කරුණා අම්මාන්ගේ නව දේශපාලන ප්‍රවේශය

චතුර පමුණුව

2004 මාර්තු 07 වැනි දින මඩකලපු චෙංකලාඩි මාර්ගය මහජන උද්ඝෝෂණයක්‌ නිසා අවහිර වී තිබිණි. වෙනදා මඩකලපුවේ දක්‌නට නොලැබෙන අන්දමේ උද්ඝෝෂණයක්‌ එදින පැවැත්වූ නිසා මේ ගැන බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබිණි. දෙදහසකට අධික පිරිසක්‌ එක්‌ව ප්‍රභාකරන්ට හා තමිල් සෙල්වම්ට විරෝධය පළ කරමින් පැවැත් වූ මෙම උද්ඝෝෂණයේදී හිටපු කොටි නායකයාගේ පඹයන් ද ගිනි තබා වනසන ලදී. ප්‍රභාකරන්ගේ පඹයන් පිළිස්‌සීමට ප්‍රථම මඩකලපු කාන්තාවෝ මේ පඹයාට සෙරෙප්පුවෙන් පහර දෙන ඡායාරූපයක්‌ මාර්තු 14 වැනිදා ඉරිදා දිවයින පුවත්පතේ මුල් පිටුවේ පළ වී තිබිණි. නැගෙනහිර ජනතාව තුළ තිබූ ප්‍රභාකරන් විරෝධය පුපුරා ගිය දිනයක්‌ ලෙස එය හැඳින්විය හැක. මඩකලපු දෙමළ ජනතාවට ප්‍රභාකරන්ට එරෙහිව වීදි බැසීමට ධෛර්යය ලැබුණේ එවක නැගෙනහිර කොටි නායක කරුණා අම්මාන් කොටි සංවිධානයෙන් වෙන්ව වෙනම බළකායක්‌ පිහිටුවීම නිසාය.

2004 මාර්තු 03 වැනිදා කරුණා අම්මාන් කොටි සංවිධානයෙන් වෙන්වීම මෙරට යුද දේශපාලන ඉතිහාසයේ ඉතා වැදගත් සිදුවීමක්‌ බව නොකියාම බැරිය. 2002 අප්‍රේල් 10 වැනිදා ප්‍රභාකරන්ගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චියේ පැවැති පුවත්පත් සාකච්ඡාවේදී කරුණා වාඩිවී සිටියේ වම්පසිනි. ප්‍රභාකරන්ගේ සුවච කීකරු ගෝලයා මේ සාකච්ඡාවෙන් වසර දෙකක්‌ ඉක්‌මවද්දී ප්‍රමුඛතම ෙද්‍රdaහියා බවට පත් විය. කරුණා එල්. ටී. ටී. ඊ. සංවිධානයෙන් කැඩී යැමට ප්‍රධාන හේතුව වූයේ කුල පීඩනය මෙන්ම ප්‍රාදේශීය බෙදීම බව පැහැදිලිය. මඩකලපු තරුණයන් කොටි සංවිධානය වෙනුවෙන් දිවි පිදුවද නිසි ගෞරවය නොලැබුණු බව කරුණා ප්‍රකාශ කර තිබේ. මඩකලපු දෙමළ ජාතිකයකුට ඊළාම් රාජ්‍යය පිහිටු වුවද ප්‍රමුඛතාව නොලැබෙන බව කරුණා අම්මාන් හොඳින් දැන සිටියේය. එම නිසා කරුණාගේ කැරැල්ලෙන් ප්‍රභාකරන්ගේ ඊළාම් සටනට මරු පහරක්‌ එල්ල විය. එය ඉතිහාසයට එක්‌වූයේ 2009 මැයි 19 වැනිදාය. එනම් ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේ ඝාතනය වූ දිනයේදීය.

2004 මාර්තු මාසයේදී එවක මඩකලපු දිසාපති තනතුරේ කටයුතු කළ ආර්. මොනගුරු සාමි මහතා කරුණාගේ අරගලයෙන් පසු උද්ගත වූ තත්ත්වය පිළිබඳ දිවයින පුවත්පත සමග මෙසේ අදහස්‌ දක්‌වා තිබිණි. "යුද්ධ කළා කියලා සාමාන්‍ය මිනිස්‌සුන්ට එල්. ටී. ටී.ඊ. යෙන් ලැබුණු දෙයක්‌ නැහැ. යාපනයේ ද්‍රවිඩ කියන්නේ පුදුම සංස්‌කෘතියත් ඔවුන්ට සිංහල මිනිස්‌සු නෙවෙයි මඩකලපු දෙමළ අයවත් පෙන්නන්න බැහැ. අඩු කුලේ මිනිහෙකුට යාපනේ කෝවිලකට හෝ යන්න බැහැ. එල්. ටී. ටී. ඊ. සංවිධානය ඇතුළෙත්a තියෙන්නේ මේ තත්ත්වයයි. ඒ නිසා වෙලා තියෙන්නේ වෙන්න තියෙන හොඳම දේ"යෑයි මොනගුරු සාමි ප්‍රකාශ කර තිබිණි. ඔහු එවක මඩකලපු දිසාපති ධුරය දැරූ එකම මඩකලපු ද්‍රවිඩ ජාතිකයා යි. වර්තමානයේ තත්ත්වය කෙසේ දැයි අප දන්නේ නැත. මේ 2004 කතාවකි.

මඩකලපු වැසියන්ගේ ආත්ම ගෞරවය රැක ගැනීම වෙනුවෙන් කැරලි ගැසූ කරුණා පසුකාලීනව මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා යටතේ ජාතික ඒකාබද්ධතා ඇමැති ධුරයට පත් විය. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ උප සභාපතිවරයකු ලෙසද පත්විය. එහෙත් ජනවාරි 08 වෙනසෙන් පසුව කරුණාද නිහඬ විය. එදා කොටි සංවිධානයෙන් වෙන්වී දකුණේ බලවේග හා එක්‌වූ කරුණාට හා පිල්ලෙයාන්ට යහපාලන ආණ්‌ඩුවෙන් උරුම වූයේ කුඩම්මාගේ සැලකිලි බව අමුතුවෙන් කිව යුතු නැත. ජෝශප් පරරාජසිංහම් ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් හිටපු නැගෙනහිර මහඇමැති පිල්ලෙයාන් වසරකට ආසන්න කාලයක්‌ තිස්‌සේ තවමත් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇත. කරුණාටද වාහන අවභාවිතාවක්‌ නිසා රිමාන්ඩ් බන්ධනාගාරගත වීමට සිදු විය. කොටි ත්‍රස්‌තවාදය පරාජය කිරීම වෙනුවෙන් කරුණාගෙන් සිදුවූ මෙහෙය අප අමතක කළ යුතු නැත.

කරුණා ගැන යළි සිහි කිරීමට අප පොලඹවන ලද්දේ ඔහු විසින් නව දේශපාලන පක්‍ෂයක්‌ ආරම්භ කිරීම නිසාය. උතුරු මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් මඩකලපුවට ගොස්‌ එළුඟතමිල් නොහොත් දෙමළුනි නැගිටිව් පෙළපාලි පවත්වන විට කරුණාට නිහඬව සිටීමට නොහැකි විය. ඒ නිසා ම ඔහු මේ කොටි හිතවාදී පෙළපාලිය පැවැත්වූ දිනට පසු දිනයේම එනම් 11 වැනිදා නව දේශපාලන පක්‍ෂය පිහිටුවීමේ කටයුත්ත සිදු කළේය. ෙµඩරල් වලිප්පුවක්‌ නැති රටේ ඒකීය භාවය පිළිගන්නා කරුණාගේ දේශපාලන ව්‍යාපාරයට අප ආශීර්වාද කළ යුතුය. නැත්නම් විග්නේශ්වරන්ගේ ජාතිවාදී විසකුරු සර්ප විෂට මඩකලපු ජනතාවත් බිලිවනු ඇත.

කරුණාගේ පක්‍ෂය දෙමළ එක්‌සත් නිදහස්‌ පෙරමුණයි. එය පිහිටුවනු ලැබුවේද කොළඹදී නොව මඩකලපුවේදීය. මඩකලපු ජනතාව වෙනුවෙන් නායකත්වය ලබා දියයුත්තේ වෙල්ලාල කුලයේ විග්නේශ්වරන් නොවන කිරාන්හි උපත ලැබූ කරුණාය. තම නව පක්‍ෂය පිහිටුවීම ගැන අදහස්‌ දක්‌වන කරුණා ප්‍රකාශ කර ඇත්තේ ජනපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කර දෙමළ ජනතාව වෙනුවෙන් යමක්‌ කිරීම තම අභිලාෂය බවයි. දෙමළ සන්ධානය ජාතිවාදය වැපිරීම හැර උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ සංවර්ධනය වෙනුවෙන් කිසිවක්‌ නොකරන බව කරුණා අම්මාන් කියයි.

ප්‍රභාකරන්ට බියෙන් පලා නොගිය කරුණා විග්නේශ්වරන්ට කිසිසේත්ම බිය නොවන බව පැහැදිලිය. වර්තමානයේ අවශ්‍ය වන්නේ කොටි ඩයස්‌පෝරාව අනුව පාද තබන උතුරු මහ ඇමැතිවරයා වැනි දෙමළ නායකයන් නොවේ. දෙමළ ජනයා නගාසිටුවීමට උනන්දු වන කරුණා වැනි මධ්‍යස්‌ථ නායකයන්ය. යළි යුද්ධයක්‌ ප්‍රාර්ථනා නොකරන විනයාගමූර්ති මුරලිදරන් මහතාට අවශ්‍ය මඩකලපු දෙමළ වැසියන් වෙනුවෙන් යමක්‌ කිරීමටය. යහපාලන ආණ්‌ඩුව සහජීවනය ගැන නිරන්තරව කතා කරති. එසේ නම් සිංහල විරෝධය වෙනුවෙන් පෙනී නොසිටින කරුණා වැනි දේශපාලන නායකයන්ට සහය ලබාදීමට යහපාලනය ක්‍රියා කළ යුතු නොවන්නේද? දෙමළ ජනයා දරිද්‍රතාවයෙන් මුදාගැනීම ඔවුන් කුල පීඩනයෙන් මුදාගැනීම වැනි කටයුතුවලට මූලිකත්වය ලබාදීම දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගැයීමට වඩා වැඩි වැදගත් උත්සාහයන්ය. දෙමළෙන් ජාතික ගීය ගයා සංහිඳියාව ඇති කිරීමට උත්සාහ කිරීම සැබවින්ම මුළාවකි. ආත්ම වංචාවකි.



 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.