ක්‍රිකට්‌ රැවටීමේ කලාව

අසේල විතාන

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාවේ නව සංක්‍රාන්ති සමය තවමත් අහවර නැත. අලුත් උපක්‍රම සහ සැලසුම් කප්පරකි. නමුත් තිරය පිටුපස ජවනිකාවත් වේදිකාවේදි ක්‍රිකට්‌ කොල්ලන් කරන කර්තව්‍යත් හබල නැති පාරුවක්‌ මෙන් ඔහේ ගසාගෙන යති. එබැවින් මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩාව හුලං පිරවූ බැලුමක්‌ බඳුය. බැලුම පුපුරන්නට පෙර මෙරට ක්‍රිකට්‌ රස්‌සාව කරවන ලොකු ලොකු මහත්වරුන්ට සද්භාවය නැමති විෂය හැදැරීමට හැකි වුවහොත් මෙරට ක්‍රිකට්‌ නාස්‌තිය මෙන්ම අයාලේ යන ක්‍රිකට්‌ රස්‌සාව හරි මගකට ගැනීමට හැකි වනු ඇත.

දැන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ දුවන්නේ මුදල නැමැති භයානක රකුසාගේ කර මත සිටගෙනය. පසුගියදා දේශීය ක්‍රිකට්‌ තරගවලද තරග පාවාදීම් කරළියට පැමිණියේය. එය දෙස්‌ විදෙස්‌ මාධ්‍ය ඔස්‌සේ වාර්තා වීමත් සමග මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩාවටද තවත් කලු පැල්ලමක්‌ එක්‌ විය. දැන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ටද "මැච් µsක්‌ෂින්" රෝගය වැළදී ඇති බව බුකීකරුවන්ට ඒත්තු ගැන්වීමත් සමග ඉදිරිය ගැන තවත් විපරමකින් සිටිය යුතු කාලයක්‌ එළැඹ තිබේ.

මෙරට ප්‍රධානතම ක්‍රීඩා සමාජයක්‌ එක්‌ ඉනිමක ලකුණු තිස්‌ ගණනකට දැවී යාම සහ තවත් ක්‍රීඩා සමාජයක්‌ එක්‌ දිනකදී ලකුණු හයසීයයක්‌ ලබා ගැනීම දැන් තරග පාවාදීමේ සිද්ධියකට ඇදී ඇති කතාවයි. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක්‌ කඩි මුඩියේ සිදුකරන බවට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සභාපතිවරයා පැවසුවද පාවාදීමේ වාර්තාව මේ සටහන තබන මොහොතන වන විටත් ලැබි නොතිබුන බැවින් එහි තොරතුරු අනාවරණය කිරීමට නොහැකි විය. ශ්‍රී ලංකා කණ්‌ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් සිටියදී කණ්‌ඩායමක්‌ ලකුණු තිස්‌ ගණනකට දැවී යාම තණතිල්ලේ දෝෂයක්‌ද නැතිනම් තරග පාවාදීමක්‌දැයි රටම බලා සිටින බවද අමතක නොකළ යුතුය.

ක්‍රීඩකයන් තේරීමේ සිට බත් පැකැට්‌ටුවේ කොන්ත්‍රාත්තුව දක්‌වාම ක්‍රිකට්‌ මුදලට සහ වෙනත් බලයන්ට කොටුවී ඇතැයි විවිධ පාර්ශ්වලින් ක්‍රිකට්‌ ආයතනයට චෝදනා ගොනු වේ. ක්‍රීඩාංගණ නඩත්තු කිරීම සහ ඒවාගේ විගණන වාර්තා බොහොමයක්‌ අතුරුදන්ය. පසුගියදා පාර්ලිමේන්තුවේදී කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීතුමාද ක්‍රිකට්‌ අලකලංචිවල ඇති හිල් පිළිබඳව අනාවරණය කළේය. සුරියවැව ක්‍රීඩාංගණය සහ එහි නඩත්තුව පිළිබඳව වාර්තා මෙන්ම උපදේශකවරු, ක්‍රිකට්‌ නිල ඇඳුම් මෙන්ම අනුග්‍රාහකත්ව ඔස්‌සේ ලැබෙන මුදල්ද අදාළ කොප් කමිටු වාර්තාවේ සඳහන් වේ.

වත්මන් ක්‍රිකට්‌ සභාපති තිලංග සුමතිපාල මහතා ක්‍රිකට්‌ ක්‍රීඩාවට ආදරය කරන බව සැබෑවකි. ඔහු ක්‍රිකට්‌ ක්‍රීඩාවට කරන ආලය දොරේ ගලාගෙන යන බැවින් ඔහු වටා සිටින "හෙංචයියන්ද" මේ දිනවල මෙරට ක්‍රිකට්‌ සුක්‌කානම කරකවන්නට තරම් බලගතු පොරවල් වී හමාරය. තවත් වසරකින් එන ක්‍රිකට්‌ නිලවරණයට කතිර එකතු කර ගැනීමට සුමතිපාල මහතාට මේ "හෙංචයියන්ව" නඩත්තු කිරීම අත්‍යඅවශය වී තිබේ. නැතිනම් කතිර තරගයෙන් සුමතිපාල මහතාට ක්‍රිකට්‌ මහ පුටුව අතහැරෙන්නට පුළුවන.

ගරු සේවය නැමැති ලේබලය අලවාගෙන ක්‍රිකට්‌ ආයතන දොරටුවෙන් ඇතුළට රිංගන ක්‍රිකට්‌ මහත්වරුන්ට ක්‍රිකට්‌ වැටුපක්‌ නැති වුවත් වාහන නඩත්තුව ක්‍රිකට්‌ භාණ්‌ඩාගාරයෙන්ය. තෙල් ටිකේ සිට රියෑදුරු වැටුපද ක්‍රිකට්‌ ආයතනයෙන් ගෙවන කළ ඇතැම් ක්‍රිකට්‌ ලොක්‌කන් සිය ගෙදර වැඩටද අතිරේක වාහන ලබාගෙන ඇතැයි චෝදනා තිබේ. මේ පිළිබඳව සක්‌සුදක්‌ සේ දන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සුමතිපාල මහතා ඇතුළු එහි ප්‍රධාන නිලධාරීන්ය.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාව දුවන්නට දෙසීය පනහකට අධික සේවකයන් පිරිසක්‌ ක්‍රිකට්‌ පරිපාලනයේ යෙදී සිටිති. කෙසේ වෙතත් ඒ සියලු දෙනාම මෙරට ක්‍රිකට්‌ ඉදිරියට ඇදගෙන යන්නට අත්‍යඅවශයම නැතැයි අපගේ හැගීමයි. 1996 දී හතළිහකටත් අඩු කාර්ය මණ්‌ඩලයකින් මෙරට ක්‍රිකට්‌ පියවරෙන් පියවර ඉදිරියට පැමිණියේය. අනතුරුව විවිධ කොන්ත්‍රාත් සහ බලය නැමැති විෂබීජය හේතුවෙන් ක්‍රිකට්‌ ආයතනයේ කාමර ලොකු විය. කාර්ය මණ්‌ඩලයද ක්‍ෂණයකින් ඉහළ ගියේය. දැන් ඔවුන්ව නඩත්තු කරන්නට සහ සතුටු කරන්නට ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායම ජයග්‍රහණ මාවතේ ඉදිරියටම ගමන් කළ යුතුය. නමුත් ශ්‍රී ලංකාව ටෙස්‌ට්‌, එක්‌දින සහ විස්‌සයි විස්‌ස ජාත්‍යන්තර ශ්‍රේණිවල පහෙන් පහළට වැටී නන්නත්තා වී සිටියි. එවිට ක්‍රිකට්‌ ආයතනයේ මුල සිට අග දක්‌වා ඇති විෂබීජ මොනවාදැයි හතර වටින්ම එබිකම් කර බලති. මේ වසර අගදී දකුණු අප්‍රිකාවේ සංචාරය කරන්නට සිටි ශ්‍රී ලංකා පිලට එම සංචාරයද අහෝසි විය. ඒ ශ්‍රී ලංකා කණ්‌ඩායමේ දක්‍ෂතාව හෑල්ලුවට ලක්‌ කරමින් විය යුතුය. හරුන් ලොගාට්‌ ප්‍රමුඛ දකුණු අප්‍රිකානු ක්‍රිකට්‌ ආයතනය ඒ වෙනුවට ඉන්දියාව ගෙන්වා ගැනීමට කැමැත්ත පළකර තිබේ.

කෙසේ වෙතත් ක්‍රිකට්‌ නිලවරණ ඉලක්‌ක කර ගනිමින් ඇතැම් තේරීම්ද සිදුවන බව වාර්තා වේ. එක්‌ ක්‍රීඩකයකුගේ පියාට ඇති ක්‍රීඩා සමාජ මනාප තොගය නිසා ඔහුට කණ්‌ඩායමේ ස්‌ථානය ස්‌ථිර වී තිබේ යෑයි තවත් චෝදනාවක්‌ තිබේ. ඒ චෝදනාව විටක සත්‍ය විය හැකිය. තවත් විටෙක අසත්‍ය විය හැකිය. කෙසේ වෙතත් එක පෙළට ක්‍රීඩකයන් අසාර්ථක වන විට දක්‍ෂයා සහ අදක්‍ෂයා තෝරා ගැනීමද එක්‌තරා විපරීත කර්තව්‍යකි. අදාළ තත්ත්වය එසේ නම් දක්‍ෂතා දක්‌වන ක්‍රීඩකයකුට ඔහුගේ ස්‌ථානය පූජා කරන්නට සිදුවේ. එවිට මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩාවේ ප්‍රතිඵලය ගැන කවර කතාදැයි කිව යුතු නැත.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය ඇතුළු ක්‍රිකට්‌ තේරීම් කමිටු සාමාජිකයන් පසුගියදා සිය තනතුරුවලින් ඉල්ලා අස්‌වන්නට ලක ලැහැස්‌ති විය. ජයසූරිය දකුණු අප්‍රිකාවේ සිට විද්යුත් පණිවුඩයක්‌ මගින් සිය ඉල්ලා අස්‌වීම හදිසියේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වෙත යොමු කළේය. එතැනින් නොනැවතුනු ඔහු පස්‌වැනි එක්‌දින තරගයට දින කිහිපයකට පෙර හදිසියේ ශ්‍රී ලංකාවට පැමිණ කෙළින්ම ක්‍රිකට්‌ ආයතනයට ගොස්‌ තීරණාත්මක සාකච්ඡාවකට සහභාගි වූ බවද වාර්තා වේ. ගෙදර රහස්‌ පිටට නොයන්නට අදාළ පාර්ශ්ශව වග බලා ගත්තද සත්‍ය වසන් කළ නොහැකි බව අපි ඔවුන්ට මතක්‌ කර සිටිමු. කෙසේ හෝ ජයසුරියද ඉල්ලා අස්‌ නොවුණි. ඔහුගේ තීරණයට මුල් තැන දී සෙසු ප්‍රධානීන් පියවරක්‌ පසුසට ගියේය.

ජයසුරියට පිටින් එංගලන්තය "ඒ" පිල සමග නම් කළ කණ්‌ඩායමේ දිනේෂ් චන්දිමාල් ඇතුළු ජාතික කණ්‌ඩායමේ ක්‍රීඩකයන් හත් දෙනකු පමණ ඇතුළත් කර ඇති බව වාර්තා විය. ක්‍රීඩා සමාජ තරගාවලියටද ජාතික ක්‍රීඩකයන් නොමැති වීම හේතුවෙන් ඒ තේරීම් පිළිබඳව තවත් පාර්ශ්ශව දෙකක්‌ මත දෙකක සිටගෙන තිබීම හේතුවෙන් කෙසේ හෝ ජයසූරියගේ කැමැත්ත පරිදි සියල්ල සිදුවී තිබේ. ඒ අනූව ජයසූරිය යළිත් ක්‍රිකට්‌ තේරීම් රස්‌සාව කරගෙන යයි.

එංගලන්ත "ඒ" කණ්‌ඩායම සමග තරග වදින්නට නම් කළ කණ්‌ඩායම ජයසුරියත් නොදැනීම වෙනස්‌ කර ඇති බවට පැහැදිලි වන්නේ, තරගාවලිය පිළිබඳව කඩිමුඩියේ ලක ලැහැස්‌ති කළ මාධ්‍ය හමුවටද කණ්‌ඩායම ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා "ඒ" පුහුණුකරු අවිශ්ක ප්‍රනාන්දුටද නොහැකි වු බැවිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ දක්‍ෂතා ඉහළ නැංවීමේ කළමණාකරු ලෙස පත්කර ඇති සයිමන් විලී කළ කාර්යද තවමත් අපට පැහැදිලි නැත. ඔහු දන්නා දේ මෙරට ක්‍රිකට්‌ දිග් විජය කළ ක්‍රිකට්‌ "ඔස්‌තාර්ලා" නොදන්නේ මන්ද යන්නත් ප්‍රහේලිකාවකි. කෙසේ වෙතත් සයිමන්ට මිලියන ගණනක්‌ මාසයකට පඩි නඩි ගෙවයි. ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ප්‍රධාන පුහුණූකරු ග්‍රැහැම් ෆොaඩ්ගේ තරග සැලසුම් පිළිබඳවද තවත් පාර්ශ්ශව කණස්‌සල්ලෙන් පසුවන බව දැන ගන්නට තිබේ. ඔහු තරගවලදී ක්‍රීඩකයන්ට ලබාදෙන වගකීම් "බබාලා නලවන්නට" මෙන් යෑයි අදාළ පිරිස්‌ වැඩිදුරටත් චෝදනා කරති. කෙසේ වෙතත් පටලැවිල්ල ලිහා නොගත්තහොත් මෙරට ක්‍රිකට්‌ රැවටීමේ විපාකයක පැටලී අගාධයට තල්ලු වනු ඇත.

කොතරම් දොස්‌ තිබුණද ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වලට වූ හොඳ ගැනද මතක්‌ කර යුතුව තිබේ. ප්‍රිමියර් ලීග් එක්‌දින සහ විස්‌සයි විස්‌ස තරගාවලි සඳහා ක්‍රීඩකයන්ගේ දක්‍ෂතා ඉහළ දැමීමට ත්‍යාග ලබාදීම ඉකුත් සතියේ ගත් පියවර අගය කළ යුතුය. එහෙත් කිරි හැලියට ගොම බිංදුවක්‌ වැටුණොත් පළක්‌ තිබේද? ප්‍රශ්නය ඇත්තේ එතැනය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.