මට ඕනි වුණේ පොරක්‌ වෙන්න නෙමෙයි...
වසන්ත කුමාරවිල

වසන්ත කුමාරවිල, මෑත කාලයේ ශ්‍රී ලාංකීය සිනමාවේ සටන් නළුවන් අතර ඉහළින්ම කතාබහට ලක්‌වෙන චරිතයක්‌. ඔහුගේ කුළුඳුල් නිෂ්පාදනය වූ 'රන් සයුර' චිත්‍රපටය මේ දිනවල දිවයින පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය වෙද්දී 'මීවිත' සමග ඔහු මෙසේ කතාබහට එකතු වුණා..

òමේ දිනවල "රන් සයුර" ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ගොඩක්‌ සතුටුයි. අවුරුදු එකහමාරක විතර මහන්සියක ප්‍රතිඵලයක්‌ තමයි මේ "රන් සයුර". හරියටම ගිය අවුරුද්දේ ජනවාරි වෙද්දී වැඩ ඉවර කරලා මේ අවුරුද්දේ පෙබරවාරි වෙද්දී තිරගත වීමත් ආරම්භ වුණා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ මෙය සම්පූර්ණයෙන්ම ප්‍රේක්‌ෂකයින් වෙනුවෙන් හදපු නිර්මාණයක්‌. විඳවන්න නෙමෙයි. විඳින්න හදපු චිත්‍රපටයක්‌.

òඇයි චිත්‍රපටයක්‌ නිෂ්පාදනය කරන්න හිතුවේ?

ඇත්තටම සුදේශ් වසන්ත කියන්නේ මගේ ළඟම ඇසුරක්‌ තියෙන කෙනෙක්‌. මගේ සිනමා ජීවිතයේ මුල්ම කාලයේ මට මුණ ගැහුණු හොඳම කෙනෙක්‌. අපි දෙන්නා එකට වැඩ කරලා තියෙනවා. ඔහුගේ පියා සුනිල් සෝම පීරිස්‌ මහතාගේ චිත්‍රපට තුළින් තමයි මම මුලින්ම සටන් නළුවෙක්‌ විදිහට සිනමාවට එන්නෙ. ඉතින් අපි දෙන්නට විශාල වුවමනාවක්‌ තිබුණ චිත්‍රපටයක්‌ කරන්න.

òඔබ නිෂ්පාදනය කළ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා බවට ඔබම පත් වෙනවා?

මෙහෙමයි. ඇත්තටම ඔය නිෂ්පාදකයා කියන නමට මම කැමැති නැහැ. මම මේකට මූල්‍ය පැත්තෙන් උදව් කළ බව ඇත්ත. නමුත් මම කලාකරුවෙක්‌. මම මුදලාලි කෙනෙක්‌ නෙමෙයි. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්න මගේ අදහසක්‌ තිබුණේ නැහැ. නමුත් මේ චිත්‍රපටයේ මයිකල් කියන චරිතයට සුදු හමක්‌ තියෙන ලස්‌සන නළුවෙක්‌ ගැළපුණේ නැහැ. අනික මේ චිත්‍රපටයේ එන සටන් ජවනිකා සඳහා වෙනත් නළුවෙක්‌ ගත්තොත් විශේෂ පුහුණු වීමක්‌ කරන්න අවශ්‍යයි. ඒකට තව කාලයක්‌ ගත වෙනවා. ඒ නිසයි අන්තිමේ මම මේ චරිතය භාරගත්තේ.

òසටන් නළුවෙක්‌ ලෙස පැමිණි ගමන්මඟ පිළිබඳ තෘප්තිමත්ද?

මම මාව අඳුරගෙන තමයි කලාවට පිවිසුණේ. මම මහ ලස්‌සන නළුවෙක්‌ නෙමෙයි. සටන් කරුවෙක්‌ කියන්නේ පහත්ම තැනින් එන කෙනෙක්‌. ඔහුට සිනමාව තුළ මේ වගේ ප්‍රතිරූපයක්‌ හදාගන්න ලැබීම මහ ලොකු දෙයක්‌. උත්සහයත් එකක්‌ ආපු ගමනක්‌ මේක. ඉතින් මං සන්තෝෂ වෙනවා මගේ ගමන ගැන. මොකද සටන් නළුවෙක්‌ වෙලා හිටපු මම අද නිෂ්පාදකයෙක්‌. මට ඕන වුණේ සිනමාව අතුළේ පොරක්‌ වෙන්න නෙමෙයි. හොඳ මනුස්‌සයෙක්‌ වෙන්න.

òඔබ සටන් කලාව හදාරපු අයෙක්‌ද?

මම සටන් අධ්‍යක්‍ෂවරයෙක්‌ වෙන්නේ සටන් නළුවෙක්‌ වූ නිසා නෙමෙයි. අවුරුදු 16ක්‌ මම සැබෑ සටන් කලාව හදාරපු කෙනෙක්‌.

òසටන් අධ්‍යක්‍ෂණය කියන්නේ පහසු දෙයක්‌ද?

ලංකාවේ සටන් පුහුණුකරුවන් ඕන තරම් හොයාගන්න පුළුවන්. යම්කිසි සටන් කලාවක්‌ හදාරපු ඕන කෙනෙකුට සටන් පුහුණු කරන්න පුලුවන්. හැබැයි අධ්‍යක්‍ෂණය කරන්න බැහැ. ඒකට අත්දැකීම්, පලපුරුද්ද සහ සටන් පිළිබඳ ලොකු දැනුමක්‌ අවශ්‍යයි. සටන් අධ්‍යක්‍ෂවරයා කියන කෙනාට නිර්මාණය තුළ ලොකූ කාර්යභාරයක්‌ තියෙනවා.

òඔබට ලැබෙන්නේ දඩබ්බර චරිත විතරමද?

මම මේ ගමන පටන් ගන්නේ නිලංජනා නාට්‍යය හරහා. ඒකෙන් තමයි මේ දඩබ්බර චරිත රඟපාන්න පටන් ගත්තේ. එදා ඉඳන් මම කැමති සහ ප්‍රේක්‍ෂකයා මගෙන් ඉල්ලන්නෙත් ඒ වගේ චරිත.

òමුලින්ම ඔබ නළුවෙක්‌ වෙන්නේ ඉන්දියානු අධ්‍යක්‍ෂවරයෙක්‌ හරහා.?

ඔව්. නිලංජනා නාට්‍ය අධ්‍යක්‍ෂණය කරන්නේ ශ්‍රී ජයරාම් කියලා ඉන්දියානු අධ්‍යක්‍ෂවරයෙක්‌. මාව ඔහුට හඳුන්වලා දෙන්නේ තිලක්‌ අතපත්තු. ඒ නාට්‍ය ඉන්දියානු කෙනෙක්‌ අධ්‍යක්‍ෂණය කරපු නිසා තමයි මාව ඒකට ගත්තේ. ලංකාවේ කෙනෙක්‌ කළානම් මාව නිලංජනා නාට්‍යයට කවදාවත් ගන්නේ නෑ. මොකද අපේ රටේ තමයි නළුවන්ගේ ලස්‌සන බලන්නේ. ඉන්දියාවේ ඒක නෑ. ඔවුන් බලන්නේ දක්‍ෂතාවය.

òසටන් නළුවාට සමාජයේ පිළිගැනීම මොන වගේද?

සටන් නළුවා කියන්නේ සිනමාවේ කළු චරිත රඟපාන කෙනා. ඇතැම් චරිත නිසා සමාජෙන් බැණුම් අහන අවස්‌ථා තියෙනවා. හැබැයි මම රඟපාන චරිතයට මම ලබා දෙන සාධාරණත්වයට සහ මම රඟපාන රිදම් එකට මිනිස්‌සු කැමතියි.

òඑතකොට සිනමාවේදි සටන් නළුවාට ලැබෙන පිළිගැනීම ?

සිනමාවේ ස්‌වර්ණමය යුගයේ සටන් නළුවාට ලොකු පිළිsගැනීමක්‌ අපේ රටේ තිබුණා. ඊට පස්‌සේ ආපු පරම්පරාව එක්‌ක සටන් නළුවාට සහ සටන් අධ්‍යක්‍ෂවරයාට හිමි තැන ටිකක්‌ අඩුවුණා. ප්‍රධාන නළුවාට ආකර්ෂණය ගන්න ඔහුව උඩට ගන්න සටන් නළුවා දෙන සපෝට්‌ එක පට්‌ටයි. ඒ තරම් දුක්‌ විඳින වෙන නළුවෙක්‌ නෑ. හැබැයි අපේ රටේ සටන් නළුවාට තමයි කුඩම්මාගේ සැලකිලි තියෙන්නේ. හොලිවුඩ්, බොලිවුඩ් වල ප්‍රධාන නළුවාට හිමි තැන සටන් නළුවාට ලබා දෙනවා.

කසුන් රණවීර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.