රතන හිමි පොරොන්දු කැඩුවා
උන්වහන්සේ බැසිල්වත් හමුවෙලා...

ඇමැති චම්පික කියයි

සාකච්ඡා කළේ - සිරිමන්ත රත්නසේකර

ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, මහා නගර හා බස්‌නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා සමඟ "දිවයින ඉරිදා සංග්‍රහයෙ" කළ සම්මුඛ සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය - රටපුරා උද්ඝෝෂණ රැල්ලක්‌ ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මෙය ආණ්‌ඩුවේ ඉදිරි ගමනට කෙසේ බලපායිද?

පිළිතුර - ආණ්‌ඩුවේ තිබෙන අඩුපාඩු වැරදි හදාගෙන ඉදිරියට ගමන් කළ යුතුයි. වැරදි කරන ආණ්‌ඩුවලට කොහොමත් පැවැත්මක්‌ නැහැ. බොරුවට උද්ඝෝෂණ කරන අයත් මෙතන ඉන්නවා. ආණ්‌ඩුව තුළ අඩුපාඩු, වැරදි නැත්තේ නැහැ. ඉදිරි ගමන සුබවාදී වේවි. ආණ්‌ඩුව ශක්‌තිමත්.

ප්‍රශ්නය - ජාතික හෙළ උරුමය තුළ අර්බුදයක්‌ මතුව ඇති බව පැවසෙනවා.

පිළිතුර - නැහැ. එහෙම කිසිම ප්‍රශ්නයක්‌ නැහැ. එහෙම කියන්නේ ඒ අයට ප්‍රශ්න තියෙන නිසයි.

ප්‍රශ්නය - නමුත් පක්‍ෂය ආරම්භයේ සිට පක්‍ෂය සමඟ සිටි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පක්‍ෂය තුළ දැන් ක්‍රියාකාරී නැහැ නේද? මෙය පක්‍ෂයේ ප්‍රශ්නයක්‌ නෙමේද?

පිළිතුර - පූජ්‍ය රතන හිමියන් මේ වන විට වෙනත් කටයුත්තක්‌ කරමින් සිටිනවා. උන්වහන්සේ වස විස නැති ගොවිතැන වෙනුවෙන් වැඩ කරනවා.

ප්‍රශ්නය - රතන හිමියෝ පාර්ලිමේන්තුව තුළ ස්‌වාධීනව සිටීමට තීරණය කිරීම පක්‍ෂය තුළ ගැඹුරින් සාකච්ඡා වී තිබෙනවා.

පිළිතුර - එක්‌සත් ජාතික පෙරමුණ සමඟ පැවති අවබෝධතා ගිවිසුම නිසයි අපට මෙම මන්ත්‍රී ධුරය හිමිවුණේ. රතන හිමියන් පක්‍ෂයට පොරොන්දු වී තිබෙනවා පක්‍ෂයේ ප්‍රතිපත්ති සමඟ සිටින බවට. උන්වහන්සේ මෙලෙස ස්‌වාධීන වීම පොරොන්දු කඩකිරීමක්‌.

ප්‍රශ්නය - උන්වහන්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්‌විය යුතුද?

පිළිතුර - තවදුරටත් එහි රැඳී සිටීමට උන්වහන්සේට අයිතියක්‌ නැහැ. එම ධුරය පක්‍ෂයට අයිති මන්ත්‍රි ධුරයක්‌.

ප්‍රශ්නය - සිහළ උරුමය ආරම්භයේදීත් ඉන් අනතුරුව එහි නම වෙනස්‌ කර ජාතික හෙළ උරුමය ආරම්භයේදීත් පක්‍ෂය තුළ විශාල වශයෙන් ස්‌වාමීන්වහන්සේ කටයුතු කළා. දැන් එන්න එන්නම හාමුදුරුවන් වහන්සේ පක්‍ෂයෙන් ඈත් වෙනවා නේද?

පිළිතුර - සිහළ උරුමය හා ජාතික හෙළ උරුමය ආරම්භක කාල වකවානුව තුළ අපගේ මහා සංඝරත්නයට මාරාන්තික තර්ජනයක්‌ තිබුණා. මේ වනවිට එහෙම තර්ජනයක්‌ නැහැ. දැන් රට තුළ තිබෙන්නේ වෙනත් දැවෙන ප්‍රශ්න.

ප්‍රශ්නය - අපගේ මහා සංඝරත්නයට තර්ජනයක්‌ නැති බව කියන්නේ කොහොමද?

පිළිතුර - මහා සංඝරත්නය මහා විශාල අනතුරකට ලක්‌ වී ඇති බව කියමින් මහා හඬක්‌ නගමින් පැමිණි බොදු බල සේනා සංවිධානයට මහා මැතිවරණයේදී ඡන්ද හිමිවූයේ දස දහසකටත් වඩා අඩුවෙන්. ඔය කියන අනතුරු තිබෙනවා නම් ඔය ප්‍රතිඵල ඔයිට වඩා වෙනස්‌ වන්න ඕන නැද්ද? අපි හැම තැනටම බොදු චීවරය ඉදිරියට දමන්නේ නැහැ. අපේ පක්‍ෂය ප්‍රායෝගික පක්‍ෂයක්‌ කියන්නේ මේ නිසයි.

ප්‍රශ්නය - රතන හිමියන් පක්‍ෂයට පොරොන්දු වුණා යෑයි ඔබ පැවැසුවේ කුමක්‌ද?

පිළිතුර - උන්වහන්සේ අපට පොරොන්දු වුණේ පක්‍ෂයේ ප්‍රතිපත්ති සහ විනයට යටත්ව කටයුතු කරන බවත් යම් විවේචනයක්‌ ඇත්නම් එය පක්‍ෂ අභ්‍යන්තරයේ සාකච්ඡා කරන බවත්ය.

ප්‍රශ්නය - දැන් එහෙම වෙලා නැද්ද?

පිළිතුර - එහෙම වෙලානම් ඔය කියන දේ වෙන්නේ නැහැනේ.

ප්‍රශ්නය - පසුගිය ඉතිහාසයේ ඔබ පක්‍ෂයට හිමිවන ජාතික ලැයිස්‌තු මන්ත්‍රී ධුරයන්වලදී කුමන හෝ ප්‍රශ්න මතුවුණා නේද? ජාතික ලැයිස්‌තු මන්ත්‍රී ධුර අපලයි වගේ පේන්නේ

ප්‍රශ්නය - එහෙම දෙයක්‌ මට නම් පේන්නේ නැහැ. මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්‌ඩුව කාලයේදී අපිට ලැබුණු ජාතික ලැයිස්‌තු මන්ත්‍රී ධුරයට අපි නම් කළ කෙනා නෙමෙයි ඔහු නම් කළේ. එතැනදී ප්‍රශ්නයක්‌ ඇති වුණා. රාජපක්‍ෂ රජය හා අප අතර හිත අමනාපකම් ඇති වුණ පළමු මොහොත එයයි. මේ දේ ඔවුන් ජාතික නිදහස්‌ පෙරමුණටත් කළා.

ප්‍රශ්නය - උන්වහන්සේ පක්‍ෂයේ විනයත් සමඟ කටයුතු කළේ නැද්ද?

පිළිතුර - උන්වහන්සේ මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජය වූ පසු බැසිල් රාජපක්‍ෂ මහතාව මුණ ගැසී තිබෙනවා. මේ හමුවීම පක්‍ෂය දැනුවත් කර කළ කටයුත්තක්‌ නෙමෙයි. මේවා පක්‍ෂයේ විනයට පටහැනියි.

ප්‍රශ්නය - ජනාධිපතිවරණයට පසු රතන හිමියන් කුමන්ත්‍රණයක්‌ කරලද?

පිළිතුර - නැහැ මම එහෙම එකක්‌ නෙමෙයි කිව්වේ. පක්‍ෂයේ අනුමැතියෙන් තොරව සිදු වූ කටයුත්තක්‌ ගැනයි.

ප්‍රශ්නය( සයිටම් සම්බන්ධයෙන් රට පුරා උද්ඝෝෂණ පැවැත්වෙනවා. විශේෂයෙන් මෙවර විශ්වවිද්‍යාල ඉතිහාසයේ පළමු වතාවට සියලු වෛද්‍ය පීඨ සහ එහි සිසුන් උද්ඝෝෂණ ක්‍රියාවලියට අවතීර්ණව තිබෙනවා. සයිටම් පිළිබඳ පක්‍ෂයේ මතය කෙබඳුද?

පිළිතුර(- අපගේ ඉතා සරල ස්‌ථාවරය වන්නේ සයිටම් ආයතනයඅහෝසි කළ යුතුය යන්නයි.

ප්‍රශ්නය(- ඇමැතිතුමා එලෙස සඳහන් කරන්නේ ඇයි?

පිළිතුර(- මිහිපිට දෙවිවරු ලෙස හඳුන්වන වෛද්‍යවරුන් බිහිකිරීම උසස්‌ ප්‍රමිතියෙන් යුතුව සිදු කළ යුත්තක්‌. වෛද්‍යවරු බිහි කළ යුත්තේ රජයේ පාඨමාලාවන් තුළින්. මුදල් ගෙවා ඕනෑම අයෙකුට අධ්‍යාපනය ලැබිය හැකි වුවත් එහි නිසි ප්‍රමිතියක්‌ ඇතිකිරීමට නම් ඔවුන් ලබාගන්නා අධ්‍යාපන මට්‌ටමට සරිලන සුදුසුකම් සපුරා ලිය යුතුයි.

ප්‍රශ්නය(- පුද්ගලික ආයතනයක්‌ වෛද්‍ය පීඨයක්‌ පවත්වාගෙන යැම ගැටලුළුවක්‌ද?

පිළිතුර(- ඔව් විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාව සඳහා අවශ්‍ය කරන වෛද්‍ය සායනික පහසුකම්, වෛද්‍යාගාර, පර්යේෂණාගාර මෙන්ම ප්‍රවීණ ආචාර්ය මහාචාර්යවරු උසස්‌ ප්‍රමිතියෙන් සැපයීමට ඔවුන්ට නොහැකිවීම ගැටලුවක්‌.

ප්‍රශ්නය(- රජයට වෛද්‍යවරයකු බිහි කිරීමට කොපමණ වියදමක්‌ දරන්න වෙනවාද?

පිළිතුර(- ඒ සඳහා රජයට වැයවන්නේ රුපියල් ලක්‍ෂ 25 යි. නමුත් සයිටම් ආයතනය ඒ සඳහා රුපියල් ලක්‍ෂ එකසිය විස්‌සක්‌ අයකරනවා. එතරම් මුදලක්‌ අය කළත් ඔවුන් ප්‍රමිතියෙන් යුතු වෛද්‍යවරු බිහි කරන්නේ නැහැ.

ප්‍රශ්නය(- ඔබතුමන්ලා සයිටම් ආයතනයට විරුද්ධයි කියලා සඳහන් කළානේ. එහෙම නම් වෛද්‍ය පීඨවලට අඇතුළත්වීමට නොහැකිවන සිසු සිසුවියන් වෙනුවෙන් වෙනත් විකල්ප විසඳුමක්‌ දිය යුතුයි නේද?

පිළිතුර(- ඔව්. අපට ඒ සඳහා විසඳුමක්‌ තිබෙනවා

ප්‍රශ්නය(- ඒ කුමක්‌ද?

පිළිතුර(- ඉහළ ලකුණු ලබාගෙන සිටියදීත්, දිස්‌ත්‍රික්‌ පදනම හා ඉසෙඩ් අගය මත විශ්වවිද්‍යාල වරම් අහිමි වූ සිසු සිසුවියන් සඳහා නිශ්චිත ඉසෙඩ් අගයක්‌ මත රජයේ වෛද්‍ය පීඨ හා ඉංජිනේරු පීඨවල දොරටු විවර කිරීම ඊට පිළියමයි.

ප්‍රශ්නය( සයිටම් ආයතනයට විරුද්ධවනවා වගේ රටේ සෑම තැනකම හතු පිපෙන්නාක්‌ මෙන් මතුවන අන්තර් ජාතික පාසල් (ඉන්ටර්නැෂනල් ස්‌කූල්) වලටත් විරුද්ධ වන්න ඕනෑ නැද්ද?

පිළිතුර( නීති විරෝධීව මෙරට පවත්වාගෙන යන අන්තර් ජාතික පාසල් රටේ අධ්‍යාපන පනත යටතට ගෙන ඒවා පෞද්ගලික පාසල් බවට පත්කර දේශීය විෂය ධාරාවන් හැකිතාත් දුරට උගන්වන පාසල් බවට පත්කළ යුතුයි. දැනුම පදනම් කරගත් නවෝත්පාදන ආර්ථිකයට ගැළපෙන, විද්‍යාධරයන් බිහිකිරීම අරමුණු කරගත් රාජ්‍ය මෙන්ම ප්‍රමිතියෙන් යුතු පෞද්ගලික අධ්‍යාපනයක්‌ රට තුළ ස්‌ථාපිත කළ යුතුයි.

ප්‍රශ්නය(- අපි මෙම මාතෘකාව වෙනතකට ගමු. පළාත් පාලන ආයතන සතු බලතල ඔබතුමන් උදුරාගෙන ඇති බව එම ආයතන නියෝජිතයන් චෝදනා කරනවා.

පිළිතුර( මෙහෙමයි.. එය වැරදි චෝදනාවක්‌. නාගරික සංවර්ධන අධිකාරිය කිසිදු පළාත් පාලන ආයතනයක්‌ සතු බලතල උදුරාගෙන නැහැ.

ප්‍රශ්නය(- ඇමැතිතුමා එසේනම් මේ මොකක්‌ද වුණේ.

පිළිතුර(- නාගරික සංවර්ධන අධිකාරිය 1985 දී පළාත් පාලන ආයතන වෙත පවරන බලතලවලින් කොටසක්‌ තමයි ඔය පවරා ගත්තේ. නැතුව ඒ අයගේ බලතල ගත්තා නොවෙයි. දෙයක්‌ දන්නේ නැති බොරු ගොතන අයයි එලෙස කියන්නේ.

ප්‍රශ්නය - පළාත් පාලන ඡන්දය දිනෙන් දින කල් යනවා. මෙය ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ තර්ජනයක්‌ නෙමෙයිද?

පිළිතුර - ඔව් එය බරපතළ කරුණක්‌. මෙම ඡන්දය වහා පැවැත්විය යුතුයි. පළාත් පාලන ආයතන පවත්වාගෙන යන්න දේශපාලන අධිකාරිය අත්‍යාවශ්‍යයි.

ප්‍රශ්නය - ජාතික හෙළ උරුමය පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන්නේ ස්‌වාධීනවද? නැත්නම් ඒකාබද්ධ පෙරමුණක්‌ යටතේද?

පිළිතුර - අපි එක්‌සත් ජාතික පෙරමුණ යටතේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙනවා.

ප්‍රශ්නය - පක්‍ෂය ප්‍රතිව්‍යqහගත කරන බව ඔබ සඳහන් කර තිබුණා.

පිළිතුර - ඔව්. අපගේ පසුගිය මහ සමුළුවේ තීරණ ගැන වත්මන් ආර්ථික, සමාජීය සහ දේශපාලන පරිසරය අනුව ඒ කටයුතු සිදු කරනවා.

ප්‍රශ්නය - ස්‌වාධීන කොමිෂන් සභා පත්කිරීම පසුගිය දේශපාලන වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක්‌ බවට පත්වුණා. නමුත් දැන් ඒ ගැන වැඩි කතාවක්‌ නැහැ නේද?

පිළිතුර - ස්‌වාධීන කොමිෂන් සභා නවයක්‌ පත් කළා. නමුත් ඒවා ක්‍රියාත්මක වන්නේ කොහොමද? පරිපාලනය කොහොමද කියන එක උනන්දුවක්‌ නැහැ. අවුරුදු දෙකක්‌ ගත වී ඇතත් අලුත් කොමිෂන් සභාවලට කාර්යාල නැහැ. මේස පුටු නැහැ.

ප්‍රශ්නය - ඇතැම් කොමිෂන් සභා පත්කළාම පවතින අණපනත් එහි ක්‍රියාකාරිත්වයට බාධා මතු කර තිබෙනවා නේද? විශේෂයෙන්ම මැතිවරණ කොමිසම, විගණන කොමිසම වගේ කොමිෂන් සභා.

පිළිතුර- ඔව්.... මෙම අණපනත් වෙනස්‌ වෙන්න ඕනෑ. මැතිවරණ කොමිසම පත්කළා. හැබැයි මැතිවරණ දෙපාර්තමේන්තුව කියලා එකකුත් තියෙනවා. එතකොට මෙම දෙපාර්තමේන්තුව මැතිවරණ කොමිෂන් සභාව බවට පත්විය යුතුයි. නමුත් ඊට අණපනත් මේ වන විට සැකසී නැහැ. විගණන කොමිසම පත්කළා. එතකොට විගණකාධිපති කොමිසම කියලා දෙපාර්තමේන්තුව කියලා එකකුත් තියෙනවා. එය සම්බන්ධ වෙන්න ඕන ලෙස පනත වෙනස්‌ වී නැහැ. හරි කනගාටුදායක තත්ත්වයක්‌ වෙලා තියෙන්නේ.

ප්‍රශ්නය - මේ ආණ්‌ඩුව පෙරළන්න අදහසක්‌ නැද්ද? එහෙම ඇහුවේ එහෙම ඉතිහාසයක්‌ තිබෙන නිසයි.

පිළිතුර - කිසිසේත්ම මේ ආණ්‌ඩුව පෙරළන්න සූදානමක්‌ නැහැ. රජයේ හිටියත් අපගේ ස්‌වාධීන මතය අපි ප්‍රකාශ කරනවා.

ප්‍රශ්නය - ඇමැතිතුමා, ඔබට එරෙහිව සමාජ ජාල වෙබ් අඩවි තුළ විශාල ප්‍රහාරයන් එල්ල වෙමින් තිබෙනවා. ඒවායේ සත්‍ය අසත්‍යතාවය කියන්න ඔබ කටයුතු කර නැහැ.

පිළිතුර - ඇයි මම බොරුවට කලබල වෙන්නේ. බය හින්දනේ ගහන්නේ.

ප්‍රශ්නය - ඔබගේ ආණ්‌ඩුවට සම්බන්ධ වෙබ් අඩවිත් සමාජ ජාලාත් ප්‍රහාර එල්ල කරනවා.

පිළිතුර - භය, භය, භය, වෙන මොනවද? අපි දූෂණයට එරෙහිව ආණ්‌ඩුවේ සහ පිට අයට ගහන නිසයි මෙහෙම වෙන්නේ අපි ඕවට භය නැහැ. ඔය වගේ දේවල් ඕන තැනක වෙන්න පුළුවන්.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.