රනිල්ට ඕන ව්‍යවස්‌ථාව හදල දෙන්න
ශ්‍රී ල නි පෙ මෙහෙයුමක්


බුලිත ප්‍රදීප් කුමාර



හාල්වලට කොයි තරම් මිල පාලනය කළත් කොයි තරම් හාල් පිටරටින් ගෙන්නුවත් කොයි තරම් වැටලීම් කළත් හාල් මිල පහත හෙළීමේ සටනින් රජය මුළුමනින්ම පරාජය විය. රජයේ ඇමැතිවරු මේ සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කරමින් කීවේ මේ ගෙවී යන සතිය තුළ හාල් මිල නිසැකවම සතුටුදායක මට්‌ටමට පත්වනු ඇති බවයි.

එහෙත් මිල එම ගණන්වලම තිබියදී සතිය ගෙවී ගොස්‌ අවසන් විය. පාලන මිලට සාපේක්‍ෂව හාල් අඩු මිලට විකුණූ එකම වෙළෙන්දා වූයේ රටේ ප්‍රකට සුපර්මාකට්‌ කිහිපය පමණි. කාගිල්ස්‌, කීල්ස්‌ ආයතන ඒ වැඩේ තමන් සන්තකයේ ඇති හාල් තොග ඉවර වී යනතුරුම කළ බව පැහැදිලි විය. ඒ හැරුණු විට මේ පාලන මිල අලකලංචිය නිසා සිදුවූ එකම දේ වනුයේ මෙතෙක්‌ දිනක්‌ සාමාන්‍ය ඉල්ලුමක්‌ යටතේ තිබූ පාන්පිටි ඉල්ලුම දෙගුණයකින් ඉහළ ගොස්‌ එම භාණ්‌ඩයේ මිල ද ඉහළ යා හැකි අවදානම් තත්ත්වයකට වෙළෙඳපොළ පත්වීමම පමණි.

රටේ තත්ත්වය මෙසේ තිබියදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනතාව මුහුණ දී තිබෙන උග්‍ර ගැටලු සොය සොයා විසඳීමට උත්සාහයක යෙදෙන ක්‍රියාදාමයක්‌ තුළ කාර්යබහුලව සිටියේය. හාල් ප්‍රශ්නය ඔහු තදින්ම කරට ගත්තේ රටේ හාල් මිලට බලපාන හේතු සාධක කීපයක්‌ පොළොන්නරුවට හා තමන්ට තදින්ම බලපානා නිසාය. රටේ හාල් මිල පාලනය කිරීමට නම් සහල් ආනයනය කර හෝ ආනයනික හාල් මත සහතික මිල පැනවීම තුළින් පමණක්‌ කළ නොහැකි බව ජනාධිපතිවරයා සහසුද්දයෙන්ම තේරුම් ගත්තේය. පාලන මිල දේශීය සහල්වලටද පැනවිය යුතු බව අවසානයේ ජනාධිපතිවරයා තේරුම් ගත්තේය.

රටේ හාල් ප්‍රශ්න, පොල් ප්‍රශ්න, පොල්තෙල් ප්‍රශ්න කොයිතරම් තිබුණත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ප්‍රශ්න ආදී දැවෙන ප්‍රශ්න මොන තරම් තිබුණත් ජනතාවගේ කතාබහට ලක්‌වූ අවධානයට වඩාත් පාත්‍ර වූ ඇමැතිවරයා ලෙස මේ සතියේත් කැපී පෙනුනේ මුදල් ඇමැති රවි කරුණානායකය. මෙවන් විටකදී වෙනදා නම් ජනතාවගෙන් බැනුම් අහන්නේ ආහාර හා වෙළෙඳ කටයුතු පිළිබඳ ඇමැතිවරුය. නැත්නම් කෘෂිකර්ම ඇමැතිවරුය. එහෙත් තවමත් රටේ වැඩි දෙනාගේ කතාබහට හා සංවේදනාවන්ට පාත්‍ර වූ ඇමැතිවරයා ලෙස රවි කරුණානායක මේ සතියේත් කැපී පෙනෙන්නට විය. රවිගේ ඇමැතිකම පවා මේ උණුසුම නිසා නැතිවෙන්නට ඉඩ ඇතැයි කී අය ද ආණ්‌ඩුවේම සිටියහ.

ජනතාව අතර දැවෙන ප්‍රශ්න ඒවා වුවත් දේශපාලන කරලියේ වඩාත් කතාබහට ලක්‌වූ කාරණා ලෙස ව්‍යවස්‌ථා සංශෝධනය, සයිටම් අර්බුදය, මහ බැංකු කොල්ලය, සීමා නිර්ණය වාර්තාව, පුංචි ඡන්දය කල් යැම, සිරගෙවල් තව තවත් තරවීම ආදී කාරණා කැපී පෙනෙන්නට විය.

උද්ඝෝෂණ, පෙළපාලි, සාකච්ඡා, කඳුළු ගෑස්‌, පහරදීම්, පරීක්‍ෂණ, නඩුහබ මැද සතිය දිග්ගැසෙද්දී රට කරවන අගමැති රනිල් වික්‍රමසිංහ ඕස්‌ටේ්‍රලියාව බලා ගොස්‌ සිටියේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ආචාර්ය පදවියකින්ද පිදුම් ලද මේ සංචාරය රටට වැදගත් වූයේ ශ්‍රී ලාංකික දූත පිරිස සමග ඔස්‌ටේ්‍රලියානු රජය ද්වි පාර්ශ්වික සාකච්ඡා ගණනාවක්‌ අවසන වෙළෙඳ ගිවිසුම් ගණනාවකට ද එක්‌වූ නිසාය. අග්‍රාමාත්‍ය රනිල් සමඟ විජිත් විජයමුණි සොයිසා, අර්ජුන රණතුංග, හර්ෂ ද සිල්වා, ආදී ඇමැතිවරු ද සමන් ඒකනායක, සමන් අතාවුද හෙට්‌ටි ආදී නිලධාරීහු රැසක්‌ ද සංචාරයට එක්‌ව සිටියහ.

මෛත්‍රි උදයට මතකලු

මේ අතරතුර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුවූයේ නොයෙකුත් උත්සව, සාකච්ඡා, සම්මන්ත්‍රණ, රැස්‌වීම් ආදියට සහභාගි වෙමින් රට පුරා යමින් රටේ තත්ත්වය සමනය කරන මෙහෙයුමකය. ඒ අතරතුර පසුගිය සති අන්තයේ ජනපති මෛත්‍රී කොළඹ ඩී. එස්‌. සේනානායක විද්‍යාලයේ 50 වන සංවත්සර උත්සවයට සහභාගි වන්නට ගියේය. මේ උළෙලට ඩී. එස්‌. ආදි සිසුන් වන උදය ගම්මන්පිල, ෂෙහාන් සේමසිංහ, ඡේ. සී. අලවතුවල, චන්දිම ගමගේ ඇතුළු මැති ඇමැතිවරු කිහිප දෙනෙක්‌ ද සිටියහ.

උත්සවය මොහොතේ 50 වන සංවත්සරය වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව නිකුත් කළ මුද්දරයක පළමු පිටපත ජනාධිපති මෛත්‍රීට ත්‍යාග කෙරිණි.

ජනාධිපති මෛත්‍රී එය අතට ගෙන උදය දෙස බලා එය ඔහුට තිළිණ කළේ "මේක මාව මතක්‌ වෙන්න තියාගන්න" කියමිනි.

ඕවා දෙන්න ඕන නෑ සර් උදය නිතරම සර්ව මතක්‌ කරනවා. මුජිබර් රහුමාන් දෙපිට කැපෙන කතාවක්‌ කීවේ උදය සිනාසෙමින් එම තිළිණය භාර ගනිද්දීය. උත්සවය අවසන් වී තේ පානය මොහොතේ ෂෙහාන් සේමසිංහ උදය ළඟට පැමිණ මෙසේ කීවේය.

බලන්න අයිය නිතරම කරන්නේ මෛත්‍රිපාල ජනාධිපතිතුමාව පතුරු ගහන එක. ඒත් අයියත් එක්‌ක එතුමා තරහ නෑ. තෑග්ගකුත් දුන්නා. ඒ වුණාට බලන්න මං දිහා. මම රජරට මිනිහා. මම කරපු වරදකුත් නෑ. නමුත් මගේ මූණවත් බලන්නේ නෑ. වැරදිනේ.

ෂෙහාන් කීවේ නඩුවක්‌ නොවේ. එහෙත් එය හොඳ කතාවකි. උදය හරි. අපි ඕක අහමු යෑයි කියා ෂෙහාන්ගේ අතින් ඇදගෙන මෛත්‍රී ජනාධිපතිතුමා ළඟට ගියේය.

සර් මේ ඉන්නේ ෂෙහාන් මන්ත්‍රීතුමා. සර් ළඟමනේ වාඩිවෙලා හිටියේ. ඒ වෙලාවේ ෂෙහාන්ව පෙන්නා මෙසේ අවධානය යොමු කළේ වෙනත් අයෙකි.

ආ... ඔව්. ෂෙහාන් ඔයා මොනවද මෙහේ කරන්නේ. කියා මෛත්‍රී සුහද හිනාවකින් ප්‍රශ්නාර්ථයක්‌ පෑවේය.

මමත් ඉගෙන ගත්තේ මේ ඩී.එස්‌. එකේනේ සර්. ෂෙහාන් කීවේය. ඒ අවස්‌ථාවෙන්ම ප්‍රශ්නය විසඳුණු නිසා උදය කිසිවක්‌ අහන්නට ගියේ නැත.

පසුගිය සති අන්තයේ ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ සිදුවූ දේශපාලන ගැටුමක්‌ ගැන මාධ්‍යවල අවධානය ලොකුවට යොමු වී තිබුණත් අයිය මලෝ දෙන්නෙක්‌ සම්බන්ධ වීම නිසාය. ඒ දෙදෙනා ප්‍රසන්න රණතුංග හා රුවන් රණතුංග සහෝදරයෝ වූහ.

මෙය ලොකු ප්‍රශ්නයක්‌ නොවුණත් කැපී පෙනෙන සිදුවීමක්‌ වූයේ අයියා මලෝ ගැටුම නිසාය.

මිනුවන්ගොඩ නගරය සඳහා සති පොළක්‌ ඉදිකිරීම පටන් ගත්තේ කලකට ඉහතය. අන්තිමේ තරමක්‌ ප්‍රමාද වී මුත් හදන ලද සති පොළ විවෘත කිරීමට උත්සවයක්‌ පවත්වන්නට තීරණය කෙරිණි. උත්සවය සඳහා ඒමට නියමිතව සිටියේ බස්‌නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රියයි.

නමුත් එම සති පොළ සඳහා සාදන ලද සමරු ඵලකයේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නම සඳහන් නොවීම නිසා ප්‍රශ්නය මතුවිය. අයියා මලෝ ගැටුණේ ඒ ප්‍රශ්නය නිසාය.

මේ ගැටුමෙන් පසුව රුවන් රණතුංග ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ලේකම් දුමින්ද දිසානායක වෙත පැමිණිල්ලක්‌ කරමින් පෙන්වා දුන්නේ බස්‌නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය ප්‍රසන්නලාට සහයෝගය දක්‌වන බවකි.

දුමින්ද ඉසුරට කතාකොට 11 වැනිදා සති පොළ විවෘත කිරීමට යන්නට එපා යෑයි කීවේය. ඉසුරට එය ඉටුකිරීමට සිදුවිය. නිසි වේලාවට පසුදා උදෙන්ම සති පොළ වෙත ගිය ප්‍රසන්න රණතුංගගේ කණ්‌ඩායම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කුමාර අරන්ගල්ල විසින් සති පොළ විවෘත කළේය. ප්‍රසන්න ගියේ ඉන් පසුව සති පොළ වටා නිරීක්‍ෂණ චාරිකාවකට සහභාගි වන්නටය.

මහින්ද රාජපක්‍ෂ මෙම මිනුවන්ගොඩ සිද්ධිය රූපවාහිනියෙන් දුටුවේ තංගල්ලේ නිවසේ විවේකීව ඉන්න අතරතුරය. දැනගත් වහාම ඔහු ප්‍රසන්නට ඇමතුමක්‌ ගත්තේය.

මොකක්‌ද ප්‍රසන්න ඔතන වෙන්නේ.

මේ සති පොළේ ප්‍රශ්නයක්‌ සර්. මේ සති පොළ හදන්න පටන් ගත්තේ සර්ගේ කාලේ. මේක විවෘත කරන සමරු ඵලකයක්‌ ගහනකොට මේක හදන්න මුල් වුණු මිනිස්‌සුන්ගේ නම් ගහන එපායෑ. අපි ඒකයි කිව්වේ.

ඒක ඇත්ත ප්‍රසන්න. නමුත් මල්ලිට විරුද්ධව මේ වගේ තැනක කතා කරන්න ගියාම හෑල්ලු වෙන්නේ සහෝදරකම. රුවන්ට විරුද්ධව මීඩියාවලට කිසිවක්‌ කියන්න එපා.

හරි සර්.... මම මුකුත් කියන්නේ නෑ.. ප්‍රසන්න වරද බාරගත්තේය.

මට මල්ලිත් එක්‌ක ප්‍රශ්නයක්‌ නෑ සර්. මට තරහ තියෙන්නේ යූ. ඇන්. පී. එකත් එක්‌කයි. ප්‍රසන්න කීවේය.

ඒ අනුව ප්‍රසන්න රුවන් සමඟ තර්ක කරන්නට වාද කරන්නට ගියේ නැත. එහෙත් රුවන් රණතුංග දිගින් දිගටම මාධ්‍ය හරහා ප්‍රසන්නට දොස්‌ පවරන්නට වූයේ මේ සති පොළ සෑදීමේදී මූල්‍ය අක්‍රමිකතා රැසක්‌ සිදුවී ඇතැයි කියමිනි. මේ අක්‍රමිකතාවලට ප්‍රසන්න වගකිව යුතු බවද ඔහු චෝදනා නගමින් සිටියේය.

ඔයගොල්ලා ගණන් ගන්න එපා. එයා ඕන එකක්‌ කියපුදෙන්. අපි බාරගන්න ඕනේ නෑ. මොකද ඔය එකක්‌ වත් ඇත්ත නොවෙයිනේ. ප්‍රසන්න තම ආධාරකරුවන්ට කීවේ එයයි.

සයිටම් හා ව්‍යවස්‌ථාව

සයිටම් ආයතනයට වාසිදායක වන අයුරින් එහි ඉගෙනුම ලබන ශිෂ්‍යයන් වෙනුවෙන් ලැබුණ අධිකරණ තීන්දුවත් සමඟම රටේ සෞඛ්‍ය ක්‌ෂේත්‍රයම නරක අතට හැරුණේ වෛද්‍යවරු හා සෞඛ්‍ය පරිපාලනය ඉන් දෙකට බෙදීම නිසාය. සෞඛ්‍ය අමාත්‍ය රාජිත, පාර්ලිමේන්තුවේ ආණ්‌ඩු පක්‍ෂ සංවිධායක කිරිඇල්ල හා එස්‌. බී. දිසානායක සයිටම් ආයතනයේ පැත්තට කතා කරන්නට පටන් ගත්හ. ඒත් සමඟම බස්‌ ගැමුණු ඇතුළු දෙමාපිය සංගම්ද වැඩට බැස්‌සහ. සයිටම් ආයතනය ඉදිරියට ගන්නට මේ සෑම බලවේගයක්‌ම ලොකු වෙහෙසක්‌ ගනිද්දී මුළුමහත් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවම වෛද්‍ය ක්‌ෂේත්‍රය සමඟ එක්‌වී ඊට එරෙහි සටන පාරට ගේන්නට පටන් ගත්හ.

මේ සටන මේ ගෙවී ගිය සතිය වන විට උපරිම තලයට පැමිණ තිබිණි. රටේ බහුතර ජනතාවගේ සහයෝගයද වෛද්‍යවරුන්ගේ හා විශ්වවිද්‍යාල සිසුන්ගේ පැත්තට ලැබීම නිසා රට පුරාම තිබූ උද්ඝෝෂණවලට අලුත් ආලෝකයක්‌ ලැබී තිබිණි.

රටේ බැලූ බැල්මට ක්‍රියාකාරී තලයේ තිබූ රජයට එරෙහි විරෝධතාව ලෙස සයිටම් විරෝධය කැපී පෙනුණත් ඊට වඩා ලොකු රාජ්‍ය විරෝධයක්‌ දේශපාලන කරළියේ ක්‍රියාත්මක වෙමින් තිබුණේ ඉහළ මට්‌ටමෙනි. ඒ වූ කලී රට හමුවේ තිබෙන භයානකම අභියෝගය වන නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳ අර්බුදයයි.

දෙමළ ජාතික සන්ධානයේ අවශ්‍යතා අනුව ප්‍රශ්නය ගොඩින් බේරා ගන්නට උනන්දු වූ රජය මුලින් උත්සාහ කළේ මෙවර මාර්තුවේ ජිනීවා නුවරදී මුහුණදීමට සිදුවන මානව හිමිකම් සමුළුවට නව ව්‍යවස්‌ථා කෙටුම්පතේ ආකෘතියක්‌ ඉදිරිපත් කිරීමටය. දෙමළ ජාතික සන්ධානය ඇතුළු සෙසු දෙමළ ප්‍රජාවගේත් යුරෝපීය රටවල බලපෑම් කණ්‌ඩායම්වලත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන විවිධ රාජ්‍ය නොවන සංවිධානවලත් ඉල්ලීම මෙන්ම බලපෑම වූයේද එයයි. එහෙත් ඊට සරිලන ව්‍යවස්‌ථා කෙටුම්පතක්‌ ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලය හරහා සාදා ගන්නට රජය අපොහොසත් විය. මේ සඳහා අවශ්‍ය කෙටුම්පතක්‌ දෙමළ ප්‍රජාවට අවශ්‍ය යෝජනා ඇසුරින් සකස්‌ කරන්නට දෙමළ බෙදුම්වාදී කොටස්‌ ගණනාවක්‌ම ක්‍රියාකර තිබුණත් ඒවාට නිල වටිනාකමක්‌ නොලැබුණේ සිංහල සමාජයේ අනුමැතිය ඒ කිසිවකට ලැබී නොතිබුණ නිසාය.

පසුගිය දිනවල ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලය දිගින් දිගටම රැස්‌වෙමින් අදාළ කෙටුම්පත සකසන්නට ක්‍රියා කළත් විපක්‌ෂයේ යෝජනාවලට ලද අඩු සැලකිලි නිසා සිංහල සමාජ ක්‍රියාකාරීන් මේ යෝජනාව ප්‍රතික්‌ෂේප කරන තත්ත්වයට පත්වූහ. සිද්ධාර්ථන් මන්ත්‍රීවරයා හරහා සාදන ලද කෙටුම්පත සැලකිල්ලට ගනිමින් ඊට සාපේක්‌ෂ යම් ලියවිල්ලක්‌ සකසා ගන්නට සමහර දේශපාලනඥයෝ උත්සාහ කරද්දී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය පැත්තෙන් අභියෝග එල්ල වූයේ එහි ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් තිබූ යෝජනාවලටය. ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කරන යෝජනාවට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අනුමැතිය නොලැබිණි.

මේ අතර ඒකාබද්ධ විපක්‌ෂයේ යෝජනා කෙරෙහි දක්‌වන ලද අඩු සැලකිල්ල නිසා මහින්ද පාර්ශ්වයේ සියලු දෙනාද මේ ව්‍යවස්‌ථා සංශෝධනවල හරහට හිටගත්හ. ඔවුන් මේ ව්‍යවස්‌ථා සම්පාදක සභාවෙන් ඉවත් වන තීන්දුව ගනු ලැබුවේද මෙම පසුබිම යටතේය.

කෙසේ වෙතත් අවසන් යෝජනාවක්‌ ජීනිවා සමුළුවට ඉදිරිපත් කිරීමට ලංකාව අසමත් වන පසුබිමේ ජිනීවා උදහස මොන ආකාරයට ලංකාව කෙරෙහි යොමුවේද යන ප්‍රශ්නය දේශපාලන කරළිය තුළ ඉතිරි වී තිබිණි.

ගෝල්ෙµaස්‌ එක මදි

මේ අතරතුර ඒකාබද්ධ විපක්‌ෂයේ පක්‍ෂ නායකයන්ගේ හමුවක්‌ සඳුදා උදේ විඡේරාම මාවතේ නිල නිවසේ පැවැත්වූයේ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි. දිනේෂ්, ඩලස්‌, බන්දුල, උදය, පවිත්‍රා යන පිරිස ඊට සහභාගි වූ අතර ප්‍රසන්න එන විට කවුරුත් සද්ද කරන්නට පටන් ගත්හ.

ප්‍රසන්නත් දැන් මාරම චණ්‌ඩියෙක්‌ වෙලා... දිනේෂ් කීවේය.

නෑ... චණ්‌ඩිකමක්‌ නොවෙයි. මේවා ගිය ආණ්‌ඩුව කාලේ අපි සල්ලි වෙන්කරලා හදපුවා. ඒවා විවෘත කරන්න ඕනත් අපට ඕන විදියටයි. ප්‍රසන්න කීවේය.

මෙයාලා විවෘත කරන්නෙම අපි හදපුවා තමයි... පවිත්‍රා කීවාය.

රාජිතත් මොන මොනවාද කියල තිබුණා ඕන්නැති කතා. මම ප්‍රසන්නට කිව්වා ඕවාට උත්තර දෙන්න යන්න එපා කියලා... මහින්ද කීවේය.

මගේ ගැටුම ආණ්‌ඩුවත් එක්‌ක. එතැනදී මල්ලිත් මැදට පනිනවානේ. මම මොනව කරන්නද... ප්‍රසන්න කීවේය.

විවෘත කළාට කමක්‌ නෑ. හදපු අයගේ නමත් ඇතුළත් කරලා... උදය කීවේය.

ඉන්පසුව හමුවේ නිල කටයුතු ඇරැඹිණි. පළමුවෙන්ම කතා කළේ ඊළඟට ගාල්ලේ පැවැත්වෙන ඒකාබද්ධ විපක්‌ෂයේ රැලිය සම්බන්ධවය. ගාල්ලේ රැලියේ සංවිධාන කටයුතු ගැන ඩලස්‌ හා මහින්දානන්ද ලොකු පැහැදිලි කිරීමක්‌ කළහ. මාර්තු 25 හබරාදුවේදී එය පවත්වන බව විස්‌තර කෙරිණි.

මාර්තු 8 කාන්තා දිනයේදීත් ලොකු වැඩක්‌ කරන්න පුළුවන්... පවිත්‍රා කීවාය.

එදා කාන්තාවෝ දුක්‌ වින්දෙ රටේ යුද්ධය නිසයි. ඔබතුමා ඒක විසඳුවා. නමුත් අද ඊට වඩා වෙනස්‌ විදියට කුස්‌සියේ යුද්ධය ඇවිලිලා. ඒ හින්දා රටේ කාන්තා පරපුර ඉන්නේ මේ රජය එක්‌ක ලොකු කේන්තියකින්... පවිත්‍රා පැහැදිලි කළාය.

හාල්, පොල් මිල ගැන ලොකු ලොකු කතා ඇදී ආවේ ඉන් පසුවය. බන්දුල ලොකු ආර්ථික විග්‍රහයක්‌ද කළේය.

රට පුරාම උද්ඝෝෂණ නොතියා කොළඹදී කාන්තා දිනයේ ලොකු කාන්තා උද්ඝෝෂණයක්‌ පවත්වන්නට මෙහිදී තීරණයක්‌ ගැනිණි.

ඉන්පසුව මැයි දිනය ගැනත් ලොකු කතාබහක්‌ ඇති විය. කවුරුත් අභියෝග කරන නිසා මෙවර මැයි දිනය අපි ගෝල්ෙµaස්‌ පිටියේ පවත්වමු කියා සභාවෙන් යෝජනාවක්‌ පැන නැගිනි.

ආණ්‌ඩුව කරන වැඩවලට විරෝධය පාන ජනතාව එකතු කරන්න දැන් ගෝල් ෙµaස්‌ පිට්‌ටනියත් මදි... මහින්ද කීවේය.

විමල්ගේ දුක සැප බලයි

පසුගිය සතියේ පාර්ලිමේන්තුවට සහභාගි වන්නට ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් වීරවංශ ආවේ බන්ධනාගාරයේ සිටය. බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තු ඒමේදී මුහුණ දෙන්නට සිදුවන ගැටලුවක්‌ ගැන කතා කරන්නට විමල් කථානායකවරයාට දුරකථන ඇමතුමක්‌ ගත්තේය. එහිදී කරු ජයසූරිය කථානායකතුමා තම හිතවත් මන්ත්‍රීවරයාගේ සිරගත කුටිය ගැන විස්‌තර අහන්නට අමතක කළේ ද නැත.

කොහොමද විමල් පහසුකම්...

මොන පහසුකම්ද කථානායකතුමා...

මම ඇහුවේ ටොයිලට්‌ස්‌ එහෙම.

අපි ඉන්න වාට්‌ටුවේ 40 ක්‌ ඉන්නවා. වළ වැසිකිළි දෙකක්‌ තියනවා. විමල් කෙටියෙන් කීවේය.

නාන්න ෂවර් එහෙම...

වතුර පුරවපු ටැංකියක්‌ තියනවා. හිරකාරයෝ 40 ම ඒකෙන් නාන්න ඕන.

එහෙමද මම දන්නේ නෑ ඒ ගැන. අපි මන්ත්‍රීවරු හැටියට ඒ ගැන කතා කරලා විසඳගන්න ඕන. කථානායකවරයා කීවේය.

මට ව්‍යවස්‌ථාදායක කාරක සභාවේ නියෝජිතයෙක්‌ විදියටයි ආංශික කාරක සභාවල නියෝජිතයෙක්‌ විදිහටයි සහභාගි වන්න අවශ්‍යයි. විමල් කෙළින්ම කීවේය.

මට ඕක පක්‍ෂ නායක රැස්‌වීමේදී කතා කරල තීරණයක්‌ ගන්න වෙනවා.

කතා කරන්න. කතා කරලා ඒ කාරක සභා රැස්‌වෙන දින හා වේලාවන් ගැන බන්ධනාගාරයට නිල වශයෙන් දැනුම් දෙන්න විමල් ඉල්ලීමක්‌ කළේය.

මේ අතර පසුගිය සතියේ කථානායක කරු ජයසූරිය හදිසියේම අනුරාධපුර මහ විලච්චියේ අලපත්ගම වෙත ගියේ සෝභිත හිමියන්ගේ ආධාර උපකාර හා මගපෙන්වීම යටතේ හැදුන වැඩුණ ජනතාවගේ දුක සැප බලන්නටය. මේ අලපත්ගම ජනතාව සාමාන්‍යයෙන් සැලකෙන්නේ කුවේනියගේ පරපුරෙන් පැවත එන යක්‍ෂ ගෝත්‍රික ජන කොටසක්‌ ලෙසටය. පසුගිය සමයේ යුද්ධයෙන්, නියඟයෙන්, ජල හිගයෙන් හා දරිද්‍රතාවයෙන් පීඩා විඳි මේ ගමේ ජනතාවට පිළිසරණක්‌ වන්නට මාදුළුවාවේ සෝභිත හිමි මුල් තැන ගත් විට කථානායක කරු ජයසූරිය ද ඒ මහා සද්කාර්යයට දායක විය. දැන් සෝභිත හිමියන්ගෙන් පසුවත් කරු ඒ යුතුකම අත්නොහළේය.

කරු සමග මේ ගමනට සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජයක්‌ කණ්‌ඩායමේ නායකයෝද සහභාගි වී සිටියහ. මේ ගමේ ජනතාවට අංගම් සටන් කලාවට ඇති අයිතිය හා නෑකම ගැන ද කරු කොළඹින් ගිය පිරිසට පැහැදිලි කර දුන්නේය.

ඉන්පසුව මිහින්තලේ කුරුන්දන්කුලම ගමට ද ගිය මේ පිරිස දෙවැනි සමාජ සද්කාරයටද සහභාගි වූහ. ඒ වූකලී තම දියණියගේ වියෝවින් පසුව පටන්ගත් පිළිකා සරණ භාරයේ ඊළඟ අදියරේ වැඩ කුරුන්දන්කුලම ගමේ පවත්වාගෙන යන පිළිකා සරණ සත්කාර පියසේදී විවෘත කරන්නටය. පසුගිය 13 වැනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විශේෂ කටයුතු දෙකකට වෙලාව වෙන්කර ගත්තේය. එකක්‌ විමල්ව බලන්නට බන්ධනාගාරයට යැමයි. දෙවැන්න ගෝඨාභයගේ නඩුවට සහභාගි වන්නට උසාවි යන්නටය.

මේ දෙක හැරුණු විට ඉතිරි කාලය පුරාම මහින්ද රැඳී සිටියේ සිය විඡේරාම මාවතේ නිල නිවසේය.

මේ අතරතුර මහින්ද හමුවන්නට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් හමුවී ව්‍යාපාරයේ ඊළඟ වැඩකටයුතු ගැන කතාකර ගන්නටත් ලොකු පිරිසක්‌ එම නිවසට පැමිණ සිටියහ. මේ අතර ඇතිවූ කතාබහකදී මුලින්ම ජී. එල්. කතා කළේ මෙසේය.

අද රජය බොහොම නරක විදියට නීතිය අතට අරන් වැඩ කරනවා. නරක විදියට ප්‍රතිවාදීන් මර්දනය කරනවා. රටේ නීතියේ ආධිපත්‍යය මේ විදියට කඩා වැටෙන්න දීල අපට බලා ඉන්න බෑ.

රජයට යන එන මං නැති වෙමින් තියන බව පේනවා. ඔක්‌කොම වැඩ ටික අනාගෙන. මහින්ද මහත්තයාට බැණ බැණ හිටපු සමහරු අද ගමට යන්න බැරිවයි ඉන්නේ. ලොකුගේ කීවේය.

රට වෙනම අගාධයකට අරන් යන එකයි මේ රජය කරන්නේ. මේකට රනිල් වගකියන්න ඕන. ශ්‍රී ලංකා එකේ අයටත් මේ පවින් ගැලවෙන්න බෑ. ප්‍රසන්න කීවේය.

මිනිස්‌සුන්ගේ හඬට කන් නොදෙන මේ ආණ්‌ඩුව කරන්නේ පොලිසියත් නීතිපති දෙපාර්තමේන්තුවත් තම න්‍යාය පත්‍රයට හසුරවන එක. හැබැයි දැන් ඒ අයටත් වැඩේ තේරිලා වගේ. මහින්ද කීවේය.

සර් මේ ආණ්‌ඩුවේ ව්‍යාපෘතිය කමිටුකරණයනේ. හැම ප්‍රශ්නයක්‌ ගැනම බලන්න කමිටුවක්‌ දානවා. අන්තිමේ බලන කොට කමිටු විතරයි. ප්‍රශ්න එහෙමමයි. ප්‍රශ්න එතනමයි. කමිටු බොහොමයි. හෙට්‌ටිගේ වචන පුනරුච්චාරණය කරමින් කට්‌ටියට සිනා වෙන්නට පටන් ගත්තහ.

රතන චම්පික හටන

මේ අතරතුර ජාතික හෙළ උරුමයේ අභ්‍යන්තර අර්බුදය ද මේ සතියේ වඩාත් පැහැදිලිව කරලියට පැමිණ තිබිණි.

ජාතික හෙළ උරුමයේ මන්ත්‍රී ධුරයක්‌ ගෙන කටයුතු කළ අතුරුලියේ රතන හිමිගේ වර්තමාන ක්‍රියාකලාපයට පක්‍ෂයේ ඇතුලෙන්ම විවේචනය පැමිණියේ මීට කලකට පෙර ඕමල්පේ සෝභිත හිමියන්ගෙනි. රතන හිමියෝ ස්‌වාධීනව පාර්ලිමේන්තුවේ කටයුතු කරනවා යෑයි කියා අමුතුම තාලයේ ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරන්නට පටන් ගත් වේලේ ඕමල්පේ හිමි කීවේ ස්‌වාධීන වන්නට නම් මන්ත්‍රී ධුරයෙනුත් ඉවත් වන්න කියාය.

එහෙත් මන්ත්‍රී සැප අත්හරින්නට රතන හිමියන්ගේ සුපේෂල ශික්‍ෂාකාමී මනස ක්‍රියා කළේ නැත. උන්වහන්සේ තවදුරටත් මන්ත්‍රී සැප වැළඳ ගනිමින්ම සිටියහ. සිටියා නම් කම් නැත. හෙළ උරුමයේ යම් යම් ක්‍රියාකලාපයන් විවේචනය කරන්නට ද පටන් ගත් අතර උන්වහන්සේ සිටින තැන පිළිබඳව ද පක්‍ෂය ඇතුළේ තදබල ප්‍රශ්න ඇතිව තිබිණි. සමහරු කීවේ මෛත්‍රිපාල ජනාධිපතිතුමා සමග උන්වහන්සේ මිත්‍රව කටයුතු කරන බවයි. තවත් සමහරු කීවේ එජාපයේ කණ්‌ඩායමක්‌ සමග රහසිගත ගනුදෙනුවක සිටින බවයි. ඒ අතර තවත් සමහරු විග්‍රහ කළේ නැවත උන්වහන්සේ මහින්ද සමඟ හාදුව කටයුතු කරන බවකි.

මේ අතර ප්‍රශ්නය උග්‍රවී ගියේය. චම්පික රණවක ඇතුළු ජාතික හෙළ උරුමයේ ගිහි බලවේග සියල්ලෝම රතන හිමියන්ට එරෙහිව අවි අමෝරා ගන්නට පටන් ගත්හ. පක්‍ෂය අභ්‍යන්තරයේ බරපතළ විවේචනයකට පසුගිය දිනක පක්‍ෂයේ තීන්දුව එළියට දෙන්නට චම්පික කල්පනා කළේය. රතන හිමියෝ ඡන්දය ඉල්ලා තරග කර දිනාගත් මන්ත්‍රී ධුරයක්‌ නොවන නිසා උන්වහන්සේට ස්‌වාධීනව කටයුතු කිරීමට බැරි බව පෙන්වා දුන් ඇමැතිවරයා පවසා ඇත්තේ රතන හිමියෝ එම මන්ත්‍රී ධුරය වහාම පක්‍ෂය වෙත බාරදිය යුතු බවය.

මේ අතර රටේ පවතින අයහපත් දේශපාලන වාතාවරණය හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හිටියේ වැඩි කලබලයක්‌ නැතිවය. ඔහු විදේශ සංචාරයන්වලට සහභාගි වූයේය. පසුගිය දිනක සිය හිතමිතුරන් වූ සාගල ඇතුළු කණ්‌ඩායමක්‌ සමග සිංගප්පූරුවේ සංචාරයක නිරතව සිටි පුවතක්‌ ගැන ද රටේ කතාබහක්‌ ඇතිව තිබිණි. අර්ජුන් මහේන්ද්‍රන් ද මේ සංචාරයේ කොණක සිටි බවක්‌ පැවසිනි.

ව්‍යවස්‌ථා ප්‍රශ්නය සයිටම් අර්බුදය හාල් මිල රටේ ආර්ථික අස්‌ථාවරභාවය ආදී ප්‍රශ්න හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩි කලබලයක්‌ නැතුව නිහඬව සිටීම ගැන හුඟ දෙනකුට ප්‍රශ්න තිබුණත් විපක්‍ෂයට නම් කප්පරක්‌ ප්‍රශ්න තිබිණි. විශේෂයෙන්ම ව්‍යවස්‌ථා අර්බුදයට සහය දක්‌වන්නට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය පිටුපෑම තුළ විපක්‍ෂය සිතුවේ රනිල් මෙම ත්‍රි අර්බුදය ද උග්‍රවේය කියාය. එහෙත් රනිල් කිසිදු කලබලයක්‌ පෙන්නුවේ නැත.

මේ අතර ජනාධිපතිවරයා හැකි උපරිමයෙන් පසුගිය සතියේ උත්සහ ගනිමින් සිටියේ රටේ තිබෙන උණුසුම් ප්‍රශ්න සියල්ල අර්බුදයකින් තොරව විසදා ගන්නට ය. ඒ සඳහා ඔහු නිතරම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමඟ කතාබහ කළේය. සෑම දිනකම ඒ සඳහා පක්‍ෂයේ නායකකාරකාදීන් සමග සාකච්ඡා පැවැත්විණි. රට ඉදිරි කාලයේදී මුහුණ දෙන මුල්‍ය අර්බුදය ද යහපත් නොවන බව ඔහු දැන සිටියේය.

මහින්ද සිංගප්පුරුවට

මේ අතරතුර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හිටි හැටියේම සිංගප්පුරුව බලා පිටත්ව යැම ගැන ද රටේ නොයෙකුත් කසු කුසු ඇති වන්නට පටන් ගත්තේය. පසුගිය දිනවල ඩිලාන් ඇමැතිවරයා රූපවාහිනි කැමරා ඉදිරියේ කී චන්ද්‍රිකා මහින්ද රනිල් තුන් කොන් හවුලවත් ක්‍රියාත්මක වීද යන ප්‍රශ්නය සමහරු මතු කළේ මේ නිසාය.

කෙසේ වෙතත් ඒ සඳහා මහින්දට විශේෂ සෞඛ්‍ය හේතු කිහිපයක්‌ම තිබිණි. තම බාල පුත් රෝහිත පසුගිය දිනවල පැවති රගර් තරගයකදී තුවාල ලැබීය. එම අනතුර නිසා ඔහුගේ ඇසකට සිදුව තිබූ හානිය එතරම් හොඳ තත්ත්වයක නොතිබූ බැවින් මහින්ද ඔහු ගෙන සිංගප්පුරු යනු ලැබුවේ ඇසට අවශ්‍ය විශේෂඥ ප්‍රතිකාර සඳහාය. ඔහු සමග උදිත ලොකුබණ්‌ඩාර හා ලොහාන් රත්වත්ත ද සිංගප්පූරු සංචාරයට එක්‌ව සිටියහ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.