ඔය කෑගහන සයිටම් විරෝධීන්
ගිය ආණ්‌ඩුව කාලේ කොහෙද හිටියේ...?

අමාත්‍ය, අග්‍රාමාත්‍ය විශේෂ නියෝජිත වජිර අබේවර්ධන අසයි

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සිසුන් බඳවා ගැනීම සහ ඉන් පිටවන වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය සම්බන්ධව මේ වනවිට රට තුළ පුළුල් කතිකාවක්‌ හටගෙන තිබේ. මේ පිළිබඳ රටේ වත්මන් තත්ත්වය සම්බන්ධව ස්‌වදේශ කටයුතු ඇමැති හා අග්‍රාමාත්‍ය විශේෂ නියෝජිත වජිර අබේවර්ධන මහතා සමග 'දිවයින ඉරිදා සංග්‍රහය' කළ සංවාදයකි මේ.

සාකච්ඡා කළේ - පියසේන දිසානායක

ප්‍රශ්නය - රාජ්‍ය ආයතනයක්‌ මගින් මෙතෙක්‌ ක්‍රියාත්මක නොකළ පුළුල් වැඩපිළිවෙළක්‌ "නිල මෙහෙවර" නමින් ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් රට පුරා ආරම්භ කර තිබෙනවා. මොකක්‌ද මේ නිල මෙහෙවර.

පිළිතුර - මේ රටේ සියලුම නිවෙස්‌වල තිබෙන ප්‍රශ්න විසඳන ලෙස ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මට භාර දුන්නා. ඒ අනුව එම වැඩපිළිවෙළ දැන් ආරම්භ කර තිබෙනවා. මේ වනවිට පොළොන්නරුව සහ ගාල්ල දිස්‌ත්‍රික්‌කවල වැඩකටයුතු බොහොමයක්‌ අවසන් කර තවත් නොවිසඳී ඇති ප්‍රශ්නවලට විසඳුම් සොයමින් සිටින බව කිව යුතුයි.

ප්‍රශ්නය - මේ නිල මෙහෙවරේ අරමුණ මොකක්‌ද?

පිළිතුර - වසර ගණනාවක සිට පරම්පරා ගණනාවක සිට ජනතාවගේ නොවිසඳුණු ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම නිල මෙහෙවර වැඩසටහනේ මූලික අරමුණයි.

ප්‍රශ්නය - මෙතෙක්‌ නොවිසඳුණා යෑයි හඳුනාගෙන ඇති ප්‍රශ්න මොනවාද?

පිළිතුර - නිල මෙහෙවර ආරම්භ කිරීමෙන් පසු නොවිසඳුණු ප්‍රශ්න රාශියක්‌ හඳුනා ගැනීමට අපිට හැකි වුණා. පුද්ගලයකුගේ උපතේ සිට මරණය දක්‌වා වූ මතුවන ගැටලුවලට විසඳුම් ලබාදීම මේ යටතේ සිදු වන බව සිහිපත් කළ යුතුයි.

ජාතික හැඳුනුම්පත් ලබාදීම, පොලිස්‌ වාර්තා, උප්පැන්න සහතික නිකුත් කිරීම, රියෑදුරු බලපත්‍ර ලබාදීම, දරු මල්ලන් සිටිය ද මෙතෙක්‌ නීත්‍යනුකූලව විවාහ නොවී සිටින අය විවාහ කර දීම, රැකියා ලබාදීම, ඇස්‌ කණ්‌ණාඩි, සෞඛ්‍ය සායන වැනි සේවා රැසක්‌ එකම තැනකදී එකම දිනකදී ශතයක්‌වත් නොගෙවා නිල මෙහෙවර තුළින් ජනතාවට ලබාගත හැකියි.

ප්‍රශ්නය - රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු ලෙස පැවැති අමාත්‍යාංශය දැන් කොටස්‌ දෙකකට කඩලා, ඔබට කුඩා කොටසක්‌ ලබාදී තිබෙනවා. එවැනි කුඩා අමාත්‍යාංශයකින් කොහොමද ඔබ පුළුල් සේවයක්‌ රටට ලබාදෙන්නේ.?

පිළිතුර - මේ අමාත්‍යාංශ දෙක එකට තිබුණු අවස්‌ථා මෙන්ම වෙන්ව තිබූ අවස්‌ථා, අතීතය දෙස බලන විට පැහැදිලි වන කරුණක්‌. නමුත් කුඩා අමාත්‍යාංශයක්‌, විශාල අමාත්‍යාංශයක්‌ කියන්නේ බොරු කතා. අමාත්‍යාංශ හතරක්‌ පහක්‌ එකතු කර එක්‌ ඇමැතිවරයකුට දුන්නත් වැඩක්‌ නැහැ. ඔහු වැඩ නොකරනවා නම්. මගේ අමාත්‍යාංශයේ වැඩ නිවාඩු දිනවල වැඩ කරලවත් අවසන් කර ගන්න බෑ.

ප්‍රශ්නය - යහපාලන රජය බලයට පැමිණ ස්‌ථාපිත කළ FCID ය වෙත පසුගිය කාලේ රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක්‌ කැඳෙව්වා. මෙය දැන් රජයටම පාරාවළල්ලක්‌ වෙලා. ඇතැම් නිලධාරීන් විෂය භාර ඇමැතිවරයා පවරන කටයුතු පවා මේ තත්ත්වය මත පැහැර හරිනවා නේද?

පිළිතුර - මගේ නිලධාරියෙක්‌ නම් මෙතෙක්‌ මා පැවරූ වැඩකටයුත්තක්‌ පැහැර හැර නැහැ. FCID ය ගැන නිසි අවබෝධයකින් යුක්‌තව අද රාජ්‍ය සේවකයන් කටයුතු කරනවා.

Fක්‍ෂD යට රාජ්‍ය සේවකයන් බිය විය යුතු නැහැ. තමන් අවංකව රාජකාරිය කරනවා නම් තමන් කරන ක්‍රියාවලිය අවංක නම් තමන් සොරකම් නොකරනවා නම් කිසිම ප්‍රශ්නයක්‌ ඇති වන්නේ නැහැ.

ප්‍රශ්නය - පසුගියදා හඳුන්වා දුන්න තොරතුරු දැනගැනීමේ පනත මගින් රාජ්‍ය සේවයේ තොරතුරු ජනතාවට ලබා ගත හැකි බව රජය ප්‍රකාශ කරනවා. නමුත් දැනට ක්‍රියාත්මක ආයතන සංග්‍රහයට අනුව රාජ්‍ය සේවකයන්ට එලෙස තොරතුරු ලබාදීමේ හැකියාවක්‌ නැහැ නේද?

පිළිතුර - තොරතුරු දැන ගැනීමේ ක්‍රියාවලිය දියුණු සමාජවල තිබෙන දෙයක්‌. අපි ඒ දියුණු සමාජයට යමින් සිටින සමාජයක්‌. මේ පිළිබඳව තිබෙන දැනුම පළපුරුද්ද අනුව තමයි පුද්ගලයන්ගේ වටිනාකම හා නොවටිනාකම ඇති වෙන්නේ. ඒ නිසා තොරතුරු දැනගැනීමේ පනත ඉතාම වැදගත්. ඉතාම හොඳ එකක්‌. එය පාවිච්චි කරන කණ්‌ඩායම් රටට ගැලපෙන පුරවැසියන් බවට ක්‍රම ක්‍රමයෙන් පරිවර්තනය වේවි.

ප්‍රශ්නය - තොරතුරු ලබාදීමට රාජ්‍ය නිලධාරීන් තුළ ඇති බිය නැති කිරීමට ආයතන සංග්‍රහය සංශෝධනය කරන්න බලාපොරොත්තුවක්‌ නැද්ද?

පිළිතුර - තොරතුරු දැන ගැනීමේ පනත හඳුන්වාදී තිබෙන්නේ පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමෙන් පසුවයි. එමෙන්ම ආයතන සංග්‍රහය සකස්‌ කර ඇත්තේත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුකූලවයි. ආයතන සංග්‍රහයේ ඇතැම් වගන්ති කිහිපයක්‌ හැර අනෙක්‌ වගන්ති මේ සඳහා එපමණ බලපෑමක්‌ වෙන්නේ නැහැ. ඒ නිසා ලබාදෙන සහ ලබා නොදෙන තොරතුරු කුමක්‌ද කියා පනතෙම සඳහන් වෙනවා. ඒ නිසා තොරතුරු ලබාදීමේදී රාජ්‍ය නිලධාරීන් ආයතන සංග්‍රහය ප්‍රශ්නයක්‌ කර ගත යුතු නැහැ.

ප්‍රශ්නය - යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව රට බෙදෙන ලියවිල්ලක්‌ ලෙස මේ වන විට සමාජ ගත කර තිබෙනවා එවැනි රට බෙදන ලියවිල්ලක්‌ රටේ ව්‍යවස්‌ථාවක්‌ ලෙස ක්‍රියාවට නංවන්නේ කොහොමද?

පිළිතුර - නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා තවමත් සැකසෙමින් පවතිනවා. එහි එක පරිච්ඡේදයකටවත් තාම අනුමැතිය ලබාගෙන නැහැ. මෙවැනි පසුබිමක කඩාකප්පල්කාරීන්, ජාතිවාදීන් ඔවුන්ගේ පටු බංකොළොත් දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා ව්‍යවස්‌ථාව විවිධ අර්ථකථනයන්ට ලක්‌ කරනවා. ඉතිහාසය පුරාවට මෙවැනි අය සිටියා.

ප්‍රශ්නය - නමුත් පසුගියදා සභා නායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ නව ව්‍යවස්‌ථාව ජනමත විචාරණයකින් සම්මත කර ගැනීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය එකඟ වී ඇති බවයි. නමුත් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර කියන්නේ එවැනි එකඟතාවක්‌ නැති බවයි. මෙයින් පෙනෙන්නට තිබෙන්නේ ආණ්‌ඩුව එකී ව්‍යවස්‌ථාව සම්බන්ධව එක මතයක නැති බව නේද?

පිළිතුර - ඒක ඒ අයගෙන් අහන්න ඕන. මේ ආණ්‌ඩුව තනි මතයට වැඩ කරන්නේ නෑ. මෙතෙක්‌ ගත් සෑම පියවරක්‌ම ගෙන තිබෙන්නේ දෙපාර්ශ්වයේ එකඟත්වය මතයි.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සැකසීSමට අදාළ තොරතුරු තවම මහජනතාවගෙන් ලබාගනිමින් සිටින, අවස්‌ථාවකයි අපි සිටින්නේ. මෙතෙක්‌ ගොනු කර ගත් තොරතුරුවලට අනුව නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ලියවිලි හයක්‌ පමණ මේ වන විට සූදානම් කර තිබෙනවා. එහි අනු ලියවිල්ලකුත් දැන් සකස්‌ වෙමින් තිබෙන බව කිව යුතුයි. ලියවිල්ලක්‌ සකස්‌ කරමින් සිටින අවස්‌ථාවක අපිට කියන්න බැහැ ඒක සම්මත කර ගන්නේ කොහොමද කියා. ව්‍යවස්‌ථාවේ වැඩකටයුතු අවසන් වුණායින් පසු ඒ ගැන තීන්දුවක්‌ ගත හැකියි.

ප්‍රශ්නය - නමුත් රටක ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්මත කර ගැනීමේදී ජනතාවගේ මතය උරගා බැලිය යුතුයි නේද?

පිළිතුර - ඔව් ඇත්ත එය ජනමත විචාරණයකින් කරනවාද එහෙමත් නැතිනම් ජනමත විචාරණයකින් තොරව සම්මත කරගන්නවාද?. නැතිනම් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාවක්‌ ලෙස පාර්ලිමේන්තුවෙන් පිටත සම්මත කරනවාද කියා තීරණය පසුව ගත හැකියි. එයට කවුරුවත් දැන්ම කලබල විය යුතු නැහැ.

ප්‍රශ්නය - නමුත් ආණ්‌ඩුව නියෝජනය කරන ශ්‍රී ලනිපයේ ඇතැම් මැති ඇමැතිවරු අද ප්‍රකාශ කරන්නේ නව ව්‍යවස්‌ථාව හරහා පළාත් සභා බලතල සීමා කරනවා නම් එයට එකඟ නොවන බව නේද? ඇත්තටම මේ ව්‍යවස්‌ථාවෙන් පළාත් සභා සතු බලතල අඩු කිරීමේ සැලසුමක්‌ තිබෙනවාද?

පිළිතුර - ඒවා එක එක්‌කෙනාගේ සිහින තර්ක පමණයි. ඒවා එතරම් ගණන් ගත යුතු නැහැ.

ප්‍රශ්නය - මේ මොහොත වන විට රට පුරා පවතින සහල් හිඟය නිසා ජනතාව පීඩාවට පත්ව සිටිනවා. මිල පාලනයක්‌ පැනවීමට රජය කටයුතු කළත් ඒ මිල ගණන්වලට වෙළෙඳපොළේ සහල් නැහැ. මෙවැනි දෙයක්‌වත් රජයට කරගන්න බැරි ඇයි?

පිළිතුර - පසුගිය කාලය තුළ මේ රටේ තදබල නියඟයක්‌ පැවතුණා. තදබල දේශගුණික විපර්යාසයත්a සමග ඇතිවූ මේ තත්ත්වය හමුවේ රටේ සහල් හිඟයක්‌ ඇති වුණා.

කෙසේ වෙතත් ඇති වී තිබෙන මේ තත්ත්වය පාලනය කිරීම සඳහා රජය මේ වන විට විවිධ පියවර ගෙන තිබෙනවා.

ප්‍රශ්නය - ඔබ නිදහස දී තිබෙන බව ප්‍රකාශ කරනවා. ඒ තුළින් ඔබ අදහස්‌ කළේ මොකක්‌ද?

පිළිතුර - මර බිය නැති රටක්‌ අද තිබෙන්නේ. ඕනෑම කෙනකුට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ නිදහසේ ක්‍රියාකළ හැකි රටක්‌ කීවොත්, කවුරුවත් පැහැරගෙන යැම්, ඝාතනය කර දැමීම් අද සිදු වන්නේ නැහැ. මාධ්‍යවේදීන් පැහැරගෙන යන්නේ නැහැ. ඔබලාට නිදහසේ පෑන හැසිරවිය හැකි පරිසරයක්‌ අපි නිර්මාණය කරදී තිබෙනවා.

ප්‍රශ්නය - දිනකට කොළඹ නගරයේ උද්ඝෝෂණ 4 - 5 පවත්වනවා. උපවාස දියත් කරනවා. ඔබ ඔය කියන නිදහසේ උච්චතම ප්‍රතිඵලය එයද?

පිළිතුර - ඔව්. ඉතින් අද මරබිය නැහැනේ. ඕනෑම කෙනකුට උද්ඝෝෂණ කරන්න කෑගහන්න පුළුවන්. ඒ ගැන එච්චර කලබල වෙන්න එපා. මොකද පසුගිය කාලේ කාටවත් මේවා කරන්න පරිසරයක්‌ තිබුණේ නැහැ. අද ඒ පීඩනය පිට කරනවා. ඒ අය හිතනවා එහෙම තමා එය කරන්න ඕන කියලා. තව ටික කලක්‌ ගත වන විට පේළියට සිට උද්ඝෝෂණය කර යුතු යෑයි ඒ අයටම අවබෝධ වේවි.

ප්‍රශ්නය - ඔබ ඔය කියන්නේ උද්ඝෝෂණ පාලනය කරන්න හෝ මර්දනය කරන්න වැඩපිළිවෙළක්‌ එන බවද?

පිළිතුර - අපෝ නෑ.

ප්‍රශ්නය - ජනතාව උද්ඝෝෂණය කරන්නේ තම නිවෙස්‌වලට හෝ සේවා ස්‌ථානවලට වී සිටීමට නොහැකි කමකට නොවෙයි. ඒ සඳහා සාධාරණ හේතු තිබෙනවා. ඒ ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වී ඇති බව නේද මේ උද්ඝෝෂණවලින් පෙනෙන්නට තිබෙන්නේ.

පිළිතුර - රජයේ අරමුණ වී තිබෙන්නේ රටේ ජනතාවට උපරිම සේවයක්‌ ඉටු කර රට සංවර්ධනය කරා ගෙන ගොස්‌ අනාගත පරපුරට යහපත් රටක්‌ නිර්මාණය කර දීමයි. අද අපේ රජය ඒ මාවතේ ගමන් කරනවා. ඒ ගමන නිම වන තෙක්‌ ඉවසා දරා සිටිය නොහැකි බලවේග විවිධ ක්‍රියාමාර්ග ඔස්‌සේ තමන්ගේ මාවත සකසා ගන්න උත්සාහ ගන්නවා ඒකයි ඇත්ත.

ප්‍රශ්නය - මතුව ඇති තත්ත්වයට විසඳුම් නොදී බලා සිටීමෙන් තව විසඳුම් තවත් උද්ඝෝෂණ හා වෘත්තීය ක්‍රියා වර්ධනය වෙනවා. ඇත්තටම මෙය නගරයට පැමිණෙන මහජනතාවට මෙන්ම රටේ සංවර්ධනයට බාධාවක්‌ නේද?

පිළිතුර - මේ උද්ඝෝෂණ රටේ සංවර්ධනයට බරපතළ බාධාවක්‌ යෑයි මම පිළිගන්නවා. ඒ වගේම මෙය මහජනතාවට හිරිහැරයක්‌ මේ උද්ඝෝෂණ සීමා කර හෝ පාලනය කර රට දියුණුව කරා ගෙන යා හැකියි. නමුත් අපි අදටත් සිදු කරන්නේ අසීමිත නිදහසක්‌ ලබාදෙමින් රට දියුණු කිරීමයි. ප්‍රජාතන්ත්‍රවාදයේ ඉහළම අංගය තමයි මේ රජය අනුගමනය කරන්නේ.

ප්‍රශ්නය - රටේ ආර්ථිකය. නීතිය වැනි අංග පාලනය වන්නේ එක්‌සත් ජාතික පක්‍ෂය යටතේ එක්‌ පුද්ගලයකුගේ හැසිරවීම මත බව යහපාලන ආණ්‌aඩුවේ ඇතැම් ශ්‍රී ලනිප මැති ඇමැතිවරු ප්‍රකාශ කරනවා නේද?

පිළිතුර - ඔව්. මේක සම්මුතිවාදී ආණ්‌ඩුවක්‌. මේ ආණ්‌ඩුවේ කෙනකුට එහෙම හිතෙන්න පුළුවන්. තව කෙනකුට තවත් විදියට හිතන්න පුළුවන්. ඒ ඔවුන්ගේ දැනුම් මට්‌ටම අනුවයි සිදුවන්නේ.

නමුත් අපි වැඩ කරන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නායකයා හැටියට ජනාධිපතිතුමාගේ අදහස්‌වලට සවන්දීලා. එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිතුමා සමග කරන සම්බන්ධීකරණය තුළ එන එකඟතාවය මත ගොඩනැඟී ඇති රටාවට අනුවයි අපි වැඩ කරන්නේ. ඒ රටාව අදටත් ඉතාම ශක්‌තිමත්ව තිබෙනවා. මේ ක්‍රමවේදය යම් යම් අයට එක එක විදියට පෙනෙන්නට පුළුවන්. නමුත් නිසි අවබෝධයකින් අපි මේ ගමන යනවා.

ප්‍රශ්නය - ඔය රටාව ගැන අවබෝධයක්‌ නැති අයත් ආණ්‌ඩුවේ සිටිනවාද?

පිළිතුර - ඒක මම දන්නේ නැහැ. ඔවුන්ගේ ක්‍රියාවෙන් හැසිරීමෙන් එය අවබෝධ කරගත හැකියි.

ප්‍රශ්නය - මාලබේ වෛද්‍ය විද්‍යාලය (සයිටම්) ප්‍රශ්නය මේ වනවිට රටේ ප්‍රධාන අර්බුදයක්‌ බවට පත්ව තිබෙනවා. මෙවැනි වෛද්‍ය විද්‍යාල මගින් රටට යහපතක්‌ සිදුවෙයි කියා ඔබ පිළිගන්නවාද?

පිළිතුර - ඔය ප්‍රශ්නයට කෙටි උත්තර දෙන්න මට බැහැ. මේ ගැන කතා කරනවා නම් පත්තරේ පිටුවක්‌ මට වෙනම ඕන.

නමුත් මට එකක්‌ කියන්න පුළුවන්. 2011 සිට 2016 වනතෙක්‌ අද මේ කෑගහන, පෙළපාලි යන, වර්ජනය කරන සයිටම් විරෝධීන් කොහේද සිටියේ? එදා සිට මේ ආයතනය තිබුණානේ. ඒ ආයතනය ගොඩනැඟුණේ. අද කෑගසන වීරයන් එදා නිහඬව සිටියා.

අපේ රටේ පශ්චාත් උපාධියක්‌ ලබාගන්න තිබෙන්නේ පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනය පමණයි. එය කළමනාකරණයට අදාළව සෙසු ක්‍ෂේත්‍රයන්ට අදාළ පශ්චාත් අධ්‍යයන කටයුතුවලට ඔස්‌ටේ්‍රලියාව, ඉන්දියාව, එංගලන්තය , ඇමරිකාට වැනි රටවලට යා යුතුයි. ඒ රටවල විශ්වවිද්‍යාල සමග සම්බන්ධ වී මෙහෙ විශ්වවිද්‍යාලයක්‌ ආරම්භ කළොත් එහි ප්‍රමිතිය අඩු වන්නේ කොහොමද කියන එක ගැන නම් මට අවබෝධයක්‌ නැහැ.

එදා මේ රටේ නවලෝක රෝහල ආරම්භ කරන විට රාජ්‍ය අංශය විරුද්ධ වුණා. අද රාජ්‍ය අංශයේ වෛද්‍යවරු ඒ පෞද්ගලික රෝහල්වලට ගොස්‌ ආදායම සොයාගන්නවා.

ප්‍රශ්නය - රටේ වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය පිළිබඳව තීන්දු ගන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවයි. නමුත් අද මාලබේ වෛද්‍ය විද්‍යාලයෙන් පිටවූ වෛද්‍යවරුන්ගේ කිසිදු ගුණාත්මක බවක්‌ නැති බව තමා වෛද්‍ය සභාව කියා සිටින්නේ. එහෙම නම් මෙවැනි ආයතනවලින් පිටවන වෛද්‍යවරුන්ගෙන් මතු අනාගතයේ හානිකර ප්‍රතිඵල රටට ලැබිය හැකි යෑයි ඔබ විශ්වාස කරන්නේ නැද්ද.

පිළිතුර - රටක කිසිදු සභාවක්‌ තීන්දු තීරණ ගන්න යන්න හොඳ නැහැ. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අනුව රටේ ප්‍රතිපත්ති තීරකයා වන්නේ පාර්ලිමේන්තුවයි. එහිදී රටේ සෑම සභාවකම නිර්දේශ ඔවුන් ඉදිරිපත් කරන ප්‍රමිතීන් ගැන සැලකිල්ලක්‌ දැක්‌වීම පාර්ලිමේන්තුවේ යුතුකමක්‌.

ප්‍රශ්නය - නමුත් ඉතිහාසයේ සිටම වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය හා තීරණයන් පිළිබඳ තීන්දු ගන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නේද?

පිළිතුර - නැහැ. කාටවත් එහෙම සුපිරි බලයක්‌ තිබෙන්න විදිහක්‌ නැහැ. සුපිරි බලය තිබෙන්නේ මේ රටේ පරමාධිපත්‍යයට පමණයි.

ප්‍රශ්නය - අද චෝදනා කරන්නේ මාලබේ වෛද්‍ය විද්‍යාලයෙන් පිටවන වෛද්‍යවරයාට ප්‍රමිතියක්‌ නැති බවයි. ඇත්තටම එවැනි ප්‍රමිතියක්‌ අවශ්‍ය නොවන බව ද ඔබ කියන්නේ?

පිළිතුර - මාලබේ වෛද්‍ය විද්‍යාලයට පමණක්‌ නොවෙයි හැම තැනකම ප්‍රමිතියක්‌ තිබිය යුතුයි. හැම භාණ්‌ඩයකටම ප්‍රමිතියක්‌ තිබීම අවශ්‍යයි. භාණ්‌ඩවල ප්‍රමිතිය තීරණය කරන්නේ ප්‍රමිති ආයතනය. ඒ වගේ අපේ රටේ හැම අංශයකටම ප්‍රමිතියක්‌ තිබිය යුතුයි. එහෙම නැතුව වෛද්‍ය ක්‍ෂේත්‍රයට පමණක්‌ නෙවෙයි. වෛද්‍ය අංශයට පමණක්‌ සුපිරි ප්‍රමිතියක්‌ නැහැ. මේ කාටත් වැරදෙනවා. මේ කවුරුත් මිනිස්‌සු. ඉංජිනේරුවරු පාලම් ගැහුවාට ඇතැම් විට ඒවා කඩා වැටෙනවා. වෛද්‍යවරු බලන ඇතැම් රෝගීන් මිය යනවා. මිනුම්දොaරුවරු සිදුකරන ඇතැම් මිනුම් වැරදෙනවා. සැබවින්ම එලෙස විය හැකි මෙවැනි පසුබිමක මේ එකක්‌ දෙකක්‌ අල්ලගෙන කෑ ගැසීම රටත් ජනතාවත් අපහසුතාවන්ට පත් කිරීම වැරැදියි.

ප්‍රශ්නය - මාලබේ වෛද්‍ය විද්‍යාලයේ උසස්‌ පෙළ අසමත් සිසුන් සිටින බවටත් චෝදනා කරනවා. එවැනි අය වෛද්‍යවරු ලෙස පිටවීම භයානක ප්‍රතිඵල ගෙන දෙන්නක්‌ නේද?

පිළිතුර - අමූලික බොරුවක්‌ මේ හදන්නේ මේ රටේ දරුවන්ට වෛද්‍යවරු වීමට තිබෙන ඉඩකඩ අහුරා දැමීමයි. එහෙම අය මාලබේ නැහැ.

මාලබේ වෛද්‍ය විද්‍යාලයට සිසුන් තෝරා ගැනීමේදී එක එක්‌කෙනාට සිතෙන පරිදි ක්‍රියා කළ නොහැකියි. එම කටයුතු සිදු කරන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින්. ඒ සත්‍ය යටපත් කර ඇතැම් පාර්ශ්ව අද පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීමේ වෑයමක නිරතව ජනතාව නොමඟ යවන්න උත්සාහ ගනිමින් සිටිනවා. මේවා වැදගත් රටක දියුණුවේදී තිබෙන ගොසිප් කට කතා. ඒ නිසා කට කතාවලට ප්‍රචාරය දෙන්න එපා.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.