වසර පහළොවක්‌ දක්‌වා ක්‍රියාත්මක
පරිසර සංවර්ධන සැලැස්‌ම
දීර්ඝකාලීන වැඩපිළිවෙළක්‌
අගමැති රනිල් වික්‍රමසිංහ

ධනවාදී ආර්ථික ක්‍රමයේදී තිරසර
සංවර්ධනය යථාර්ථයක්‌ කරගන්න බැහැ
බිමල් රත්නායක


අජිත් අලහකෝන්

වසර පහළොවක්‌ දක්‌වා ක්‍රියාත්මක වන තිරසර සංවර්ධන සැලැස්‌ම දීර්ඝකාලීන වැඩපිළිවෙළක්‌ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (08 දා) පාර්ලිමේන්තුවට තිරසර සංවර්ධන පනත විවාදයට ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

වේත්‍රධාරි අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කළ පසුව කථානායක කරු ජයසූරිය මහතාගේ මුලසුන යටතේ පාර්ලිමේන්තුව ඊයේ (08 දා) සවස 1.00 ට රැස්‌විණි.

වාර්තා හා ලිපි ලේඛන යනාදිය ඉදිරිපත් කළ පසුව මන්ත්‍රීවරුන් අසා තිබූ ප්‍රශ්නවලට අගමැතිවරයා ඇතුළු ඇමැතිවරු පිළිතුරු දුන්හ.

අනතුරුව තිරසර සංවර්ධන පනත් කෙටුම්පත අනුමැතිය සඳහා ඉදිරිපත් කළේය. විවාදය ආරම්භ කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ කීවේය.

තිරසර සංවර්ධන සභාවක්‌ පිහිටුවීම වැදගත්. තිරසර සංවර්ධනයට අපගේ රජය කැප වී සිටිනවා. එම සංවර්ධනය ඇති කිරීමට අවශ්‍ය යාන්ත්‍රණය ගොඩනැඟීමටයි අපි මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කරන්නේ. මෙය දීර්ඝකාලීන සැලැස්‌මක්‌. වසර පහළොවක්‌ දක්‌වා මෙය ක්‍රියාත්මකයි.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා -

අපගේ රට ඉදිරි වසර 15 තුළ ලබා ගන්නා සංවර්ධනය පිළිබඳව අප මෙහිදී සැලසුම් සකසනවා. ඇතැම් රටවල් දියුණු වී ඇත්තේ තම පරිසරය විනාශ කරගෙනයි. ඇතැම් රටවල් දියුණු වී ඇත්තේ තම සමාජය විනාශ කරගෙනයි. නමුත් අප සැලසුම් කරන්නේ පරිසරය හා සමාජයද රැකගෙන සංවර්ධනය කරා යැමටයි. තිරසර සංවර්ධනය යනු එයයි. අප මෙහිදී තිරසර සංවර්ධන සභාවක්‌ පිහිටුවනවා. අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු මෙම සභාව හරහා සිදු වනවා. ලෝක ප්‍රමිතීන්ට අනුව අප සංවර්ධනය ක්‍රියාත්මක කරලීම ඉතා වැදගත්. රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන මේ ක්‍රියාවලිය සඳහා විධිමත් පරිදි දායක කර ගත යුතුයි. මහජනතාවට පීඩාවක්‌ නොවන පරිදි සංවර්ධනය ගමට ගෙන යැමට අප කටයුතු කරනවා. වෙනස්‌ වන ලෝකය සමඟ අප ඉදිරියට යා යුතුයි. එහිදී ජනතාව නිසි පරිදි දැනුවත් කිරීම වැදගත්.

සීඝ්‍ර සංවර්ධනයක්‌ අපට අවශ්‍යයි. නමුත් එහිදී තිරසර ගුණාංග රැකගත යුතුයි. ගෝලීය ආර්ථිකය සමඟ සම්බන්ධ වී අපගේ තරුණ පරපුරට ඒ හරහා වැඩි අවස්‌ථා උදා කරදීමට අප කටයුතු කරනවා.

ගෝලීයකරණය තුළ කොන් නොවී අප ඉදිරියට යා යුතුයි. එහිදී අපගේ සංස්‌කෘතිය, පරිසරය, සමාජය රැකගෙන ඉදිරියට යැම වැදගත්.

යාපනය දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී ඩග්ලස්‌ දේවානන්ද මහතා

( ඊ. පී. ඩී. පී.)

පරිසරය රැකගෙන අප ඉදිරියට යා යුතුයි. පරිසරය හා සමාජයද රැකගෙන සංවර්ධනය කරා යැමට අපට හැකි වුවහොත් එය ජයග්‍රහණයක්‌. ඒ සඳහා අප අවධානය යොමු කළ යුතුයි.

අප ජනතාවගේ සුබ සිද්ධිය වෙත නිවැරදි අවධානයක්‌ යොමු කළ යුතුයි. සංවර්ධනය සමඟ යහපාලනයද තහවුරු කරලීමට අප කටයුතු කළ යුතුයි. පරිසර පද්ධතිය විනාශ වීම වළක්‌වා ගැනීමට පියවර ගත යුතුයි. මෙහිදී අපද්‍රව්‍ය පිළිබඳ ගැටලුව කෙරෙහි විශේෂ අවධානයක්‌ යොමු කළ යුතුයි.

දේශපාලන වාසි උදෙසා, රටටත්, ජනතාවටත් අහිතකර පියවර නොගත යුතුයි.

නාගරික සංවර්ධන හා ජල සම්පාදන රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය,

අද පාරිසරික ගැටලු රැසකට අප මුහුණ දෙනවා. ඒ පිළිබඳව අප නිසි අවධානයක්‌ යොමු කළ යුතුයි. කාර්මීකරණය තුළ සිදු වන පාරිසරික හානි අවම කරලීමට කටයුතු කළ යුතුයි. කාර්මික අපද්‍රව්‍ය නිසා ජල මූල විනාශ වනවා. ගංඟා, ඇළ, දොළ විනාශවනවා. අපිරිසිදු වනවා. මේ පිළිබඳ අප අවධානය යොමු කළ යුතුයි. දේශගුණික විපර්යාස රැසකට අද අප මුහුණ දෙන්නේ තිරසර සංවර්ධනයක්‌ සිදු නොවූ නිසයි. තිරසර සංවර්ධනය හරහා පරිසරය රැකගෙන ලංකාව සංවර්ධනය කරා යොමු කළ යුතුයි.

කාන්තා අයිතීන් සුරැකීමටද කාන්තාව බලගැන්වීමටද අප කටයුතු කළ යුතුයි. තිරසර හා සමතුලිත සංවර්ධන ඇති කරලීමේදී එය ඉතා වැදගත්.

විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා,

ලංකාවේ සංවර්ධනය තිරසර සංවර්ධනයක්‌ විය යුතු බව අප කාගෙත් මතයයි. නමුත් ඇතැම් පළාත් සභා මෙම පනතට එකඟ නැති බවක්‌ පෙනෙනවා. එහි දේශපාලන ගැටලුවක්‌ මතු කරනවා. නමුත් එම දේශපාලන ගැටලුවද විසඳීමට අප කටයුතු කරනවා.

එක්‌සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්‌ක ජය ගැනීම සඳහා අපගේ දායකත්වය උපරිම ලෙස අප ලබා දී තිබෙනවා. තිරසර සංවර්ධනය ක්‍රියාත්මක කරලීම සඳහා නීති රාමු පැවතීම වැදගත්. නැති නම් එය යථාර්ථයක්‌ කර ගන්න බැහැ.

කාන්තා අයිතීන් සුරැකීමට අප එක්‌ව කටයුතු කරලීම ඉතා වැදගත්. තිරසර සංවර්ධනයේදී එය ඉතා වැදගත්.

පත් කළ මන්ත්‍රී බිමල් රත්නායක මහතා (ජ. වි. පෙ.)

ප්‍රතිපත්තිමය වශයෙන් අප මෙම පනතට විරුද්ධ නැහැ. නමුත් මේවා අකුරුවලට පමණක්‌ සීමා වුණොත් එහි ඵලක්‌ නැහැ. එක්‌සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්‌ක අද වචනවලට පමණක්‌ සීමා වෙලා. පරිසර දූෂණය දිනෙන් දින ඉහළ යනවා. ඇති නැති පරතරය ඉහළ යනවා කෑදර විදියට සල්ලිම හොයා ගෙන යන රටවල් ලෝක බලවතුන් ලෝකයේ පරිසර පද්ධති විනාශ කරනවා. මේ ධනවාදී ආර්ථික ක්‍රමය යටතේ තිරසර සංවර්ධනය යථාර්ථයක්‌ කරගන්න බැහැ.

තිරසර සංවර්ධන හා වන ජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා,

මේ පනතට සංශෝධන ඉදිරිපත් කළ හැකියි. ඒ සඳහා අවස්‌ථාව තිබෙනවා.

බිමල් රත්නායක මහතා (ජවිපෙ)

අප පනතට විරුද්ධ නැහැ. නමුත් මෙය යථාර්ථවාදී නැහැ. කාන්තා අයිතීන් සුරක්‌ෂිත කරලීම සඳහා විධිමත් පියවර ගත යුතුයි. අප රටේ කාන්තාවන් බොහොමයක්‌ රැකියා තුනක්‌ කරනවා. උදේට ගෙදර උයන පිහන රැකියාව, ඉන්පසු රැකියාවට යනවා. නිවසට පැමිණි පසු යළි දරුවන්ගේ වැඩ කටයුතු කරනවා.

ගම්පහ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා (එජාප),

තිරසර සංවර්ධනය කරා යොමු වීම සඳහා අප ඉතා විධිමත් ගමනක්‌ ආරම්භ කර තිබෙනවා. නව ලොව සමඟ ඉදිරියට යැමට අප කටයුතු කරනවා. නිදහස්‌ අධ්‍යාපන සේවාව වඩාත් දියුණු කොට ඉදිරියට ගෙන යැමට අප කටයුතු කරනවා. පාසල් සිසුන්ට රක්‌ෂණයක්‌ හඳුන්වා දීමට අප කටයුතු කළා. දුප්පත්කම මැඬලීමටද අප පියවර රැසක්‌ දියත් කර තිබෙනවා.

පරිසරය රැක ගැනීමටද අපගේ රජය විශේෂ අවධානයක්‌ යොමු කර තියෙනවා. තිරසර සංවර්ධනයක්‌ සඳහා යොමු වීමට අවශ්‍ය සාධක අප සම්පූර්ණ කර තිබෙනවා. පසුගිය රජය ජනතාවගේ දේපළ කොල්ල කෑවා. අපි ඒ වගේ වැරදි කරන්නේ නැහැ.

මඩකලපුව දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී ඥනමුත්තු ශ්‍රීනේසන් මහතා (ද්‍ර. ජා. ස.),

සම්පත් කළමනාකරණය කරලීමට රජය පියවර ගත යුතුයි. මානව සම්පතද කළමනාකරණය කළ යුතුයි. ජන වාර්ගික ප්‍රශ්නයට අප ස්‌ථිරසාර විසඳුමක්‌ ලබාදිය යුතුයි. එය ඉතා වැදගත්.

විවාදය වෙනත් දිනකට කල්තැබිණි. පාර්ලිමේන්තුව අද (09 දා) පෙරවරු 10.30 තෙක්‌ කල් තැබිණ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.