌ විශාලවේ. සංඛ්‍යාත්මකව දැක්‌වුවහොත් මොරගහකන්ද කලුගඟ ජලාශයන්හි සම්පූර්ණ ධාරිතාව අක්‌කර අඩි 660,000 ක්‌ වන අතර යල මහ දෙකන්නය සඳහාම හෙක්‌ටයාර් 4 82,000 ක්‌ සඳහා ජලය සැපයිය හැකිය.

මෙම දැවැන්ත ව්‍යාපෘතිය හුදු පරිමාණයෙන් ඔබ්බට ගොස්‌ Rජු සහ වක්‍ර ආකාරයෙන් දැවැන්ත ආර්ථික ප්‍රතිලාභ ලබාදෙන සක්‍රිය ව්‍යාපෘතියක්‌ වශයෙන් ද සැලකිය හැකිය. මේ වන විට ඇස්‌තමේන්තු කර ඇති ආකාරයට මෙම ව්‍යාපෘති මගින් වගා තීව්‍රතාවයේ සාමාන්‍ය අගය සියයට 100 සිට සියයට 181 දක්‌වා ඉහළ නැංවීමට හැකි වෙතැයි අපේක්‌ෂා කරන අතර සමස්‌ත ව්‍යාපෘතිය මගින් කෘෂිකාර්මික අංශයේ වාර්ෂික ප්‍රතිලාභය රුපියල් මිලියන 4000 ක්‌ පමණ වෙතැයි ගණනය කර ඇත. සමස්‌ත ව්‍යාපෘතිය මගින් වාර්ෂිකව රුපියල් මිලියන 5000 කට අධික ප්‍රතිලාභ ලැබෙතැයි අපේක්‌ෂා කෙරේ.

මොරගහකන්ද - කලුගඟ ව්‍යාපෘතිය මගින් ලංකාවේ ප්‍රධානතම කෘෂිකාර්මික දිස්‌ත්‍රික්‌ක වන අනුරාධපුර, පොළොන්නරුව, මාතලේ, ත්‍රිකුණාමලය හා කුරුණෑගල යන දිස්‌ත්‍රික්‌ක පහේම ජනතාව Rජු ප්‍රතිලාභ ලබති. මෙය පසුගිය යුගයේ ක්‍රියාත්මක වූ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් දැකිය නොහැකි වූ තත්ත්වයකි. උදාහරණ වශයෙන් මහින්ද රාජපක්‌ෂ යුගයේ දියත් වූ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති වූ හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ, නෙළුම් කුලුන, නෙළුම් පොකුණ ආදි සංවර්ධන ව්‍යාපෘති අවම වශයෙන් ප්‍රදේශයේ ජනතාවට පවා ප්‍රතිලාභ ලබා නොදුන් ඌන ඵලදායී ව්‍යාපෘති බවට පත්විය.

වයඹ පළාත් ඇළ ව්‍යාපෘතිය

වර්තමානයේ පවතින වියළි කාලගුණය සමග පවා පැහැදිලි වන කරුණක්‌ වන්නේ විධිමත් හා තිරසර වාරි කළමනාකරණයකින් තොරව වියළි කලාපයේ වාරි මාර්ග පද්ධතියට අවශ්‍ය ජලය අවශ්‍ය පරිදි සම්පාදනය කිරීම අභියෝගාත්මක බවයි. විශේෂයෙන් කෙටි නියං තත්ත්වයක්‌ හමුවේ පවා මහා ජලාශ ප්‍රමුඛ වැව් පද්ධතිය උග්‍ර ජල හිඟයකට මුහුණ පෑම අද සාමාන්‍ය තත්ත්වයකි. මොරගහකන්ද - කලුගඟ ව්‍යාපෘතිය මගින් මෙම ගැටලුවට තිරසර විසඳුමක්‌ ලබාදීමට යන්නේ ලොකු කුඩා වැව් 1547 කට වාරි ජලය සැපයීමට පියවර ගැනීම සමගිනි.

මොරගහකන්ද - කලුගඟ ව්‍යාපෘතියට සමාගාමීව රුපියල් මිලියන 16,000 ක ආයෝජනයකින් 'මහවැලි ජල සුරක්‌ෂිතා ආයෝජන වැඩසටහන' යටතේ ක්‍රියාත්මක වන 'වයඹ පළාත් ඇළ' ව්‍යාපෘතිය ද සැලකිය හැක්‌කේ මෑත යුගයේ ලංකාව තුළ ක්‍රියාත්මක වන සුවිශේෂ වාරි ව්‍යාපෘතියක්‌ වශයෙනි.

මී ඔය ඉහළ ජලාධාර පෝෂක ප්‍රදේශයට හා හක්‌වටුණා ඔය ජලාශයට වාර්ෂිකව මහවැලි ජලය අක්‌කර අඩි 105,000 ක්‌ හරවා කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ උතුරු ප්‍රදේශයන්හි පිහිටි කුඩා වැව් 300 ක්‌ හා ප්‍රධාන වැව් 8 ක්‌ මහවැලි ජලයෙන් පෝෂණය කිරීම මෙහි ප්‍රධාන අරමුණක්‌ වන අතර ප්‍රදේශයේ දැනට පවතින වකුගඩු රෝගය සඳහා ද හේතුවන උග්‍ර පානීය ජල ගැටලුවට පිළියම් ලබාදීම ද ප්‍රමුඛ අරමුණක්‌ වශයෙන් සැලකේ.

සැඟවුණු සංවර්ධනය

ඉහත සඳහන් කළ මොරගහකන්ද - කලුගඟ සහ වයඹ පළාත් ඇළ ව්‍යාපෘති ද්විත්වය සැලකිය හැක්‌කේ ශ්‍රී ලංකාවේ වියළි කලාපීය ජනතාවගේ සමස්‌ත ජීවන පැවැත්ම ධනාත්මක පරිවර්තනයකට ලක්‌ කරන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති වශයෙනි. සංඛ්‍යාත්මකව ගත්විට මෙම ව්‍යාපෘති ද්විත්වය සඳහා පමණක්‌ සිදුවන ආයෝජනය රුපියල් මිලියන 49,872.6 කි. මෙම ව්‍යාපෘති හරහා යල මහ දෙකන්නයේම වාරි ජලය ලැබෙන වගා බිම් ප්‍රමාණය හෙක්‌ටයාර් 4 96,000 කි. වාරි ජලය ලැබෙන ලොකු කුඩා වැව් සංඛ්‍යාව 1547 කි. මේ සංවර්ධනයේ ප්‍රතිලාභ ලැබෙන්නේ රටේ හුදකලා එක්‌ දිස්‌ත්‍රික්‌කයකට හෝ ප්‍රදේශයකට නොව ලංකාවේ ප්‍රධාන කෘෂිකාර්මික දිස්‌ත්‍රික්‌ක 05 කටය.

එහෙත් ප්‍රශ්නය වන්නේ මෙම දැවැන්ත සංවර්ධනය කිසියම් හේතුවක්‌ නිසා ජනතාවගේ ඇස්‌ මානයෙන් වසංව පැවතීමය. නැතිනම් ජනතාවගෙන් වසං කිරීමය. මෙය සිදුවන්නේ කෙසේද? මේ ගැන අප ගැඹුරින් විමසා බැලිය යුතුය.

මෙම දැවැන්ත ඉදිකිරීම් අතර ප්‍රමුඛ ව්‍යාපෘතිය වන හම්බන්තොට වරාය අදටත් සුදු අලියෙකි, මත්තල ගුවන්තොටුපොළේ තත්ත්වය ද ඊට නොදෙවෙනිය. රන්මිණිතැන්න, නෙළුම් කුලුන වැනි ඊනියා ප්‍රදර්ශනකාමී ව්‍යාපෘති ද ප්‍රාදේශීය දේශපාලනඥයින්ට ඉල්ලුමක්‌ වූ ගම නැඟුම, මග නැඟුම සහ ඊනියා ගෙවතු වගා දස ලක්‌ෂය ගත්විට අපට පසුගිය දස වසර තුළ හමුවන්නේ ඌන ආර්ථික ප්‍රතිලාභ ලබා දෙන්නා වූ ද හුදු ප්‍රදර්ශනකාමී ඉදිකිරීම් රැසක්‌ මිස සමස්‌ත ජාතියකට තිරසර සංවර්ධන ප්‍රතිලාභ ලබා දෙන්නා වූ ඵලදායී සංවර්ධන ව්‍යාපෘති නොවේ. රජය වාර්තා කරන ආකාරයට පසුගිය ආණ්‌ඩුව සමයේ ඉදිකළ මෙම සංවර්ධන ව්‍යාපෘතිවල පළමු පොලී වාරිකය පවා ගෙවීමට සිදුව ඇත්තේ වත්මන් යහපාලන ආණ්‌ඩුවටය. ඒවා යළිත් සක්‍රීය කරමින් රටට බරක්‌ නොවන ඵලදායී සංවර්ධන ව්‍යාපෘති බවට පත් කිරීමේ අභියෝගය පැවරී ඇත්තේ වත්මන් ආණ්‌ඩුවටය.

මෙම දැවැන්ත සංවර්ධන කාර්යයන් ත්‍රිත්වයේදීම අප දුටුවේ හුදු ප්‍රදර්ශනකාමය ඉක්‌මවා ගිය තිරසර සංවර්ධන භාවිතය පිළිබඳ වුවමනාවකි. ජනතාවට, රටට ලැබෙන තිරසර ආර්ථික සහ සංවර්ධන ප්‍රතිලාභ ගැන මිස ප්‍රතිරූප සංවර්ධනය ගැන නොසිතන භාවිතයකි. මෛත්‍රිපාල සිරිසේන පාලනය තුළ සිදුවන තිරසර ඵලදායී සංවර්ධනයේ ආදර්ශය වන්නේ එයයි.

තුෂාල් විතානගේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.