අදහස්‌ ගැළපෙනවානම් ජනිත්ට
නිළියක්‌ වුණත් අවුලක්‌ නැතිලු...

Öපසුගිය 29 වැනිදාට යෙදුණු ජනිත්ගේ උපන් දිනේ මහා ඉහළින් සැමරුවලු නේද?

ඔව්. ඒත් ඒ උපන් දින සාද පවත්වලා නෙමෙයි මම පස්‌වෙනි වතාවටත් පවත්වපු ලේ දන්දීමේ ව්‍යාපාරය හරහා.

Öලොකු පිරිසක්‌ සහභාගි වෙන්නත් ඇති.

මගේ සහෝදර කලා ශිල්පීන් මිතුරන් ඇතුළු දෙසීයකට වැඩි පිරිසක්‌ මාත් එක්‌ක එකතු වුණා.

Ö2017 අවුරුද්ද ජනිත්ට හොඳයි වගේ

ලබන හැම අවුරුද්දක්‌ම හොඳයි අපිට ප්‍රශ්න තිබුණට.

Öගිය අවුරුද්දෙ ගොඩක්‌ කරදර තිබුණ කියන්නෙ ඇත්තද?

කරදර නෙමෙයි මගේ තාත්ත අසනීප වුණ නිසා ටිකක්‌ අවිවේකී වුණා. ඒක කරදරයක්‌ කියලා මම හිතන්නෙ නෑ. තාත්තා ගැන බලන එක මගේ යුතුකමක්‌.

Öඔබේ පියා අපට සිටින ප්‍රවීණ කලාකරුවෙක්‌. ඔහුගේ අසනීප තත්ත්වය මාධ්‍යයට වසන් කළේ ඇයි?

කලාකරුවෙක්‌ විදියට තාත්තට හැමෝම ආදරය කරන එක ඇත්ත. ඒ ආදරයට අපිත් ගොඩක්‌ ආදරය කරනවා. ඒත් මාධ්‍ය හරහා බොරු අසරණකමක්‌ පෙන්වලා උදව් උපකාර ලබා ගන්න තියෙන අකමැත්ත නිසයි එහෙම කළේ.

Öඒ කියන්නෙ තාත්තව සුවපත් කර ගන්න කාගෙවත් උදව් ඉල්ලුවේ නෑ.

ඒ අවස්‌ථාවේ අපිට උදව් ලැබුණ කිව්වොත් තමයි හරි. විශේෂයෙන්ම ජයන්ත ධර්මදාස මහතා, ජනාධිපතිතුමා ඇතුළු අපේ ඥති හිතමිත්‍රාදීන් අපිත් එක්‌ක හිටියා. ඒක අපිට ලොකු හයියක්‌ වුණා. කෙනෙක්‌ ජීවත්ව ඉන්න කොට කරන උපකාර ගරු සැලකිලි මම ගොඩක්‌ අගය කරනවා.

Öතාත්තගේ සහෝදර කලා ශිල්පීනුත් උදව් කරන්න ඉදිරිපත් වුණා නේද?

ඔව්. විවිධ වැඩසටහන් පවත්වලා මුදල් උපයන්න යෝජනා ගොඩක්‌ ආවා. ඒත් අම්මයි මමයි මල්ලියි තුන් දෙනාම හිටියෙ ඒක සදාචාර සම්පන්න නැති දෙයක්‌ කියන මතයේ. ඉතින් අපි ඒ හැමෝටම සුහදව පැහැදිලි කරලා දුන්නා අන්තිම මොහොත වෙනකම් බලමු කියලා. අන්තිමේ හැමදේම හොඳින් විසඳුණා.

Öදැන් තාත්තගේ අසනීප තත්ත්වය සම්පූර්ණයෙන් සුවද?

ඔව්. දැනට විවේකයෙන් කල් ගෙවනවා. ඉදිරියේදී වැඩවලට එයි. ඒත් ගොඩක්‌ වැඩ භාර ගෙන අවිවේක වෙන්න එපා කියලා තමයි අපි කියන්නෙ.

Öජනිත්ගේ කලා කටයුතු මොනවද මේ දවස්‌වල

මේ දවස්‌වල මම "දෙඩඩි බ්‍රොa" කියලා වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙලා කටයුතු කරනවා.

Öරියෑලිටි වැඩසටහන්වලට ආරාධනා ලැබෙන්නේ නැද්ද?

ආරාධනා නම් ඕන තරම් ලැබෙනවා. ඒත් මම ප්‍රතිපත්තියක්‌ විදියට ඉදිරියේදී තරගකරුවෙක්‌ විදියට ඒවාට සම්බන්ධ වෙන්නෙ නෑ. නිවේදකයෙක්‌ හෝ විනිසුරුවරයකු වශයෙන් කටයුතු කරන්න අවස්‌ථාවක්‌ ලැබුණොත් සහභාගි වෙනවා.

Öක්‍ෂේත්‍රයේ ඔබ මිතුරන්ට වඩා මිතුරියන් ආශ්‍රය කරනවා කියන්aනෙ ඇත්තද?

ඔව්. ගොඩක්‌ වෙලාවට කලා ක්‍ෂේත්‍රයේදී මට ආශ්‍රය කරන්න ලැබෙන්නෙ මිතුරියන්ව. මටත් හිතා ගන්න බෑ ඒ අය මාත් එක්‌ක මේ තරම් මිත්‍රශීලී ඇයි කියලා. කොහොම වුණත් මම නම් දකින්නේ මිතුදම්වලට ස්‌ත්‍රී පුරුෂ භේදය නෙමෙයි අවංකකම තමයි මූලික වෙන්නෙ.

Öමෙහෙම ගිහින් නිරූපණ ශිල්පිනියක්‌ බිරිඳ කර ගනීද?

අනාගත සහකාරියගේ රැකියාව මට කොහෙත්ම වැදගත් වෙන්නේ නෑ. මගේ අදහස්‌වලට ගැළපෙනවා නම් එයා රංගන ශිල්පිsනියක්‌ වුණත් අවුලක්‌ නෑ. මොකද මගේ අම්මත් රංගන ශිල්පිනියක්‌නෙ.

Öපවුලෙ වැඩිමලා නිසා ඉක්‌මනට විවාහයක්‌ කර ගන්න කියලා අම්ම තාත්ත බල කරන්නේ නැද්ද?

අම්මයි තාත්තයි මටයි මල්ලිටයි කිසිම දේකට බල කරන්නේ නෑ. පොඩි කාලේ ඉඳලා අපිට ඕන දේ කරන්න නිදහස තිබුණා. අපිත් කවදාවත් ඒ නිදහසෙන් අයුතු ප්‍රයෝජන ගත්තෙත් නෑ. ඒ විශ්වාසය එයාලා තුළ තියෙනවා. හැම දේටම සුදුසු වෙලාවක්‌ තියෙනවනෙ. වෙලාව ආවහම ඒ කටයුතු සිද්ධ වෙයි.

Öඅද වන විට ඔබ රංගන ශිල්පියෙක්‌ විතරමද?

රංගනයට තමයි මගේ ජීවිතේ මුල්තැන දීලා තියෙන්නෙ. ඒ අතරෙ මම ශේප් එකේ සයිඩ් බිස්‌නස්‌ එකතුත් කරගෙන යනවා.

Öකඩවසම් බව රැක ගන්න වැඩිපුර උනන්දු වෙනව වගේ

සාමාන්‍යයෙන් මම දවස ආරම්භ කරන්නෙ ජිම් එකට ගිහින් ශරීර සුවතාවය රැක ගනිමින්. ඒ මම රංගන ශිල්පියෙක්‌ කියන තැන ඉඳගෙන නෙමෙයි. නිරෝගී චරිතයක්‌ වෙන්න තියෙන උවමනාවට ඕනම කෙනකුට ව්‍යායාම් අත්‍යවශ්‍යයි.

ධම්මික හේවාවසම්

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.