බත් මුට්‌ටියේ ආසනික්‌ දැන් මොකද කරන්නේ?

ඒමන්ති මාරඹේ

නිසි පරිදි සහල් පිසීමේ ක්‍රම අනුගමනය නොකිරීමෙන් ලොව පුරා මිලියන ගණනක ජනතාවකගේ ශරීර සෞඛ්‍යය අවදානම් තත්ත්වයකට පත්ව තිබෙන බව බටහිර පර්යේෂකයන් විසින් අනාවරණය කරගෙන තිබේ.

විශේෂයෙන් ආසියානු කලාපයේ ගොවීන් වී සහ අනෙකුත් භෝග වර්ග වගා කිරීමේදී භූගත ජලය වැඩි වශයෙන් භාවිත කරන බැවින් එම භූගත ජලයේ ආසනික්‌ රසායන ද්‍රව්‍ය බහුලව අඩංගු වීමෙන් සහල්වල මෙන්ම වෙනත් ආහාරමය භෝග ගණනාවක ශරීරයට අහිතකර මට්‌ටමෙන් ආසනික්‌ විෂ අන්තර්ගත වීම සිදුවිය හැකි බව පර්යේෂකයෝ පවසති.

එමෙන්ම දශක ගණනාවක්‌ මුළුල්ලෙහි පවතින කාර්මික රසායනික ද්‍රව්‍ය හා පළිබෝධ නාශකයන්ද ආසනික්‌ විෂ සහල්වලට පැමිණීමට හේතුවී තිබෙන බව ඔවුහු කියා සිටිති.

මෙසේ සහල්වල අන්තර්ගතව පැවැතිය හැකි ආසනික්‌ විෂ ප්‍රමාණය නිසි පරිදි සහල් පිසීමෙන් අඩුකර ගත හැකි බව අයර්ලන්තයේ බෙල්µdස්‌ට්‌ ප්‍රදේශයේ ක්‌වීන්ස්‌ සරසවියෙහි මහාචාර්ය ඇන්ඩි මෙහා(ර්)ග් පවසයි.

ඒ අනුව නිවැරැදිව ක්‍රම තුනකට අනුව සහල් පිසීමෙන් බත් හරහා ආසනික්‌ විෂ ශරීරගත වීම අවම කළ හැකි බව මහාචාර්යවරයාගේ මතය වී තිබේ.

මේ යටතේ පළමු ක්‍රමය වනුයේ සහල් කෝප්ප එකකට ජලය කෝප්ප දෙකක්‌ යොදා සහල් පිසගැනීමයි. දෙවැනි ක්‍රමය නම් සහල් කෝප්ප එකකට ජලය කෝප්ප පහක්‌ යොදා සහල් පිසගැනීමයි. මෙහිදී සහල්වලට උරා ගන්නා අතිරික්‌ත ජල ප්‍රමාණය මගින් ආසනික්‌ විෂ හරි අඩකින් දියකර හැරීමට හැකි බව මහාචාර්ය මෙහා(ර්)ග් පවසයි.

තුන්වැනි නිවැරැදිව සහල් පිසීමේ ක්‍රමය වනුයේ සහල් පිසීමට පෙර දින රාත්‍රියේ ජලයෙහි පොඟවා තැබීමයි. මේ හරහා සහල්වල පැවතිය හැකි ආසනික්‌ ඇතුළු විෂකාරකයන් සියයට 80 කින් අඩුවන බව හෙළිදරව් වී තිබේ.

සහල් පිසීමේදී අවශ්‍ය සහල් ප්‍රමාණය භාජනයක බහා මැන ගැනීම, සහල් පෙර දින රාත්‍රියේ ජලයෙහි පෙඟීමට දමා තිබීමෙන් අනතුරුව සහල් ජලයෙන් හොඳින් සේදීම (ජලය පිරිසිදු වන තෙක්‌) හොඳින් පෙරීම, බඳුනකට සහල් දමා (සහල් කෝප්ප එකකට ජලය කෝප්ප පහක්‌ වනසේ) එයට ලුණු ස්‌වල්පයක්‌ යොදා ගෙන හොඳින් හැඳිගෑම, උතුරාගෙන එනවිට උෂ්ණත්වය අඩුකර බඳුන පියනකින් හොඳින් වසා අඩුම උෂ්ණත්වයක්‌ යටතේ විනාඩි දහයත් පහළොවත් අතර කාලයක්‌ පිසගැනීම සිදු කළ යුතු අතර ඒ හරහා ආසනික්‌ ඇතුළු සහල්වල අඩංගු විෂ කාරකයන් විශාල ප්‍රමාණයක්‌ අඩුකර ඒවා ශරීරගත වීම වළක්‌වාගත හැකි බව මහාචාර්ය මෙහා(ර්)ග් පෙන්වා දෙයි.

මෙහිදී සහල් සම්පූර්ණයෙන් පිස අවසන් වන තෙක්‌ බඳුනෙහි පියන වසා තැබීම වැදගත්ය. පිසීමෙන් පසු බත ගෑරුප්පුවක්‌ ආධාරයෙන් එහා මෙහා පෙරළීම සිදු කළ හැකිය.

ආසනික්‌ අඩංගු ආහාර අනුභව කිරීමෙන් කුඩා දරුවන්ගේ ස්‌නායු වර්ධන ගැටලු හටගැනීම, හෘද රෝග, දියවැඩියාව හා පිළිකාව වැනි බෝ නොවන රෝගවලට ගොදුරු වීම සිදුවිය හැකි බව බටහිර පර්යේෂකයෝ අනාවරණය කරති.

සහල්වල පමණක්‌ නොව මෙලොව පවතින ස්‌වාභාවික යෑයි සම්මත ධාන්‍ය වර්ගවල පවා ආසනික්‌ විෂ අන්තර්ගතව පවතින බව මේ වන විට අනාවරණය වී තිබේ. ඇපල් යුෂ මෙන්ම ළමුන්ට ලබාදෙන ධාන්‍යමය සීරියල් වර්ගවල ද ආසනික්‌ විෂ අන්තර්ගතව පවතින බව අනාවරණය වීම නිසා ආහාර වර්ගවල අඩංගු විය යුතු ආසනික්‌ විෂ ප්‍රමාණය කොතෙක්‌ දැයි තීරණය කිරීමට මේ වන විට යුරෝපා සංගමය විසින් රෙගුලාසි සකස්‌ කර තිබේ. අතීතයේ සිටම අප රටෙහි මෙන්ම ආසියාතික රටවල් ගණනාවකම ප්‍රධාන ආහාරය වී ඇති බත්වල පවතින ආසනික්‌ විෂ ගැන පර්යේෂණ පවත්වා ඒ පිළිබඳ තොරතුරු ලොවට හෙළිදරව් කර ඇත්තේ බත් අඩුවෙන් පරිභෝජනය කරන බටහිර රටවල් විසිනි.

මෙහිදී අප රටවල විද්‍යාඥයන් ද මේ සම්බන්ධව පුළුල් ලෙස පර්යේෂණ පවත්වා ආසනික්‌ ඇතුළු විෂකාරක ජනතාවගේ ශරීරගත වීම වැළැක්‌වීමට අවශ්‍ය පියවර කඩිනම් කළ යුතුය.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.