මහජන පීඩාව

කොළඹ විරෝධතා සීමා කිරීමට රජය තීරණය කර ඇති බවට සඳහන් පුවතක්‌ පසුගියදා ජාතික පුවත්පතක මුල් පිටුවේ පළවී තිබිණි. "කොළඹ විරෝධතා සතියකට එකයි, අවම කරන්න නව නීති'' මැයෙන් එම පුවත පළවී තිබිණි.කොළඹ විරෝධතා නිසා මහජනතාව දැඩි ලෙස පීඩා විඳින බව නම් රහසක්‌ නොවේ. සයිටම් විරෝධී පෙළපාලි නිසා කොළඹ නගරයට පැමිණීමත් වහකදුරු වී තිබේ. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල කවරක්‌ වෙතත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පවත්වන උද්ඝෝෂණ නිසා කොළඹ නගරයට පැමිණීමේදී කවර දිනයක උද්ඝෝෂණ පවත්වන්නේද නැද්ද යන්න සොයා බලා අවශ්‍ය ගමන තීරණය කිරීම වඩා සුබදායක වේ. සයිටම් විරෝධීන් උද්ඝෝෂණ පවත්වන්නේද මහජන පීඩාව උපරිම කරන්නට බවද පැහැදිලිsය. සවස්‌ යාමයේ මුළු කොළඹම සිරකර රැකියාව නිමවී නිවෙස්‌ බලා යන සේවක සේවිකාවන්ගේ ගමන පැය දෙක තුනකට දීර්ඝ කර මේ විරෝධතාවයේ උපරිම ඵල නෙළා ගැනීමට විරෝධතා සංවිධායකයෝ කටයුතු කරන බව පැහැදිලිsය. උද්ඝෝෂණ කිරීමට විරෝධතා දැක්‌වීමට ඇති අයිතිය අපි පිළිගනිමු. එසේම ඒ හරහා සිදුවන මහජන පීඩාව ගැන කතා කරන්නේ කවරකුද? මේ උද්ඝෝෂණ පිටුපස සැඟවුණු කූට අරමුණුද හෙළිකළ යුතුය. විරෝධතා පැවැත්වීමෙන් පමණක්‌ රටට යහපතක්‌ අත්වන්නේ නැත. මෙයින් සිදුවන්නේ රට ආපස්‌සට යැමකි.

පසුගිය වසරේ ගතවූ මාස දෙකක කාලය තුළ කොළඹ නගරයේ පැවැති උද්ඝෝෂණ හා විරෝධතා පෙළපාලි ප්‍රමාණය 49 කි. මේ නිසා ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක්‌ පීඩාවට පත් නොවූවේද? සයිටම් විරෝධ පෙළපාලි නිසා සිය මව පියා නිවසට ඒම පමාවූ නිසා බඩගින්නේම නිදාගන්නට සිදුවූ දරුවන් කොපමණ ඇතිද? අධ්‍යාපනය විකිණීම ගැන කතා කරන්නෝ මේ පීඩාවන් ගැන කතා නොකරන්නේ මන්ද?

මාර්ග තදබදය නිසා දිනකට රටට අහිමිවන මුදල රුපියල් බිලියනයක්‌ බව ගණන් බලා ඇත. එහෙත් මේ විරෝධතා පෙළපාලි පවත්වන විට ඒ අහිමිවන මුදල දෙතුන් ගුණයකින් වැඩිවනවා මිස අඩුනම් නොවේ. මේ උද්ඝෝෂණ නිසා මගී ජනතාව විඳින මානසික පීඩාව ගැන කවරකු අවධානය යොමු කරයිද?

වෙනදා එක්‌ පැත්තකින් පැමිණෙන පෙළපාලි දැන් හතර පැත්තක සිට පැමිණෙයි. එවිට සිදුවන්නේ කුමක්‌ද? කොටුවේ උද්ඝෝෂණ පැවැත්වෙන විට හයිලෙවල් පාර, බේස්‌ලයින් මාර්ගය, ගාලු පාර, පාර්ලිමේන්තු පාර ආදී සියල්ලේම දැඩි වාහන තදබදයක්‌ හටගැනීමය. විශ්වවිද්‍යාල සිසුන් මෙලෙස සිව් පැත්තකින් පැමිණෙන්නේද වාහන තදබදය හැකි පමණ උග්‍ර කිරීමේ අරමුණින් බව රහසක්‌ නොවේ. සයිටම් විරෝධීන් හිසේ කළුපටි බැඳ පාරට බසින විටම කොළඹ නගරයට නොගොස්‌ ආපසු හැරී ගෙදර නැවතීම නුවණට හුරුය.

පසුගිය මාස දෙකක කාලය පුරා පැවැත්වූ උද්ඝෝෂණ පරීක්‍ෂා කර බැලීමේදී ඒ බහුතරය සංවිධානය කර ඇත්තේ විශ්වවිද්‍යාල සිසුන් බව පොලිසිය කියයි. මේ උද්ඝෝෂණවලින් බහුතරය පවත්වා ඇත්තේ කොළඹ කොටුව දුම්රියපළ හා ඒ අවට කේන්ද්‍ර කරගෙනය. පසුගිය මාස දෙකේ උද්ඝෝෂණ 49 ක්‌ පැවැත්වී නම් වැඩකරන දින කීයක්‌ අඩපණ වූවේද? එයින් ජාතික ආර්ථිකයට සිදුවූ පාඩුව කොපමණද? කොළඹ නගරය නිතිපතා සිරවී තිබෙනු දකින විදෙස්‌ ආයෝජකයන් මේ රටේ කර්මාන්ත ආරම්භ කිරීමට උනන්දු වන්නේද? කොළඹට පැමිණෙන සංචාරකයන් මේ රට ගැන යහපත් ආකල්පයක්‌ ඇති කර ගනීද?

විරෝධතා දැක්‌වීමේ අයිතිය කිසිවකුට වාරණය කළ නොහැක. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීම සඳහා විරෝධතා පැවැත්වීමේ අයිතිය සුරක්‍ෂිත විය යුතු නමුත් නිරන්තරව මහජනයා පීඩාවට ලක්‌කිරීම තවදුරටත් සිදුවිය යුතු නැත. යහපාලන ආණ්‌ඩුවද විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් ගැන කල් මරමින් නොසිට,විරෝධතා ගැන ඉක්‌මනින් සලකා බලා පිළියම් යෙදීමට උත්සුක විය යුතුය.නැතහොත් මහජනයාට නිරන්තරයෙන් සිදුවන්නේ පීඩාවකින් කටයුතු කිරීමටය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.