අපේ රටට ආඩම්බරයක්‌
එක්‌ කළ කැබැල්ලෑවා ගැන දන්නවාද...?

* ලෝක පැන්ගෝලා දිනයේ රට පන්නන්න හැදූ
   කැබැල්ලෑ කටු කිලෝ 11ක්‌ අසුවෙයි

සෑම වසරකම පෙබරවාරි මාසයේ තුන්වැනි සෙනසුරාදා දිනය, ලෝකයා විසින් වෙන්කර ඇත්තේ පැන්ගෝලියන් සත්ත්වයා සැමරීම සඳහාය. ලෝකය පුරා ශීඝ්‍රයෙන් වඳවී යන මේ මනරම් සත්ත්ව කොට්‌ඨාශය අපේ රටට ද ආඩම්බරයක්‌ එක්‌ කරමින් මේ සිංහල පොළොවේ කැබැල්ලාව ලෙස ජීවත් වේ. ලෝකය පුරා කැබැල්ලා සංරක්‌ෂණය වෙනුවෙන් පසුගිය සෙනසුරාදා විවිධ ක්‍රියාකාරකම් පැවැත්වුණි. ශ්්‍රS ලංකාවෙන් වේගයෙන් වඳවී යන මෙම සත්ත්ව වර්ගයා වෙනුවෙන් කරන ලද සැමරුම 'අතේ පත්තු' වූයේ කටුනායක ගුවන් තොටුපළේදීය. කැබැල්ලෑ පොතු කිලෝ 11 ක්‌ ගමන් මල්ලක සඟවාගෙන චෙන්නායි බලා යැමට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවක්‌ කටුනායක බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී රේගු නිලධාරීන්ගේ අත්අඩංගුවට ගනු ලැබුවේ, ඒ අපූර්ව 'සංරක්‌ෂණ ක්‍රියාදාමය' හෙළිදරව් කරමිනි. කැබැල්ලෑවා පිළිබඳ මේ ශෝක ජනක සැමරුම, අතීතයට එක්‌ නොකර අපේ දුවා දරුවනට චිත්‍රයක හෝ ෙµdaමලීන් බෝතලයක කැබැල්ලාවකු දැකීමේ අවස්‌ථාව ලබා නොදී යන එන ගමනකදී මේ සත්ත්වයා දැක ගැනීමේ අවස්‌ථාව උදා කරලීමේ වගකීම අප සතු බව පළමුව මතක්‌ කරමු.

ඉත්තෑවාගේ ගෙට කැබැල්ලෑවා රිංගුවා වාගේ යනුවෙන් ඇති කියමන නිසා බොහෝ දෙනකු මෙම සත්ත්වයා ගැන අසා තිබේ. අනුන් සතු දෙයක්‌ බලහත්කාරයෙන් අයිති කර ගැනීම සඳහා යෙදෙන මෙම පිරුළ බිහිවී ඇත්තේ, ඉත්තෑවා ගමනක්‌ ගොස්‌ එන අතරේ අතරමං වූ කැබල්ලෑවෙක්‌ ලෙනෙහි නවාතැන් ගැනීම සඳහා ඉත්තෑවාගෙන් කැමැත්ත විමසා සිටීම හේතුවෙන් බව ජනකතාව පවසයි. ඉත්තෑවා කැබල්ලෑවාට තම ලෙන තුළ නවාතැන් ගැනීමට අවසර ලබා දුන්නේය. නමුත් පසුදින උදෑසන කබල්ලෑවා ආපසු යන බවක්‌ පෙනෙන්ට තිබුණේ නැත. දෙදෙනකුට වාසය කිරීමට ඉඩකඩ නොමැති බැවින් එතැනින් ඉවත්වෙන ලෙස ඉත්තෑවා කැබල්ලෑවාගෙන් ඉල්ලා සිටියේය. 'නුඹ මෙතනින් වෙන තැනකට පලයන්. මට මෙතැන හොඳ යෑයි' කැබල්ලෑවා ඉත්තෑවාට පැවසුවේය. ඉත්තෑවා ඒ අවස්‌ථාවේ තම තියුණු උල් සහිත කූරු විහදා කැබල්ලෑවාට පහර දෙන්නට විය. එහෙත් කැබල්ලෑවාගේ සිරුර ආවරණය වී තිබෙන්නේ ඝණ පොතු විශේෂයකින් නිසා ඌට ඉත්තෑවාගේ පහර දීමෙන් ගණනක්‌ නොවීය. කැබල්ලෑවා ලෙන තුළම රැඳුණු අතර ඉත්තෑවාට වෙනත් ලෙනක්‌ සොයා යැමට සිදු විය. කැබැල්ලෑවා ගේ සිංහල නාමය සඳහා මෙන්ම උගේ අනන්‍යතාව සඳහා ද බලපා ඇත්තේ එදා ඉත්තෑවාට තම ගෙදරින් පිටවෙන්නට සිදු වූ කැබැල්ලෑවා සතු ඝනකම පිට වැස්‌මය. සිංහල දරුවන් කියවන හෝඩි පොතේ 'ඈ' අකුර සඳහා නිරුපණය වන්නේ ඈයා යන වචනයය. ඈ යන නාම පදය හැරුණුකොට ඈ යන්න නිරූපණය කිරීම සඳහා සිංහල බසින් ඇත්තේ ඈයා යන වචනයය. ඈයා යන වචනය පසුවට යොදා ඉදිරියෙන් තවත් විශේෂණ පද යොදා හඳුන්වනු ලබන සත්ත්ව කොට්‌ඨාශ ගණනාවක්‌ තිබුණද ඈයා යන තනි වචනයෙන් හඳුන්වන්නේ කබල්ලෑවාය. කබල ඇති හෙවත් ඝන මතුපිටක්‌ සහිත ඈයා යන නමින් කබල් ඈයා ලෙස මෙම සත්ත්වයා මුලදී හඳුන්වන්නට ඇති අතර එය සන්ධිවීමෙන් කැබැල්ලෑවා යන නම සෑදුණු බව සිතිය හැකිය.

ඉන්දියාව, ශ්‍රී ලංකාව, භූතානය ආදී රටවල තැනි තලාවන්ගේත් කඳු ආශ්‍රිතවත් දැකිය හැකි කබල්ලෑවා විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන්නේ, Manis crassicaudata ලෙසය. ඉංග්‍රීසි භාෂාවෙන් මෙම සත්ත්වයා හඳුන්වනු ලබන්නේ, ඉන්දියානු පැන්ගොලියන් (Indian Pangolin) යන නාමයෙනි.

ලෝකය පුරා පැන්ගොලියන් විශේෂ අටක්‌ දකින්නට ලැබේ. ඉන් හතරක්‌ ආසියාවේ ද ඉතිරි හතර අප්‍රිකාවේද වාසය කරයි. සමකය හෙවත් නිරක්‌ෂයට දකුණු පසින් පිහිටි අප්‍රිකා සහ දකුණු ආසියාවේ.පමණක්‌ වාසය කිරීම මේ සත්ත්වයාගේ ඇති සුවිශේෂ භාවයය.

ආසියාවේ වෙසෙන පැන්ගොලියන් වර්ග

චීන පැන්ගොලියන් (Manis pentadactyla)

සුන්ඩා පැන්ගොලියන් (Manis javanica)

ඉන්දියන් පැන්ගොලියන් (Manis crassicaudata)

පිලිපීන පැන්ගොලියන් (Manis culionensis)

අප්‍රිකාවේ වෙසෙන පැන්ගොලියන් වර්ග

කේප් පැන්ගොලියන් (Smutsia temminckii)

බඩ සුදු පැන්ගොලියන් (Phataginus tricuspis)

යෝධ පැන්ගොලියන් (Smutsia gigantea)

බඩ කළු පැන්ගොලියන් (Phataginus tetradactyla)

මෙයින් ආසියාවේ ජීවත්වෙන පැන්ගොලියන් වර්ග හතරම සිටින්නේ සිය ගහනයන් නිමාවීමට ආසන්න අවස්‌ථාවේ හෙවත් තම වර්ගයාගේ අවදානම් කලාපයේය. මේ සඳහා හේතුව වන්නේ චීනය, වියට්‌නාමය වැනි රටවල ආහාරයක්‌ ලෙස පැන්ගොලියන් දඩයම් කිරීමය. ඔබ වියට්‌නාමයට ගියහොත් එහි අවන්හල්වල මරා කෑම පිණිස සූදානම් කර ඇති පැන්ගොලියන්ලා සුලභ දසුනක්‌ බව පෙනී යාවි. මීට අමතරව පාරම්පරික චීන වෛද්‍ය ක්‍රමයේදී පැන්ගොලියන් කටු යොදා ගන්නා අතර කටුනායකින් පිටමං කිරීමට යැමේදී අසුවූ කැබැල්ලා කටු තොගය මෙවැනි කාරණයක්‌ සඳහා භාවිතයට විකුණා දැමීමට යොදාගැනීම සඳහා විය හැකිය. පාරිසරික වන විනාශය හේතුවෙන් සිය ජීවිත පවත්වාගෙන යැමේ අවදානමක්‌ ඇතිව සිටින පැන්ගොලියන් පරපුර, මිනිසාගේ නොහික්‌මුණු දඩයම හමුවේ, තව දශක කිහිපයකින් ලෝකයට සමුදීම සඳහා මේ වන විට සූදානමින් සිටින බව පෙනේ.

'රෝල් විය හැකි' යන අර්ථය ඇති, pengguling යන මැලේ භාෂාවෙන් භාවිත වන වචනය අනුව මෙම සතා පැන්ගෝලියන් ලෙස හැඳින්වේ. අනික්‌ පැන්ගෝලියන් විශේෂ මෙන්ම සුලභ නොවන කැබැල්ලෑවාගේ ශරීර වර්ණය පොළොවට සමාන දුඹුරු පැහැයක්‌ ගනී. බඩ සහ පාදවල ඇතුළු පැත්ත හැර ඉතිරිය සම්පූර්ණයෙන්ම වසාගත් ඝන ශරීර ආවරණයක්‌ පිහිටා තිබේ. නියපොතු සැදී ඇති කෙරටින් මගින්ම සැදී ඇති මෙම ස්‌ථරය, කැබැල්ලෑවා මත පිහිටන්නේ, සිප්පි කටු රාශියක්‌ විධිමත් රටාවකට තැබුවාසේය. ව්‍යාඝ්‍රයන් වැනි විලෝපිකයන්ගෙන් ආරක්‌ෂා වීමට ආරක්‌ෂක ආවරණයක්‌ සේ එය ක්‍රියා කරයි. අනතුරක්‌ දැනුණු විගස තම ශරීරය තුළට ගුලිවෙන කැබැල්ලෑවා, ඉන් පසු සත්ත්වයකු ලෙස නොව, ඝන කටුවක ස්‌වරූපයට පත්වේ. කැබැල්ලෑවා අල්ලා ගැනීම පිණිස පැමිණෙන ව්‍යාඝ්‍රයන් වැනි උල් නිය සහ උල් දත් පිහිටි සතකුට වුවත්, මෙසේ ගුලියක්‌ වූ කැබැල්ලෑවා අල්ලාගැනීමට හෝ ආහාරයට ගැනීමට නොහැකි තරමට මෙම කටුව සවිමත්ය.

ලජ්ජාශීලී හෙවත් හුදකලාභාවයක්‌ පෙන්නුම් කරන කැබැල්ලෑවා, හෙමින් ගමන් කරන ක්‌ෂීරපායී සත්ත්වයෙකි. නිශාචර සත්ත්වයෙක්‌ ලෙස ප්‍රකට අතර දිවා කාලයේදී ගල් ගුහා හෝ පඳුරු වැනි අඳුරු ස්‌ථානවල නින්දෙන් ගත කරනු ලබයි. ශරීරයේ සම්පූර්ණ දිග සෙන්ටිමීටර 85 ත් 122ත් අතර වේ. කිලෝ 10 - 15ක්‌ පමණ බරකින් යුක්‌ත වේ. ගැහැනු සත්ත්වයා පිරිමි සත්ත්වයාට වඩා ප්‍රමාණයෙන් කුඩා වේ. උල් හැඩැති හිසක්‌ ඇති කැබැල්ලෑවාට කුඩා, අඳුරු ඇස්‌ දෙකක්‌ පිහිටයි. දත් පිහිටා නොමැති අතර කෘමීන් සහ කුහුඹුවන් පහසුවෙන් අල්ලාගැනීමට දිගු දිවක්‌ පිහිටයි.

ශ්‍රී ලංකාවේ වැසි වනාන්තර සහ තැනිතලා මධ්‍යම කඳුකරය අතරද කැබැල්ලෑවා වාර්තා වී ඇත. කුරුමිණියන්, කැරපොත්තන්, කුහුඹුවන් ආදී කෘමීන් ආහාරයට ගන්නා අතර, දින 65 - 70 ත් අතර ගැබ් කාලයකින් පසුව ගැහැනු සත්ත්වයා විසින් එක්‌ පැටවකු බිහි කරයි. ඉතා අහම්බයෙන් පැටවුන් දෙදෙනකු බිහි කළ අවස්‌ථා ද වාර්තා වී තිබේ. අලුත බිහිවූ පැටවා ග්‍රෑම් 235 - 400ක්‌ පමණ වන අතර දිගින් සෙන්ටිමීටර 30ක්‌ පමණ වේ. සාමාන්‍ය කැබැල්ලෑවකුගේ ජීවන අපේක්‌ෂාව වයස අවුරුදු විස්‌සක්‌ පමණ වේ.

සමස්‌ත පැන්ගොලියන් වංශයම සිය ආහාරය සඳහා භාවිත කරන්නේ දිවය. මෙම සතාගේ දිගු දිව, සමස්‌ත ශරීරයටම වඩා දිගින් වැඩි අතර, එය ඇලෙන සුළු ස්‌වභාවයකින් යුක්‌තය. කුහුඹුවන්, දිමියන් වැනි සතුන් ආහාරයට ගැනීම සඳහා මෙම දිව උපකාරි වේ. දත් පිහිටා නොමැති අතර දිවෙන් මුව තුළට ගන්නා කෘමීන් හැපීමකින් තොරව ආහාරය සඳහා ගනු ලබයි. කෘමීන් සිටින බෙන හෑරීම සඳහා ශක්‌තිමත් ඉදිරි ගාත්‍රා යුගලක්‌ කැබැල්ලෑවා හට හිමි අතර එය තුන් තැනකින් නැවිය හැකි ලෙස පිහිටා ඇත. සිව් පාදයේම ඇඟිලි පහ බැගින් පිහිටා තිබේ. මේ හේතුවෙන් පුදුමාකාර ධාවන හැකියාවකට උරුමකම් කියන කැබැල්ලෑවන් නිරන්තරයෙන්ම සිය හොටක්‌ වැනි ඉදිරි කොටසින් ඉව කරමින් යයි. එසේම මොවුන් හොඳ කිමිදුම්කරුවන් ද වේ. තම නියපොතු උපයෝගී කරගනිමින් පහසුවෙන් ගස්‌ පට්‌ට ගසා, එම ස්‌තරහි වෙසෙන කෘමින් අනුභව කිරීමට පැන්ගෝලාවන් හපනුන්ය. වසරකට කුහුඹුවන් ලක්‌ෂ හත්සියයක්‌ පමණ එක්‌ පැන්ගෝලාවෙකු විසින් ආහාරයට ගන්නා බව සඳහන්ය.

සමජබ හෙවත් සොබාදහම සුරැකීම උදෙසා ජාත්‍යන්තර එකමුතුව සඳහන් කරන පරිදි, ලෝකයේ සිටින පැන්ගෝලාවන් පිළිබඳව පැහැදිලි සංගණනයක්‌ මෙතෙක්‌ සිදු කෙරී නොමැත. නිශාචරභාවය, කේවල ස්‌වභාවය, නිසා ගුප්ත හැසිරීමක්‌ පෙන්නුම් කරන මෙම සත්ත්ව විශේෂය අවධානාත්මක ලෙස සංඛ්‍යාවෙන් පහළ ගොස්‌ ඇති බව පමණක්‌ නිරීක්‌ෂණය කර තිබේ.

පැන්ගෝලියන් සතුන් සිය සීමාව සලකුණු කරනු ලබන්නේ අසූචි සහ මුත්‍රා ඇසුරෙනි. ආරක්‌ෂාව සඳහා ගුලිවී සිටින පැන්ගෝලියන් සතෙකු විලෝපියකු හෝ මිනිසකු විසින් ග්‍රහණය කර ගැනීමට තැත්කළහොත් තම නැට්‌ටෙන් පහරදීමට පැකිළෙන්නේ නැත. එහි තියුණුභාවය නිසාම, මිනිස්‌ සම වුවද කැපීමකට ලක්‌විය හැකිය. එසේම විලෝපිකයකු අතට පත් වුවහොත් සිය දුගඳ හමන වසුරු මුදාහැරීම ඔස්‌සේ, තම ආරක්‌ෂාව සලසා ගැනීම ද මේ සත්ත්වයාගේ ලක්‌ෂණයකි. සමහරක්‌ පැන්ගෝලියන් විශේෂ සිය වල්ගය අධාරයෙන් ගස්‌ නැඟීම සහ ඒ මත ර¹ සිටිනු දක්‌නට ලැබේ.

පසුගිය වසරේ වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව විසින්, මාර්තු තුන්වැනිදාට යෙදෙන ලෝක වනජීවී දිනය සමරමින් ශ්‍රී ලංකාවේ තර්ජනයට ලක්‌ව ඇති ජීවීන් 05 දෙනකු සංරක්‌ෂණය සඳහා නම් කරන ලදී. උණහපුලුවා, කළු වඳුරා, කැබැල්ලෑවා, අශෝක පෙතියා, ගේ කුරුල්ලා යන සත්ත්වයෝ මෙම සංරක්‌ෂණ නාමාවලියේ වූහ. එසේ වුවත් තවම කැබැල්ලෑවාට ඇති තර්ජනය පහවී ගොස්‌ නැති බව පෙනේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ වන සහ පාරිසරික අධ්‍යයන අංශය විසින් කැබැල්ලෑවන් සංරක්‌ෂණය සඳහා, ශ්‍රී ලංකාවේ ප්‍රථම ව්‍යාපෘතිය දියත් කර තිබේ. මෙහි ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ, ආචාර්ය ප්‍රියාන් පෙරේරා මහතාය. ඔහු සමග කැබැල්ලෑ සංරක්‌ෂණ සහ පර්යේෂණ සඳහා දායක වී සිටින්නේ, එම විශ්වවිද්‍යාලයේම ආචාර්ය නිහාල් දයාවංශ, ශිෂ්‍යයන් වන හසිත කරවිට සහ පබසර ගුණවර්ධන යන පිරිසය. 'අපි කැබැල්ලෑවන් පිළිබඳ පර්යේෂණය ආරම්භ කළේ, 2014 වර්ෂයේදී මධ්‍යම කඳුකරයේ, වියළි කලාපයේ සහ තෙත් කලාපයේ. අපිට කැබැල්ලෑවා හමුවෙනවා. අපි පර්යේෂණ සඳහා තෝරාගෙන තිබෙන්නේ, මතුගම ප්‍රාදේශීය සභාවට අයත් යගිරල වනාන්තරය. අපි කරන ලද නිරීක්‌ෂණ අනුව මේ සතා සම්පූර්ණයෙන්ම නිශාචරයි. කැමරා යොදාගෙන අප විසින් කරන ලද නිරීක්‌ෂණ ඇසුරෙන් පැවසිය හැක්‌කේ, රාත්‍රි එකොළහෙන් පසුව සහ පාන්දර තුන පමණ වනතෙක්‌ කැබැල්ලෑවන් සැරිසරන බවයි. පාන්දර ඉර එළිය වැටෙන කොට මෙයා පොළොවේ තිබෙන ගුල්වලට යනවා. කේවල වශයෙන් මේ සතුන් අපිට නිරීක්‌ෂණය වී තිබෙනවා. ඒ හැර යුගල වශයෙන් තවමත් අපිට දකින්නට ලැබුණේ නැහැ. මේ සතා ලංකාවේදී මුහුණ දෙන ප්‍රධාන තර්ජනය ගම්වාසීන් විසින් මස්‌ පිණිස මරා දැමීමයි. ඒ හැරුණු කොට වාණිජමය ඉලක්‌ක සඳහා කැබැල්ලෑවා, ශ්‍රී ලංකාවේදී මරා දමන ලද අවස්‌ථා දෙකක්‌ පමණයි වාර්තා වී තිබෙන්නේ. පසුගිය සෙනසුරාදා වාර්තා වූ සිද්ධිය සහ 2011 වසරේ රේගුව විසින් අල්ලා ගන්නා ලද එවැනිම සිද්ධියක්‌. නමුත් දඩයක්‌කරුවන් විසින් තම පරිභෝජනය පිණිස ශ්‍රී ලංකාවේදී මේ සත්ත්වයා මරා දමන ලද අවස්‌ථා බහුල වශයෙන් වාර්තා වී තිබෙනවා. මේ කිසිවක්‌ තමන්ගේ පරිභෝජනය පිණිස මිස වෙළෙඳාම සඳහා කැබැල්ලෑවා මරා දමා නොතිබුණු බව අප කණ්‌ඩායම විසින් නිරීක්‍ෂණය කළා. නමුත් ලෝකයේ තත්ත්වය මිට වඩා වෙනස්‌. පැන්ගෝලියන් ව්‍යාපෘතිය විසින් වාර්තා කර ඇති තොරතුරු අනුව 2011 වර්ෂයේ සිට 2013 වසරේ අප්‍රේල් මාසය දක්‌වා පැන්ගෝලියන් සතුන් ලක්‌ෂයකට වඩා ලෝකය පුරා මරා දමා තිබෙනවා. කැබැල්ලෑවා අපට හඳුනාගත හැක්‌කේ පරිසරයට සහ වගාවට හිතකාමී සතෙක්‌ ලෙසයි. මේ සතාගෙන් මිනිසාට කිසිදු හානියක්‌ සිදුවෙන්නේ නැහැ. අපගේ නිරීක්‌ෂණ අනුව සම්පූර්ණයෙන්ම මාංශ භක්‌ෂක මේ සතා, ප්‍රධාන වශයෙන් ආහාරයට ගනු ලබන්නේ කුහුඹුවන් සහ දිමියන් වුවත් ඊට අමතරව පසේ සිටින පණුවන් ද ආහාරයට ගනු ලබනවා.

මේ සදහා විශේෂ ව්‍යqහාත්මක දිවක්‌ ඌට පිහිටා තිබෙනවා.වැඩුණු කැබැල්ලෑවකුගේ සිරුරෙන් 37%ක්‌ පමණ දිගින් යුත් මේ දිව සෙන්ටි මීටර් 42.5ක්‌ පමණ වෙනවා. කැබැල්ලෑවා අනෙකුත් පැන්ගෝලාවන් මෙන් ගස්‌ නැඟීම අඩු වුවත්, එම හැකියාවෙන් යුක්‌තයි. අත්‍යවශ්‍ය අවස්‌ථාවකදී ඉක්‌මනින් කැබැල්ලෑවා ගස්‌ නගිනවා. නමුත් සාමාන්‍යයෙන් කැබැල්ලෑවා භූමියේ සැරිසරන සතෙක්‌ ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. ඇසීම සහ දැකීම අතින් හොඳ තත්ත්වයක්‌ මේ සතාට ස්‌වභාවධර්මය විසින් දායාද කර නැති වුණත්, අතිශය තියුණු ආඝ්‍රාණ හැකියාවක්‌ මේ සත්ත්වයාට පිහිටා තිබෙනවා. කැබැල්ලෑවා පිළිබද වැඩිදුර විස්‌තර ආචාර්ය ප්‍රියාන් පෙරේරා අප සමඟ පැවසීය. මේ සත්ත්වයා කුමන හෝ ස්‌ථානයක දඩයම් වේ නම් ඒ පිළිබද විස්‌තර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කැබැල්ලෑ සංරක්‌ෂණ ඒකකයට ලබාදෙන ලෙස ඔහු ඉල්ලා සිටියි. මෙම සතා දඩයමට හෝ විකිණීම සඳහා මැරීමකට ලක්‌වන්නේද යන්න සොයා බැලීම එහි අරමුණ වන අතර එසේ තොරතුරු ලබා දෙන පුද්ගලයන්ගේ රහස්‍යභාවය ආරක්‌ෂා කිරීමේ වගකීම තමන් සහ මෙම ව්‍යාපෘතිය දරනා බවද ආචාර්ය පෙරේරා වැඩිදුරටත් පැවසීය.

කැබැල්ලෑවා වන සත්ව හා වෘක්‌ෂලතා ආඥා පනත මගින් ආරක්‌ෂා කර ඇති අතර නීතියට වඩා මෙහිදී ඉදිරියෙන් සිටිය යුත්තේ මනුෂ්‍යත්වයය. අප කවුරුත් සිංහල හෝඩි පොතේ 'ඈ' යන්න කියන්නේ ඈයා නම් රූපය දෙස බලාගෙනය. අවම තරමින් ඒ සඳහා කෘතගුණ සලකා, මේ අහිංසකයාට තමන්ගේ පාඩුවේ ඉන්න ඉඩදිය යුතු නොවේද...?

ඔසිත අත්තනායක

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.